ගල්-මුල් කට කතාවලට හැකියාවෙන් උත්තර දෙනවා | සිළුමිණ

ගල්-මුල් කට කතාවලට හැකියාවෙන් උත්තර දෙනවා

ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේත් ජාතික ජ්‍යෙෂ්ඨ මේසපන්දු ශූරතාවලියේත් අනුශූරතාවන් දිනා ඇති සුපුන වරුෂවිතාන, පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ මෙරට මේසපන්දු ක්‍රීඩකයා බවට ද පත් වූයේ ය. ඒ එංගලන්තයේ දී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේසපන්දු ඉසව්වන් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නම් කිරීම සුපුන විම හේතුවෙනි.

“මතු කළ චෝදනා කිසිවක් මම, මට අදාළ කර ගන්නේ නැහැ. මොකද මාව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට තෝරගත්ත බව දන්වන්නේ එංගලන්තයෙන්. ඒකට හේතු වෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීමේ දී මා ලබා සිටි ස්ථානයයි. ඒ තැන නැති කරන්න කාටවත් බැහැ. අනිත් එක මම ඊට සුදුසු නැහැ කියන එක කාටවත් කියන්න බැහැ. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරග සංවිධායක කමිටුව මාව එම තරගාවලිය වෙනුවෙන් නිර්දේශ කර තිබෙන්නේ ඊට සහභාගී කර ගන්නා ක්‍රීඩකයන්ගේ යම් නිර්දේශයන් මතයි. ඒ තත්ත්වයන් මා සපුරා සිටි නිසයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. කුමන් තත්ත්වයක් යටතේ වූවත් මම මගේ කණ්ඩායමත් සමඟින් ඉතා හොඳින් තරගාවලියට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ දවස්වල සූදානම් වෙනවා.” සුපුන පැවැසුවේ ය.

මේ තරගාවලිය සඳහා පළමුවෙන් සහභාගී වීමට නිර්දේශ වන්නේ සුපුන පමණි. ඒ ඔහු ම පවසන පරිදි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා කමිටුවේ නිර්දේශ මත ය. නමුත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා කමිටුව, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවට පසුව කළ දැනුම් දීමක් සමඟින් ශ්‍රී ලංකාවෙන් තවත් තිදෙනෙක් ද ඇතුළුව සිව්දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා නම් කරන්නේ ය. එකී තේරීම් තරග සඳහා සුපුන සහභාගී නොකිරීම ද මේ හා-හෝ ව තවත් දිගු වීමට සහ බලවත් වීමට බලපාන්නේ ය.

“පසුගිය කාලයේ අපි එක එක ප්‍රශ්නවලට හිරවෙලා හිටියා. පාස්කු ප්‍රහාරය, ඊට පස්සේ කොවිඩ් තත්ත්වය ඊට හේතු වුණා. මේ නිසා ගොඩාක් තරග පැවැත් වුණෙත් නැහැ. මේසපන්දු තරග පමණක් නොවේ, අනෙකුත් ක්‍රීඩාවන් ද පැවැතියේ නැහැ. මේ හේතූන් නිසා ම අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ද ගොඩාක් අඩාල වුණා. මේ තත්ත්වයන් යම් තරමකට මඟ හැරී ගිය පසු අපේ අධ්‍යාපන කටයුතු ආරම්භ වූවා. එහෙත් මඟ හැරී ගිය අධ්‍යාපන කටයුතු හේතුවෙන් මට පසුගිය කාලයේ දවස් 30ක් තුළ විෂයන් 15ක විභාගයන් එක දිගට ලියන්න වුණා. ඒ ටික නොකළා නම් මට මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන්න වෙන්නේ නැහැ. මම ඒ නිසා ඒ දේවල්වල නිරත වුණා. ඒ ටික කාලයේ දී සහ ඒ වෙනුවෙන් වන යම් කාලයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න අවශ්‍ය නිසා මම මගේ ක්‍රීඩා ජීවිතය මඳකට නතර කළා. ඒත් ඒ වෙද්දිත් මම ජාතික ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි තැන හිටියා. මඟ හැරී ගිය තරග හේතුවෙන් මම දැන් ඉන්නේ ජාතික ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ.” සුපුන නැවැත පැවැසුවේ ය.

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ තෙවැනි වසර ඉගෙන ගන්නා සුපුන එහි මග හැරී ගිය අධ්‍යාපන කටයුතු හේතුවෙන් ම ශ්‍රී ලංකා මේසපන්දු සංගමය මඟින් ක්‍රියාත්මක පුහුණු සංචිතයේ පුහුණුවීම් පවා මග හැරිය බවයි පවසන්නේ.

“මට සංචිතයේ නේවාසික පුහුණුවිම්වලට එන්න කිව්වා. ඒත් මම පැවැති තත්ත්වය පහදා දී බාහිර ව සිටිමින් පුහුණුවීම්වලට එක් වීමට අවසර ඉල්ලුවා. ඒත් මට ඒකට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඒක ඒ අයගේ වරදක් නෙමේ, පැවැතෙන තත්ත්වය සහ සම්ප්‍රදාය. ඒත් මට මගේ අධ්‍යාපනයත් වැදගත් වුණා. මම ඒ සංචිතයේ පුහුණුවීම්වලින් අයින් වුණා. පුහුණුවිම්වලින් ඉවත් වුණ මම පුහුණු තරගවලට සහභාගී නොවන බව දැනුම් දී ඒ තරගවලට ක්‍රීඩා කරන්න ගියෙත් නැහැ.”

සුපුන පවසන්නේ 2019 වසරේ දී ජාතික මේසපන්දු තරගාවලියේ දී අනුශූරතාව දිනා ගන්නා ඔහු ඊට පසුව පැවැති කෑගල්ල මහීපාල හේරත් තරගාවලියේ දී ද ශූරයා වූ බවයි. ඊට පසුව පැවැති තරග ත්‍රිත්වයක දී තමන් අසාර්ථක වූ බැව් පිළිගන්නා සුපුන ඊට තමන්ගේ අතේ ඇති වූ ආබාධිත තත්ත්වයක් ද හේතු වූ බැව් පැවැසුවේ ය.

“අන්තිමට ගහපු තරගාවලියේ දී මම සෙල්ලම් කරන්නේ අතේ ආබාධිත තත්ත්වයක් තියාගෙන. ඒකෙදි මම අර්ධ අවසන් පූර්ව වටයේ දී පරාජය වෙනවා. ඊට පස්සේ මාස 8ක් පමණ මම ඒ වෙනුවෙන් බෙහෙත් කළා. දැන් සුව තත්ත්වයේ පසුවෙන අතර පුහුණුවීම් කටයුතු නැවතත් සුපුරුදු ලෙසින් කරගෙන යනවා.”

මේ දිනවල සුපුන ලබන සතියේ පැවැත්වෙන ජාතික මේසපන්දු තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය ඉලක්ක කර ගනිමින් තම පුහුණුවිම් කටයුතුවල නියැ‍ෙළන බැව්ද පැවැසුවේ ය.

“ජාතික මේසපන්දු තරගාවලියට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පසුව පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය තමයි විශාල ම බලාපොරොත්තුව. ආසියානු කලාපයෙන් චීනය සහ ජපානය අංක එකට ඉන්නවා. ඒ රටවල් මේ තරගාවලිය නියෝජනය නොකරන නිසා ලොකු අවස්ථාවක් අපේ කණ්ඩායමට ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. අඩුම තරමින් අපිට පළමු කණ්ඩායම 10 අතරට එන්න පුළුවන් වේවි.” ඒ සුපුන ගේ විශ්වාසයයි.

සුපුන වරුෂවිතාන, අක්කාගේ අතේ එල්ලී මේසපන්දු ක්‍රීඩාවට පිවිසෙන්නේ හරි හැටි ඇවිදගන්නටවත් බැරි අවදියේ සිට ය. අක්කා එරන්දි වරුෂවිතාන, මෙරට මේසපන්දු ක්ෂේත්‍රයේ ජාතික ශූරිය ලෙසින් පවා අභිශේක ලැබූ අයෙක් වන අතර මේ වන විට ද මේසපන්දු පිටියේ රැදී සිටින ක්‍රීඩිකාවකි. ඔහුගේ මල්ලී වන හිරුණ වරුෂවිතාන ද කනිෂ්ඨ අංශයේ තරගකාරී ක්‍රීඩකයෙකි. 

ඉතා කෙටි කලකින් ම දිස්ත්‍රික්, පළාත් සහ සමස්ත ලංකා තරග ගණනාවක ජයග්‍රාහකයෙන් වන සුපුන පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩා කරන අවදියේය. ඒ 2013 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙනි. එම තරගාවලියේ දී ඔහු සහභාගී වූ කණ්ඩායම තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවේ ය.

අනතුරුව 2014 වසරේ දී පාකිස්තානයේ පැවති දකුණු ආසියානු තරගාවලියේ දී කණ්ඩායම් තරගවල දී රිදී පදක්කම දිනා ගන්නා සුපුන, පිරිමි යුගල ඉසව්වේ දී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රසාද් ද සිල්වා සමඟ එක්වෙමින් ලෝකඩ පදක්කම ද දිනා ගන්නේ ය. නැවත වතාවක් පාකිස්තානයේ 2016 වසරේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කණ්ඩායම් තරගාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමට ද සමත් වෙන්නේ ය.

එම තරගවලට අමතරව සුපුන 2016 වසරේ තායිලන්තයේ පැවති ආසියානු තරගාවලිය, සිංගප්පූරුවේ පැවති ආසියානු පාසල් මේසපන්දු තරගාවලිය නියෝජනය කළ කණ්ඩායමේ නායකයා ලෙසින් ද, ඉන්දුනීසියානු විවෘත මේසපන්දු තරගාවලිය සහ ලෝක විශ්වවිද්‍යාලයීය තරගාවලිය ද නියෝජනය කළේය.

“ඒ ජයග්‍රහණ මතකයන් සමඟින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ දී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ඒ ගැන හොඳ විශ්වාසයකින් පසු වෙනවා. ඇති වූ තත්ත්වයන් කිසි දෙයක් ගැන මගේ තැකීමක් නැහැ. ගල්-මුල් වගේ ම මලුත් ලැබෙනවා කියන එක හොඳින් තේරුම් ගන්න පුළුවන් බුද්ධි මට්ටමක් මට තියෙනවා. මා වෙත ලැබූ චෝදනාවලට මම පිළිතුරු දෙන්න ඕන මගේ දක්ෂතාවන්වලින්. මම ඒකට සූදානම්.” සුපුන වරුෂවිතාන පැවැසුවේ ය.

Comments