එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 30.1 ක ආදායමක් | සිළුමිණ

එයිට්කන් ස්පෙන්ස් සමාගමට රුපියල් බිලියන 30.1 ක ආදායමක්

වමේ සිට, එයිට්කන් ස්පෙන්ස් සභාපති - දේශමාන්‍ය ඩී. එච්. එස්. ජයවර්ධන, නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක සහ විධායක අධ්‍යක්‍ෂ - ස්ටෂානි ජයවර්ධන

මෙරට ප්‍රමුඛතම ස්ථාවර ව්‍යාපාර අතරේ පෙරමුණ ගත් ව්‍යාපාරයක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගම, 2022 - 2023 මූල්‍ය වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 30.1 ක ආදායමක් සහිතව, 30.3% ක වර්ධනයක් පෙන්වා ඇත. එය (EBITDA) පොලී වියදම්, බදු, ක්ෂයවීම් සහ කාලානුරූපීව සිදුවන වත්කම් අවප්‍රමාණ කිරීමට පෙර, කොටස් ගිණුම්ගත ආයෝජකයන් ඇතුළු ඉපැයීම් වෙතින් වාර්තා වූ, එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ සියලු අංශවල දායකත්වය ප්‍රදර්ශනය කරමින් පෙන්නුම් කරනු ලබන, ආදායමකි. විදේශ විනිමය ලාභ හැරුණු විට, ව්‍යාපාර සමූහයේ 77.0% ක වර්ධනයක් වාර්තා කර තිබීමත් විශේෂත්වයකි.

ගිණුම්ගත වර්ෂය සඳහා එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් ලාභය 15.8%ක වර්ධනයක් පෙන්නුම් කරයි. එය රුපියල් බිලියන 16.4 සිට රු. බිලියන 19.0 ක් දක්වා ඉහළ යෑමකි. 2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළදී විදේශ විනිමය ලාභය හැර, ව්‍යාපාර සමූහයේ මෙහෙයුම් ලාභය කලින් වසරට වඩා 85.2 % ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

සමාලෝචනය කරන ලද වර්ෂය තුළ, ව්‍යාපාර සමූහයේ ලාභය වෙනුවෙන් ප්‍රමුඛතම දායකයා ලෙස, සමුද්‍රීය සහ භාණ්ඩ ප්‍රවාහන අංශය 69.8% ක දායකත්වයක් පෙන්නුම් කරයි. ඉන් පසුව වැඩිම දායකත්වයක් දක්නට ලැබුණේ ව්‍යාපාර සමූහයේ සංචාරක අංශයෙනි. එය ප්‍රතිශතයක් වශයෙන් 20.8% කි. සමාලෝචනය කරන ලද වර්ෂය තුළ, උපායමාර්ගික ආයෝජන අංශය 4.8% කින් ද, සේවා අංශය 4.6% කින්ද, ව්‍යාපාර සමූහයේ ලාභය වෙනුවෙන් දායක වී ඇත.

මෙම වර්ධනීය තත්ත්වය පිළිබඳ එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහයේ නියෝජ්‍ය සභාපති, කළමණාකාර අධ්‍යක්‍ෂක ආචාර්ය පරාක්‍රම දිසානායක මෙසේ පැවසීය.

''අපගේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත නිසාත්, අපි මුහුණ දෙන සෑම තත්ත්වයක් දෙසම විමසිලිමත් දෑසින් බැලීම නිසාත්, සුවිශේෂී තීරණ ගැනීමත් හේතුවෙන්, විදේශ විනිමය උත්පාදන ක්ෂේත්‍රයේ ව්‍යාපාර සම්බන්ධයෙන් උපායමාර්ගිකව ආයෝජනය කිරීමට අප පෙලැඹී තියෙනවා. මෙම දිගුකාලීන දැක්ම, ගෙවී ගිය අභියෝගාත්මක වසරක කාලයේදී කැපී පෙනෙන ලෙසින් අපට වාසිදායක වී ඇති බවත් පෙන්නුම් කරනවා. අපගේ ව්‍යාපාර සමූහය තුළ, සියලුම ව්‍යාපාරික අංශවල අඛණ්ඩ මෙහෙයුම් සහතික කිරීම සඳහා මෙම ආයෝජන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙන බවත් පැහැදිලිවම දැකගත හැකි කාරණාවක්''

2030 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ලබා ගැනීමට ප්‍රතිඥා දී ඇති එයිට්කන් ස්පෙන්ස් සමාගම එමඟින් විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්ක කරා යෑමට එකඟ වී සිටී. වසර 150 කට වැඩි සාඩම්බර අතීතයකට හිමිකම් කියන එයිට්කන් ස්පෙන්ස් සමාගම සමඟ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 ක කර්මාන්ත 16ක සේවකයෝ 13,000කට අධික පිරිසක් බද්ධ වී සිටිති.

Comments