හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයේ නීලගිරි සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් | Page 2 | සිළුමිණ

හෝමාගම ධර්ම රශ්මි පොසොන් කලාපයේ නීලගිරි සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක්

නීලගිරි සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය එළැඹෙන පොසොන් පුන් පොහෝ දින එනම් ජූනි 3 වැනිදා සිට 5 වැනිදා දක්වා හෝමාගම ‘ධර්ම රශ්මි‘ පොසොන් කලාපයේදී පැවැත්වේ. 3 වන දින පෙරවරුවේ පූර්ණ රාජ්‍ය ආරක්ෂාව සහිතව ධාතූන් වහන්සේ හෝමාගම දක්වා වැඩම කරවන අතර එතැන් සිට දළදා මාලිගාවේ හස්තිරාජයකු මතින් එය හෝමාගම සුගතබිම්බාරාම විහාරස්ථානය දක්වා වැඩම කරවනු ලැබේ. එදින දහවල් බුද්ධ පූජාවෙන් අනතුරුව ධාතු ප්‍රදර්ශනය සිදු කෙරෙන අතර 4 සහ 5 දෙදින පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා ධාතු වන්දනාවට බැතිමතුන්ට අවස්ථාව සැලසේ.

නීලගිරි සර්වඥ ධාතූ වසර තුනක් බොදු බැතිමතුන්ට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව හිමි නොවු අතර මෙවර ධර්ම රශ්මි වෙසත් කලාපයේදී නිලගිරි සර්වඥ ධාතු වන්දනා කිරීමට හැකිව තිබේ. මේ කාර්යයේ ප්‍රධානත්වය ගනු ලබන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයන්ය. ඒ සඳහා සඳහා සහාය ලබා දෙනු ලබන්නේ ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායකයන්ය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර මනතුංගයන්ගේ අධීක්ෂණයෙන් මේ සියලු කටයුතු සිදු කෙරේ. පෞද්ගලික බස්රථ සංගම් විසින් පොසොන් කලාපය තුළ නොමිලයේ විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. දුරබැහැර සිට සර්වඥ ධාතු ප්‍රදර්ශනය හා පොසොන් කලාපය නැරඹීමට පැමිණෙන අය වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා රාත්‍රී 12 දක්වා දුර සේවා බස්රථ ධාවනයට කටයුතු යොදා ඇත.

Comments