Home » අධිකරණයට අපහාස කර රිමාන්ඩ් කළ නීතිඥයාට බිරියගෙනුත් නඩුවක්

අධිකරණයට අපහාස කර රිමාන්ඩ් කළ නීතිඥයාට බිරියගෙනුත් නඩුවක්

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment

තැම් චරිත ආවට ගියාට ‘වචන’ භාවිත කිරීම තුළින් අමාරුවේ වැටුණු අවස්ථා පිළිබඳ ඕනෑතරම් නිදසුන් ඇත. අධිකරණයට අපහාස කිරීමට තරම් ඒ වචන මුවහත් වුවහොත් නතර වන්නට සිදු වන්නේ සිරගෙයිනි. විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයට කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වූ ජයතුංග පටබැඳිගේ සුසිල් ප්‍රියන්ත ජයතුංග නමැති නීතිඥවරයාට සිදු වූයේ ද එයයි. ඔහුගේ නීතිඥභාවය අත්හිටුවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ඉකුත් 20 වැනිදාය.

මෙකී පුද්ගලයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සහ නීතිඥ වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීම යටතේ චෝදනා පත්‍ර දෙකක් කඩිනමින් සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය. එමෙන්ම මෙම පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානසික විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරිණි. මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.

ජයසිංහ පටබැඳිගේ සුසිල් ප්‍රියන්ත යන අය විසින් ඉකුත් 19 වැනිදා නඩු අංක බී 13503/1/24 දරන පුද්ගලික නඩුකරයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකකරණය හමුවේ ගොනු කර තිබිණි. එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ ය. මෙම නඩුකරයේ කැඳවීම් දිනය ඉදිරි දිනයකට නියම කිරීමට අධිකරණය තීරණය කර තිබිණි. මෙම විනිසුරු මඬුල්ලට එරෙහිව තමන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩුවක් ගොනුකර ඇති බැවින් වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවට මෙම නඩුව යොමු කරන ලෙස ඉල්ලා සිටින බව සඳහන් කරමින් මෙකී තැනැත්තා මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබිණි. මෙහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මෙම නඩුව විමසීමට තමන්ට නියම කර ඇත්තේ අගවිනිසුරුවරයා බැවින් බාධා නොකර අධිකරණ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙමින් නිශ්ශබ්දව සිටින ලෙස මොහුට දැනුම් දුන්නේය. එහෙත් පද්මන් සූරසේන ඒ උපදෙස් නොතකමින් දිගින් දිගටම අදහස් දැක්වීම නිසා අධිකරණ කටයුතු අත්හිටුවමින් විනිසුරුවරු අධිකරණ ශාලාවෙන් පිටව ගියහ.

එහිදී අධිකරණ ශාලාවන් පිටතට කොරිඩෝවට පැමිණි මෙම නීතිඥවරයා ද තමා යුක්තිය උදෙසා කටයුතු කළ බව පවසමින් ඔබමොබ සැරිසරන්නට විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා එම ස්ථානයේ සිටි අතර, ඔහු අසලට පැමිණි විත්තිකාර නීතිඥවරයා “නීතිඥ සංගමයට බැරිද මම වෙනුවෙන් පෙනී ඉන්න? තමන්ගේ සාමාජිකයෙක් වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්නෙ නැද්ද ?”යනුවෙන් ඇසුවේය. එහිදී ජනාධිපති නීතිඥවරයා පැවසුවේ “අපට සාමාජිකයන් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. අපිට පුළුවන් සාමාජිකයන් නීතිඥ භාවයේ ආචාර ධර්ම සහ රීති අනුව කටයුතු කරනවාද නැද්ද කියන එක පිළිබඳව විමසා බැලීමට අධිකරණයට සහාය වීමට පමණයි.”යනුවෙනි.

“නීතිඥ සංගමයේ හැටි, තමන්ගේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ.” කියමින් නීතිඥවරයා එම ස්ථානයෙන් නික්ම ගිය අතර, සුළු වෙලාවකින් විනිසුරුවරුන් යළි අධිකරණ ශාලාවට පැමිණීමත් සමඟ නීතිඥවරයා ද අධිකරණ ශාලාවට පැමිණියේය.

ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල “මෙම විනිසුරු මඬුල්ල සම්බන්ධයෙන් තමන් දක්වන ස්ථාවරයේ වෙනසක් තිබේදැයි නීතිඥවරයාගෙන් විමසා සිටියේය. විත්තිකාර නීතිඥවරයා පැවසුවේ “මගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මෙම විනිසුරුතුමන්ලා ව්‍යවස්ථාපිත යුතුකම් චේතනාන්විතව කඩ කළ බැවින් මෙම විනිසුරුවරුන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරුවා. මෙම නඩුව වෙනත් විනිසුරු මඬුල්ලකට යොමු කරන්න. ස්වභාව යුක්ත මූලධර්මවලට අනුව මෙම නඩුව ඇසීමට ඔබතුමන්ලාට අයිතියක් නැහැ”යනුවෙනි.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන: “තමන් අගවිනිසුරුතුමාටත් එරෙහිව නඩුවක් ගොනු කරලා තියෙනවාද?”

විත්තිකාර නීතිඥවරයා: “ඔව් මම අගවිනිසුරුවරයාට එරෙහිව නඩු දෙකක් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළා.”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ: “ඔබ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනකුටත් එරෙහිව නඩු ගොනු කර තිබෙනවා?.”

විත්තිකාර නීතිඥවරයා: “විනිසුරුවරු අට දෙ‍ෙනකුට එරෙහිව නඩු ගොනු කර තිබෙනවා, ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු නොකිරීම සම්බන්ධයෙන්.”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ : “ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගණනාවකටම නඩු ගොනු කර තියෙනවා. එසේ නම් ඔබේ නඩු විමසීමට අලුතෙන් විනිසුරුවරුන් පත් කළ යුතුයි.”

විත්තිකාර නීතිඥවරයා: “විනිසුරුවරුන් අට දෙනෙක් තමයි ඉන්නේ. මේ නඩුව මෙන්ම වෙනත් නඩුවලදී ඔවුන් මට විරුද්ධව කටයුතු කළා.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන: “තමන් උසාවියේ ඉන්න බවත් තේරුම් අරගෙනද මේ ප්‍රකාශ කරන්නේ? තමන් නීතිඥ වෘත්තියේ යෙදෙන නීතිඥවරයෙක්ද?”

විත්තිකාර නීතිඥවරයා: “ඔව් මම නීතිඥ වෘත්තියේ යෙදෙන නීතිඥවරයෙක්. වසර 12ක කාලයක් ඉඳන් නීතිඥවරයකු වශයෙන් කටයුතු කරනවා. පෞද්ගලික හේතු මත පසුගිය වසර හතරක් පමණ හරියට කටයුතු කළේ නෑ. මම වරදක් කර නෑ.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන:“ඒ බව අප තීරණය කරන්නම්. ඔබ අගවිනිසුරුවරයාට එරෙහිව නඩු පවරා තිබෙනවාද?”

විත්තිකාර නීතිඥවරයා : 289 වගන්තිය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ නඩු පවරා තිබෙනවා. ව්‍යවස්ථාපිත රාජකාරි කටයුතු චේතනාන්විතව කඩ කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයාට එරෙහිව පැමිණිලි කර තිබෙනවා.”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ : “ඔබ අගවිනිසුරුටත් එරෙහිව අල්ලස් කොමිසමක නඩු පවරා තිබෙනවාද?”

විත්තිකාර නීතිඥවරයා : “ඔව්”

විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ : “අගවිනිසුරුතුමාට ඔබ නඩු දාලා තියෙනවා නව විනිසුරුවරුන් පත් කරන්න කියලා. ඉතින් ඔබතුමා ද අගවිනිසුරුට නියෝග දෙන්නේ?”

විත්තිකාර නීතිඥවරයා: “මා ඒ ගැන දැනුම්වත් නෑ.”

මේ අවස්ථාවේදී විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විවෘත අධිකරණයට කැඳවා මෙම නීතිඥවරයාට එරෙහිව වෙනත් පැමිණිලි ලැබී තිබේදැයි විමසීමේදී ඔහු පැවසුවේ ඔහුට එරෙහිව වෘත්තීය ආචාරධර්ම කඩ කිරීම් යටතේ පැමිණිලි හයක් ලැබී ඇති බවය. ඒ අවස්ථාවේ විත්තිකාර නීතිඥවරයා පැවසුවේ “මේ රෙජිස්ට්‍රාර්වරයා වගකීමෙන් ප්‍රකාශ කළ යුතුයි. මට එරෙහිව බොරු පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඒවා නිෂ්ප්‍රභ වුණා. එකක් මගේ බිරිය විසින් ඉදිරිපත් කළ එකක්. ඒ හැර වෙනත් පැමිණිලි නෑ.”යනුවෙනි.

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම විත්තිකාර නීතිඥවරයාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ප්‍රමාණවත් අවස්ථා ලබා දී ඇතත් මොහු එම අවස්ථා අවභාවිත කරමින් නීතිපතිට විරුද්ධ නඩු දෙකක් ගොනුකර ඇති බවය.

විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන: “තමන් අධිකරණයේ කියන දේවල් අධිකරණයට අපහාසයක් වන බවට සිහි තබාගත යුතුයි. මේ කරුණු සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ කුමක්ද?”

විත්තිකාර නීතිඥවරයා: “නීතිපති දෙපාර්තමේන්තුව මා සමඟ තරහයි. නීතිපති සංජය රාජරත්නම් මා සමඟ ඇති වෛරය නිසා මට විරුද්ධව කටයුතු කරනවා.”

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන: “අධිකරණය පිළිබඳ තමන් අරගෙන තියෙන ස්ථාවරය හරිද?

විත්තිකාර නීතිඥවරයා: ඔව්. ලක්ෂ 700ක මගේ දේපොළ අහිමි කිරීමට මේ පිරිස කටයුතු කළා. එය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැණියි. මා කියා සිටින්නේ ඔබ වහන්සේලාට මේ නඩුව පිළිබඳ කරුණු විමසීමට හැකියාවක් නෑ. ඔබ වහන්සේලා මෙම නඩුවෙන් ඉවත් වෙලා වෙනත් විනිසුරුවරුන්ට යොමු කරන්න. එවිට එම විනිසුරුවරුන්ට මට කියන්න තියෙන දේ කියන්නම්. අධිකරණයට අපහාස කිරීම සඳහා මම නඩු පැවරුවේ නෑ. මට වුණු අසාධාරණය සම්බන්ධයෙන් නීතියේ හස්තයේ පිළිසරණ පැතීමයි සිදු ක‍ෙළ්. ඒ හැර වෙන විකල්පයක් මට තිබුණේ නෑ.”

මෙහිදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ විත්තිකාර නීතිඥවරයා දිගින් දිගටම අධිකරණයට අපහාස කරන බවක් පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසය.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන : අවසන් වරට අහන්නේ. තමන්ගේ ස්ථාවරයේ වෙනසක් තියෙනවද?”

විත්තිකාර නීතිඥවරයා: මගේ ස්ථාවරයේ වෙනසක් නෑ.”

ඒ අනුව විත්තිකාර නීතිඥවරයා අධිකරණයට අපහාස වන ආකාරයෙන් සහ අධිකරණයේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු කරන බවට පෙනී යන බව විනිසුරුවරයා සඳහන් කළේය. එසේම විත්තිකාර නීතිඥවරයාට එරෙහිව මේ වන විට පැමිණිලි හයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමෙන් අනතුරුව අධිකරණයට අපහාසාත්මක ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවර ගැනීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය. එසේම 2024 අපහාස කිරීමේ පනතේ අංක 8 (1) යටතේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නියම කෙරුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණ රෙගුලාසි 42(3) වගන්තිය යටතේ නීතිඥවරයාගේ නීතිඥ වෘත්තීයභාවය අත්හිටුවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එමෙන්ම අදාළ චෝදනා පත්‍ර හැකි ඉක්මනින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

මෙහිදී අධිකරණය හමුවට කැඳවා සිටි බන්ධනාගාර නිලධාරීන් ඇමතූ විනිසුරු මඬුල්ල මෙම නීතිඥවරයා බන්ධනාගාර භාරයට ගන්නා ලෙස නියම කළේය. මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විත්තිකරු සඳහන් කර සිටියේ “මම අසනීපෙන් ඉන්නේ. මාව බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන : “ඔබට කතා කරන්න දුන් අවස්ථාව ඉවරයි. දැන් තියෙන්නේ දඬුවම් නියම කරන අවස්ථාව. ඔබ කතා කරන්නේ අධිකරණයේ සිට බව තේරුම් ගත යුතුයි. අපටත් කතා කරන්න දේවල් තියෙනවා. එහෙත් අප එසේ කතා නොකර සීමිත දේවල් පමණයි කතා කරන්නේ. ඔබේ අසනීප ගැන බන්ධනාගාර බලධාරීන් එක්ක කතා කරගන්න.”

අනතුරුව මෙම විත්තිකාර නීතිඥවරයා බන්ධනාගාරයට රැගෙන යන ලෙස නියම කළ විනිසුරු මඬුල්ල ලබන අප්‍රේල් මස තුන්වැනිදා ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

පොලිසිය නිසියාකාරව ක්‍රියත්මක වන්නේ නැතැයි කියමින් විත්තිකාර නීතිඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පුද්ගලික පැමිණිලි රාශියක් ඉදිරිපත් කළේ ඉකුත් 2023 වසරේ සිටය. ඉකුත් 2023 වසරේ ජූලි මස 04 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකළ පෞද්ගලික පැමිණිල්ලකින් ඔහු චෝදනා කළේ තමන් ඉල්ලා සිටි නඩු වාර්තා කිහිපයක පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජස්ට්‍රාර්වරයා විසින් ලබා නොදුන් බවය. මේ සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය කටයුතු කරන්නේ මන්දගාමී අයුරින් බවත් සිය පැමිණිල්ල විභාගයට ගෙන වගඋත්තරකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලීය. එහෙත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බවට තීන්දු කරමින් මහේස්ත්‍රාත්වරයා එම පැමිණිල්ල නිශ්ප්‍රභ කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 105 (3) දැක්වෙන පරිදි අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකෙන්ම හෝ දඬුවම් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී ඇත. එමෙන්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පැනවිය හැකි දඬුවම් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ දක්වා ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඉතිහාසය චරිත කිහිපයක් ඉස්මතු කර දක්වයි. මෙකී චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය එස්. බී. දිසානායකට 2003දී බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කෙරිණි. අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවකදී අධිකරණයේදී උස් හඬින් කතා කිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින්ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දු යන අයට වසරක සිර දඬුවමක් නියම කර ඇත. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයාව සිටි රංග දිසානායක මහතා අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කොට තිබිණි. ඥානසාර හිමියන්ට එරෙහිව නඟා තිබූ චෝදනා හතරටම වැරදිකරු බවට පත්කළ අභියාචනාධිකරණය එක් එක් චෝදනාවට වෙන් වෙන්ව සිර දඬුවම් නියම කරමින් වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් වසර හයකින් ගෙවී යන පරිදි නියම කළේ 2018 වසරේදීය. උපරිමාධිකරණය භික්ෂුවකට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ දඬුවම් නියම කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව එය වුවද ඥානසාර හිමියෝ 2019 වසරේදී මැයි මාසයේදී ජනපති සමාවෙන් නිදහස් වූහ.

2017 වසරේ අගෝස්තු මස 21 වැනිදා මාධ්‍ය හමුවකදී විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක තීන්දුවකට අනුව ඔහු වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වින්දේය. පසුව ජනපති සමාවෙන් නිදහස ලැබූ ඔහු එවැනිම තවත් නඩුවකදී අධිකරණයෙන් සමාව ගත්තේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම තහවුරු කිරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ යුද හමුදා විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණ සිවු වසරක සිර දඬුවමක් නියම කළේ 2023 වසරේ ජනවාරි මස 24 වැනිදාය. මේ වන විටත් ඔහු බන්ධනාගාරගතව සිර දඬුවම් විඳිමින් සිටී.

නීතිඥ වෘත්තියට අවමානයක් සහ අගෞරවයක් වන ආකාරයෙන් අධිකරණය ඉදිරියේ කටයුතු කළ බවට ඉදිරිපත් වූ චෝදනාවන්ට වරදකරු වූ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ඉකුත් පෙබරවාරි මස 29 වැනිදාය.

මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබ තිබුණේ නීතිඥවරුන් දෙදෙනකු විසිනි.

අධිකරණයේ ස්වාධීනත්වය නිතියේ ආධිපත්‍යයේ මූලික මූලධර්මයක් වන බැවින් අධිකරණයේ ස්වාධීනත්වයට ඕනෑම ආකාරයක අනිසි ඇගිලි ගැසීම් අතිශයින් බරපතළ වන අතර මෙය අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වීමක් වනු ඇතැයි විද්වතුන් නිතර නිතර මත පළ කරති. නිදහස් සමාජයක නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා වූ දොරටුව වන්නේ ස්වාධීන අධිකරණ පද්ධතියයි. එවන් අවස්ථාවක යමකු කිසියම් හෝ ආකාරයකින් අධිකරණයට අපහාස කරමින් කටයුතු කිරීම සුවහසක් නිදහස අගයන ජනතාවකගේ චින්තනයට සිදුවන බලපෑම ගැන කෙසේ නම් මිනිය හැකිද?

නිමන්ති රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division