Home » බිරියට මරු කැන්දා ගමට පැන්න සැමියා අල්ලන්න සිම්පත දුන් හෝඩුවාව

බිරියට මරු කැන්දා ගමට පැන්න සැමියා අල්ලන්න සිම්පත දුන් හෝඩුවාව

by thanushika
March 23, 2024 12:30 am 0 comment

කඳානේ, වීදිය මාවතේ නිවසක කල් ගෙවූ ලෙච්චමි නමැති 39 හැවිරිදි සිවුදරු මව ඝාතනය කිරීමෙන් පසු නිවසේ තිබී ඇගේ මළ සිරුර හමු වූයේ දින තුනක් පමණ කල් ගතවීමෙන් පසුවය.

අනතුරුව කඳාන පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගැනුණේ කඳානේ සිට කිලෝමීටර් සිය ගණනක් දුරකින් යුත් ඇඹිලිපිටියේදීය. යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස නිලධාරීන් දිවා රෑ නොබලා වෙහෙසෙද්දී කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ජී.එස්. ප්‍රියන්ත සමඟ කොස්තාපල්වරුන් වන (49386) ප්‍රියන්ත, (18663) සුදුසිංහ යන නිලධාරීන් ඇඹිලිපිටිය ප්‍රදේශයට ගොස් සැරිසරමින් ලෙච්චමි ඝාතනයේ සැකකරු වන සරත්චන්ද්‍ර අත්අඩංගුවට ගැනුණේ ඝාතනයෙන් හරියටම මාසයක් ගතවෙද්දීය. එම ඝාතනයේ සුලමුල අනාවරණය කර ගනිමින් ඝාතක සැකකරු නීතියේ රැහැනට කොටුකර ගත් ආකාරය කඳාන පොලිසියේ පොත්පත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

ඉකුත් ජනවාරි මස 23 වැනිදාය. එදින පෙරවරුවේ 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට දුරකතන පණිවිඩයක් ලැබිණි.

“සර්… කඳානේ… වීදිය මාවතේ ගෙදරකින් ගඳක් එනවා… මැස්සොත් වහනවා… ඒ ගෙදර හිටපු අය පේන්නවත් නෑ… අපිට සැකයි… මොකක්හරි ප්‍රශ්නයක් වෙලා ද දන්නේ නෑ…“ යැයි පවසමින් එම නිවස ආසන්න පුද්ගලයකු පොලිසිය දැනුම්වත් කෙළේ එසේය.

119ට ලැබුණු ඇමැතුම ‘තිත‘ටම නිවැරැදිය. අදාළ නිවස සොයා ගිය කඳාන පොලිසියේ නිලධාරීන්ට එම නිවසින් වහනය වූයේ ඉවසාගත නොහැකි දුගඳකි. ඊට අමතරව නිලමැස්සන්ද පොදියට වසා සිටියේය. පොලිස් නිලධාරීන් එම නිවස වටා පරීක්ෂා කළේය. ටකරන්වලින් යුත් ඉදිරිපස දොර සහ ලෑලිවලින් යුත් පිටුපස දොර ද ‘ලොක්‘ කර වසා දමා තිබිණි. නිවසට ඇතුළුවීමට නම් දොරවල් කැඩිය යුතු බව පොලිස් නිලධාරින්ට හැඟී ගියේය.

කඳාන පොලිස් නිලධාරීන් විසින් දොර කැඩීමට ප්‍රථම පොලිස් ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් සහ කැලණිය අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ (SOCO) පොලිස් පරීක්ෂක සම්පත් සේනාධීර ඇතුළු නිලධාරි කණ්ඩායමක් ද එහි කැඳවීමට කඳාන පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් පැමිණි පසු ඉදිරිපස දොර අගුලුලා තිබූ ඉබි අගුලෙහි ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමෙන් පසු දොර අගුල පොලිස් නිලධාරීන් විසින් කඩා දමන ලදි.

නිවස තුළට ගිය පොලිස නිලධාරීන් දුටුවේ මිහිපිට අපායකි. කාන්තාවක ප්ලාස්ටික් කබඩයකට හේත්තු වී මියගොස් සිටියාය. එය දින කිහිපයකට පෙර සිදු වූ මරණයකි. අසල්වාසීන්ගේ ප්‍රකාශ සටහන් කර ගත් පොලිස් නිලධාරින්ට දැනගන්නට ලැබුණේ මරණයට පත්ව සිටි කත ලෙච්චමි නමැත්තියක් බවය. ඇය කඳානේ ‘ස්පා‘ මධ්‍යස්ථානයක සේවය කරන්නියක් බවට ද හෙළිදරව් විය.

පොලිස් නිලධාරීන් අදාළ ස්පා මධ්‍යස්ථානයට ගොස් එම කත ගැන තොරතුරු විමසීය. ඇය කරුපන්නන් විජය ලෙච්චමි නමැති 39 හැවිරිදි කතකි. ස්පා මධ්‍යස්ථානයේ අය ඇය අමතනුයේ ‘සානු‘ නමිනි. විජය ලෙච්චමි සිවුදරු මවක් බවට ද හෙළිදරව් විය.

රත්නපුරේ පදිංචි කතක වන ඇගේ ඥාතීන් ද රත්නපුරේ සිට කඳානට එන්නේ ඇගේ මරණය ගැන පොලිසිය ඔවුන්ට කළ දැනුම් දීම නිසාය. ලෙච්චමිගේ සහෝදරියන් පිරිසක් එසේ කඳානට පැමිණි පසු වැලිසර මහේස්ත්‍රාත්වරයා පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළේය. මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ ලෙච්චමිගේ මරණය මිනීමැරුමක් බවය.

කඳාන පොලිසියේ අපරාධ විමර්ශන නිලධාරින්ට අසල්වාසීන් පවසන්නේ ලෙච්චමි සමඟ එම නිවසේ වාසය කළ සරත් නමැත්තෙක් ගැන තොරතුරු පවසමිනි.

“සර්… අපි 20 උදේ පල්ලියේ පෙරහර බලලා එනකොටත් ඔය ‘සරත්‘ කියන මනුස්සයා ඒ ගෙදර ඉන්නවා දැක්කා…“ යැයි එදින අලුයම කඳාන ප්‍රධානතම පල්ලියේ පෙරහර මංගල්‍යය නරඹා ගිය කීපදෙනෙක් පොලිස් නිලධාරින්ට හෙළිදරව් කළේය.

අනතුරුව විමර්ශන නිලධාරීන් සරත් නමැති පුද්ගලයා ගැන සොයන්නට විය. එහෙත් ඔහුගේ කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට ඒ මොහොතේ පොලිස් නිලධාරින්ට නොහැකි විය. නැවත පොලිස් නිලධරයෝ ‘ස්පා‘ මධ්‍යස්ථාන හිමිකාරියගෙන් ප්‍රකාශයක් ලබා ගත්හ.

“සර්… 20 වැනිදා දවල් දෙකට විතර ඔය සරත් කියන කෙනා කෝල් එකක් දුන්නා… ඒ වෙලාවේ ඒ මිනිහා අඬ අඬා කිව්වා, ‘මං සානු මැරුවා‘ කියලා… මම ඇහුවා ‘කෝ… දැන් සානු‘ කියලා. ‘මං දන්නෙ නෑ සානු කොහේද කියලා ඒ මනුස්සයා කිව්වා සර්…“

ස්පා මධ්‍යස්ථාන හිමිකාරිනිය සරත් නමැත්තාගේ එම දුරකතන ඇමැතුම ගැන එතරම් තැකීමක් නොකර ඇත්තේ වෙනත් දිනවලද සරත් මත්පැන් පානයකොට ලෙච්චමිට කරදර කරන බව දැනගෙන සිටි හෙයිනි.

එදින සරත් ස්පා හිමිකාරිනියට කතා කළ දුරකතන අංකය ස්පා මධ්‍යස්ථානයේ තිබිණි. පොලිස් නිලධාරීන් එම දුරකතන අංකයට ඇමැතුමක් ගත්ත ද දුරකතනය ක්‍රියා විරහිත කර තිබිණි. එම පුද්ගලයා ඇඹිලිපිටියේ පදිංචි අයෙක් බවට ස්පා මධ්‍යස්ථානයෙන් හෝඩුවාවක් ලැබුණ ද ඔහු ඇඹිලිපිටියේ කුමන ඉසව්වකද යන්න කිසිවෙක් දැන සිටියේ නැත.

මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණය සිදුකොට මළ සිරුර රෝහලට යැවීමෙන් පසු පොලිස් නිලධාරීන් මුළු නිවසම පරීක්ෂාවක් සිදු කරන ලදි. මළ සිරුර හේත්තු කර තිබූ ප්ලාස්ටික් කබඩයේ එක් ලාච්චුවක තිබී පොලිස් නිලධාරින්ට හමු වූයේ යතුරුපැදියක ආදායම් බලපත්‍රයකි. එහි නම සටහන් වූයේ සරත්චන්ද්‍ර ලෙසිනි. එතෙක් සියලු දෙනා දැනගෙන සිටියේ සරත් යන නම පමණි. එම පුද්ගලයාගේ සත්‍ය නාමය සරත්චන්ද්‍ර බව ඉන් හෙළි විය. ආදායම් බලපත්‍රයේ ලිපිනය සඳහන් ඇඹිලිපිටියේ, සුදුගල එම නිවස ගැන තෙරතුරු සොයා බලද්දී සරත්චන්ද්‍ර එම නිවසට ගිය බවට තොරතුරු නොවීය. එහෙත් ඔහු ඇඹිලිපිටියට පැමිණි බවට තොරතුරු කඳාන පොලිස් නිලධාරින්ට ලැබිණි. ආදායම් බලපත්‍රය ඔස්සේ ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය සොයා ගැනිණි. එම ජාතික හැඳුනුම්පත් අංකය ඔස්සේ ලබාගත් දුරකතන සිම්පත් ගැන සොයද්දී වෙනත් සිම්පතක් ගැන අනාවරණය වීමත් සමඟ එම සිම්පත සක්‍රිය තත්ත්වයේ බවද ඔහු එය භාවිත කරන බවත් හෙළි විය.

පොලිස් නිලධාරීන් එම සිම්පතෙහි දුරකතන කුලුනු දත්ත වාර්තාවක් ලබාගෙන සොයා බලද්දී ඔහු ඇඹිලිපිටිය ප්‍රදේශයේ සැරිසරන බවට අනාවරණය විය. ඒ වන විට ලෙච්චමි ඝාතනයට ලක්ව සතියක පමණ කලක් ද ඉක්ම ගොසිනි. පොලිසිය සොයාගත් දුරකතන සිම්පතට අදාළ දුරකතන අංකයෙහි දත්ත වාර්තාවක් ලබා ගැනීමත් සමඟ එම අංකයෙන් පසුගිය දිනවල වැඩිපුර ඇමැතුම් ගත් අංකයක් හෙළිදරව් විය.

අනතුරුව පොලිස් නිලධාරීන් එම දුරකතන අංකයේ තොරතුරු සොයා ගියේය. ඉන් අනාවරණ්‍ය වූයේ එම සිම්පත භාවිත කරන්නේ ඇඹිලිපිටියේම කාන්තාවක බවය.

කඳාන පොලිස් නිලධාරීන් ඇඹිලිපිටියේ සිටින එම කත පදිංචි ස්ථානය පුළුල් විමර්ශනයකින් පසු සොයා ගැනීමට සමත් විය. එම කත ද ඇඹිලිපිටියේ සුදුගල ප්‍රදේශයේම කාන්තාවකි. ඒ සමඟම කඳාන ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් සහ අවසරය මත කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ සහ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී.එස්. ප්‍රියන්ත සමඟ කොස්තාපල්වරුන් වන (49386) ප්‍රියන්ත, (18663) සුදුසිංහ යන නිලධාරින් එම කතා සොයා ඇඹිලිපිටියට ගියේ පොලිස් නිලධාරින්ගේ කැපවීම ‘මොනවට‘ පසක් කරමිනි.

ඇඹිලිපිටියට ගිය පොලිස් නිලධාරීන් එහි රැඳෙමින් එම කත ගැන සොයා බැලීය. ඒ ඇය යන-එන තැන් ගැන ද විපරම් කරමිනි. එහිදී හෙළිදරව් වූයේ ඇය දිනපතා අලුයම රැකියාවකට යන බවත් පසුගිය දින කීපයක සිට එකී කත හමුවීමට දිනපතා ම පාහේ පුද්ගලයකු ද පැමිණෙන බවත්ය.

මේ සියල්ල කඳාන පොලිස් නිලධාරීන් ඇඹිලිපිටියට ගොස් දින දෙකකින් පමණ සොයා ගැනීමට සමත් විය.

දිනය ඉකුත් පෙබරවාරි මස 21 වැනිදාය. එදින පෙරවරුවේ පොලිස් නිලධාරීන්ට තොරතුරක් ලැබුණේ එම කත රැකියාවට යද්දී එදින මඳක් සෝදිසියෙන් සිටින ලෙස සඳහන් කරමිනි. විමර්ශන නිලධාරින් එදින ඇය යන්නෙ කුමන ඉසව්වකට ද යන්න සොයමින් ඇයට හොර රහසේ පසුපසින් ගමන් කරන්නට විය. එම කත එදින පෙරවරුවේ බසයකට නැඟ ඇඹිලිපිටිය නගරයට යද්දී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පෞද්ගලික රථයකින් එම බස් රථය පසුපසින්ම ගියේය. එම කත ඇඹිලිපිටිය නගර මධ්‍යයෙන් බසයෙන් බැස අතුරු මඟක් ඔස්සේ ඉදිරියට ගියේ ත්‍රිරෝද රථ අංගණයක් වෙතයි.

ඇය පසුපසින් රථයේ පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද පා ගමනින් ඇය පෙනෙන මානයට ගියේ කිසිවකුට සැකයක් නොසිතන ලෙසිනි. ඒ වන විට පොලිස් නිලධාරීන් සරත්චන්ද්‍ර නමැත්තාගේ ඡායාරූප සොයාගෙන තිබුණේ ස්පා මධ්‍යස්ථානයේ අය මාර්ගයෙනි. රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් දුටුවේ කත සිටි ස්ථානයට ත්‍රිරෝද රථයකින් පැමිණි එක් පුද්ගලයකු බසින ආකාරයයි. පොලිස් නිලධාරින්ට සිහිපත් වූයේ ස්පා මධ්‍යස්ථානයේ අය පෙන්නූ ඡායාරූපයයි.

එසැණින් කාන්තාව අසලට දිව ගිය පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ අසල සිටි ත්‍රිරෝද රථයෙන් බැසගත් පුද්ගලයා අල්ලා ගත්තේ කිසිවකුට කිසිවක් සිතාගත නොහැකි විලසිනි. එලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ ලෙච්චමි ඝාතනයකොට හරියටම මසක පමණ කලක් කට්ටි පනිමින් සිටි සරත්චන්ද්‍රය. ඔහු ‘පේන්ට්‘ බාස් කෙනෙක් ලෙස රැකියාව කළ අයෙකි.

අත්අඩංගුවට ගත් සරත්චන්ද්‍ර ලෙච්චමි ඝාතනයට මුල් වූ සියල්ල අකුරක් නෑර පොලිස් නිලධාරීන් ඉදිරියේ පාපෝච්චාරණය කෙළේය. ඒ අනුව ලෙච්චවි සරත්චන්ද්‍ර සමඟ ගෙවූ දිවිය අවසන් වූ ආකාරය සටහන් වන්නේ මෙලෙසිනි.

කරුපන්නන් විජය ලෙච්චමි 39 හැවිරිදි රත්නපුරේ පදිංචි කාන්තාවකි. ඇය සිවුදරු මවකි. පළමු විවාහයෙන් වෙන්ව සිටී. එම විවාහයෙන් ඇයට ගැහැනු දරුවන් දෙදෙනෙකි. අවුරුදු 18, 20 වැනි වයස්වල පසුවන එම දරුවන් මේ වන විට විවාහ වී වෙන්ව සිටී. ලෙච්චමි මීට වසර දහයකට පමණ පෙරදී බත්තරමුල්ලේ නිවසක කුඩා දරුවකු බලාකියාගෙන සිටියාය. එම නිවසට යාබද නිවසක ‘පේන්ට්‘ වැඩ සඳහා පැමිණි සරත්චන්ද්‍ර ඇයට මුණ ගැසුණේ ඒ අතරතුරදීය. ඒ සමඟම දෙදෙනා අතර අනියම් සබඳතාවකට මුල පිරිණි.

ඇඹිලිපිටියේ අයෙක් වන 42 හැවිරිදි සරත්චන්ද්‍ර ද මුලින් විවාහ වී සිටි බිරියගෙන් වෙන්ව සිටියේය. කල් යද්දී විජය ලෙච්චමි සහ සරත්චන්ද්‍ර එක් වහලක් යට ජීවත් වෙද්දී ලෙච්චමි ඔහුට දාව පිරිමි දරුවන් දෙදෙනකු ද බිහි කළාය. මේ වන විට එම දරුවන් දෙදෙනාගේ වයස අවුරුදු 8ක් 10ක් පමණය. ලෙච්චමි සහ සරත්චන්ද්‍ර කුලී පදනම මත පදිංචියට ආවේ කඳානේ, වීදිය මාවතේ නිවසකටය. ඒ මීට වසරකට පමණ පෙරදීය. කඳානට පැමිණි පසු ලෙච්චමි ද රැකියාවකට ගියාය. ඇය කඳානේ ‘ස්පා‘ මධ්‍යස්ථානයක රැකියාව කළාය.

එම ‘ස්පා‘ මධ්‍යස්ථානයට ආගිය තරුණයෙක් විය. ඔහුගේ නම සුමින්දය. කටුනායක බෝඩිමක වාසය කළ සුමින්ද 19 හැවිරිදිය. නිතර ලෙච්චමි සේවය කළ ස්පා ආයතනයට එන-යන සුමින්ද කල් යද්දී ලෙච්චමි සමඟ හිතවත්කමක් ගොඩනඟා ගත්තේය.

ඉකුත් දෙසැම්බර් 25 වැනිදා ලෙච්චමි සිය නිවසේ පුංචිපහේ සාදයක් සූදානම් කළාය. එම සාදයට ලෙච්චමි සුමින්දට ද ආරාධනා කළේය. ඔහු පැමිණියේ ලෙච්චමි සමඟ ස්පා මධ්‍යස්ථානයේ රැකියාව කරන සීදූවේ බෝඩිමක සිටින තවත් කාන්තාවක සමඟිනි. ඔවුන් දෙදෙනා යහළු-යෙහෙළියන් ලෙස හඟවමින් ලෙච්චමි නිවසට ගෙන්වා ගත්තේ සරත්චන්ද්‍රට සැකයක් නොසිතෙන අයුරිනි.

ලෙච්චමිගේ නිවසට පැමිණි සැණින් සුමින්ද සමඟ පැමිණි කතා සුමින්ද හඳුන්වා දුන්නේ ‘මේ මගේ යාළුවෙක්‘ යැයි කියමින් කිසිවකුටත් සැක නොසිතෙන ලෙසිනි. එහෙත් එම සාදයෙන් පසු ලෙච්චමි සහ සුමින්ද පිළිබඳ සරත්චන්ද්‍රට යම් යම් සැකසංකා ඇතිවන්නට විය.

දිනය පසුගිය ජනවාරි 19 වැනිදාය. එදින කඳානේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මංගල්‍යය ද යෙදී තිබූ දිනයයි. 19 වැනිදා සවස් යාමයේ ලෙච්චමි ස්පා මධ්‍යස්ථානයේ සේවයට ගියාය. පසුදා එනම් 20 වැනිදා අලුයම සේවය නිම කළ ලෙච්චමි කඳානේ නිවසට නොපැමිණ ඇය ගියේ කටුනායක සුමින්දගේ බෝඩිමටය. ඒ වන විට ඈ සමඟ සිටි ඇගේ දරුවන් දෙදෙනා ද පාසල් නිවාඩුව හෙයින් ලෙච්චමිගේ විවාහ වී සිටින දියණියකගේ නිවසට ගොස් සිටියේය.

20 වැනිදා පෙරවරුවේ සුපුරුදු ලෙස නිවසට පැමිණෙන ලෙච්චමිගේ නොපැමිණීම නිසා කලබලයට පත් සරත්චන්ද්‍ර ඇය සොයා ගියේ කටුනායක සුමින්දගේ බෝඩිමටය. ඒ වන විට ලෙච්චමි සහ සුමින්ද බෝඩිම් කාමරයේ විය.

“ලෙච්චමි ඔයාට… ප්‍රශ්න තියෙනවනේ… ඔයා එහෙ යන්නෙ නැතිව මාත් එක්ක මෙහේ ඉන්න…“ සුමින්ද එලෙස කීවේය. එහෙත් එම වදන්වලට පිටුපා ලෙච්චමි සරත්චන්ද්‍ර සමඟ නැවත කඳාන නිවසට යාමට කැමැති වූවාය.

ඒ මොහොතේ සුමින්ද තම ජංගම දුරකතනය පොළොවේ ගසමින් කේන්තිය පිටකළ ද සරත්චන්ද්‍ර ගැටුමකට නොයමින් එම ස්ථානයෙන් ලෙච්චමි සමඟ පිටව ගියේ සුහද ලෙසය. දෙදෙනා නිවසට පැමිණ විනාඩි කීපයක් ගත වූවා පමණි. ලෙච්චමිට සුමින්දගෙන් දුරකතන ඇමැතුමක් ලැබිණි.

“ලෙච්චමි මට ඔයා නැතුව ඉන්න බෑ… මම ඔයා නැතිවුණොත් මගේ ජීවිතෙත් නැති කර ගන්නවා…“ යැයි සුමින්ද බැගෑපත් වෙමින් පැවැසීය.

එසැණින් ලෙච්චමි, “මේ සරත්… මට ඔයත් එක්ක ඉන්න බෑ… මම යනවා සුමින්ද ළඟට…“ යැයි පවසමින් සරත්චන්ද්‍රට නෝක්කාඩු කියන්නට වූවාය.

සරත්චන්ද්‍ර – ලෙච්චමිට බොහෝ ආදරයෙන් සිටි අයෙකි. ලෙච්චමිගේ එම වදන් සමඟ ඔහුව යක්ෂාරූඪ විය. ඒ සමඟම නිවසේ පිටුපස දොර හිරකර වැසීමට භාවිත කරන යකඩ පොල්ල ගත් සරත්චන්ද්‍ර ඉන් පහරක් ලෙච්චමිට එල්ල කළේ කිසිවක් නොසිතමිනි. එසැණින් කිසිම හා-හූවක් නොමැතිව ඇද වැටුණු ලෙච්චමිගේ සිරුර ඔසවා අසල ප්ලාස්ටික් කබඩයට හේත්තු කළ සරත්චන්ද්‍ර පිටුපස දොර ලෙච්චමිට පහර දුන් යකඩ පොල්ල තබා සිරකොට ඉදිරිපස දොර ද දම්වැලක් දමා ඉබි යතුරු දමා පලා ගියේ ඇඳුම් පැලඳුම් ද රැගෙනය. ඒ යන අතර, සරත්චන්ද්‍ර ලෙච්චමි රැකියාව කළ ස්පා මධ්‍යස්ථාන හිමිකාරිනියට ද දුරකතන ඇමැතුමක් දෙමින් පවසා තිබුණේ ඇය මරා දැමූ බවය.

“තමුන් ලෙච්චමි මරලා කොහේද ගියේ…?“ පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කළේය.

“සර් මං කඳාන ටවුමට ගියා… ෆෝන් එක ඔෆ් කරගෙන බස් එකකට නැඟලා රෑ වෙනකොට ඇඹිලිපිටියේ ගෙදර ආවා… ඇවිල්ලා ගෙදර අයටත් මේ විස්තරේ ටිකක් කිව්වා සර්…“ සරත්චන්ද්‍ර බැගෑපත් ලෙස පවසන්නට විය.

“මොනවද ගෙදර අයට කිව්වේ..?“ පොලිස් නිලධාරීන් විමසීය.

“මං ලෙච්චමිට පාරක් ගැහුවා… මැරුණ ද දන්නෙත් නෑ… පස්සේ මං එයා ගැන බල බලා හිටියේ නෑ… බස් එකක නැඟලා කෙළින්ම ගෙදර ආවා කියලා කිව්වා සර්.. පස්සේ දවස් දෙකක් විතර ගියාම ෆෝන් එකේ සිම් එකත් විසි කරලා දැම්මා සර්…“ යැයි ඔහු පැවැසීය.

එසේ ලෙච්චමි ඝාතනය කර දින තුනකට පමණ පසු සරත්චන්ද්‍ර ස්පා මධ්‍යස්ථානයට ද දුරකතන ඇමැතුමක් දෙමින් එහි හිමිකාරිනිය ඇතුළු ලෙච්චමිගේ යහළුවන්ට පවසා ඇත්තේ, “උඹලා තමයි මේ ඔක්කොම කළේ… උඹලටත් කරන්නෙ සානුට කළ දේම තමයි…“ කියමින් තර්ජනය ද කර තිබිණි.

අනතුරුව සරත්චන්ද්‍ර ඇඹිලිපිටියට පැමිණ සූරියවැව හේනක සැඟව සිටිමින් කල් ගත කරද්දී තවත් කාන්තාවක මුණගැසීමට යාමේදී කඳාන පොලිස් නිලධාරීන්ට කොටුවූයේ එම නිලධාරීන් සිදු කළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

සරත්චන්ද්‍රගේ පහරෙන් ලෙච්චමි ඉතා අවාසනාවන්ත ලෙස මෙලොව හැර යද්දී සරත්චන්ද්‍රට මහඋළු ගෙදර උරුම වෙද්දී දෙදෙනාගේ දරු පැටවුන් දෙපළගේ කලදවස මොන තරම් ඛේදනීය ද?

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධනගේ උපදෙස් මත කැලණිය III සහකාර පොලිස් අධිකාරි ධනංජය පෙරමුණගේ අධීක්ෂණයෙන් කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි හේවාවිතාරණ, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කේ.ජී.එස්. ප්‍රියන්ත, කොස්තාපල්වරුන් වන (49386) ප්‍රියන්ත, (18663) සුදුසිංහ යන නිලධාරීහු විමර්ශන සිදු කළහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division