Home » මද්දෙන් දඩයම් වී අකාලයේ සමුගන්නා කොටින්ගේ ඛේදවාචකය

මද්දෙන් දඩයම් වී අකාලයේ සමුගන්නා කොටින්ගේ ඛේදවාචකය

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකික කොටියා හෙවත් Panthra padus kotiya තර්ජනයට ලක්වන සත්ත්ව විශේෂයක් වූයේ අද ඊයේ නොවේ. කොතරම් ඒ ගැන අවධාරණය කළ ද කොටි මරණවල අඩුවීමක් නොමැති තරම්ය. IUCN වාර්තාවන්ට අනුව කොටියා රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ 2008 වසරේදීය. මේ වන විට වසර 15 ක් ගත වී ඇතිද කොටියා තවමත් වඳ වී යාමේ දැඩි අවදානමකට ලක් වූ සත්ත්ව විශේෂයක් ය යන කාණ්ඩයෙන් ගැලවී නැත්තේය. වනජීවී දෙපාර්තමේන්තු දත්තවලට අනුව 2010 වසරේ සිට මේ දක්වා කොටි 118 දෙනකු දිවි හැරගොස් ඇත්තේ මිනිසුන්ගේ විවිධාකාර ක්‍රියාකාරකම් හේතුවෙනි. ඒ අදාළ දෙපාර්තමේන්තුවට වාර්තා වූ දත්ත පමණි.

කොටියකුට හානි කිරීම, කොටියකු මරණයට පත් කිරීම සඳහා උගුල් ඇටවීම, අජීවි කොටස් සන්තකයේ තබා ගැනීම දැඩි දඬුවම් විදීමට හේතු වන කරුණු වන අතර, තවමත් බොහෝ දෙනෙක් මෙහි බරපතලකම නොදැන තේ වතු ආශ්‍රිතව සතුන් දඩයමේ යෙදීමට මදු ඇටවීමෙන් කොටින්ද එහි ග්‍රහණයට නතුවීම නොවැළැක්විය හැකි තත්ත්වයක් වී ඇත්තේය.

2020 වසර වැඩිම කොටි මරණ සිදු වූ වසරක් විණි. ඒ වසරේ නිල වශයෙන් වන ජීවි දෙපාර්තමේන්තුවට වාර්තා වී ඇති කොටි මරණ සංඛ්‍යාව 14 ක් විය. ඒ බොහෝමයක් කඳුකර ආශ්‍රිතව එනම් යටියන්තොට, නාවලපිටිය, මස්කෙළිය, නල්ලතන්නිය වැනි මධ්‍යම කඳුකරයේ ජනාවාස ප්‍රදේශයන්හිදීය. 2021 වසරේදී වාර්තා වී ඇති කොටි මරණ 9 ක්ම සිදුවී ඇත්තේ බගවන්තලාව, නල්ලතන්නිය, නාවලපිටිය, ඩයගම මෙන්ම මස්කෙළිය වැනි කඳුකර ජනාවාසයන් හෙවත් තේ වතු ආශ්‍රිතව වීම නැවත නැවතත් අවධාරණය කළ යුතු කරුණකි. එසේම 2022 වසරේදී ද මේ දුක්ඛිත ඉරණමට කොටින්ට මුහුණ දෙන්නට සිදුවීම වළක්වා ගන්නට නොහැකි වී ඇත. 2023 වසරේදීද කොටි මරණ 9 ක් වාර්තා වී ඇති අතර වන ජීවි දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව එයින් පහක්ම සිදුවී ඇත්තේ කඳුකරයේ මදු ඇටවීමෙනි. බුලත්කොහුපිටිය, ගම්පොළ, හග්ගල, මස්කෙළිය වැනි තේ වතු ආශ්‍රිතව මෙම මරණ සිදුවී ඇත්තේ කඳුකරයේ ජීවත් වන කොටින්ගේ ඉරණම තීන්දු කරමිනි.

ලොව අන් රටවලට සාපේක්ෂව ලංකාවේ කොටි පිළිබඳ නිවැරැදි සංගණනනයන් සිදුවී නොමැති නිසා කොටි ගහණයේ අඩුවීමක් සිදුවී ඇත්ද යන්න නිවැරදිව තහවුරු කරගැනීමට අපහසු වී ඇත්තේය. පසුගිය කාල වකවානුවේ විවිධ පර්යේෂකයන් විසින් යාල විල්පත්තු හෝර්ටන් තැන්න ආදී කලාප මුල්කර ගනිමින් කොටි ගහනයන් අධ්‍යයනයන් සිදු කළ අතර දිගින් දිගටම ඒ පිළිබඳ පසුවිපරම් සිදු නොවීම හරහා ගහනය පිළිබද නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම අපහසු වී ඇත්තේය.

වන ජීවි පර්යේෂකයකු වන ඩිනාල් සමරසිංහ විසින් 2018 වර්ෂයේ විල්පත්තු ජාතික වනෝද්‍යානය මුල්කර ගනිමින් සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල 2022 වසරේදී නිකුත් වීම ලංකාවේ කොටි ගහණය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගත හැකි වී ඇත්තේය. එපමණක් නොව ඔහු මේ වන විට යාල ජාතික වනෝද්‍යානය ද මුල්කර ගනිමින් සිදුකළ සංගණනයේ ප්‍රතිඵල තවත් නොබෝ දිනකින් එළි දැක්වීමට සූදානමින් සිටින්නේය. පසුගිය කාලයේ සිදු කළ සංගණනය හා ඉදිරියේදි යාල මුල් කරගනිමින් නිකුත් කිරීමට ආසන්න සංගණනයේ වාර්තාවන්ට අනුව ලංකාවේ යාල, විල්පත්තු හොඳ කොටි ගහනයක් පෙන්නුම් කරන බව හෙතෙම පැවැසීය. එයිනුත් මෝසම් වනාන්තරයක් වූ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ 75% ක කලාපයක් තුළදී කොටි 133 දෙනකු වාර්තා වී ඇත. කෙසේ වෙතත් පර්යේෂක ඩිනාල් පවසන්නේ ලොව කොටි ගහනයේ විශාල අඩුවක් පෙන්නුම් කරන බවකි.

“ලොව කොටි ගහනයේ අඩුවීමක් පෙන්නුම් කරනවා. එසේම ලංකාවේ නිශ්චිත කොටි ගහණයක් සඳහන් කරන්න බැහැ. ලංකාව කියන්නේ ජෛව විවිධත්වයෙන් යුතු රටවල් අතර වැඩිම ජන ගණත්වයක් පෙන්නුම් කරන රටක් නිසා කොටියාගේ ආරක්ෂාව ගැන වැඩියෙන් තැකීමක් කළ යුතුයි. කොටි ගහනය දැන ගැනීම අපට ඉතාමත් වැදගත් වන්නේ ආහාර දාමයේ ඉහළින්ම සිටින විලෝපිකයා වන්නේ කොටියා නිසයි. කොටියා නැති වුණොත් පරිසර පදධතියේ සමතුලිතාව බිඳ වැටෙනවා. ශාක භක්ෂක සතුන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මම 2018 මැයි සිට සැප්තැම්බර් දක්වා විල්පත්තුවේ කොටි පිළිබඳ සංගණනයක් සිදුකළා. මේ සංගණනයට අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ විශාල කොටි ගහණයක් ඇති බව නිශ්චිතව හඳුනා ගත්තා. විල්පත්තුවේ 75% ක ප්‍රමාණයක කොටි 133 ක් හදුනා ගත්තා. එයින් 116 ක් වයස අවුරුදු 2 ට වයසින් වැඩි කොටි. මේ 116 න් 8 දෙනෙක් හැර ඉතිරි 108 ගැහුනුද පිරිමි සතුන්ද කියලා හදුනා ගැනීමට හැකියාව ලැබුණා. එයින් 42% ක් පිරිමි සතුන් හා 58% ක් ගැහැණු සතුන් වුණා. විශේෂත්වය වුණේ වර්ග කිලෝමීටර් 100 ක් තුළ කොටි ගහණ ඝණත්වය 18 ක් වීම. විල්පත්තු වනෝද්‍යාන තුළ කොටින්ට ආරක්ෂාවක් ලැබුණත් පසුගිය කාලයේ විල්පත්තු වනෝද්‍යානය අවට ඇති ආරක්ෂිත කලාප ගැසට්ටුවක් මඟින් ඉවත් කිරීම නිසා මේ සතුන්ගේ ආරක්ෂාවට යම් හානිදායි තත්ත්වයක් ඇති වුණා…“

“ විල්පත්තු වනෝද්‍යානය වටේම ගම්මාන පවතිනවා. මේවායින් කොටින්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති වෙලා තියෙනවා. 2015 වසරේ හරකෙක් මැරීම නිසා කොටියකුට වස දීලා මරලා තිබුණා. එය කණගාටුදායි තත්ත්වයක්. පළුගහතුරේ ගමට යා යුත්තේ විල්පත්තු වනෝද්‍යානය ඇතුළෙනුයි. 2019 වසරේදී මේ ගමට යාමේදි කොටියකුගෙන් ප්‍රශ්නයක් ඇති වුණා. මේ අවට හේන් තියෙනවා. එහිදී මිනිසුන් හා කොටින් මුණ ගැසීම සිදුවෙනවා. වර්තමානයේ මදු ඇටවීම නිසා කොටින්ගේ ජීවිතවලට එල්ල වෙලා තියෙන්නේ විශාල තර්ජනයක්. නමුත් ලංකාවේ කොටි ගහනය අඩුවැඩි වී ඇත්ද යන්න නිශ්චිතව පැවැසිය නොහැක්කේ දිගින් දිගටම පසුවිපරමක් සිදු නොවූ නිසා. ඉදිරියේදී එවැනි පසු විපරම් සිදු විය යුුතුයි“ ඒ පර්යේෂක ඩිනාල් සමරසිංහය.

පර්යේෂක ඩිනාල්ට අනුව විල්පත්තුවේ කොටි සංගණනයේදී ඔහු අත්දුටු විශේෂත්වය වී ඇත්තේ යම් ආකාර ජාන විකෘතිතා සහිත කොටින් හමු වීමයි. Kinked tail හෙවත් වලිගය අග වෙනස් වූ කොටින් 12 දෙනෙකු හමුවීම වෙනස් ම වූ අත්දැකීමක් විය.

වර්තමානයේ වනෝද්‍යාන තුළ ජීවත්වන කොටින්ගේ ඉරණම පවා යම් අවදානමක පවතිද්දි ආහාර සොයා ගම් වැදෙන කොටින්ට ජීවිත ආරක්ෂාව බිඳ වැටෙන්නට පටන් ගෙන ඇත්තේ ජනතාවගේ විවිධ අකටයුතුකම් නිසාවෙනි. නමුත් ආහාර සොයා යමින් ගම් වදින නිසාවෙන් මදුවලට අසුවීමේ ඉඩකඩ බොහෝය. කොටින්ගේ ජීවිත අවදානම පිළිබඳ සිළුමිණට විශේෂ ප්‍රකාශයක් කරමින් වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී. පි. සියාසිංහ පවසා සිටියේ මේ වන විටත් කඳුකරයේ කොටින්ගේ ජීවිත සුරැකීමට වන ජීවි දෙපාර්තමේන්තුව විශේෂ අවධානයෙන් කටයුතු කරන බවකි.

“කඳුකරයේ කොටි මරණ වැඩිපුර සිදු වන්නේ නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල. දින වකවානු සමඟ සංසන්දයේදි අපි අත්දුටු දෙයක් වන්නේ දෙසැම්බර් සිට මැයි මාසය දක්වා කොටි මරණ වැඩිවීමක් පෙන්නුම් කරන බව. ඊට හේතුව මේ කාලයේ මේ දිස්ත්‍රික්ක දෙකට සංචාරකයන්ගේ හා ශ්‍රී පාද බැතිමතුන්ගේ පැමිණීම වැඩිවන වකවානුවක්. ශ්‍රි පාදය වඳින්න මෙන්ම නුවරඑළිය වසන්තයට විශාල සංචාරකයින් පිරිසක් පැමිණීම නිසා සමහරක් බැතිමතුන් තමන් ආ කාරණාව අමතක කරනවා. මේ නිසා දඩමස් සඳහා ඉල්ලුමක් පවතිනවා. දඩමස් සඳහා යම් ඉල්ලුමක් පවතින නිසා ඌරන් ඇතුළු සතුන්ට මදු ඇටවීම මේ කාලයේ වැඩිපුර සිදු කරනවා. මදු අටවන්නේ වෙනත් වන සතුන්ට වුවත් මදු ඇටවීම ඉහළ යාමෙන් කොටින් ඇතුළු සතුන් ද මේවාට පැටළෙනවා. මේ කාල පරාසය තුළ අපි විවිධ වැඩ සටහන් රැසක් දියත් කරනවා.

අපේ අරමුණ මදු ගැසීම අඩු කිරීමයි. මදු ඇටවීම නිත්‍යානුකූල නැහැ. කොටි මරණයට පත් වන්නේ අපේ රක්ෂිතවලින් පරිබාහිරව. සමනලකන්ද, හෝර්ටන්තැන්න, නානුඔය, පිදුරුතලාගල ආශ්‍රිතව තමයි කොටින් වැඩිපුර ජීවත් වෙන්නේ. මේ කොටසේ මැද විශාල ලෙස තේ වතු හා කැළෑ රොද පවතිනවා. මේ සතුන් නිරන්තරයෙන් ඉහළ කඳුකරයට ගමන් කරන්නේ මේ හරහායි. ගම්මානය තුළින් යාමේදී මේ මදුවලට කොටින් පැටලෙනවා. ඒ ඒ කොටියාට වෙන් වූ වසමක් හෙවත් ටෙරටරියක් පවතිනවා. මේ අය ආහාර ලබා ගැනීම සඳහා සිය සීමාවේ ගමන් කරන්නේ මිනිසුන් හා අවම ගැටුමක් හෝ නොවන ආකාරයෙනුයි. ගම්මානයට ඇතුළු වූ කොටියකු මිනිසුන් මරාගෙන හානි කළ අවස්ථා අපි අසා නැහැ. සියලු දේ සිදුවන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසාවෙන්. තේ වතු ආශ්‍රිතව ජීවත් වන අය යම් ආකාරයෙන් කොටියාට බයක් දක්වනවා. නමුත් කොටියා පහර දීමක් සිදු කරන්නේ නැහැ. ඌ මිනිසකු දැක්කොත් මඟ හැර යනවා. යම් ආකාරයක හානියක් සිදු වන්නේ කොටියා කොටු වුවහොත් පමණයි. ඒ අවස්ථාවේ ඌ අනාරක්ෂිත නිසාත් බිය නිසාත් බේරී යාමට හානියක් සිදු කරන්න පුළුවන්. එසේ නොමැතිව ගොදුරක් ලබා ගැනීම සඳහා කිසිවකුටත් හානියක් සිදු කරන්නේ නැහැ“වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩී. පි. සියාසිංහගේ අත්දැකීම්ය.

තේ වතු ආශ්‍රිතව ජීවත් වන කොටින්ගේ ජීවිත අවදානම් වන්නේ ඇයි? ආහාර දාමයේ ඉහළින්ම සිටිය විලෝපිකයා වන කොටියාගේ පැවැත්ම පරිසර පද්ධතියට අත්‍යාවශ්‍ය වන ආකාරය බොහෝ දෙනෙක් දන්නේ නැත. මේ නොදැනුවත්කම මීට තවත් හේතුවක් වී ඇත්තේය.

තේ වත්තක දවල් කාලයේ මිනිසුන් ජීවත් වන කොටසම රාත්‍රී කාලයේ කොටින් භාවිත කරන බව සොයාගෙන ඇත. කොටියා භුමිය භාවිත කරන්නේ මිනිසුන් සමඟ ගැටුමක් ඇති නොවන ආකාරයෙනුයි. දවල් කාලයේ මිනිසුන් සිටින ප්‍රදේශවල ක්‍රියාකාරිත්වය අඩුයි. පසුගියදා බලංගොඩ සමනල වත්ත මද්දකට කොටියකු අසු වූ අතර ජනතාවට ආරංචි වී රාත්‍රියේ මේ කොටියාගේ පින්තූර ගන්න ගොස් තිබුණි. නමුත් මේ අවස්ථාවේ වියරු වූ සතා පැනීමේදි මද්ද කැඩී අසල සිටි අයකුටත් ප්‍රහාරයක් එල්ල කරමින් පැන ගියේ ඌගේ ආරක්ෂාව තකමිනි. එවැනි සිදුවීම් වන්නේ ජනතාවගේ නොදැනුවත්කම හා අනාරක්ෂිතව කටයුතු කිරීමෙන් මිස සත්ගෙන් මිනිසුන්ට හානියක් වීටම ඉඩක් නොමැත.

අප පරිසර පද්ධතියේ සෑම සතකුටම සිදු කිරීමට යම් විශේෂ කාර්යභාරයක් පවතියි. ආහාරදාමය පාලනය කරන ඉහළින්ම සිටින විලෝපිකයා වන්නේ කොටියාය. අපේ පරිසර පද්ධතියේ කොටියකු සිටි නම් පහළ පරිසර පද්ධතිය පාලනය වීමක් සිදු කෙරෙයි. ඌරන් වැනි සතුන් පාලනය වන්නේ මේ ඉහළ සිටින විලෝපිකයන් නිසාවෙනි. ඌරාගෙන් සිදුවන හානිය අවම කරන්නේ කොටියාය.

වන ජීවි දෙපාර්තමේන්තුව විසින් විවිධ වතු සමාගම් සමඟ කටයුතු කරන්නේ මේ පිළිබඳ දැනුම්වත් කිරීම සඳහාය. යම් කොටියකු මද්දකට අසු වූ විට වන ජීවි දෙපාර්තමේන්තුවට එම පණිඩිඩය ලැබීමට ඇති කාලය දිගු වීමයි. මේ දිගු වීම සතා තව දුරටත් මද්දට හිර වීමට ගන්නා ඉඩ ප්‍රමාණය වැඩි වෙයි. බොහෝ විට මරණය ඉක්මන් වෙයි. මේ නිසා තොරතුරු ඉක්මනින් ලබා ගැනීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව විසින් වට්ස්ඇප් පණිවිඩ ලැබීමේ ක්‍රමෝපායන් සකස් කර ඇත. මේ හරහා ඉක්මනින් තොරතුරු ලැබීමට හැකියාව ලැබෙයි. කෙසේ වෙතත් කොටි ගැටලුව පවතින්නේ වන ජිවි රක්ෂිතවලින් පරිබාහිරවයි. නුවරඑළිය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි කොටින් සිටියි.

අන් රටවල මෙන් ලංකාවේ වෙනත් විලෝපිකයන් නැති නිසා ඉහළින්ම සිටින්නේ කොටියාය. මේ නිසා කොටියාගේ පැවැත්ම ජෛව විවිධත්වය වෙනුවෙන් අගනා සාධකයන් වන්නේය. නමුත් ලංකාවේ ජනතාව තුළ පවත්නා නොදැනුවත්කම නිසාවෙන් හා දැන දැන සිදු කරන වැරදි නිසාවෙන් කොටියා මේ වන විට තර්ජිත ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින සත්ත්වයකු වී හමාරය. වන ජීවි නිලධාරීන් පවසන පරිදි කොටියාගෙන් මිනිසාට හානියක් වූ අවස්ථා විරලය. යම් සිදුවීමක් සිදු වූයේ නම් ඒ අනවශ්‍ය මිනිස් ක්‍රියාකාරකම් ද හේතුවක් වී ඇත්තේය. මේ නිසා මෙවැනි වටිනා විලෝපිකයින් ආරක්ෂා කර ගැනීම මෙන්ම අපගේ පරිසරයේ ඌට නිසි සේ සැරිසැරීමට ඉඩ හැරීම පරිසරයට ලැදි සැවොගේම වගකීම වන්නේය.

පර්යේෂක ඩිනාල්ගේ කැමරාවට හසුවූ විල්පත්තු කොටි

පර්යේෂක ඩිනාල්ගේ කැමරාවට හසුවූ විල්පත්තු කොටි

 

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division