සමාජ සාධාරණත්වය ඉල්ලා ඔලිම්පික් භූමිය වේදිකාවක් කළ ජුලියෝ සහ රේවේන් | Page 2 | සිළුමිණ

සමාජ සාධාරණත්වය ඉල්ලා ඔලිම්පික් භූමිය වේදිකාවක් කළ ජුලියෝ සහ රේවේන්

 

'සමාජය තුළ සාධාරණත්වය ඉල්ලන්නට විවිධ සටන් ක්‍රියාත්මක ය. එවැනි සටන් අතරින් සාමකාමී විරෝධතාව පුද්ගල අයිතියකි. භාෂණයේ නිදහස මෙන් ම විරෝධය පෑමේ නිදහස ද මානවයා සතු උල්ලංඝනය කළ නොහැකි හිමිකමකි. එහෙත් එය සිදු කිරීමේ සීමා මායිම් පවතින්නේ ද? විරෝධය දැක්වීමට ක්‍රීඩා පිටියක් යොදා ගැනීම කොයිතරම් උචිත වන්නේ ද? ඔබ ම තීරණය කරන්න.'

කියුබානු බොක්සිං ශූරයෙක් වූ ජූලියෝ සෙසාර් ලා කෘස් ටෝකියෝ ඔලිම්පික් බොක්සිං තරගයක් අතරතුර මව්බිම නැත්නම් මරණය! අපි ජය ලබන්නෙමු! යනුවෙන් කෑ ගැසීම ක්‍රීඩාලෝලීන්ගේ අවධානයට යොමුවූයේ ය.

මෙවර කිලෝ ග්‍රෑම් 91ක හෙවිවේට් බර පන්තිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනු ජූලියෝ සෙසාර් මෙලෙස කෑ ගසනු ලැබුවේ අර්ධ අවසන් පූර්ව වටයක දී එමානුවෙල් නම් කියුබා සම්භවයක් සහිත ස්පාඤ්ඤය නියෝජනය කළ ක්‍රීඩකයා පරාජය කිරීමෙන් අනතුරුව ය.

2016 කිලෝ ග්‍රෑම් 81 ලයිට් හෙවිවේට් ඉසව්වෙන් රියෝ ඔලිම්පික් රන් පදක්කම දිනාගත්තේ ද ජූලියෝ සෙසාර් ය. පසුගිය ජූලි මස මුලදී කියුබානු රජයට එරෙහිව විශාල ප්‍රමාණයෙන් විරෝධතා ඇවිළ ගිය අතර, එහිදී ඔවුන් යොදාගත් ප්‍රධාන සටන් පාඨයක් වූවේ ‘මව්බිම නැත්නම් ජීවිතය’ යන්නයි. 1964 වසරේ දී කියුබාව නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සමුළුව නියෝජනය කළ චේ ගුවේරා මව්බිම නැත්නම් මරණය! යනුවෙන් පවසමින් සිය කතාව අවසන් කළ අතර, පසුගියදා ආරම්භ වූ විරෝධතා සඳහා සහභාගී වූවන් එය වෙනස් කොට භාවිත කරනු ලැබිණි.

ඒ අනුව ජූලියෝ සෙසාර්ගේ කෑගැසීම කියුබානු රජයට සහ කියුබානු විප්ලවයට සහය පළ කිරීමක් ලෙස සැලකිය හැකි ය.

ජූලියෝ සෙසාර් කියුබානු බොක්සිං කණ්ඩායමේ නායකත්වය උසුලයි. ඔහු ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක ද හිමිකරුවෙකි. 2013 වසරේ දී ඔහුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් අමෙරිකානු කලාපයේ දක්ෂත ම ක්‍රීඩකයෙකු ලෙස ද නම් කරනු ලැබීය.

ජූලියෝ සෙසාර් එසේ ඔලිම්පික් බිම වේදිකාවක් කර ගනිද්දී, සමාජ සාධාරණත්වය ඉල්ලා ඔලිම්පික් පදක්කම් වේදිකාවේදී මෙවර කළු ජාතික ක්‍රීඩිකාවක් ජාතිවාදය, ආගම්වාදය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටියා ය. ඒ අමෙරිකානු ක්‍රීඩිකා රේවේන් සෝන්ඩර්ස් ය. ඈ ඔලිම්පික් පදක්කම් පිරිනැමෙන වේදිකාවේ සංකේතාත්මක විරෝධතාවක නිරත වූවා ය. ඇය යගුළිය විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම මීටර් 19.79 ක දුරක් යගුළිය විසි කරමින් දිනා ගත් අතර, පදක්කම ගෙල පැලඳීමෙන් පසු එම වේදිකාවේම මේ විරෝධතාව ආරම්භ කළා ය.

රේවේන් සෝන්ඩර්ස් පදක්කම පිළිගැනීමෙන් පසු එක්ස් හැඩයෙන් ඇගේ හිසට ඉහළින් අත් දෙක ඔසවාගෙන සිටිමින් මේ විරෝධතාව ප්‍රදර්ශනය කරනු ලැබිණි. සෝන්ඩර්ස් පසුව පැහැදිලි කළේ එම විරෝධතාවෙන් නියෝජනය කළේ පීඩාවට පත් වූ සියලු මිනිසුන් බවත් එය මිනිසුන් වෙනුවෙන් තැනුණු වේදිකාවක් ලෙස සැලකූ බවත් ය.

මේ වේදිකාවේදී රන් පදක්කම මීටර් 20.58 කින් චීනයේ ලිජියාවෝ ගොන්ග්ට පිරිනැමුණු හෙයින් පදක්කම් පිරිනැමීම නිමා වීමත් සමඟ චීන ජාතික ගීය වාදනය විණි. එහෙත් සමාජ සාධාරණත්වය වෙනුවෙන් අමෙරිකානු කළු ජාතික ක්‍රීඩිකාවගේ විරෝධතාව දිගින් දිගටම සිදු විය. සමාජයීය ගැටලු ගැන විවෘත ව කතා කරන කළු ජාතික සමලිංගික කාන්තාවක වන සෝන්ඩර්ස්ගේ මේ විරෝධතාව ඔලිම්පික් සංවිධායකයන්ගේ නීති රීතිවලට විරුද්ධ බව දැන දැනත් මේ විරෝධතාව සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමක් බව ඇය මාධ්‍ය වෙත පැහැදිලි කළා ය.

මේ අතර, පදක්කම් වේදිකාවේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විරෝධතා දැක්වීමට එරෙහි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නීති රීති අවසන් කරන ලෙසට පෙර නොවූ විරූ පීඩනයක් ජගත් ඔලිම්පික් කමිටුවට එල්ල වෙමින් පවතී. එවැනි තහනමක් ක්‍රියාත්මක කිරීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේගේ මූලික මානව අයිතිවාසිකම් හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමක් බව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහ නීතිඥයෝ පවසති.

කෙසේ වුව ද ටෝකියෝ ඔලිම්පික් පදක්කම් වේදිකාවේ සිට අමෙරිකානු ක්‍රීඩිකාව දැක්වූ විරෝධතාව හා ඇයට එරෙහි තහනම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පවසා තිබිණි. මාධ්‍ය හමුවක දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටු ප්‍රකාශක මාර්ක් ඇඩම් කියා සිටියේ, “මේ ගැන සොයා බැලීම පුදුමයක් කර ගන්න එපා. අප දැන් අපේ ඊළඟ පියවර ගැන සලකා බලමින් සිටිනවා” යනුවෙනි.

පසුගිය වසරේ දී අමෙරිකා ඔලිම්පික් කමිටුව පදක්කම් වේදිකාවේ විරෝධතා දැක්වූවන්ට දඬුවම් නොකරන බව පවසා තිබුණ ද අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විරෝධතා නීති ලිහිල් කර නැත. සමාජ සාධාරණත්වය සඳහා වන හස්තය ඉහළ දමමින් පදක්කම්ලාභීන්ට ලෝකයේ ම අවධානය ඇති ඔලිම්පික් වේදිකාවේ ඕනෑම ප්‍රකාශයක් කිරීමේ තහනම තවමත් එලෙසම පවතී. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ දී සමාජ සාධාරණත්වය සහ ප්‍රජාවගේ යහපැවැත්ම පිළිබඳ දේශනා පැවැත් වුව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ රටවල ජාතිවාදය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ යම් ප්‍රකාශයක් සිදු කළ විට තහනම් කරමින් පිරිනැමූ පදක්කම් යළි ලබා ගන්නේ නම් එය කුහක ක්‍රියාවක් බවට විශාල මතයක් පැතිර යමින් පවතී. මේ සිද්ධිය නිර්මාණය කළ රේවේන් සෝන්ඩර්ස් පවසන්නේ අවශ්‍ය නම් තමන්ගේ පදක්කම ගැනීමට ඉඩ තිබුණ ද තම සමාජ අරගලය නොනැවතී ඉදිරියට යන බව ය.

බන්ධුල ජයමාන්න

Comments