රසායනික පොහොර වෙනුවට ජෛව කාබනික පොහොර | සිළුමිණ

රසායනික පොහොර වෙනුවට ජෛව කාබනික පොහොර

පනාගොඩ නව විද්‍යාගාරය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් විවෘත කළ අවස්ථාව, සාරභූමි බයෝ ප්‍රඩක්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද අබේගුණසේකර ද මෙහි වෙයි. මේ අවස්ථාවට වැවිලි හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ ද සහභාගි විය.

කොම්පෝස්ට් ලෙස අපි හඳුන්වන ඉවත ලන දේ දිරාපත් වූ පස පොහොර ලෙස යෙදීම තුළින් පසට හිතකර ක්ෂුද්‍ර ජීවීන් මෙන්ම අහිතක ක්ෂුද්‍ර ජීවීනුත් සිටින අතර ඒ තත්ත්වය වළකාලමින් නව පොහොර සංකල්පයක් ඉදිරිපත් කර තිබේ. ඒ ජෛව කාබනික පොහොර සංකල්පයයි එහි දී ක්ෂුද්‍ර ජීවීන් වගා කිරීමක් සිදු කරන බව සීමාසහිත තාක්ෂණ ව්‍යවසායකත්ව සහ කළමනාකරණ සමුපකාර බැංකු සමිතියේ (TEMCO) අධ්‍යක්ෂ ඉෂාන්ත ගුණවර්ධන පවසයි.

ඒ ක්ෂුද්‍රජීවී ගහනයෙන් අපට අවශ්‍ය පරිදි හිතකර පොහොර නිපදවා ගැනීමට හැකි බවත් ගොවියාගේ අස්වනු අඩුවීම පිළිබඳ මතය වෙනස් කිරීම පිණිස ආරම්භයේ දී එම ජෛව කාබනික පොහොර සමඟ රසායනික පොහොර ද ස්වල්පයක් ඊට එකතු කිරීම සිදු කරන බව ද ඔහු පෙන්වා දෙයි. එම රසායනික පොහොර එක් කිරීම ක්‍රමයෙන් ඉවත් කර දමනු ලැබේ.

එම පොහොර සම්බන්ධව මෙන්ම ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂාව වෙනුවෙන් කුණ්ඩසාලේ පර්යේෂණාගාරයක් ස්ථාපිත කෙරුණ ද එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන හෙයින් පසුගියදා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්තශාලාවක් විවෘත කරන ලදී. ඒ සාරභූමි ලංකා බයෝ ප්‍රඩක්ට් ආයතනයේ පර්යේෂණාගාරයක් ලෙසිනි.

සාරභූමි බයෝ ප්‍රඩක්ට් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චමින්ද අබේගුණසේකර පවසන්නේ වර්තමානයේ රසායනික පොහොර සඳහා වසරකට රුපියල් බිලියන (35) තිස්පහක් වැය කරන බවත්, ඒ වැය කරන සෑම සතයකින්ම සිදුවන්නේ මේ රටේ පරම්පරා ගණනාවක් බරපතළ රෝගීන් බවට පත් කිරීම බවයි. රට කෘෂිකාර්මිකව වැරදි පාරක ගමන් කරන බවත් ගොවීන් අධික ලෙස රසායනික පොහොර, කෘෂි රසායන හා පළිබෝධ නාශක භාවිත කිරීම නිසා පොළොව නිසරු තත්ත්වයට පත් වී ඇති බවයි.

 

 

Comments