දිවි­නැ­ඟුම නඩු­වෙන් බැසිල් නිද­හස් | සිළුමිණ

දිවි­නැ­ඟුම නඩු­වෙන් බැසිල් නිද­හස්

දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂයන්ට හා දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව ගොනුකර තිබූ අධි චෝදනාවලින් ඔවුන් දෙදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසින් ඉකුත් සිකුරාදා නිදහස් කරන ලදී.

මෙම නඩුව 2016 දෙසැම්බර් සිට 2021 ඔක්තෝබර් දක්වා නඩු වාර 16ක් පුරා විභාගයට ගෙන ඇත.

නැවතත් නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි අධිකරණය හමුවේ පවසා ඇත්තේ මේ නඩුව හා සමාන චෝදනා හා සිද්ධිමය කරුණු පාදක කර ගනිමින් පවරා තිබූ නඩුවක් කොළඹ මහාධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව මෙම දෙදෙනා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙක් 2020 දෙසැම්බර් මාසයේදී නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය තීරණය කර ඇති බැවින් මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

මෙහිදී ඉදිරිපත් කෙරුණු කරුණු අධ්‍යයනයකින් පසු විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍ර පවත්වා‍ ගෙන නොයෑමට නීතිපතිවරයා තීරණය කර ඇති බවත් ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය යටතේ අදාළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් අධිකරණය විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට තීන්දු ‍කළේය.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ දිවි නැඟුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 36,509,124ක මුදලක් වැයකොට ජී.අයි. පයිප්ප මිලදී ගෙන ඒවා දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාදීම මගින් එම මුදල් සාපරාධී හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් ඉකුත් ‘යහපාලන‘ රජය සමයේදී, බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක යන දෙදෙනාට එරෙහිව ‍මෙම නඩුව පවරා තිබුණි.

 

 

 

Comments