සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වරට රු.බිලියන 3ක ලාභයක් වාර්තා කරයි...! | සිළුමිණ

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වරට රු.බිලියන 3ක ලාභයක් වාර්තා කරයි...!

මේ පිළිබඳ ව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක්, ග. මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ මැතිතුමාගේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 26 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාර පරීශ්‍රයේ දී සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සමාන්‍යාධිකාරී අනුර ජයරත්න, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩගේ, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න, සහකාර සමාන්‍යාධිකාරී (අලෙවි) අසංකා ගුණසිංහ ඇතුළු මහත්ම, මහත්මීන් සහභාගී වූහ. ඡායා - ගයාන් පුෂ්පික

ජනාධිපති අරමුදලේ මහජන සේවාවන් සදහා සහ මහපොළ උසස් අධ්‍යාපන පන ශිෂ්‍යත්ව අරමුදල සදහා අරමුදල් සම්පාදනය අරමුණු කරගනිමින් 1997 අංක 20 දරණ පනත මගින් පිහිටුවා ඇති සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2022 වසරේ දී සිය වාර්ෂික ආදායම් ඉලක්ක සපුරා ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට රු.බිලියන 3ක වාර්තා ගත ලාභයක් සනිටුහන් කරයි. කොවිඩ් ව්‍යවසනය හමුවේ රටතුළ පැන නැගුණු උග්‍ර ආර්ථික අභියෝග සහ දේශපාලනික ගැටලුකාරි තත්ත්වයන් මත 2022 වසරේ දී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාරික ආයතනවල මෙහෙයුම් ඇතැම් අවස්ථාවන්වල අකර්මන්‍ය වී දින ගණන් පැවති අවස්ථා ද දක්නට ලැබුණු අතර, ඒ මත සිය ව්‍යාපාරික අරමුණු සහ වාර්ෂික ආදායම් ඉලක්ක සපුරාගත නොහැකි වූ රාජ්‍ය මෙන් ම පෞද්ගලික ආයතන ගණනාවක් ද දැක ගත හැකිවිය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ව්‍යපාරික කටයුතු සඳහා ද ඉහත කී අභියෝග ඍජුව බලපෑව ද එය මනාව පාලනය කරගනිමින් කළමනාකරණය කිරීමට වර්තමාන සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂක මණ්ඩලයටත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුලු කාර්ය මණ්ඩලයට හැකියාව ලැබී ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර 40ක ඉතිහාසය තුළ ආයතනය හමුවේ පැමිණි සියලු අභියෝගයන් සහ දුෂ්කරතාවයන්ට සාර්ථක ව මුහුණ දීමට හැකි අලෙවි ජාලයක් ආයතනය සතුව පැවතීම ද, ආයතනයේ කළමණාකාරිත්වය විසින් ගනු ලබන නිරන්තරයෙන් යාවත්කාලීන වන අලෙවිකරණ සැලසුම් හා උපායමාර්ග සමඟ ඒකාත්මික වන දිස්ත්‍රික්් අලෙවි නියෝජිත ජාලය සහ අලෙවි නියෝජිත ජාලය ද ඔවුන් යටතේ සේවය කරන 20,000 කට අධික අලෙවි සහායක කණ්ඩායම විසින් ඉටු කරනු ලබන මෙහෙය ද ආයතනය ලද ඉමහත් ශක්තියක් බව ද, පවතින ආර්ථික අභියෝග හමුවේ සිය ලොතරැයි ව්‍යාපාරය රැක ගැනීමට ඔවුන් ඉටුකරන සේවය ඉතා වැදගත් බව ද, සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

ත්‍යාග මුදල් වශයෙන් රු.බිලියන 10ට ආසන්න මුදලක් සුපිරි ත්‍යාග ප්‍රථම, දෙවන, තෙවන ත්‍යාග හා සෙසු ත්‍යාග වශයෙන් 2022 වසරේ දී සිය පාරිභෝගික ජනතාව වෙත ලබා දෙමින් ද, අලෙවි නියෝජිත කොමිස් මුදල් වශයෙන් රු. බිලියන 03 ට වැඩි මුදලක් ලබා දෙමින් ද, රජය විසින් පනවන ලද සියලුම බදු වියදම් ලෙස රු. මිලියන 837ක මුදලක් රජය වෙත ලබා දෙමින් සහ මණ්ඩලයේ අනෙකුත් සියලු වියදම් ද දරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය රු. බිලියන 03ට වඩා වැඩි ලාභයක් සමගින් රු. බිලියන 19 ඉක්මවා පිරිවැටුමක් ලබා ගැනීමට හැකි වූ බව තවදුරටත් පවසයි.

විශේෂයෙන් ම, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා හා කළමනාකාරිත්වයේ සෘජු අධීක්ෂණය යටතේ 2022 වසරේ දී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම ප්‍රගතිය ළඟාකර ගැනීමට පිටුවහල් වූ බව ආයතනය පෙන්වා දේ. එහි දී, සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි බෙදාහැරීමේ නියෝජිතයින් සහ අලෙවි නියෝජිතයින් සඳහා ඔවුන්ගේ වාර්ෂික අලෙවි නියෝජිත හමුව “සංවර්ධන අභිමන්” නමින් නව මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු කර, පෙර සම්ප්‍රදායන් වෙනස් කරමින් මෙම සුවිශේෂී අලෙවි නියෝජිත හමු සඳහා ලොතරැයි ව්‍යපාරයට ඍජුව ම සම්බන්ධ වන ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවල උසස් නිලධාරින් ඇතුලු බල අධිකාරින් ද කැඳවීම තුලින් අලෙවි නියෝජිතයින්ගේ සහ අලෙවි සහයකයින්ගේ ඉතා දීර්ඝ කාලයක් තුළ පැවති ගැටලු නිරාකරණය කරගැනීමට ද හැකියාව ලැබී ඇත. එසේ ම වාර්ෂික වැඩිම අලෙවියක් වාර්තා කළ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛයින් ඇගයීමත්, ඔවුන්ට ත්‍යාග මුදල් හා සහතිකපත් ප්‍රදානය කිරීමත් සිදු කළ අතර, වැඩසටහන තුල නව ආකාරයකින් ඔවුන් ව අභිෙප්‍ර්රණය කිරීම 2022 වසරේ සාර්ථකත්වයට තුඩු දුන් කාරණාවක් විය.

තව ද මණ්ඩලයේ ෙජ්‍යෂ්ඨ කළමණාකාරිත්වය තම නිත්‍ය රාජකාරි අතරතුර දිස්ත්‍රික් මට්ටමේ අලෙවිය පිළිබඳ ව වෙන් වෙන් වශයෙන් සොයා බලා කටයුතු කිරීමත්, එක් එක් දිස්ත්‍රික්වල අලෙවි ජාලයේ කුඩා කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමත් බොහෝ ප්‍රදේශවල ලොතරැයි අලෙවි කුටිවලට පෞද්ගලිකව ම ගොස් අලෙවි සහයකයින්ට ඇති අඩුපාඩු සොයා බලමින් ඔවුන්ව දිරිමත් කිරීමත්, සංවර්ධන ලොතරැයි මණ්ඩලය කෙරෙහි විශ්වාසය ඇති කරමින් ඒ හරහා තව තවත් ටිකට්පත් අලෙවිය වැඩි කර ගැනීමටත් කටයුතු කිරීම මෙම සාර්ථකත්වයේ තවත් එක් උපායමාර්ගයක් විය. දෛනික ටිකට්පත් අලෙවිය වැඩිකර ගැනීම සඳහා පවතින ලොතරැයිපත්වල ත්‍යාග රටා ආකර්ෂණීය ලෙස වෙනස් කිරීමත්, එකී ලොතරැයිපත් තුළ මාසික ව විශේෂිත ලොතරැයි දිනුම් ඇදීම් සිදුකිරීමත් මෙලෙස ආදායම් උපයාගැනීමට ඉවහල් වූ තවත් කරුණක් විය. විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් නව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමත්, එම ප්‍රදේශවල ජීවත් වන දමිළ මාධ්‍ය භාවිත කරන ජනතාව ඉලක්ක කර ගනිමින් සහ දකුණේ ජනතාව අතර සන්නාමයක් ලෙස ප්‍රවර්ධනය කරමින් වැඩි ත්‍යාග ප්‍රමාණයක් හිමිවන පරිදි ත්‍යාග රටාවක් සකස් කරන ලද “වාලම්පුරි” නමින් නව ලොතරැයිපතක් හඳුන්වාදීම සන්ධිස්ථානයක් විය. ඉකුත් වසර තුළ දෛනික ලොතරැයි සන්නාමයන්වල වැඩි ම ටිකට්පත් අලෙවියක් වාර්තා කරගැනීමට ද සංවර්ධන ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබී ඇත. 2023 වසරේ ජනවාරි 19 වන දින විජයග්‍රාහි 40 වන සංවත්සරය සමරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආයතනික ලාංඡනය සමඟ ආකර්ශණීය නව ව්‍යාපාරික ලාංඡනයක් හදුන්වා දෙමින්, දිනෙන් දින දියුණු වන නව ලොතරැයි වෙළඳපොළත්, නවීන තාක්ෂණයෙන් පිරිපුන් තාණ්‍යයත්, මෙතෙක් අප සමඟ එකතු නොවු පාරිභෝගික කොටස් එකතු කරගැනීම මෙම නව ව්‍යාපාරික ලාංඡනය දියත් කිරීමේ අභිලාෂය වී ඇත. එසේ ම ලොතරැයි ව්‍යාපාරය තුළ නවීන දිනුම් ඇදීමේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැරණි සන්නාමයන් වෙනුවට නව සන්නාමයන් හදුන්වා දීම තුළින් 2023 වසරේ මූල්‍ය ඉලක්ක ළඟා කරගැනීම තුලින් ඉහළ පිරිවැටුමක් ලබා ගැනීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය බලාපොරොත්තු වේ. ආයතනයේ මුඛ්‍ය පරමාර්ථය ලෙස ගැනෙන සුවිශාල මහජන මෙහෙවරක යෙදෙන ජනාධිපති අරමුදලටත්, දැයට නැණ නුවණින් හෙබි බුද්ධිමත් පරපුරක් බිහිකරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලටත්, පෙර වසරට වඩා වැඩි දායකත්වයක් ලාභ ලෙස ජනනය කර ඉහතින් සදහන් කර අරමුදල් දෙක ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බව ද, පෙර වසරවලට වඩා වැඩි ත්‍යාග ලාභීන් දිවයින පුරා බිහිකරමින්, රටේ ආර්ථිකයට ශක්තියක් වන ව්‍යවසායික පරපුරක් ද, උසස් ආර්ථික තත්ත්වයකින් හෙබි ජනතාවක් ද බිහි කර ගැනීම උදෙසා දැයේ ජන ජීවිත එළිය කිරීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අපේක්ෂාව බව පවසයි.

 

Comments