වර්ණවත් මතකයක හිමිකරුවකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු අයියා | Page 2 | සිළුමිණ

වර්ණවත් මතකයක හිමිකරුවකු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු අයියා

 

ඔහු උපන්නේ රඹුක්කන ය. ඒ මීට හැට අට වසරකට පෙර ය. රම්‍ය පුරයක් වූ රඹුක්කන සැබැවින්ම වර්ණවත් කළ මිනිසා ඔහු ය. තරමක් ආඩම්බරශීලී බවක් පෙන්නුව ද හඳුනාගත් පසු ළබැඳි පුද්ගලයෙකි හේ. ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු ටෙස්ට් පන්දුව පිතිකරුවකු ලෙස පිළිගත්තේ ඔහු ය. ශ්‍රී ලංකාව පළමු එක්දින ජයග්‍රහණය කරා මෙහෙයවූ නායකයා ද ඔහුම ය. පසුගිය දා අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු අමරණීය මතකයකි. ක්‍රීඩකයකු මතු නොව ප්‍රතිභාමත් සන්නිවේදකයකු වශයෙන් රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඔහු සිදුකළ අනුපමේය කැපකිරීම් අරභයා උපහාරයක් ලෙස මෙලෙස ඔහු සිහිපත් කරන්නේ ය.

“ජයග්‍රාහකයා වර්ණපුර” යනුවෙන් එක්තරා සති අන්ත ඉංගිරිසි පුවත්පතක පළව තිබුණේ 1972 වසරේ අප්‍රේල් මාසයේ දිනකදී ය. වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ සම්මාන උලෙළේ දී වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් ඔහු තෝරාගත් පුවත එලෙස වාර්තා කර තිබිණි. හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට අමතරව ඔහු වසරේ හොඳම සම පිතිකරු සම්මානයට ද උරුමකම් කීවේ ය. (ඔහු සමඟ එම සම්මානයට හිමිකම් කියූ අනෙක් පිතිකරුවා ශාන්ත තෝමස් විදුහලේ දුලිප් මෙන්ඩිස් ය.)

එකල වර්ණපුර කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කළ අතර ඔහු දක්ෂතා දැක්වූයේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ය. එමෙන්ම ඔහු පාසලේ ආරම්භක පිතිකරුවාද විය. ඊට අමතරව කලක් නාලන්දා විදුහල් ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද ඔහුට පැවරී තිබිණි.

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවූ 1972 වසරේ පාසල් පිතිකරුවන් අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය දැක්වුණේ 75.67 ක් ලෙසිනි. එහෙත් ඒ වනවිටත් වර්ණපුර පාසල් ක්‍රීඩකයකු ලෙස සරා ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් ද සිටියේ ය.

 

ජයග්‍රාහී වසරක්

ඒ අතින් බලන කල 1972 වසර ඔහුට අතිශය සතුටුදායක වසරකැයි කිවහැකි ය. එය තවත් සුවිශේෂී වූයේ එම වසරේ ආනන්ද-නාලන්දා මහා ක්‍රිකට් තරගයේ දී ඉහළම තනි පුද්ගල ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා බවට පත්වන්නට ඔහුට හැකිවූ හෙයිනි. ඒ නාලන්දාවේ පී.එම්.ජයතිලක (1928) මෙන්ම සී. ඔබේසේකර (1950) යන පිතිකරුවන් දෙදෙනා මහා ක්‍රිකට් තරගයක ගොඩනගා තිබූ ඉහළම ඉනිම (111) නොදැවී ලකුණු 118 ක් ලෙස තවදුරටත් ඉදිරියට ගෙනයාමට ඔහුට හැකිවූ හෙයිනි. එතැනින් නොනැවතුණු වර්ණපුර එම වසරේ දී නාලන්දා විදුහලට අන්තර් පාසල් සීමිත පන්දුවාර තරගාවලියේ ශූරතාව දිනා දීමට නායකත්වයෙන් ද දායක විය.

ශූරතාව තීරණය කළ එම තරගාවලියේ අවසන් පුර්ව වටයේ දී දුලිප් මෙන්ඩිස් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ඇතුළත් වූ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පන්දුවෙන් (15/03) හා පිත්තෙන් (82) එක සේ දක්ෂතා දැක්වීමට ඔහුට හැකිවිණි.

 

ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතය

මේ අතර එම වසරේ දී ම ඔස්ට්‍රේලියානු පාසල් ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ය. එම කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් අතර පසුකලෙක ඔස්ට්‍රේලියාව නියෝජනය කළ ග්‍රැහැම් යැලොප්, රේ බ්‍රයිට් වැන්නෝද වූහ. එම කණ්ඩායමට එරෙහිව දක්ෂතා දැක්වූ වර්ණපුර මහනුවර දී ශතකයක් ද රැස්කරමින් කැපී පෙනුණේ ය.

“ඔහු දිගින් දිගටම මේ ආකාරයෙන් ක්‍රීඩා කළහොත් ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන දිනය වැඩි ඈතක නෑ.” යැයි එම සංචාරයේ නිරත ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු ප්‍රකාශ කර තිබු බව එවකට ජනමාධ්‍ය පුන පුනා වාර්තා කළේ ය.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයාගේ අනාවැකිය සැබෑවන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. වර්ණපුරගේ වර්ණවත් ක්‍රිකට් ජීවිතය තවදුරටත් වෛවර්ණ කරමින් ඔහු එම වසරේ අප්‍රේල් මාසයේ මෙරට සංචාරය කළ මැලේසියානු කණ්ඩායමට එරෙහිව තරග වැදුණු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායමට කැඳවීය.

කොළඹ ඕවල් පිටියේ දී පැවැති තරගයට ක්‍රීඩා කළ වර්ණපුර ලකුණු 294 ක් ලබා ගත්තේ ය. එය එකල සැලකුණේ මෙරට පිතිකරුවකු විදෙස් රටක කණ්ඩායමකට එරෙහිව තනි ඉනිමක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ය. එම තරගයේ දී දුලිප් මෙන්ඩිස් ලකුණු 122 ක් ද කණ්ඩායමේ නායකත්වය ඉසිලූ අනුර තෙන්නකෝන් ලකුණු 221 ක් ද රැස්කරමින් හැඩකළේ ය.

එම තරගයේ දී ශ්‍රී ලංකාව මැලේසියාවට එරෙහිව කඩුලු හතරක් දැවී ලකුණු 736 ක් රැස්කර තිබිණි. එදා මැලේසියාවට එරෙහිව දියත් කළ වර්ණපුරගේ එම සුපිරි ඉනිම මෙරට ජනමාධ්‍ය තුළ විප්ලවයක් ගොඩනැංවී ය. ඇතැම් ක්‍රිකට් විචාරකයන් බන්ධුල වර්ණපුර මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම පිතිකරුවා යැයි නම් කරන්නට පසුබට වූයේ නැත.

“බන්ධුල වර්ණපුර මෙරට ක්‍රිකට් ඉතිහාසයට නොමැකෙන මතක-යක් එක්කර තිබෙනවා. විදෙස් කණ්-ඩායමකට එරෙහිව පිතිකරුවකු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කරමිනුයි ඔහු මෙම දස්කම දක්වා ඇත්තේ. ඔහුගේ මෙම දස්කම සාගෝ ජයවික්‍රම, ජැක් ඇන්ඩර්සන්, සතාසිවම් (අතී-තයේ මෙරට සිටි විශිෂ්ට පිතිකරුවන්) වැනි ක්‍රීඩකයින්ගේ දස්කම්වලටත්

වඩා ඉහළ යැයි කිවයුතුයි.” යනුවෙන් ඔවුහු පවසා තිබිණි.

ජාත්‍යන්තර තරගවල දී ද ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ බන්ධුල වර්ණපුර තම සහායක ආරම්භක පිතිකරුවන් ලෙස රංජිත් ප්‍රනාන්දු, අනුර තෙන්නකෝන්, සුනිල් වෙත්තමුණි හා එක්ව ක්‍රීඩාකර තිබේ. එහිදී වැඩිම අවස්ථා ගණනක් වර්ණපුරයන් සමග ආරම්භක පිති-කරුවා සේ කටයුතු කළේ සුනිල් වෙත්තමුණි ය.

වසීම් රාජාගේ නායකත්වයෙන් යුතුව 1973 මෙරට සංචාරය කළ පාකිස්තාන් වයස අවුරුදු 25 න් පහළ කණ්ඩායමට එරෙහිව සුනිල් වෙත්තමුණි සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් එක් කළ ලකුණු 179 සම්බන්ධතාව ආරම්භක පිතිකරු යුගලයක් ලෙස වර්ණපුරගේ ක්‍රිකට් ජීවිතය සිහිපත් කරද්දී අමතක කළ නොහැක්කකි. තරගය කොළඹ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති අතර එහිදී ඔවුන් දෙදෙනාම ශතක රැස් කළ හ.

මීට පෙර මෙරට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම විදෙස් කණ්ඩායමක් සමග පැවති තරගයක දී ශතක සීමාව පසුකර ගිය අවස්ථාවක් වාර්තාවී නොතිබිණි. එහෙයින් එදා ඔවුන් ක්‍රීඩා කළ ඉනිම මාධ්‍ය තුළ ප්‍රබල අවධානයක් ඇති කළේ ය. එම තරගයේ දී වෙත්තමුණි ලකුණු 107 ක් රැස්කරද්දී වර්ණපුර ලැබූ ලකුණු ගණන 154 කි.

 

එංගලන්තයට යයි

එමෙන්ම 1979 ලෝක කුසලාන සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට ගොස් සිටිය දී නො-ටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග පැවති තරගයක මොවුන් දෙදෙනා එක්ව මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක සම්බන්ධතාවක් පැවැත්වීම ද කැපී පෙණේ. එය සුවිශේෂී වනුයේ රිචර්ඩ් හැඩ්ලි හා ක්ලියිව් රයිස් වැනි වේග පන්දු යවන්නන් ඉදිරියේ වේග පන්දුයවන්නන්ට හිතකර පසුබිමක එම සම්බන්ධතාව පැවැත්වීම නිසා ය.

පසු කලෙක සුනිල් වෙත්තමුණි වෙනුවට වර්ණපුරගේ සහායක ආරම්භක පිතිකරු ලෙස සුනිල්ගේ බාල සොයුරු සිදත් වෙත්තමුණි කටයුතු කළේ ය. 1981 වර්ණපුරගේ නායකත්වය යටතේ කොළඹ සිංහල ක්‍රීඩා සමාජයීය පිටියේ දී ප්‍රථම පංතියේ එක්දින තරගයේ දී කිම් හියුස්ගේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු හයකින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණු අතර එහිදී වර්ණපුර හා සිදත් එක්ව මුල් කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 170 ක් රැස්කළ හ. ඊට වර්ණපුර ශතකයකින් (106) දායක විය.

හත්තැව දශකයේ එංගලන්තයේ ලීග් ක්‍රිකට් ක්‍රීඩා කළ ටෝනි ඕපාත, ඩී.එස්.ද. සිල්වා, සිල්වෙස්ටර් ඩයස් වැනි ක්‍රීඩකයින් මෙන් ම වර්ණපුර ද එංගලන්ත ලිග් පිටියේ කැපී පෙනුණේ ලේලන්ඩ් මෝටර්ස් කණ්ඩායම නියෝජනය කරමිනි.

ප්‍රතාපවත් ක්‍රීඩකයකු වූ වර්ණපුර පසුකලෙක දක්ෂ විශේෂඥ විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ අතර මනරම් බසින්, චතුර ලෙස ඔහු බෙදාදුන් න්‍යායාත්මක ක්‍රිකට් දැනුම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් ප්‍රචලිත කිරීමට ඉවහල්විය. ඔහු දේශීය ක්‍රිකට් ලෝකයේ සදාකාලික මතකයක් බවට පත්වන්නේ මෙවැනි විශිෂ්ටතා රැසක් ඉවහල් කරගනිමිනි.

අනිල් වීරසිංහ

Comments