Home » ක්‍රිකට් ලොවම හොල්ලන සංගීත පවුලේ බඩ පිස්සා

ක්‍රිකට් ලොවම හොල්ලන සංගීත පවුලේ බඩ පිස්සා

by Mahesh Lakehouse
February 24, 2024 12:30 am 0 comment

තීෂ පතිරණ යළි ජාත්‍යන්තර අවධානයට ලක් වී සිටි. පසුගිය වසරේදී අයිපීඑල් පිටිය දෙවනත් කළ මේ යොවුන් වේගපන්දු යවන්නා කෙරෙහි මෙවර ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත්තේ පසුගියදා නිමාවට පත් වූ සංචාරක ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේ පළමු තරගයේදී ඔහු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙනි. දෙවැනි තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබූ ඔහු කඩුලු 4ක් දවාලමින් තරගයේ වීරයා බවට පමණක් නොව එදින දඹුල්ල ක්‍රීඩාංගණයට රැස්ව සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ වීරයා බවට ද පත් විය. ඊට පෙර අයිපීඑල් පිටියේදී ඔහුගේ දස්කම් කෝටි සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන් දැකබලා ගත්ත ද, මෙරට ක්‍රීඩාලෝලීන් මතීෂගේ පන්දු යැවීමේ දස්කම් සියැසින් දුටු පළමු අවස්ථාව එය විය. තවමත් විස්සයි20 තරග බිමට කෝඩුකාරයකු වුවද මතීෂගේ ජනප්‍රියත්වය ඉහළ යෑමට ඉවහල් වී ඇත්තේ ඔහු Death Overs විශේෂඥයකු වීම නිසාය.

සැබැවින්ම ඔහු දැන් ඇති වීම හෝ නැතිවීම තීන්දු කෙරෙන මාරාන්තික ඕවර කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක පන්දු යැවීමේ තුරුම්පුවකි. එය ඔහු ප්‍රගුණ කරනු ලැබුවේ අයිපීඑල් පිටියේදී බව නම් නොකියාම බැරි ය. 2022 අගෝස්තුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පළමු වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගයෙන් විස්සයි20 තරග බිමට අවතීරණ වූ මතීෂ ඊයේ පෙරේදා යළි ඇෆ්ගනිස්තානයටම එරෙහිව දඹුල්ලේදී කඩුලු 4ක් දවාලුවේ සිය දෙවැනි තරගයට ක්‍රීඩා කරමිනි. එම කාල සීමාව ඇතුළත ඔහුට ශ්‍රී ලංකා පිලට ඇතුළත් වීමේ අවස්ථාවක් නොලැබුණු අතර, එම කාලය තුළ දස්කම් මුවහත් කරගත්තේ අයිපීඑල් පිටියේදීය.

මේ ශ්‍රී ලාංකික මැණිකට හැඩතල දී කපා ඔපමට්ටම් කිරීමේ ගෞරවය හිමි විය යුතු වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනිට ය. ඔහුගේ පන්දු යැවීමේ හැකියාව වඩාත් හොඳින් අවබෝධ කරගත් දෝනි පසුගිය වසරේ අයිපීඑල් පිටියේ තීරණාත්මක තරගවලදී අවසන් ඕවරය යැවීමේ වගකීම බාර කළ අතර අවසානයේ චෙන්නායි පිලට අයිපීඑල් කුසලානය දිනා ගැනීමට එය ප්‍රබල සාධකයක් බවට ද පත් විය.

මුලදී මතීෂ කෙරෙහි කාගෙත් අවධානය යොමු වූයේ ඔහු ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යැවීම නිසාය. පසුගිය දශකයේදී සිය වේග පන්දුවෙන් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ අණසක පැතිර වූ මාලිංගගේ අසාමාන්‍ය ඉරියව්ව එවකට ක්‍රිකට් පිටියට අවතීරණ වූ කෝඩුකාර පන්දු යවන්නන් පවා අනුකරණය කිරීමට පටන් ගෙන තිබිණි. එහෙත් ඔහුගේ පියා අනුර පතිරණ කියන්නේ මතීෂ එම ඉරියව්වෙන් පන්දු යැවීමේ නිරත වූව ද, ඔහු එවකට ලසිත් මාලිංග ගැන දැන නොසිටි බවය. ඇරත් ඔහු මේ අසාමාන්‍ය ඉරියව්වෙන් පන්දු යැවීම ආරම්භ කරද්දී මාලිංග පන්දු යවන අයුරු පවා දැක නොතිබූ බව ය.

‘මාලිංග බෝල් කරන්නෙත් මේ විදිහට කියලා දැනගත්තට පස්සේ මතීෂගේ ක්‍රිකට් වීරයා වුණේ මාලිංග තමයි. පස්සේ කාලෙක මාලිංග එයාට මුණගැහිලා තිබුණා. ඒ වගේම ගොඩාක් උදව් උපකාර කළා. අදටත් එහෙමයි‘ අනුර පතිරණ එසේ කීවේය.

ඇෆ්ගනිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලියෙන් ශ්‍රී ලංකාව තරග 2-1කින් ජයග්‍රහණය අත්කර ගත් අතර, මතීෂ තරගාවලිය පුරා කඩුලු 8ක් බිඳ දමමින් වසර 5ක් පැරැණි මාලිංගගේම වාර්තාවකුත් බිඳ දැමුවේය. මීට පෙර රටවල් දෙකක් අතර තරග 3ක විස්සයි20 තරගාවලියක ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වූයේ මාලිංග ය. ඔහු 2019 නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලියේදී කඩුලු 7ක් දවාලමින් නුවන් ප්‍රදීප් (2019 පාකිස්තානයට එරෙහිව) සහ දුෂ්මන්ත චමීර (2022 ඔස්ට්‍රේලියාවට එරෙහිව) සමඟ එහි සම වාර්තාවට හිමිකම් කීවේය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් අතර ‘පොඩි මාලිංග‘ නමිනුත්, ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතර ‘බේබි මාලිංග‘ නමිනුත් ආදරයට පාත්‍ර වී සිටින මතීෂ අතින් අනාගතයේදී බිඳ වැටෙන වාර්තා ගොන්නේ ආරම්භය ද එය වේ.

වසර 2002 දෙසැම්බරයේ 18 වැනිදා මහනුවරදී උපන් මතීෂ මුලින්ම පාසල් ගියේ ගොහාගොඩ ජනාධිපති ආදර්ශ පාසලටය. ඔහුගේ ක්‍රිකට් දිවියට අඩිතාලම වැටුණේ රණබිම රාජකීය විදුහලට ඇතුළත් වීමෙන් පසුවය. එය හඳුනා ගන්නේ එවකට රණබිම රාජකීය විදුහලේ ක්‍රිකට් පුහුණුකරු සම්පත් ද සිල්වා ය.

‘මට මතීෂව මුලින්ම හමුවුණේ 2013 අවුරුද්දේ. ඒ අවුරුද්දේ තමයි මමත් රණබිම රාජකීය විදුහලේ ක්‍රිකට් පුහුණුකරු විදිහට වැඩ පටන් ගත්තේ. මතීෂලා තමයි මගේ මුල්ම කණ්ඩායම වුණේ. එයාව අවුරුදු 13න් පහළ ටීම් එකට ඇතුළත් කළාට පස්සේ දෙවැනි තරගයේදීම එයා සාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කඩුලු 6ක් ගත්තා. ඒ කාලෙත් ඔය ඉරියව්වෙන්ම තමයි පන්දු යැව්වේ. එයා තමයි අපේ ටීම් එකේ එතකොට ආරම්භක පන්දු යවන්නා. ඒ වගේම ආරම්භක පිතිකරුවාත් මතීෂයි. එයා හොඳ පිතිකරුවෙක්. මේ දෙපැත්තම එයා හොඳට දියුණු කරගෙන ආවා. ඒ නිසාම 15න් පහළ සෙල්ලම් කරද්දිම මම එයාව පළමු පෙළ ටීම් එකටත් තෝරාගත්තා. වතාවක් වික්‍රමබාහු විදුහලට එරෙහි තරගයකදී කඩුලු 8ක් ගත්තා. එනිසාම ජාතික යොවුන් වේගපන්දු ඇකඩමියටත් එයා තේරුණා.‘ සම්පත් ද සිල්වා අතීතය සිහිපත් කළේ එලෙසිනි.

මහනුවර ත්‍රිත්ව විදුහලට ඇතුළත් වීමෙන් පසු මතීෂගේ ක්‍රිකට් දිවිය වැඩිදුරටත් මුවහත් විය. ඔහු ත්‍රිත්ව විදුහලේ පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු තරගයේදීම මාතර සර්වේෂස් විදුහලට එරෙහිව කඩුලු 7ක් දවාලීමට සමත් විය.

‘මතීෂ කියන්නේ පුදුම කැපවීමකින් යුතුව පුහුණු වෙලා ඉදිරියට ගිය ක්‍රීඩකයෙක්. අපි සාමාන්‍යයෙන් ඕනෑම තරගයක් වීඩියෝ කරනවා. එදා එයා කඩුලු 7ක් බිඳ දැමූ සර්වේෂස් තරගයත් අපි වීඩියෝ කළා. ඊට පස්සේ ඒක සංස්කරණය කරලා මුහුණුපොතට මුදා හැරියා. ඒක ඒ කාලයේ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ වීඩියෝ පටය නිසාම තමයි චෙන්නායි සුපර් කිංග්ස් පිලේ අවධානය ලැබුණේ. ‘ ත්‍රිත්ව විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කළ කාවින්ද ජයසූරිය එසේ සඳහන් කළේය.

මතීෂගේ කවුරුත් කතා කරන පන්දු යැවීමේ දස්කම්වලට අමතරව ඔහුගේ පිතිහරඹ දක්ෂතා ගැනත් කාවින්ද සිහිපත් කළේය. ‘ එයා රණබිම රාජකීය විදුහලේ ක්‍රීඩා කරද්දී ආරම්භක පිතිකරුවෙක් විදිහට සෙල්ලම් කරපු නිසා අපි එයාව පළමු පෙළ තරගවලදී පින්ච් හිටර් කෙනෙක් විදිහට පිති හරඹ ලැයිස්තුවේ ඉහළින් යවපු අවස්ථා තිබුණා.‘

2022 වසර මතීෂගේ ක්‍රිකට් ජීවිතයේ වාසනාවන්ත වසරකි. ඔහු එම වසරේදී ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ අතර, දුනිත් වෙල්ලාලගේ නායකත්වය දැරූ එම තරගාවලියට ශෙවොන් ඩැනියෙල්, රනුද සෝමරත්න සහ රවීන් ද සිල්වා වැනි යොවුන් ක්‍රීඩකයෝ ද එක් වී සිටියහ. ඔහු යොවුන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ දෙවැනි අවස්ථාව එය විය. ඊට පෙර ඔහු පළමුවරට 2020 දී නිපුන් ධනංජයගේ නායකත්වයෙන් 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. ඩිල්ෂාන් මධුශංඛ ද එම කණ්ඩායමට ඇතුළත්ව සිටියේය.

‘19න් පහළ සංචිතයේ පුහුණුවිම්වලට යද්දී චමින්ද වාස් මට කතා කළා.‘ මතීෂගේ පියා අතීත සිදුවීමක් සිහිපත් කළේය.

‘චමින්ද වාස් තමයි එතකොට ඒ සංචිතයේ වේගපන්දු යැවීමේ පුහුණුකරු. එයා මට කතා කරලා කිව්වා මතීෂව ‍‍කොළඹට දෙන්න කියලා. එයා හැමදේම බලාගන්නම් කියලා. ඇත්තටම අපිත් කැමැති වුණා. ඒත් ත්‍රිත්ව විදුහලට ගියාට පස්සේ ඒ අදහස වෙනස් කරගන්න සිද්ධ වුණා. එක අතකින් එහෙම වුණු එක හොඳයි. මොකද පුතාට අපිත් එක්ක දිගටම ඉන්න ලැබුණු නිසානේ හිටියේ.‘

පාසල් පිටියෙන්ම අයිපීඑල් තරග බිමට එක්වීමේ වාසනාව ලැබූ මතීෂ 2022 වසරේදී සිය පළමු අයිපීඑල් අත්දැකීම විඳගත්තේය. අනතුරුව ඊළඟ වසරේ අයිපීඑල් තරගාවලිය අවසන් වනතුරු ඔහුගේ ක්‍රිකට් ජීවිතය ඔපමට්ටම් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟිනි.

මතීෂ පතිරණ පවුලේ බඩපිස්සා ය. ඔහුට වැඩිමල් සොහොයුරියන්ම දෙදෙනෙකි. පසුගිය වසරේ අයිපීඑල් අවසන් තරගයට පෙර පතිරණ පවුලම චෙන්නායි ගියේය. චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි ද මුණගැසුණේය. යොවුන් මතීෂගේ සෙවණැල්ල සේ පසුපසින් සිටි දෝනි පමණක් නොව මුළු චෙන්නායි සුපර් කිංග්ස් පවුලම මතීෂට එක වගේ ආදරය කළ බව ඔවුහු දැකගත්හ. පතිරණ පවුලේ බඩපිස්සා චෙන්නායි පිලේ ද බාලයා විය.

‘මතීෂ ගැන බයවෙන්න එපා. එයා නිතරම මාත් එක්කයි ඉන්නේ. මම එයාව හොඳින් බලාගන්නම්.‘ මහේන්ද්‍ර සිං දෝනි එසේ කී බව ලොකු අක්කා විෂූකා සමාජ මාධ්‍යජාලයේ එසේ සටහන් කර තිබුණේ පවුලේ සාමාජිකයන් සහ දෝනි එක්ව ගත් ඡායාරූපයක් ද පළ කරමිනි. ‘මල්ලි චෙන්නායිවල ආරක්ෂා සහිතව ඉන්න බව මට දැන් සහතිකයි‘ ඇය එසේ ද සටහන් කර තිබිණි.

චෙන්නායි සුපර් කිංග්ස් පිලේ දී මතීෂ තවත් බොහෝ දේ ඉගෙන ගත්තේය. ඩ්වේන් බ්‍රාවෝ ඔහුට වේගය අඩාළ කර පන්දු යවමින් පිතිකරුවන් හොල්මන් කරන ආකාරය අපුරුවට කියා දුන්නේය. ‘මතීෂගේ පන්දුව මාලිංග තරම් වේගවත් නැති වුණාට එයා පන්දුව මුදාහරින්නේ මාලිංගට සමානවමයි. ඒවා පිතිකරුවන්ට කියවන්න ලේසි වෙන්නේ නෑ‘

පතිරණ පවුලේ ආදරය හා සෙනෙහස මැද හැදී වැඩුණු මේ බඩපිස්සා ක්‍රීඩාවට පමණක් නොව ගායනයට හා වාදනයටත් උපන් හපනෙක් බව පියා කීවේය.

‘පුතාට හොඳට සින්දු කියන්න පුළුවනි. ඒ වගේම පියානෝ වාදනයත් එයා ඉගෙන ගත්තා.‘ ඔහු කීවේය.

මතීෂ පමණක් නොව පතිරණ පවුලම ගායක ගායිකාවෝ වෙති. පියා හිටපු ඩ්‍රම්ස් වාදකයෙකි. ගායකයෙකි. මව ශාලිකා රණසිංහ ද ගායනයට අමතරව රිදම් ගිටාර් වාදන ශිල්පිනියකි. මාපියන් දෙදෙනාම 90 දශකයේ මුල් භාගයේදී ජාතික තරුණ සේවා සභාවේ ‘සැළලිහිණියෝ‘ සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වෙති.

‘ලොකු දුව විෂූකාට පියානෝ වාදනය කරන්න පුළුවනි. පොඩි දුව තාරින්දි වයලින් විශාරද ශිල්පිනියක්. අපි පස්දෙනාටම සින්දු කියන්නත් පුළුවන්. මම මීට කලින් ස්වතන්ත්‍ර ගීත දෙකක් ගායනා කරලා පටිගත කරලා තියෙනවා. තවම එළිදැක්වූයේ නෑ.‘ අනුර පතිරණ එසේ කීවේය. පතිරණ පවුලේ ලොකු දියණිය මෑතකදී විවාහ වූ අතර, ඇගේ විවාහ උත්සවයේදී පවුලම ගී ගැයූහ. ඒවා ද සමාජ මාධ්‍යජාලයේ වැඩි අවධානයකට ලක් වී තිබිණි.

‘ලොකු දුව දැන් අමෙරිකාවේ ඉන්නේ. විවාහයෙන් පස්සේ එයා මහත්තයා එක්ක අමෙරිකාවට ගියා. එහේ පීඑච්ඩී එකක් කරනවා දෙන්නම. පොඩි දුව සොෆ්ට් වෙයාර් උපාධියක් කරනවා‘ ‘අනුර පතිරණ එසේ කීවේය.

ක්‍රිකට් පිටියේ කඩුලු පිට කඩුලු දවාගන්නා පන්දු යවන්නන් අපමණ සිටිය ද, ඒ අතරින් කණ්ඩායමේ පමණක් නොව ක්‍රීඩාලෝලීන්ගේ ද හදවත් ස්පර්ශ කිරීමට සමත් වෙන්නේ අවසන් ඕවර කිහිපයේදී කඩුලු බිඳ දමමින් ප්‍රතිවාදී පිලේ ජයග්‍රහණය ආපස්සට හරවා තබන පන්දු යවන්නෝ ය. 21 හැවිරිදි මේ දකුණත් වේගපන්දු යවන්නා දැන් සිටින්නේ එතැනය. ඔහුගේ පන්දු යැවීමේ වේගය දැන් පැයට කිලෝමීටර් 150 ද ඉක්මවා යන්නකි. එවැනි වේගපන්දු යවන්නන් වර්තමානයේ ජාත්‍යන්තර පිටියේ වැඩිපුර නැත.

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division