ජීවන තත්ත්වය ගැන ලොවට කියන සාගිනි දර්ශකය | සිළුමිණ

ජීවන තත්ත්වය ගැන ලොවට කියන සාගිනි දර්ශකය

ලෝක සාගිනි දර්ශකය 2021 වසර වෙනුවෙන් සම්පාදිත වාර්තාව පසුගියදා එළි දැක්වූයේ ලොව පුරා විවිධ රටවල ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳව ඇති තතු හෙළි කරමිනි. වාර්ෂීකව ලොව පුරා ජනතාවගේ ජීවන තත්ත්වය විමසා බැලීම මගින්, ලබා ගන්නා දත්ත අනුව සකස් කෙරෙන මේ සාගිනි දර්ශකය රටින් රට ජනතාවගේ ජීවන තත්ත්වය, මෙන්ම එම රටවල ජනතාවගේ පෝෂණය, සමාජ තත්ත්වය යනාදිය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි දර්ශකයක් සේ දැක්විය හැකිය. මෙහිදී දර්ශකය මගින් සලකා බැලෙන කරුණු සම්බන්ධව අවම ලකුණු ලබා ගන්නා රටවල ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් හිමි බව අදහස් කෙරෙන අතර වැඩි ලකුණු ලබා ගන්නා රටවල ජනතාවට නිසි පෝෂණයක් මෙන්ම යහපත් ජීවන තත්ත්වයක්ද හිමි නොවන බව අදහස් කෙරේ.

 

සාගිනි දර්ශකයේ ලකුණු පහට වඩා අඩුවෙන් ලබා ගත් රටවල් යහපත් ජිවන තත්ත්වයක් හිමි රටවල් ලෙස නම් කර ඇති අතර එම තත්ත්වය ලබා ගැනීමට සමත් වූ රටවල් අතර බෙලරූස්, චිලී, චීනය, ක්‍රොඒශියාව, කියුබාව, එස්තෝනියාව, කුවේටය, ලැට්වියාව, ලිතුවේනියාව, මොන්ටිනීග්‍රෝ, රොමානියාව, ස්ලෝවැකියාව, සර්බියාව, ස්ලෝවැකියාව, තුර්කිය සහ උරුගුවේ යන රටවල් වේ. මේ රටවල් අතරින් බොහොමයක් එතරම් ප්‍රසිද්ධියක් නොඋසුලන කුඩා රටවල් වීම විශේෂයකි. චීනය පමණක් ලොව ප්‍රබල රටවල් අතරින් මෙවර සාගිනි දර්ශකයේ සාර්ථක රටවල් අතරට පැමිණීමට සමත් වී තිබේ. චීනය 2000 වසරේදී සාගින දර්ශකයේ ලකුණු 13.3ක් ලබා සිටි අතර 2006 වසරේදී එය 9.0 දක්වා අඩු කර ගැනීමටත්, 2012 සිට සාගිනි දර්ශකයේ ලකුණු 5ට වඩා අඩුවෙන් ලබා ගනිමින් සාර්ථකත්වය අත්පත් කර ගැනීමටත් සමත් වීම විශේෂයකි. ක්‍රොඒශියාව, කියුබාව, කුවේට් සහ ලිතුවේනියාව වසර 2000 සිටම අඛණ්ඩව සාගිනි දර්ශකයේ ලකුණු පහට වඩා අඩුවෙන් වාර්තා කිරීමට සමත් වී ඇත්තේ අඛණ්ඩව යහපත් ජිවන තත්ත්වයක් තම ජනතාවට ලබා දීමට සමත් වූ සාර්ථක රාජ්‍යයන් බවට පත් වෙමිනි.

මෙවර නිකුත් කර ඇති දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ලකුණු 16.0ක් ලබා ගනිමින් පෙර පැවති තත්ත්වයට වඩා විශාල සාර්ථකත්වයක් ලබා ගැනීමට සමත් වී ඇති බව ප්‍රකාශ කර තිබේ. වසර 2000 දී ශ්‍රී ලංකාවට ලකුණු 21.9ක් ලැබී තිබුණු අතර 2006දී එය 20.0 දක්වා පහත වැටී තිබේ. එය 2012 වසරේදී 20.6ක් දක්වා ඉහළ නැගි අතර මෙවර 16.0ක් දක්වා පහළ බැස ඇත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් බව ප්‍රකාශ කරමිනි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙසේ වන විට ලෝක බලවතුන් රාශියක්ම සාගිනි දර්ශකයේ විවිධ ස්ථානවල සිටිමින් තම ජීවන තත්ත්වය ලොවට පෙන්නුම් කරමින් සිටිති. රුසියාවට සාගිනි දර්ශකයේ 25 වැනි ස්ථානය හිමි වී තිබෙන අතර සවුදි අරාබියට 29 වැනි ස්ථානය හිමි වී තිබේ.

දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවල් නම් සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව තරම්වත් සතුටුදායක ස්ථාන හිමි කර ගැනීමට සමත්ව නොසිටීම කනගාටුදායක කරුණකි. බංග්ලාදේශය සාගිනි දර්ශකයේ 76වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී සිටින්නේ ලකුණු 19.1ක් ලබා ගනිමිනි. එහෙත් බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ණය සහ ආධාර ලබා දෙන රටක් බවට පත්ව සිටින්නේ පසුගිය වසර කිහිපයකදී ලබා ගත් විශාල ආර්ථික ප්‍රගමනයද සමඟිනි. නේපාලයද 76 වැනි ස්ථානය ලබා ගැනීමට සමත්ව සිටින්නේ බංග්ලාදේශය සමඟ සමව ලකුණු 19.1ක් ලබා ගනිමිනි.

වඩාත්ම පුදුම සහගත කරුණ ලෙස ඉන්දියාව ලකුණු 27.5ක් ලබා ගනිමින් දර්ශකයේ 101වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. එහෙත් ඉන්දියාව පෙර වසරවලදී ලබා ගත් ලකුණු අනුව සසඳන විට මෙවර ඉන්දියාව වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත් වී ඇති බව පෙනේ. කෙසේ වුවද ඉන්දියාව ලෝක සාගිනි දර්ශකයේ වාර්තාව අසත්‍ය බව ප්‍රකාශ කරමින් එය ප්‍රතික්ෂේප කරන බවද දන්වා තිබේ. මෙවර දර්ශකයේ අවසන් ස්ථානය දිනාගෙන තිබෙන්නේ සෝමාලියාව විසිනි. එරට ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 50.8කි.

Comments