පාපන්දු ක්‍රීඩිකාවන්ගේ පපුව හරියට තුනී ලෑලි වගේ | Page 2 | සිළුමිණ

පාපන්දු ක්‍රීඩිකාවන්ගේ පපුව හරියට තුනී ලෑලි වගේ

 

‘පාපන්දු ක්‍රීඩා කරන ගැහැනුන්ගේ පපුව ලෑලි වගේ. ඒ නිසා ඔවුන්ට විවාහ වද්දී එතරම් හොඳ ආකර්ෂණයක් හිමි වෙන්නේ නෑ.’ යැයි පසුගියදා ටැන්සානියාවේ ජනාධිපතිවරිය වන සාමියා සුලුහු හසන් කිව්වා. මේ හේතුවෙන් ඔවුන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පානු ඇති බව ඈ ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපතිවරිය මේ බව පවසා තිබුණේ කලාපීය පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූ අවුරුදු 23 න් පහළ ටැන්සානියානු පිරිමි පාපන්දු කණ්ඩායම පිළිගැනීම පිණිස පවත්වන ලද රාජ්‍ය උත්සවයකට සහභාගි වෙමින්.

“ටිකක් හිතලා බලන්න. පපුව සමතල සියලු දෙනා හරියට පිරිමි වගේ. ඇත්තටම ඔවුන් කාන්තාවන් යැයි සිතෙන්නේ නෑ.” ඈ පවසා තිබුණා.

“ඔබ සැම විවාහ වෙන්න කැමති මුහුණ ලස්සන, දුටු මතින් විවාහ වන්නට ආකර්ෂණයක් ඇති වන කෙනෙක් එක්කනෙ. එහෙම නැතිව පිරිමි වගේ කාන්තාවෝ විවාහ කර ගන්න කවුද කැමති.” ටැන්සානියානු ජනපතිනිය ප්‍රශ්න කරනවා.

සාමියා සුලුහු හසන් ටැන්සානියාවේ බලයට පැමිණියේ ඊට පෙර එම ධුරයේ කටයුතු කළ ජෝන් මැග්ෆූලිගේ හදිසි අභාවයෙන් අනතුරුවයි.

පාපන්දු කණ්ඩායම පිළිගන්නා උත්සවයට සහභාගි වෙමින් ඈ තවදුරටත් අදහස් දක්වා තිබුණා.

“අද මේ යොවුන් පාපන්දු කණ්ඩායම ජාතියටම ගෞරවය රැගෙන විත් තිබෙනවා. ඒ ඔවුන් රැගෙන ආ ශූරතා සමඟිනුයි. අප ඔවුන්ගේ අනාගත ජීවි-තය ගැන සලකා බැලිය යුතුයි. මොකද ඔවුන්ගේ දෙපා ප්‍රාණවත් නැති දවසක, ක්‍රීඩා කරන්න තරම් ශරීර සෞඛ්‍යයක් නැති දවසට ඔවුන්ගේ ජීවිතවලට මොකද වෙන්නේ? කවරාකාරයේ ජීවිතයකට ද ඔවුන්ට උරුමකම් කියන්න සිදුවෙන්නේ?” ජනපතිනිය එහිදී ප්‍රශ්න කර තිබුණා.

එම ප්‍රකාශය අතර තමයි ඈ පාපන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධව අදහස් පළ කර තිබුණේ. පාපන්දු ක්‍රීඩිකාවන් ගැන කීවොත් විවාහ ජීවිතයක් කියන්නේ ඔවුන්ට සිහිනයක් වගේ. මොකද ඔබ ඔවුන්ගෙන් කෙනෙක් බිරිය වශයෙන් ගෙදර කැඳවාගෙන ගියොත් ඔබේ මව අසාවි මේ ගැහැනියක් ද එහෙමත් නැත්නම් පිරිමියෙක් ද කියා. ඒ තමයි ඇත්ත තත්ත්වය. ජනපතිනිය කියා තිබෙනවා.

හසන් ජනපතිනියගේ මෙම ප්‍රකාශය දිගින් දිගටම සමාජය තුළ සමච්චලයට ලක්වෙමින් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එවැනි ප්‍රකාශයක් මඟින් සමස්ත කාන්තාවම නින්දාවට, ගර්හාවට පත්කර ඇති බවයි ඇගේ විවේචකයන් චෝදනා කරන්නේ.

“ඈ පාපන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධනේ කළ ප්‍රකාශය සමස් කාන්තාවටම කළ සමච්චලයක්.” ඒ විපක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධානත්වය දරන හිටපු පාර්ලිමේන්තු සභිකයකු වන කැත්රින් රූජ්.

මේ අතර සිවිල් සමාජ ක්‍රියාකාරි-නියක වන මාරියා සුරුන්ගි සිහිපත් කරන්නේ “සියලු කාන්තාවන් ගෞරවයට සුදුසුයි.” යනුවෙනුයි. එමඟින් ඈ කාන්තාවන්ට නිගරු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි කියන්නට උත්සාහ ගෙන තිබෙනවා.

ජනාධිපතිවරියගේ ප්‍රකාශය ටැන්සා-නියානු ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ගේ ද අවධානයට ලක්වුණා. ඔවුන් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් කියා තිබුණේ ජනපතිනියගේ එම ප්‍රකාශය කිසියම් අනවශ්‍ය තැනකට තල්ලු වෙමින් ඇති බව යි.

“හසන් ජනපතිනිය කියපු දේට මිනිස්සු විවිධාකාර අර්ථකථන ලබා දී තිබෙන බවක් පෙනෙනවා.” එසේ පවසා තිබුණේ එක් ජ්‍යෙෂ්ඨ පාපන්දු ක්‍රීඩිකාවක්. ඇයට අනුව නම් හසන් ජනපතිනිය සිදු කර ඇත්තේ මෙතරම් සමච්චලයට ලක්විය යුතු තරමේ ප්‍රකාශයක් නොවෙයි.

“ඇත්තටම කියනවා නම් ජනපතිනියගේ එම ප්‍රකාශය නිසා අප තුළ විශාල ශක්තියක් ඇති වුණා. ඒ වගේම දැඩි ධෛර්යයක් හා අධිෂ්ඨානයක් ගොඩනැං-වූවා. එයින් සිදුවුණේ හැකිතාක් වෙහෙස වී ක්‍රීඩා කිරීම ගැන අප තුළ පවතින අපේක්ෂා දැඩි වීමයි. එහෙම නැතිව අප තුළ අන් කිසිවක් සිදුව නෑ.” ඒ එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාව ගේ අදහසයි.

පාපන්දු ක්‍රීඩිකාවන් කිසිවෙක් තමන්ගේ බාහිර පෙනුම සම්බන්ධයෙන් කරදර නොවන බව කියා තිබුණේ තවත් ක්‍රීඩිකාවක්.

“අපි අනිත් ගැහැනු වගේම සුන්දරයි. ඒ වගේම අපිත් සුකුමාලයි, අපූරුයි. කිසියම් දවසක අපිත් මව්වරුන් බවට පත්වෙනවා. ඒකටයි අපි ජීවිතය සැලසුම් කර ගෙන ඉන්නේ. අනික අපේ පෙනුම සෙසු අය දකින ආකාරය ගැන අපිට කිසිම ප්‍රශ්නයක් නොවෙයි. ඒ වගේමයි, පාපන්දු ක්‍රීඩාවට බොහෝ ශක්තිය අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපිට අපේ

මාංස පේෂි වර්ධනය කර-න්න, ශක්තිය වැඩි කර ගන්න වෙනවා. ඒකට අවශ්‍ය ව්‍යායාම, පුහුණු කටයුතු කිසිවක් අතරමඟ නතර කරන්න හෝ අඩුකරන්න අපි ලෑස්ති නෑ.” යැයි නම සඳහන් කිරීමට අකැමැති වූ ක්‍රීඩිකාවක් පවසා තිබුණා.

එහෙත් එරට විපක්ෂය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් දක්වන්නේ වෙනත් අදහසක්. ඔවුනට අනුව ටැන්සානියාවේ ජනපතිනිය පාවන්දු ක්‍රීඩිකාවන්ට සිදු කර ඇත්තේ සුළු පටු හානියක් නොවෙයි.

“අප්‍රිකාවේ ජනපති ධූරයට පත්වූ පළමු කාන්තාව වශයෙන් හැටියට ඈ මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම වඩාත් කනගාටුදායකයි. කාන්තාවකට රටකට නායකත්වය දෙන්න නොහැකි යැයි මිනිස්සු කියද්දියි ඈ ඒ තනතුරට පත්වුණේ. එහෙම තිබියදී පාපන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් මෙවැනි අමනෝඥ ප්‍රකාශ සිදු කරනවා කියන්නේ කනගාටුදායක නැද්ද?” එහෙම කියන්නේ ඇගේ දේශපාලන විරුද්ධවාදීනුයි.

පාපන්දු ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් මෙවැනි මතවාදයක් ප්‍රකාශ කිරීම මඟින් කාන්තා ක්‍රීඩාව පාර්ශ්වයෙන් ද සිදුව ඇති අනර්ථය වඩාත් ඉහළ බව ඔවුන් පෙන්වා දෙනවා.

“මේක සැම විටම පිරිමින් ජයග්‍රහ-ණය කරන ක්‍රීඩාවක්. ඔවුන් තමයි පාපන්දුවේ උරුමක්කාරයෝ වෙලා ඉන්නේ. එවැනි පසුබිමක ජනපතිවරිය මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කනගාටු-දායක බව වැඩි කරනවා.” එරට විපක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

Comments