Home » අම්මාගේ අතේ එල්ලී අයියලාගේ ප්‍රැක්ටිස් බලන්න ඇවිත් ටෙස්ට් හිස් වැසුම දිනූ චාමිකගේ කතාව

අම්මාගේ අතේ එල්ලී අයියලාගේ ප්‍රැක්ටිස් බලන්න ඇවිත් ටෙස්ට් හිස් වැසුම දිනූ චාමිකගේ කතාව

by Mahesh Lakehouse
February 10, 2024 12:30 am 0 comment

“අපේ පවුලේ බාල මල්ලි තමයි චාමික ගුණසේකර. එයා මට වඩා අවුරුදු පහක් බාලයි. මට බාල මල්ලි තනුර. එයා මට වඩා අවුරුදු තුනක් බාලයි. ගොඩාක් වෙලාවට අපි දෙන්නා තමයි චාමික එක්ක රණ්ඩු කරන්නේ. චාමික මල්ලිට අපිත් එක්ක රණ්ඩු කරන්න තේරෙන්නේ නැහැ, එයා පොඩි නිසා. මමයි අනික් මල්ලියි ක්‍රිකට් සෙල්ලම් කරද්දි අපි දෙන්නට බැට් කරන්න චාමික තමයි බෝල් කරන්නේ. ගෙදර මිදුලේ අපි සෙල්ලම් කරනවා. ගෙදර අහල පහල යාළුවෝ ආවොත් චාමිකට සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ, එයා අපි සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නවා. අපේ ජීවිතේ වුණේ ක්‍රිකට් සෙල්ලම තමයි. අපි තුන්දෙනාම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ ගෙදර සෙල්ලම් කරලා…”

ජාතික ක්‍රිකට් කණ්ඩායමට එකතු වී ප්‍රථම වරට වර්ෂ 2022 ජනවාරි මස 16 දා සිම්බාබ්වේ ජාතික කණ්ඩායම සමඟ තරග කළ චාමික දෙමින්ත ගුණසේකර ගැන ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ඉසුරු ගුණසේකර එලෙසින් කතාබහ ආරම්භ කළේය.

අයියලා මල්ලිලා තුන් සහෝදරයින් කොළඹ ආනන්දයේ ආනන්දීයන් ය. චාමිකගේ ආදරණීය පියාණන් වූ ලාල් ගුණසේකර ද කොළඹ ආනන්දයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු වෘත්තියෙන් මහවැලි දෙපාර්තමේන්තුවේ සේවය කළේය. ඔහුද පාසල් ක්‍රිකට් කණ්ඩායමේ එවක සාමාජිකයෙකි. ඔහුට ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වූ හෙයින් ලාල් ගුණසේකරට හා කුමාරි ඒකනායකට දාව ඉපදුණු දරුවන් තිදෙනාම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ක්‍රිකට් පිත්තෙන් පන්දුවෙන් දෙවනත් කළ හැකි ක්‍රීඩකයින් කිරීමට වෙහෙස ගත්හ. එහෙත් ඒ සිහිනය ඉටු කළේ චාමික පමණි.

“තාත්තා මාව තමයි මුලින්ම ක්‍රිකට් සෙල්ලම් කරන්න ප්‍රැක්ටිස් යැවුවේ, ඒ 2002 අවුරුද්දේ . එතකොට තනුර මල්ලිගේ වයස හයයි. චාමිකට තුනයි. මාව උදේ පාන්දර පහට ගෙදරින් එක්කගෙන ගියා. සජිත් සර් තමයි අපි තුන්දෙනාගෙම මුල්ම කෝච්. තනුර මල්ලිව මාත් එක්ක අම්මා එක්කගෙන ගියා. චාමික මල්ලි චූටි නිසා එයාව ගෙදර තියලා ගියේ. තනුරට මම සෙල්ලම් කරනවා ආස හිතිලා එයාටත් ක්‍රිකට් ගහන්න ඕන කිවුවා. එයාවත් දැම්මා. චාමික මල්ලිට අවුරුදු තුන ලබලා සති දෙක තුනකින් තාත්තා නැති වුණා. ඊට පස්සේ අපිව බලාගත්තේ අම්මා තනියම. අම්මා මාවයි ලොකු මල්ලිවයි ප්‍රැක්ටිස් එක්කගෙන යද්දී චාමික මල්ලිවත් එක්කගෙන ගියා. ඒ ගෙදර තියලා එන්න බැරි නිසා. ටික කාලෙකට පස්සෙ එයාටත් ක්‍රිකට් ගහන්න ඕන වුණා. එතකොට එයා හතර වසරේ. අම්මා එයාවත් දැම්මා ප්‍රැක්ටිස් කරන්න. චාමිකගේ ක්‍රිකට් ජීවිතේ හරියට පටන් ගන්නෙ එතැනින්. සජිත් සර් යටතේ. සර් අද ජීවතුන් අතර නැහැ . හිටියා නම් ඔහු සතුටු වෙයි. මොකද මල්ලි අපිට වඩා දක්ෂතා පෙන්වනවා කියලා සර් අම්මට කියලා තිබ්බා. කවදාවත් චාමිකගේ ක්‍රිකට් ගමන නම් නතර කරන්න එපා, එයා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරන්න ඕන ක්‍රීඩකයෙක් වෙයි කියලා තමයි සර් කියලා තියෙන්නේ…”

සහෝදරයින් දෙදෙනා විශාල ක්‍රිකට් බෑග් කරේ එල්ලාගෙන මහ පාන්දර විඩාව නිදිමත නොතකා මව සමඟ මහරගම සිට කොළඹට ක්‍රිකට් පුහුණුවීම්වලට නි‍ෙවසින් බැහැර වන විට චාමිකද මවගේ දඹරැඟිල්ලේ එල්ලී ඔවුන් සමඟ පිටත් විය. සතියේ දින පහම උදේ පාන්දර පුහුණුවීම් සිදු වෙද්දී මවගේ තුරුලට වී එදෙස බලාගෙන සිටි පුංචි චාමිකටද සුදු පැහැති ක්‍රිකට් ඇඳුම් හැඳ පිත්ත අතට ගන්නට පන්දුව විසි කරන්නට ලොකු වුවමනාවක් ඇතිවිය.

දවස් ගෙවී ගොස් ඔහුට වයස අවුරුදු නවයක් ලබද්දි චාමිකගේ මව ඔහුවද සහෝදරයින් සමඟ පුහුණුවීම් සඳහා යෙදෙවුවේය. පියාගේ සිහිනය යම්තාක් දුරට දරුවෝ තිදෙනාම ඉටු කරමින් සිටියහ. ඒ දෙස බලා චාමිකගේ මව සතුටින් උදම් ඇනුවාය. ඒ වන විට චාමිකගේ පියා මියොගොසිනි. මව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදි විශ්‍රාම ගියාය. දරුවන් තිදෙනකු සමඟ ඇය ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට පටන් ගන්නා විට චාමිකගේ ලොකු අම්මා වූ ශාන්ති සේනාරත්නත්, ලොකු තාත්තා වූ කුමාර සේනාරත්නත් ඒ පවුලේ ආර්ථිකයට හයියක් විය. තම නැඟණියගේ පුතුන් තිදෙනා ක්‍රීඩාවට උපන් හපන්කම් දක්වද්දි ඉන් ඉදිරියට යැවීමට අවශ්‍ය මුදල් හා යුතුකම් ඉටු කිරීමට ඔවුහු උත්සාහ ගත්හ. ඒ හෙයින් අනෙක් සහෝදරයින් දෙදෙනා සේම චාමිකත් පාසල් ක්‍රිකට් කණ්ඩායම්වල දක්ෂතා දැක්වුවේය.

“පාසල් 13න් පහළ සිට 19 පහළ දක්වා මල්ලි ක්‍රීඩා කළා. පාසලේ වර්ණ ගත්තා, මම වගේම . ඒ වගේම බිග් මැච් තුනක් එයා ක්‍රීඩා කළා. චාමික පුංචි කාලේ ඉඳලම බෝල් කරපු නිසා ඒ පුරුද්දට එයා පන්දු යවන්නෙක් විදිහට දක්ෂතා පෙන්නුවා. තනුර මල්ලි විකට් කීපර් කෙනෙක් විදිහට ක්‍රීඩා කළ නිසා අවස්ථාව ගිලිහුණා. එයා ඔස්ට්‍රේලියා ගියා. මම ජොබ් එකක් කරන්න පටන් ගත්තා. චාමික මල්ලි දිගටම සෙල්ලම් කළා. මල්ලි දකිද්දී අනේ මල්ලි පවු කියන තරමට එයා මහන්සි වුණා, එයාගේ තැන හදාගන්න. ලොකු කැපවීමක් කළා තුන් ඉරියව්වෙන් දක්ෂතා පෙන්වන්න. කම්මැළි නැහැ, ඉලක්කය තමයි ඔළුවේ තිබ්බේ…”

ඒ වෙහෙසකර ගමන කොතෙක්ද කිවහොත් ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ පළමු තරගයෙන්ම ලකුණු ගැනීමට හෝ කඩුලු ගැනීමට නොහැකි වූයේ ඔහුගේ කකුලේ ඇති වූ අාබාධයක් හේතුවෙනි. එහෙත් ඔහු ගමන නතර නොකළේය. ඔහුට යළිත් අවස්ථාවක් එනතුරු දක්ෂතා රඳවා ගැනීමට මහන්සි ගත්තේය. ඒ මහන්සියේ ප්‍රතිඵල ඔහු ක්‍රීඩා කළ එන්. සී. සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා සමාජ තරගවලදි පෙන්වීමට හැකි විය,

එමෙන්ම නැඟී එන තරග (Emerging) ක්‍රීඩා කරමින් බංග්ලාදේශයට එරෙහිව එක ඉනිමකදි ඔහුට කඩුලු නවයක් ලබා ගැනීමට හැකි විය. ඒ හේතුවෙන් නැවතත් ක්‍රිකට් බලධාරීන්ගේ ඇස් ඔහු වෙන නම්මාගත් චාමික පසුගිය 2 දා ටෙස්ට් සංචිතයට එකතු විය. ඒ 165 වැනි ටෙස්ට් හිස් පලඳනාව හිස මත දරා ගැනීමට වාසනාව උදා කරගනිමින් ය. එහෙත් අවාසනාවන්ත ලෙස ඔහු ලකුණු 16ක් ලබාගෙන කඩුල්ලෙ රැ‍ෙඳමින් සිටියදි හෙල්මටයට වැදුනු පන්දු පහර ඔහු රෝහල කරා කැඳවාගෙන ගියේය.

“එයාට මුලින්ම 2022දී එක්දින තරගයක් සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තරගයේදි කකුල ආබාධයට පත් වුණා. කාලයක් ප්‍රතිකාර කළා. ඒත් එක්ක එයා ගොඩක් මානසිකව වැටුණා. ආයෙමත් පසුගියදා ටෙස්ට් මැච් එකේදී බෝලේ ඔළුවේ වැදිලා අවස්ථාව අහිමි වුණා. එයා හොස්පිට්ල් ඇඩ්මිට් කළා. ඒත් එක්කම මල්ලි මට කෝල් කරලා කිවුවා අයියේ මම නිසා ඔයාට ලැජ්ජා වෙන්න වුණා නේද? මේ වතාවෙත් සෙල්ලම් කරන්න බැරි වුණා කියලා. මම කිවුවා ඕවා හිතන්න එපා තව අවස්ථා ලැබෙයි කියලා . මාත් විහිළු කළා. ඒක තමයි කිවුවේ ඔයාට බැට් කරන්න බැහැ, ඔළුවත් අන්තිමට තුවාල කර ගත්තා කියලා. ඒත් මල්ලි බැට්ස්මන් කෙනෙක් විදිහටත් දක්ෂයි. එයා ඕල් රවුන්ඩර් කෙනෙක්. මම එයාව වැටෙන්න නොදි හිත හදනවා. එයා ඉක්මනින් මානසිකව වැටෙනවා. පාසලේ රොහාන් සොයිසා හා සංජීව රණතුංග යන සර්ලා තමයි එයාගේ කෝච වුණේ. එයාලත් සජිත් සර් වගේම මල්ලිගේ ගමනට උදවු කළා. ඒ වගේම අද වෙනකල් එයාව හදන පුහුණුකරුවෝ හැමෝම මතක් කරන්න ඕන මල්ලි වෙනුවෙන්. මමත් මට පුළුවන් විදිහට එයාට කියලා දෙනවා. ඉතින් මම විශ්වාස කරනවා එයා එයාගේ ගමන හරියාකාරව හදාගනී කියලා..”

පසුගිය කාලය පුරාවටම චාමිකගේ මනස හදමින් ඔහුගේ අවශ්‍යතා සම්පූර්ණ කර දීමට මහන්සි වෙමින් ඔහුට පියාගේ අඩුව නොදැනෙන්න ඉඩ නොතැබූ චාමිකගේ වැඩිමහල් සහෝදරයා වූ ඉසුරු එලෙසින් මතක මතක් කර දුන්නේ ය. ඔවුන් කුඩා කළ සෙල්ලම් කළ හැටි, සහෝදරයින් දෙදෙනාටම වඩා කුඩා කල සිට කෙසඟ සිරුරක් තිබූ බැවින් චාමික දුව පැන ක්‍රීඩා කළ හැටි දිනෙන් දින දක්ෂතා දැක්වූ හැටි ඔහු මතක් කළේය.

“මම නම් දරුවෝ තුන් දෙනාම අහිංසක දරුවෝ තුන් දෙනෙක් විදිහට දැක්කේ. එයාලා කවදාවත් මට කරදර කරලා නැහැ . අප්පච්චි නැතුව යන ගමනේ වෙහෙස කැපවීම් එයාලා දකින්න ඇති. එයාලගේ අප්පච්චි නැති වුණාට පස්සේ මම හිතුවේ ක්‍රිකට් ගමනට අඩාළ වෙයි කියලා. ඒත් එහෙම වෙන්න මගේ අක්කයි එයාගේ මහත්තයයි ඉඩ තිබ්බෙ නැහැ. මහත්තයාගේ හයියත් අරන් මම කොල්ලො තුන්දෙනාව හැදුවා, ඉගැන්නුවා. ඒත් ලොකු පුතා ඉසුරුගේ ක්‍රිකට් ගමන මමයි නතර කළේ. මම කිවුවා පුතේ ඇති ක්‍රිකට් ගැහුවා ඔයා ජොබ් එකක් කරන්න කියලා. එයාටත් ඕන වුණා මම අසනීප වෙනවත් එක්කම පවුලේ බර කරට ගන්න. ඒ නිසා එයා ක්‍රිකට්වලට සමු දීලා පීපල්ස් ලීසිං සමාගමේ රැකියාවකට ගියා. ඒත් එක්ක ඉගෙන ගත්තා. ක්ලබ් සෙල්ලම් කරා. ක්‍රීඩාවට සම්පූර්ණ කාලේ නොදී අපිව පෝෂණය කරන්න මහන්සි වුණා. ලොකු පුතාගේ පළමු පඩියම වියදම් කරලා එයා චාමිකට සපත්තු දෙකක් අරන් දුන්නා මට මතකයි. එදා චාමික ගොඩක් සතුටු වුණු දවසක්. ඊට පස්සේ එයාගේ සියලු වියදම් ඉසුරු පුතා දැරුවා. ලොකු පුතාට ඕන වුණා චාමිකගේ ක්‍රිකට් ගමනට හයියක් වෙන්න. ඒ තමයි අප්පච්චිගේ හීනය. දෙවැනි පුතා විවාහ වෙලා ඔස්ට්‍රේලියාවට ගියා. ලොකු පුතත් විවාහ වුණා , ලේලිලා දෙන්නත් මට මගේ දුවලා වගේ. කොහොම හරි හැමෝගෙම හයියෙන් මහන්සියෙන් අද චාමික ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවා. අම්මා විදිහට මට තව මොන සතුටක්ද…?

වර්ෂ 1999 නොවැම්බර් 25 වැනි දින තෙවැනි දරුවා ලෙස තම කුසින් බිහි කළ ආදරණීය පුතණුවන් චාමික ගැන ආදරණීය මව එලෙසින් කතා කළාය. ඇය සතුටට සිනාසුනා මිසක සතුටු කදුළු හෙළුවේ නැත. ඒ තරම්ම ඇයට දරුවන් ගැන ආඩම්බරය.

“මට මතකයි අයියලා මල්ලිලා තුන්දෙනා පොඩි කාලේ තරගෙට සෙල්ලම් කරද්දී ගෙදර ජනෙල් පවා බිඳපු හැටි. කළුවර වැටෙද්දි ගේ ඇතුළට එන්න කියලා කතා කරනකම් තුන් දෙනා සෙල්ලම් කරනවා. චාමිකගේ කෝච් සජිත් කිවුව විදිහට චාමික ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා. ඒත් එයා දෙවතාවෙම ආබාධයට ලක් වුණා. අම්මා විදිහට පුතා ආබාධයට ලක් වුණු එක ගැන දුකයි. කෑම බීම පවා පරිස්සමින් ගන්නේ. දුක් විඳගෙන මේ තැනට ආවේ. ඉතින් මගේ පුතාගේ දක්ෂතා එයා රඳවාගෙන ඉදිරියට යන්න ඕන. එයාට ඒක කරන්න පුළුවන්. මොකද අප්පච්චිගේ හීනය මොකක්ද කියලා එයා දන්නවා. ලොකු අයියා එයා වෙනුවෙන් කරපු කැප කිරීම් එයා දන්නවා. ලොකු පුතා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට නොගියේ චාමික පුතාව යම් තැනකට ගෙනියන්න. අප්පච්චි නැතුව මමයි අයියලා දෙන්නයි එයා වෙනුවෙන් හැමදේම කරනවා. ඒ නිසා පුතා යමක් කරයි කියලා විශ්වාස කරනවා, ලොකු පුතාලා දෙන්නත් විවාහකයි. මම අසනීපයෙන් හිටියත් පුතාගේ මැච් බලන්න තවම යනවා. ඉතින් මම දැන් හරිම සතුටින් නිදහසේ ජීවත් වෙනවා…”

ඒ චාමික ගුණසේකරගේ ආදරණීය මවගේ අවංක වචනයය. පියෙකුගේ රැකවරණය ආදරය නොමැතිව සමාජයේ හැල හැප්පීම් මැද දරුවන් සමාජයේ යම් තැනක තැබූ ඇය අද සතුටින් නිදහසේ ජීවත් වන්නීය. කරන කැපවීම් සඳහා යහපතක් වේවා යැයි චාමිකට අපද සුබ පතන්නෙමු.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division