කැබිනට් අනුමැතියටත් පයින් ගසා ප්‍රවාහන ලොක්කාගෙන් දේශීය ව්‍යාපාරිකයාට තහංචි | සිළුමිණ

කැබිනට් අනුමැතියටත් පයින් ගසා ප්‍රවාහන ලොක්කාගෙන් දේශීය ව්‍යාපාරිකයාට තහංචි

- ඇමැතිටත් නොදන්වා දේශීය දුම්රිය මැදිරි තහනම් කරලා
- මිලියන 200කට ගෙන්වන මැදිරියක් මෙරට හදන්නේ මිලියන 21කින්

සර 4ක් තුළ මෙරටට රුපියල් මිලියන 42,500ක් ඉතිරි කරමින් දුම්රිය මැදිරි පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට කටයුතු කළ ‘තන්ත්‍රි‘ සමාගමේ දුම්රිය මැදිරි පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබියදීම එය අවසන් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම්දීම නිසා ගිවිසුම්ගත තවත් දුම්රිය මැදිරි 29ක් පූර්ණ අලුත්වැඩියාවට ලක් කර රජයට රුපියල් මිලියන 5,200ක් ඉතිරි කරදීම අහිමි වන තත්ත්වයක් උදා වී තිබේ.

දේශීය ව්‍යාපාරයක් වන තන්ත්‍රි සමාගම විසින් දුම්රිය මැදිරි 200ක් එක් මැදිරියක් රුපියල් මිලියන 12ක් බැගින් වූ මිලකට පූර්ණ අලුත්වැඩියාවට ලක් කළ අතර පසුව තවත් දුම්රිය මැදිරි 100ක් එසේ පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීමට ගිවිසුම් ගතව තිබේ. එයින් මැදිරි 50ක් පූර්ණ අලුත්වැඩියාවට ලක් කිරීමට තන්ත්‍රි සමාගම කටයුතු කර ඇති අතර පසුව කොවිඩ් - 19 වසංගතය නිසා ඩොලරය ඉහළ යාමෙන් නිෂ්පාදන පිරිවැය ද ඉහළ යාම නිසා මැදිරි අලුත්වැඩියාවට ලබා දෙන මිල ඉහළ නංවන ලෙස සමාගම විසින් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව එක් මැදිරියක් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 21ක් ලබා දීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන 2022.12.20 දිනැතිව අංක MT/112/2022 යටතේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් 2023.01.14 දින යොමු අංක PFD/PMD/CM/2022/TRA/03/362 ලිපියෙන්ද මුදල් අමාත්‍යවරයා ලෙස එම අනුමැතිය සම්බන්ධව දැනුවත්ව තිබේ.

එවන් තත්ත්වයක් මත මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගේත් කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය හිමි වූ ව්‍යාපෘතියක් විෂය භාර ඇමැතිවරයා ද නොදැන මැදිරි 50න් 21ක් පමණක් අලුත්වැඩියාවට ලක් කර තිබියදී (මැදිරි 23ක් ලෙස දක්වා ඇත) එය නැවැත්වීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) විසින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට 2023.02.23 දිනැතිව යවන ලද ලිපියකින් දන්වා තිබේ.එම ලිපිය පහතින් දැක්වේ.

“මගේ අංකය- MT/11/01/01/05 
දුම්රිය සාමාන්‍යාධිකාරි, 
දුම්රිය දෙපාර්තමේන්තුව.

දුම්රිය මැදිරි මහා පරිමාණ අලුත්වැඩියාවන් තන්ත්‍රි ආයතනය මඟින් ඉටුකර ගැනීම - එස්ආර්එස්/එෆ් 7352

උක්ත කරුණට අදාළව ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විසින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කළ අංක ප්‍ර.යා.ඉ/ටීසි/SRS - F 7352 හා 2023/02/14 දිනැති ලිපිය හා බැඳේ.

ඒ අනුව ව්‍යාපෘතියේ කටයුතු 31/12/2023 දක්වා ලැබී ඇති ප්‍රතිපාදන සීමා යටතේ පවත්වා ගෙන යාමට පහත දැක්වෙන කොන්දේසි යටතේ අවසර ලබා දී ඇත.

* රජයේ පවතින මූල්‍ය අර්බුදය සලකා 2023/12/31 වන විට මෙම මැදිරි 23 අලුත්වැඩියා කිරීමෙන් පසු ව්‍යාපෘතිය අවසන් කිරීම

* 2024 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුව මෙහෙයුම් අවශ්‍යතාවය පරිදි දුම්රිය මැදිරි නඩත්තුව ප්‍රතිසංස්කරණය හා නවීකරණය රත්මලාන කර්මාන්තශාලාව මඟින් ඉටු කර සුදුසු වැඩසටහන් සකසා අමාත්‍යාංශය දැනුවත් කිරීම

* 2023/12/31 වන දිනට මෙම ව්‍යාපෘතිය නිමකර අදාළ ගොඩනැඟිලි හා ඉඩම් නැවත දුම්රිය දෙපාර්තමේන්තුවට භාර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම

* මෙම ගොඩනැඟිලි 2024 සිට දෙමටගොඩ ධාවන බල අංශය යටතේ මැදිරි නඩත්තු හා පින්තාරු කටයුතු සඳහා යොදාගත හැකි වන සේ වැඩසටහන් සැකසීම

ජේ.අයි.ඩී. ජයසුන්දර 
අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණ) 
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය 
ලේකම් වෙනුවට “ 
(උපුටා ගැනීම අවසන්)

එහි පිටපත් ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය, (රත්මලාන), ප්‍රධාන මූල්‍ය නිලධාරී - දුම්රිය දෙපාර්තමේන්තුව, ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) වෙත ද යොමු කර තිබේ.

මේ වන විට ලෝක වෙළෙඳ පොළේ මිල ගණන් අනුව ඉන්දියාවෙන් 3 වන පංතියේ දුම්රිය මැදිරියක් ආනයනය කරන්නේ නම් මැදිරියක් රුපියල් මිලියන 162ක් වන අතර (නැව් ගාස්තු හා රේගු ගාස්තු වරාය ගාස්තු සමඟින් එක් මැදිරියක් රුපියල් මිලියන 180ක් පමණ වේ) චීනයෙන් එම මැදිරියක් ලබා ගන්නේ නම් මැදිරියක වටිනාකම රුපියල් මිලියන 233ක් පමණ වේ.

ඒ ලෙසින් සාමාන්‍ය වශයෙන් රුපියල් මිලියන 200ක් පමණ වන දුම්රිය මැදිරියක් රුපියල් මිලියන 21කින් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර දෙවසරක පූර්ණ වගකීමක් සහිතව ලබා දෙන දේශීය ව්‍යාපාරයක් සමඟ වූ ගිවිසුම් මෙලෙස කඩ කිරීම තුළ රජයට නව දුම්රිය මැදිරි ආනයනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවේ.

මේ වන විට දුම්රිය මැදිරි ප්‍රමාණවත් නොවීම නිසා දුම්රිය රැසක්ම අවලංගු කර ඇති අතර කොළඹ සිට තලෙයිමන්නාරම, මාතලේ, බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය හා නගරාසන්න දුම්රිය රැසක් ද අවලංගු කර ති‍බේ.

එසේම තන්ත්‍රි සමාගම මේ වන විට මැදිරි 3ක බලවේග කට්ටල දුම්රියක් දේශීයව නිපදවීමේ ව්‍යාපෘතියක් සම්බන්ධ යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා ද රජයට විශාල මුදලක් ඉතිරි කර ගත හැකි බව පෙන්වා දී තිබේ.

Comments