Home » සිංහල සින්දු ගයා ඉතාලිය කලඹන ලංකාවේ ගංගා

සිංහල සින්දු ගයා ඉතාලිය කලඹන ලංකාවේ ගංගා

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

ගායනයෙන් ලොව දිනූ ශ්‍රි ලාංකික දූ පුතුන් අපමණ වෙති. ඉන් වැඩි පිරිසක් ජාත්‍යන්තරයේ කීර්තියට පත් වී ඇත්තේ සිංහල බසින් ගී ගයමිනි. ඒ හැර වෙනත් රටකට ආවේණික භාෂාවලින් ගී ගයා ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත්වූ ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් නම් නැති තරම්ය. ගංගා විරසේකර යුරෝපයේ ජනප්‍රියත්වයක් දිනා ගෙන ඇත්තේ ඉන්දියාවට ආවේණික දෙමළ සහ හින්දි බසින් ගී ගයමිනි. ඉතාලියේ මිලානෝ නුවර පදිංචි වී සිටින ගංගා අද වන විට යුරෝපයේ බොහෝ රටවල හින්දි සහ දෙමළ සංගීතලෝලීන් අතර නැතුවම බැරි ගායිකාවකි. ඩෙන්මාර්කය, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව වැනි රටවල හින්දි සහ දෙමළ සංගීත ප්‍රසංගවලට සහභාගි වෙමින් අසීමිත ජනප්‍රියත්වයකට හිමිකම් කීවත් ඇගේ සිහිනය ශ්‍රී ලංකාවේ චිත්‍රපට පසුබිම් ගායිකාවක් වීමය. මේ වන විටත් සිංහල ගීත 40කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති ගංගාගේ අලුත්ම ගීතය

රොෂාන් රවීන්ද්‍රගේ රූප රචනයෙන් සහ අධ්‍යක්ෂයෙන් නිර්මාණය වූ ‘රාත්‍රිය නිදි‘ ගීතය යූ ටියුබ් වෙබ් අඩවියට මුදා හැරියේ ඊයේ පෙරේදාය.

‘විෂුවල් එකක් කරන්න මට කාලෙක ඉඳලා ලොකු ආසාවක් තිබුණා. ඒක තමයි මේ හැබෑ වුණේ. මේ සිංදුව ලිව්වේ මංජුල ධර්මප්‍රිය. සංගීත නිර්මාණය කළේ එංගලන්තයේ පදිංචිව සිටින උපාලි රඹුක්කනගේ. ‘රාත්‍රිය නිදි‘ පදමාලාව මංජුල එයාට එවලා ගොඩාක් කල්. ඒකට මියුසික් කරලත් ගොඩාක් කල්. දවසක් මම මගේ වෙන සින්දුවක් පටිගත කරන්න සුරේෂ් මාලියද්දගේ එංගලන්තයේ ඇති ස්ටූඩියෝ එකට ගියාම එහේදි තමයි උපාලි මට මේ ගීතය දුන්නේ. ඒ මෙලඩියට මම ගොඩාක් ආසයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ රසික රසිකාවියන් අතරත් ගීතය ඉක්මනින් ජනප්‍රිය වේවි කියලා මට හිතුණා.‘ ගංගා වීරසේකර මිලානෝ නුවර සිට ‘රසඳුන‘ සමඟ කතාබහට එක් වූයේ එලෙසිනි.

ගංගාගේ උපන් ගම මීගමුවේ කටුවපිටියේ ය. හරිස්චන්ද්‍ර විදුහලෙන් සාමාන්‍ය පෙළටත්, මරදාන ආනන්ද බාලිකාවෙන් උසස්පෙළටත් පෙනී සිටි ඇය පාසලේදී ගායනය විෂයක් ලෙස හැදෑරු අතර, පසුව සිය ගායන හැකියාව මුවහත් කරගත්තේ භාත් කණ්ඩ විභාගයට පෙනී සිටිමිනි.

“ඒත් මම වෘත්තිය හැටියට තෝරාගත්තේ සංචාරක හෝටල් කර්මාන්තයයි. ඒ නිසාම අවුරුදු 10ක් විතර සංගීතයෙන් ඈත්වෙලා හිටියේ. ආපහු සංගීතයට යොමු වුණේ ඉතාලියේ පදිංචියට ආවට පස්සෙයි. මම ඉතාලියට ආවේ 2007 වසරේදියි. මෙහේ සංගීතය අඩුයි. ඒත් ගායිකාවක් වීමේ හීනය හැමදාම මගෙ මනසේ තිබුණා. මිලානෝවල ඉන්දියන් බෑන්ඩ් එකක් තියෙනවා. එයාලා ගායිකාවක් හොයමිනුයි හිටියේ. ඒ බෑන්ඩ් එකේ තබ්ලා වාදනය කළේ විරාජ් කියලා මම අඳුනන මල්ලි කෙනෙක්. ඒ විදිහට තමයි මම ඉන්දියන් බෑන්ඩ් එකට හින්දි හා දෙමළ ගීත ගායනයට එකතුවුණේ. මම හින්දුස්ථාන් සංගීතය හදාරලා තිබුණු නිසා මට ටිකක් ලෙහෙසි වුණා. ඊට අමතරව සුජාතා අත්තනායක මහත්මියගේ ගීතත් එක්ක මම මෙහේ ඉන්දියානු උත්සව ගණනාවක ගී ගැයුවා.“ ගංගා කීවාය.

ඇයට ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් මිලානෝ නුවර පැවැත්වීමේ අදහස ඇති වූයේ ඒ කාලයේදීමය.

‘මිලානෝවල පීමි කියන රඟශාලාවේ තමයි ඒ ප්‍රසංගය තිබ්බේ. ඊට කලින් මගේම කියලා ගීත ටිකක් එකතු කරගත්තා. ඒක පුද්ගල සංගීත ප්‍රසංගය හිතුවාටත් වඩා සාර්ථක වුණා. ඒක ශ්‍රී ලාංකික ගායිකාවක් ඉතාලියේ කරපු පළමුවැනි ඒක පුද්ගල සංගීත ප්‍රසංගයයි. ඊට කලින් මට ගී ගයන්න ඇරියුම් ලැබිලා තිබුණු වෙනත් ප්‍රසංගයක මම සුජාතා අත්තනායක මහත්මියගේ ‘බොඳ මීදුම් කඳුරැල්ලේ‘ ගීතය ගැයුවා. ඒක මුහුණු පොතේ සෑහෙන්න වයිරල් වුණා. ඒ ප්‍රසංගය බලන්න ඇවිත් හිටපු අය එදා තමයි මාව හඳුනා ගත්තේ. ඒ නිසාම මගේ ඒක පුද්ගල ප්‍රසංගයට හෝල් එක පිරෙන්න සෙනඟ හිටියා. මගේ සින්දුවලට අමතරව මම දෙමළ හා හින්දු සින්දුත් ගායනා කළා. ඒක තමයි මාව ගායන ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න දිරිමත් කළේ.‘ ඇය සඳහන් කළාය.

ඇය ඒක පුද්ගල ගී ප්‍රසංගයට ස්වතන්ත්‍ර නිර්මාණ එක්රැස් කළේ වරින් වර නිවාඩුවට ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවලදීය.

‘මගේ මුල්ම ගීතය ‘ගී රාවය ප්‍රේම පුරාණේ‘ කියලා හින්දු තනුවකට කපිල අපරැක්ක ලියලා දුන්නු ගීතයක්. ඊට පස්සේ සැරින් සැරේ අලුතින් සින්දු කළා. පස්සේ ඒ ගී එකතු කරලා 2017දී සීඩී තැටියකුත් කළා. ඉතාලියේ හින්දි හා දෙමළ සින්දු ගයන අය අඩු නිසා මට ලොකු අවස්ථාවක් ලැබුණා. දැනට රටවල් 7ක විතර සංචාරය කරලා තියෙනවා.‘ ඇය එසේ කීවාය.

‘මගේ ලොකු ආසාවක් තියෙනවා චිත්‍රපටි පසුබිම් ගායිකාවක් වෙන්න. ඒක මගේ ලොකු හීනයක්. පසුගියදාක මම නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවේ සුජාතා අත්තනායක මහත්මියගේ ‘සුදෝ මම ආදරෙයි‘ ගීතයේ ‘කවර් සෝං‘ එකක් කළා. ඒක ලංකාවේ රසික රසිකාවියන් අතර ජනප්‍රිය වුණා. මගේ හීනයට ඒක ලොකු ආශීර්වාදයක්.‘ ගංගා කියා සිටියාය.

ගංගාගේ සැමියා ජගත් විජේසේකරය. රෙහානා සහ ආන්යා දියණියන් දෙදෙනාගේ සහ පුතු ජූලියන්ගේ සෙනෙහස මැද ජීවිතය ගෙවමින් සිටින ඇය මේ වන විට ගීත 40කට ආසන්න ප්‍රමාණයක හිමිකාරිනියකි. පාසල් කාලයේදී තම සංගීත දිවියට අත්වැල සැපයූ සංගීත ගුරුවරුන් වන දිනන්ජ තිලකරත්න, ලයනල් සතුරුසිංහ, කාන්ති පතිරාගි සහ කැමිලස් විසිදාගම මහත්ම මහත්මින්ට තුති පුද කිරීමට අමතක නොකළාය.

‘ඊට අමතරව මම මුලින්ම ස්තූති කරන්න ඕන උපාලි රඹුක්කනගේ සොයුරාට. එයා තමයි මගේ වැඩිම ගීත ප්‍රමාණයකට සංගීතය සැපයූවේ. ඒ වගේම මහින්ද බණ්ඩාර, සුරේෂ් මාලියද්ද, දිනේෂ් සුබසිංහ, කලනි පෙරේරා, රුමේෂ් සුගතපාල, නාලක අංජනකුමාර, කපිල අපරැක්ක, නවරත්න ගමගේ, ප්‍රසන්න රෝසා මගේ ගීතවලට සංගීතයෙන් දායක වෙලා තියෙනවා. ගීපද රචනයෙන් දායක වුණු බන්දුල නානායක්කාරවසම්, මංජුල ධර්මප්‍රිය, රංජිත් රූබසිංහ, වාසනා දහනායක හා නිමල් පෙරේරා සොහොයුරු සොහොයුරියන්ටත් ස්තූති කරන්න ඕනා. ඒ වගේම පාසල් කාලයේ ඉඳලා මගේ හොඳම යාළුවෝ දෙන්නා දිනුෂා හා කුමාරි. ඒ වගේම මගේ අක්කා කුමාරි වීරසේකර මගේ ජීවිතයට හෙවණැල්ලක් වගේ. මිලානෝවල කරුණාසේන පට්ටියගේ සොයුරාටත් විශේෂ ස්තූතියක් කරන්න ඕනා.‘ ගංගා වීරසේකර අවසන් වශයෙන් සඳහන් කළාය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division