Home » ඇත් අතුරු සෙවණේ රඟ සොබා වරුණේ

ඇත් අතුරු සෙවණේ රඟ සොබා වරුණේ

‘අලි නැණ මංසල’ හෙවත් Elephant Knowledge Walk

by Mahesh Lakehouse
March 23, 2024 12:30 am 0 comment
කිරි බීමට පැමිණි අලි පැට­වුන්

– සෑම අලියකුටම මා පිය කැපකරුවෙක්
– දිනකට කිරි සඳහා රුපියල් ලක්ෂ 2ක්
– ඩිල්මා සංරක්ෂණ එකමුතුවේ තවත් සත්කාරයක්

ලින්ටත් ළමයින්ටත් නළියන්නමයි හිත. ඒ අපේ කටවහරට එකතු වූ වදනක්. දරු පොඩ්ඩො මෙන්ම අලි පොඩ්ඩො නළියනවා, දඟලනවා දකින එක මොන තරම් සුන්දර හිත පිනවන දසුනක්ද? අලි පොඩ්ඩො ද දඟලන, අලි බබාලට බඩ පිරෙන්න ඇති තරමට කිරි පොවන උඩවලව ජලාශය ආසන්නයෙ පිහිටා ඇති උඩවලව ඇත් අතුරු සෙවණේ සවාරියක් යන්නේ මේ සුන්දර දසුන් නරඹන්න වෙන තැනක් නොමැති නිසා. දරු මල්ලොත් රැගෙන දේශීය සංචාරකයන් පමණක් නොව විදෙස් සංචාරකයන් ද රොද බැඳගෙන නිම්හිම් නැති සතුටකින් සිටින්නේ අලි බාබාලට කිරි පොවෙන වේලාව උදාවන තෙක්.

උඩවලව ගං ඉස්මත්තේ ඔරලෝසු වේලාවක හාංකවිසියක් හෝ දැනීමක් නොදැන වුවද කුසට කිරි වැටෙනා වේලාව බඩ දඟලන මේ පොඩි ඇත් පැටවුන්ට නිවැරදි කනිසම හඟවන්නට ඇවැසි නැත. දවසේ පස් වතාවක් කිරි බොන්නට මවුපිය සෙනෙහස අහිමි මේ අලි පොඩ්ඩො දුවගෙන පැමිණෙන්නේ තත්ත්පරයක් හෝ වේලාවේ ප්‍රමාදයක් නොවන්නටය.

අතුරු සිදුරු නැතිව මේ දසුන් දැකගන්නට එදත් අදත් උඩවලව ඇත් අතුරු සෙවණට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් කිසිදා අඩුවක් වූයේ නැත. 1995 වසරේ වෛද්‍ය නන්දන අතපත්තු විසින් මේ ස්ථානය අලි පැටවුන්ගේ පෝෂණය වෙනුවෙන් ආරම්භ කළේ එක් අලි පැටියකුගෙන් වුවත් අද වන විට ඇත් අතුරු සෙවණේ මේ වන විට අවුරුදු පහ සැපිරීමට ආසන්න වූ අලි පොඩ්ඩෝ 58 දෙනෙක් රැකවරණය ලබන්නේ රජයේ ආධාර ඇතිව වන ජීවි දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය මතය. 1995 සිට මේ දක්වා ඇත් අතුරු සෙවණේ පෝෂණය වූ අලි පොඩ්ඩො 172 දෙදෙනෙක් උඩවලවේ කැළයට නිදහස් කර ඇති බව අපට පැවැසුවේ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය මාලක අබේවර්ධනය.

අලි­යෙ­කුගේ සැකි­ල්ලක්

අලි­යෙ­කුගේ සැකි­ල්ලක්

පසුගියදා මේ අලි පැටවුන්ට සීමා වූ උඩවලව ඇත් අතුරු සෙවණට අලුත් ඉරක් පෑයූවේ එහි පැමිණෙන සංචාරකයන්ට නැවුම් අත්දැකීම් එක්කරමිනි. අලි පොඩ්ඩන්ට කිරි පෙවීමේ දසුන පමණක් දැකීම වෙනුවෙන් වූ ඇත් අතරු සෙවණ නවමු මඟකට යොමු කරන්නට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඩිල්මා තේ සහ ඩිල්මා සංරක්ෂණ එකමුතුවෙන් කටයුතු කළේ ‘අලි නැණ මංසල‘ හෙවත් Elephant Knowledge Walk නම්වූ තොරතුරු මධ්‍යස්ථානයක්ද විවෘත කරමිනි.

සංචාරක ව්‍යාපාරයෙහිලා ලංකාවේ අලි ඇතුන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ලංකාවේ අලි ඇතුන් දැකීම වෙනුවෙන්ම මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් බොහෝමයකි. අලි ඇතුන් පිළිබඳ ජීව විද්‍යාත්මක හදාරන්නන් මෙන්ම අලි ඇතුන්ගේ පරිණාමය, ව්‍යුහ විද්‍යාව, පරිසර විද්‍යාව මෙන්ම සංස්කෘතික වැදගත්කම ආදී තොරතුරු හැදෑරීමට ඔවුන්ට ඇති අවකාශ අඩු වුව ද දැන් මේ හරහා ඊට අවස්ථාව උදා වන්නේය. දැන් ඇත් අතුරු සෙවණින් අලි පැටවුන්ට කිරි පෙවීමේ දසුන් පමණක් නොව අලි ඇතුන් අධ්‍යයනයට ද දැන් කදිම ස්ථානයක් වන්නේය. එය තොරතුරු මධ්‍යස්ථානයකින් මෙන්ම පර්යේෂණාගාරයකින් ද යුතුය. උඩවලව ඇත් අතුරු සෙවණේ ඒ පහසුකම් සංචාරකයන්ට අත් විඳින්නට ‘අලි නැණ මංසල‘ ඉඩ හසර වෙන්කර දී ඇත්තේ කාලයක සිට පැවැති අඩුපාඩුවකට මුල පුරමිනි.

“ඇත් අතුරු සෙවණේ අලි පැටවුන් 58 දෙනෙක් මේ වන විට රැකවරණය ලබමින් පසුවෙනවා. ඔවුන් කැළයට මුදා හරින්නේ වසර 5ක් පිරුණු පසුව. මේ වන විට නිසි වයසට පැමිණි අලි පැටවුන් 172ක් වනයට මුදා හැර තියෙනවා. අද උඩවලව කැළේ සිටින දළ ඇත්තුත් මෙහෙන් කිරී බී වැඩුණු අලි පැටවුන්. එයින් 16 දෙනෙක් පැටවු බිහි කර තියෙනවා. මෙය පාලනය කරන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. දිනකට කිරිපිටි සඳහා ලක්ෂ 2ක් වියදම් වෙනවා. මේ සියලු ඇත් පැටවුන් සඳහා මා පිය කැපකරු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ මා පිය කැපකරු ක්‍රමයට දායක වූ අය රුපියල් 65,000 බැගින් ගෙවිය යුතුයි. ඔවුන්ට තමන්ගේ අලි පැටවාට නමක් පවා දීමට අවස්ථාව උදා වෙනවා.

මෙහි සිටින අලි පැටවුන් 58න් 50කට පමණක් මෙවැනි මා පිය කැපකරුවෝ සිටිනවා. මේ අලි පැටවුන් රැඳී සිටින්නේ රංචුවක් ලෙස උඩවලව ජාතික උද්‍යානයේයි. කිරි ලබා දෙන නියමිත වේලාවට කොහේ සිටියත් මේ අය කිරි බීමට පැමිණෙනවා. ඒ දසුන හරිම ලස්සනයි. මේ අලි පැටවුන්ගේ ආරක්ෂාව සඳහා ඇත් අතුරු සෙවණේ දෙදෙනෙක් දිවා රෑ නොබලා අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙහෙසී කටයුතු කරනවා. කිරි බොන වේලාවට ඔවුන් මෙතැනට පැමිණෙනවා වගේම ඒ සියල්ල සිදු කරන්නේ ජාත්‍යන්තර පිළිගත් ප්‍රමිතීන්ට අනුවයි.“ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය මාලක අබේවර්ධනය.

ඇත් අතුරු සෙවණේ අලි පොඩ්ඩන්ට දිනකට පස් වතාවක් කිරි පෙවීම් සිදු කරන්නේ අසීමිත කැප කිරීමකින් යුතුවය. උදේ 6, දවල් 10.30, සවස 2.30, සවස 6 හා රාත්‍රි 12 ආදී වශයෙන් වෙන් වුව ද මහජනතාවට ඒ දසුන් දැක ගන්නට හැකියාව ඇත්තේ දවල් 10.30, සවස 2.30 සහ සවස 6 පමණි. අලි පැටවුන්ගේ පෝෂණ අවශ්‍යතා අනුව එක් පැටියකුට කිරි ලීටර තුනක් අඩු වැඩි වශයෙන් ලබා දෙයි. ඒ අතර ඖෂධ ඇතුළු ප්‍රතිකාර ලබා දීම් කෙරෙන්නේ ද මේ සත්කාරක සේවාවන් සිදු කරන මෙහිම වූ ඇත් රෝහලේය.

ඩිල්මා ආයතනය විසින් ද පසුගිය වසරවලදී අමායා, ටෙඩ් හා බේබි ඩිල්මා යන අලි පැටවුන් තිදෙනාගේ මාපිය කැපකරුවන් වී ඇති අතර ඒ සත්කාරක සේවාවෙන් පසුව ඔවුන් වනයට මුදා හැර ඇත්තේය. ඩිල්මා මේ වසරේදී ද සිවුවැනි වරටත් අලි පැටවකු සඳහා රැකවරණය ලබා දී ඇත.

“සති අන්තයේ සංචාරකයන් 4000කට වැඩි ප්‍රමාණයක් ඇත් අතුරු සෙවණට පිවිසෙන අතර එයින් බොහොමයක් විදෙස් සංචාරකයන්. සතියේ දිනවල වැඩිමනත් සංචාරකයන් ද විදේශිකයෝ. පසුගිය වසරේ දේශිය සංචාරකයන් 112,080ක් හා විදේශීය සංචාරකයන් 61,596 දෙනෙක් ඇවිත් තියෙනවා. මේ විදෙස් සංචාරකයන් බොහෝමයක් අපේ අලි ඇතුන්ට වශී වෙලා ඉන්නේ. ඒ අය එන්නේ අලි ඇතුන් ගැන විස්තර හොයන්න. සමහරු විවිධ අධ්‍යයන කටයුතුවලට පැමිණියත් කලින් මෙහි එවැනි තොරතුරු ලබා ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ඩිල්මා ආයතනයේ මැදිහත් වීමෙන් මේ අඩුව පිරවෙන්නේ ‘අලි නැණ මංසල‘ හෙවත් Elephant Knowledge Walk විවෘත කිරීමෙන්. අලි නැණ මංසල විවෘත කිරීමට කලින් සංචාරකයන් පැමිණියේ අලින්ට පොවන හැටි බලන්න. ජනතාව දැනුම්වත් කිරීම් කරන්නට ඩිල්මා ආයතනය විසින් මේ සඳහා වෑයම ගත්තේ මීට වසර 10කට පමණ පෙරයි. මෙයින් බලාපොරොත්තු වන්නේ අලි ඇතුන්ගේ ජීව විද්‍යාත්මක කරුණු මෙන්ම අලි පිළිබඳ නොදත් තොරතුරු සංචාරකයින් අතරට ලබා දෙන්නට. ඉදිරියේදී මේ ස්ථානය තවත් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා….“ උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය මාලක අබේවර්ධනය.

ඩිල්මා තේ සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී. ප්‍රනාන්දු මේ සමාජ සත්කාරක සේවාවේ පුරෝගාමියාය.

1995 වසරේදී ආරම්භ කෙරුණු උඩවලව ඇත් අතුරු සෙවණේ සංරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනයේ වැදගත්කම හඳුනා ගනිමින් සහ ඇත් අතුරු සෙවණේ ප්‍රයත්නයන්ට සහය දැක්වීම සඳහා ඩිල්මා ආයතනය 2016 වසරේදී ශ්‍රී ලංකාවේ අලි ඇතුන් පිළිබඳව ජනතාව තුළ දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන කටයුතු කළේය. පසුව එය වඩාත් දියුණු වී ‘අලි නැණ මංසල’ බවට පරිවර්තනය වී නරඹන්නන්ට දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය සහ පුළුල් අත්දැකීමක් ලබා දෙන තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස විවෘත වූයේ පසුගියදාය. මෙහි සංචාරකයන්ට අලි ඇතුන්ගේ පරිණාමය, ව්‍යුහ විද්‍යාව, පරිසර විද්‍යාව සහ සංස්කෘතික වැදගත්කම පිළිබඳ නවතම දත්ත සහ තොරතුරු සිත් ඇදගන්නා සුලු ආකාරයෙන් නිර්මාණය කෙරුණු ග්‍රැෆික් සිතුවම් අනුසාරයෙන් අලි තොරතුරු ඉදිරිපත් කරමින් පිය නැඟීමට හැකි මංපෙතක් සකස්කර ඇත.

මහජන ආකල්පය ධනාත්මක වෙනසකට ලක්කර සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් අලි – මිනිස් ගැටුමට ද අංශයක් වෙන්කර ඇත්තේ ජනතාව දැනුම්වත් විය යුතු නිසාවෙනි. සත්‍ය නිදර්ශක නැරඹීම සඳහා ව්‍යුහ විද්‍යාගාරයක් මෙන්ම දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා දැනුම සහ අත්දැකීම් ලබාගැනීමට හැකි මධ්‍යස්ථායන්ද විවෘත වූයේ මේ දැනුම පාසල් අවදියේදී ද ලබාදිය යුතු වූ නිසාවෙනි.

“වසර කිහිපයකට පෙර මෙවැනි දෙයක් කළ යුතුයැයි අදහස ඉස්මතු වුණා. අලි ඇතුන් පිළිබඳ බොහෝ දෙනෙක් තොරතුරු ගවේෂණය කරනවා. එහෙත් එය ලබා ගැනීමට ඇති අවස්ථා ඉතා අඩුයි. අලි ඇතුන් අපේ පරිසරයේ කොටසක්. ආර්ථික ක්‍රියාකරකම්වලදීත් ඉතා වැදගත් දායකත්වයක් දක්වනවා. මේ ස්ථානය තුළින් සංචාරකයන්ට ලංකාවේ අලි පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිවන අතර ඉදිරියේදි මෙය තවත් පුළුල් කිරීමට කටයුතු කරනවා.“ ඒ ඩිල්මා තේ සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් සී. ප්‍රනාන්දුය.

ඇත් අතුරු සෙවණේ නාමල් ඇතා ප්‍රසිද්ධය. වසර 13ක් ඔහු ඇත් අතුරු සෙවණේ ආරක්ෂාව ලබන්නේ කකුළ වැලක පැටලීමෙන් එක් කකුලක් අහිමි වූ නිසාවෙනි. නාමල් ඇතාට ද අනිකුත් අලි පොඩ්ඩන්ට මෙන් මා පිය කැපකරුවකු සිටියි. නාමල් ඇතාගේ කකුලකට ලක්ෂ තුනක් පමණ වියදම් වෙයි. ඇත් අතුරු සෙවණේ අලි පොඩ්ඩන්ට රැකවරණය ලැබෙන්නා සේම අසරණ වූ වන ජීවීන්ට රැකවරණයක් හිමි වෙයි. අලින්ට අමතරව වනයේ අසරණ වූ සතුන් 1000 – 2000ක් පමණ වසරකට ඇත් අතුරු සෙවණේ විවිධ අනතුරු ආබාධ නිසාය. කොටි වලසුන් ද ඒ අතරය. ඔවුන්ට ප්‍රතිකාර කිරීමට සත්ව රෝහලක් ලෙස ක්‍රියාත්මක වන්නේ ද මේ භූමියේමය. නමුත් ඇත්තේ ඉතා අවම පහසුකම්ය. මේ වන විට ඒ සඳහා ඇත්තේ වෛද්‍යවරු දෙදෙනෙක් පමණි. නමුත් අඩු පහසුකම් යටතේ සතුන් 100 දෙනකු පමණ මේ වන විටත් මෙහි ප්‍රතිකර ලබති.

මේ අලි පොඩ්ඩන් රැකබලා ගන්නා ඇත් අතුරු සෙවණේ තවත් කළ යුතු දෑ බොහෝය. දිවා රෑ කිරි පොවමින් පෝෂණය කරන්නා සේම රෝගී වූ විට ප්‍රතිකාර කර ගොඩ ගන්නා සේම ඒ කාර්යය කිරීම සඳහා වූ ප්‍රතිපාදන මෙන්ම පහසුකම් සැපයීමේදී ද අඩුපාඩුකම් ඇත. ඉදිරියේ සංචාරකයන් සඳහා සතුන් සමඟ සමීපව සිටීමට අවස්ථාව ලබා දීම මෙන්ම තොරතුරු මධ්‍යස්ථානය මෙන්ම පර්යේෂණාගාරයක් ද වැඩි දියුණු කිරීමට අපේක්ෂිත වන්නේ හොඳ සේවාවක් සංචාරකයන්ට ලබා දීමටය. අලි මිනිස් ගැටුමට මූලික වන්නාවූ නොදැනුවත් බව මෙන්ම අලින් ද සමාජයේම කොටසක් බවත් ඔවුන් ආර්ථික ක්‍රියාදාමයෙහිලා ඉවහල් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් පුළුල් දැනුමක් මේ හරහා ලබාදීමේ අවශ්‍යතාව ඇත. ඇත් අතුරු සෙවණේ අලි ඇතුන් සමඟ කටයුතු කරන්නේ ඒ සඳහා වූ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව නිසා දැනුමින් පිරි විනෝදයක් ලබාගැනීමට දැන් ඇත් අතුරු සෙවණ හොඳ තෝතැන්නකි.

දරු­වන්ට ක්‍රියා­කා­ර­කම් සඳහා වෙන් වූ ස්ථානය

දරු­වන්ට ක්‍රියා­කා­ර­කම් සඳහා වෙන් වූ ස්ථානය

‘අලි නැණ මංසල‘ හෙවත් Elephant Knowledge Walk විවෘත කළ ඩිල්මා තේ සමා­ගමේ සභා­පති ඩිල්හාන් සී. ප්‍රනාන්දු, හිටපු වන ජීවි අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය සුමිත් පිල­පි­ටිය හා වන ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ මෙහෙ­යුම් රංජිත් මාර­සිංහ

‘අලි නැණ මංසල‘ හෙවත් Elephant Knowledge Walk විවෘත කළ ඩිල්මා තේ සමා­ගමේ සභා­පති ඩිල්හාන් සී. ප්‍රනාන්දු, හිටපු වන ජීවි අධ්‍යක්ෂ ජන­රාල් ආචාර්ය සුමිත් පිල­පි­ටිය හා වන ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ මෙහෙ­යුම් රංජිත් මාර­සිංහ

අලි තොර­තුරු ඇතු­ළත්  ‘අලි නැණ මංසල‘ ඇතු­ළත

අලි තොර­තුරු ඇතු­ළත් ‘අලි නැණ මංසල‘ ඇතු­ළත

 

සේයාරු – පසන් සෙනෙවිරත්න

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division