උසස් පෙළ විභාගය අද ඇරඹෙයි | Page 2 | සිළුමිණ

උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

අදින් (23) ආරම්භ වන අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් වැඩිපුර දීමට තීරණය කර තිබේ.  රචනා ප්‍රශ්න පත්‍රය දී නියමිත පැයක කාලය අවසන් වූ පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
 
 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (22) පැවසුවේය.
 
මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 331,709ක් පෙනී සිටින අතර, විභාග මධ්‍යස්ථාන 2,200ක් ක්‍රියාත්මක බවත් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 32ක් පවතින බවත් හෙතෙම පැවසීය.
 
අද සිට ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය පොදු ප්‍රවාහන පහසුකම් දීම සඳහා සිසුසැරිය දීප ව්‍යාප්ත බස් රථ 1,617ක් සහ දුම්රිය 16ක් අමතරව යෙදවීමට රජය පියවර ගෙන ඇතැයි මෙහිදී අදහස් දක්වමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කළේය.
 
අද සිට මෙම ප්‍රවාහන සැලසුම ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීවේය.
 
සිසු සැරිය බස් රථ 1,613ක් යොදවා ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන දින 22 පුරාම මෙම පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වන බවත් ඒ මහතා කීය.
 
ධාවනය වන සෑම කිලෝමීටරයක් සඳහා රුපියල් 88ක සහනාධාර මුදලක් කලින් වතාවේදී ගෙවූ බවත් එය රුපියල් 105ක් දක්වා මෙවර වැඩි කර ඇති බවත් හෙතෙම පැවසීය.
 
සිසු දරුවන්ට අමතරව විභාග මධ්‍යස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලයට හා ගුරුවරුන්ට මෙම පොදු ප්‍රවාහන සේවාව භාවිත කළ හැකි බව ද ඔහු පැවසුවේය.

Comments