Home » මරණ දඬුවම මඟහැරිය බස් රියැදුරුට මාර්ග බාධකයේදී පොලිස් විලංගු වැටුණු හැටි

මරණ දඬුවම මඟහැරිය බස් රියැදුරුට මාර්ග බාධකයේදී පොලිස් විලංගු වැටුණු හැටි

by thanushika
February 24, 2024 12:30 am 0 comment

අපරාධයක් සිදු කරන ඕනෑම අයෙකුට වැඩි කාලයක් සැඟවි සිටීමට නොහැකි බවට සමාජයේ මතයක් ඇත. එයින් කියැවෙන්නේ කුමන හෝ දවසක අපරාධකරු අත්අඩංගුවට පත්වන බවය; නොමැතිනම් ඔහුට දිට්ටධම්මවේදනීය අනුව කර්මය පල දෙන යන බවයි.

සුක්කානම දෑතට ගත් පලියට නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් සිදුවන දරුණු ජීවිත විනාශයන්ට බොහෝ ලෙස වගකිවයුත්තේ රියැදුරන්ය.

මේ ඒ පිළිබඳ කියවෙන තවත් එක්තරා කතාවකි. අධික වේගයෙන් හා නොසැලකිලිමත් අයුරින් හෝ බීමත්ව රිය පදවන අයට මෙය හොඳ පාඩමක් වනවා නො අනුමානය.

දිනය 2009 මැයි 16 වැනිදාය. එදින හිමිදිරි උදෑසන මඩකළපුව, වාලච්චේන ‘අල් ඉස්මා’ පෙර පාසලේ දරුවන් කැටුව මව්පියන් සහ තවත් පිරිසක් මහනුවර බලා පිටත් වූයේ විනෝද චාරිකාවක් සඳහාය. එහෙත් ඔවුනට ඒ ගමනේ වැඩි දුරක් යාමට නොහැකි විය. වැලිකන්ද සෙවණපිටියේ දුම්රිය හරස් මාර්ග බාධකය අසල එකම මළගමක් බවට එදින පත් විය.

පොළොන්නරුව – මඩකළපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය දුම්රිය හරස් මාර්ගය අසලදී මේ අය පැමිණි බස් රථය ජීවිත පහළොවක් බිලිගනිමින් අනතුරට ලක්වූයේ ධාවනය වෙමින් තිබුණු දුම්රියක ගැටීමෙනි.

සෙවණපිටිය දුම්රිය හරස් මාර්ගයේ වසා තිබූ ගේට්ටුවක් කඩාගෙන පිම්මේ ඉගිලෙන්නට ගිය බස් රථය කොළඹ සිට මඩකළපුව බලා ධාවනය වෙමින් තිබූ ඉන්ධන රැගත් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පහළොස්දෙනකු මිය ගියහ. මෙම අනතුරින් කාන්තාවන් අටක් සහ ළමුන් හත්දෙනකු මියගිය අතර තවත් තිස්අට දෙනකු බරපතළ තුවාල ලබා වැලිකන්ද, පොළොන්නරුව සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කරනු ලැබූහ. මෙම දරුණු දුම්රිය – බස් ගැටුමෙන් කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය කරමින් තිබු එන්ජින් අංක 595 දුම්රිය එන්ජිමට සුළු හානි සිදුවූ අතර 63 -2224 දරන පෞද්ගලික බස් රථය මඩකළපුව දෙසට මීටර් 300ක් පමණ ඇදී ගොස් බරපතළ හානි සිදුව ගිනි ගැනීමට ලක්ව පිලිස්සී විනාශ විය.

මෙම අනතුරට හේතුව වූයේ බසයේ රියදුරුගේ නොසැලකිලිමත්භාවය සහ අධික වේගය බව පරීක්ෂණවලින් තහවුරු කර ගත් වැලිකන්ද පොලිසිය අනතුරින් දිවි ගලවා ගත් බස් රථ රියදුරු රෝහල්ගත කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත්තේය. එලෙස අත්අඩංගුවට පත්වූයේ මඩකළපුව, වාලච්චේන, කේ.කේ. පාර ලිපිනයේ පදිංචි එවකට විසිනව වියැති දෙදරු පියකු වූ අබ්දුල් මජීඩ් මොහොමඩ් මුසම්මිල් යන අයෙකි.

අත්අඩංගුවට ගත් රියැදුරු වැලිකන්ද පොලිසිය මඟින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර 2009 මැයි 16 වැනිදා සිට ඔහු 2022 අගෝස්තු 05 වැනිදා දක්වා පොළොන්නරුව මහාධිකරණයේ විභාග කළ නඩුවට ඉදිරිපත් විය. 2009 මැයි 16 වැනිදා සිට 2022 අගෝස්තු 05 දක්වා ඔහු නඩු වාර තිස් එකකට සහභාගී වී තිබෙන අතර 2022 නොවැම්බර් 21න් පසු මජීඩ් පොළොන්නරුව මහාධිකරණයේ විභාග වූ නඩුවට ඉදිරිපත් නොවීය.

අවස්ථා හයකදී මහාධිකරණය මගහැර සිටි රියැදුරුට පොළොන්නරුව මහාධිකරණ විනිසුරු එස්.ඒ.අයි.එස්. සුරවීර විසින් 2023 සැප්තැම්බර් 22 වැනිදා මරණීය දණ්ඩනය නියම කළේය. එතැන් සිට ද අධිකරණය මගහරිමින් සිටි රියැදුරා පුත්තලම ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇති අතර ඔහු විවාහ දෙකක් සිදු කරගෙන ඇති බවට වැලිකන්ද පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. පසුව පොළොන්නරුව මහාධිකරණ විසින් විවෘත වරෙන්තු නිකුත් කරමින් ඔහු අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිකන්ද පොලිසියට නියෝග නිකුත් කළේය.

ඒ අනුව මරණ දණ්ඩනය නියම වූ රියැදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි ප්‍රගති ලක්මිණගේ මෙහෙයවීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්.සියාම්, සැරයන්වරුන් වන (51096) ආර්.එම්.එම්. රත්නායක, (392110) ඩබ්ලිව්.එම්.සී.එස්.වීරසිංහ, (23789) ඒ.එම්.සී.කේ. අත්තනායක, (2952) ටී.ඩී.එම්.එන්. පියසේන යන නිලධාරින් දින හතරකට වැඩි කාලයක් මාර්ග බාධක යොදමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.

ඒ අනුව මරණීය දණ්ඩනය නියම වී සිටින අබ්දුල් මජීඩ් මොහොමඩ් මුසම්මිල් 2024 පෙබරවාරි 14 වැනිදා අලුයම හතරට පමණ කොළඹ සිට කාත්තන්කුඩි බලා ලොරියකින් ගමන් කරමින් සිටියදී වැලිකන්ද පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගැනීමට වැලිකන්ද පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් රියැදුරු පෙබරවාරි 19 වැනිදා පොළොන්නරුව මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ඉදිරි කටයුතු සිදු කළ බව වැලිකන්ද අපරාධ විමර්ශන අංශයේ පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්.සියාම් අප කළ විමසීමකදී සඳහන් කළේය.

මනම්පිටිය නිමල් ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division