ජනමාධ්‍යයට සදාචාරය බිඳින්න බෑ | Page 2 | සිළුමිණ

ජනමාධ්‍යයට සදාචාරය බිඳින්න බෑ

 

‘ද සන්’ ක්ලීන් බෝල්

පසුගිය දා එංගලන්තයේ ප්‍රකට ‘ද සන්’ පුවත් පත විසින් එරට සුප්‍රකට ක්‍රිකට් තරුවක් වන බෙන් ස්ටෝක්ස්ගෙන් හා ඔහුගේ පවුලෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබුණේ ය. ඒ 2019 වසරේ තම පුවත්පතේ මුල් පිටුවේ ස්ටෝක්ස් පවුල සම්බන්ධ කළ හෙළිදරව්වක් හේතුවෙන් එම පවුලට ඇතිවූ සිත් තැවුලක් වේ නම් ඊට කනගාටුව පළ කරමිනි.

අදාළ ප්‍රවෘත්ති විශේෂාංගය මඟින් දක්වා තිබුණේ ඊට දසක තුනකට පමණ පෙර බෙන් ස්ටෝක්ස් ගේ මවගේ පළමු විවාහය තුළ සිදු වූයේ යැයි කියන ශෝකාන්තයකි.

එම ප්‍රවෘත්ති විශේෂාංගය මඟින් තමන්ට විශාල අනර්ථයක් සිදුවූ බව පවසමින් ස්ටෝක්ස් පවුල එය ප්‍රසිද්ධ කිරීමට එරෙහි ව අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තිබුණේ 2019 වසරේ ය. වසර දෙකහමාරකට පමණ පසු ව අදාළ නඩුව සමථයකට පත්කර ගැනීමට ‘ද සන්’ පුවත්පත එකඟව තිබේ.

පුවත්පත එළිදරව් කර තිබූ පුවත් විශේෂාංගය මඟින් කියැවුණේ බෙන් ස්ටෝක්ස්ගේ මව තවත් ප්‍රේම සම්බන්ධතායක් ආරම්භ කිරීමත් ඇගේ පළමු සැමියා හා සම්බන්ධය අතහැරීම හේතුවෙන් ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් මත සිදු වූ ද්විත්ව ඝාතනයක් හා සිය දිවි නසා ගැනීමක් පිළිබඳ ය.

ස්ටොක්ස්ගේ සිව් හැවිරිදි අර්ධ සොහොයුරා ඇන්ඩෲ හා අට හැවිරිදි සොහොයුරිය වූ ටෙසී මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි. ඔවුන් දෙදෙනාට වෙඩිතබා තිබුණේ ඔවුන්ගේ පියා විසින් ම ය. එනම් බෙන් ගේ මව ගේ පළමු සැමියා වූ රිචඩ් ඩන් නැමැත්තෙකි. පසුව ඔහු ද එම ගිනි අවියෙන් ම වෙඩි තබා ගනිමින් ජීවිතක්ෂයට පත්ව තිබුණේ ය.

දසක තුනකට පමණ ඉහත නවසීලන්තය ම කැළඹූ එම පුවත යළි සිහිපත් කරමින් ‘ද සන්’ පුවත් පත 2019 වසරේ සැපැත්ම්බර් මාසයේ විශේෂාංගයක් පළකිරීමට කටයුතු කර තිබුණේ ය. මෙමගින් ස්ටෝක්ස් පවුල මෙන්ම සමස්ත සමාජයම කැළඹීමට පත්කර තිබුණේ යැයි කිවහැකි ය.

‘ඒ ප්‍රවෘත්තිය කිසිදු ළතෙත් බවකින් තොරව වාර්තා කළ අශ්ශීල ක්‍රියාවක්.’ ඊට ප්‍රතිචාර දක්වමින් බෙන් ස්ටෝක්ස් පවසා තිබීම අදාළ ප්‍රවෘත්තිය තවදුරටත් ලොව පුරා තටු ගසන්නට ඉවහල් විණි.

එම විශේෂාංගයට අනුව තම දරුවන් දෙදෙනා ඝාතනය කළ තුවක්කුවෙන් ම වෙඩි තබා ගෙන සිය දිවි නසා ගැනීමට හේතුවී තිබුණේ තම බිරිය වන ඩිබෝරා හා බෙන් ස්ටෝක්ස්ගේ පියා වන ජෙරාරඩ් අතර පැවැති සම්බන්ධයක් බව ද එම විශේෂාංගයෙන් ඉඟි කර තිබුණේ ය.

‘ඒ ප්‍රවෘත්තිය පොදු වැදගත්කමක් ඇති පුවතක් නොවෙයි. එහෙම තිබිය දී ඇයි ඔවුන් අපේ පවුලේ පෞද්ගලිකත්වය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ සංවාදයට ලක් කළේ. ඒ නිසයි අපි අධිකරණයට ගියේ.’ ස්ටොක්ස් පවුල විසින් ‘ද සන්’ පුවත්පතට නඩු පැවරීමට හේතු පැහැදිලි කළේ එසේ ය.

මේ අතර දරුවන්ට වෙඩි තබා ඝාතනය කර තමන් ද වෙඩි තබාගෙන මියගිය ඩෙබෝරා ගේ පළමු ස්වාමි පුරුෂයා ද ඊට පෙර විවාහ වී සිටි පුද්ගලයකු බව ‘ද සන්’ පුවත්පතේ විශේෂාංග ලිපියෙන් අනාවරණය කර තිබිණි. ඒ ඔහු ගේ පෙර විවාහයේ දියණිය වන ජැකී ඩන් ද ‘ද සන්’ පුවත්පතට අදහස් දක්වා තිබූ බැවිණි.

‘මගේ තාත්තාට දරුවෝ බලන්න අවස්ථාවක් නැති වුණා. ඒ සිද්ධියෙන් ඔහු දැඩි අසීරුවට පත්වුණා. එ නිසා ඔහුගේ මනස විකෘති වුණා කියලයි අපි හිතන්නේ. සමහරවිට ඔහු මෙවැනි දෙයක් සිදු කර ගත්තේ ඒ නිසා කියා කියන්න හැකියි. නැත්නම් ඔහු දරුවන්ට බොහෝ ආදරෙයි.’ ජැකී ප්‍රකාශ කර තිබුණා ය.

කෙසේ නමුත් අවමංගල අවස්ථාවේ දී තම පියාගේ දෙණ ට පවා පයින් පහර දීමට ඩෙබෝරා අශ්ශීල වූ බවද ඈ පුවත්පතට පවසන්නට අමතක කර නොතිබුණා ය.

මෙම සිදුවීම් මාලාව යළි හෙළිදරවු කිරීම සම්බන්ධයෙන් ස්ටෝක්ස් පවුල අධිකරණයට ගොස් තිබුණේ 2019 වසරේ සැප්තැම්බර් මාසයේ දී ය.

ආරම්භයේදී පුවත්පත අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන් ප්‍රවෘත්ති විශේෂාංගයක් පළකිරීම සාධාරණීකරණය කිරීමට උත්සහ කර තිබුණේ ය. එහෙත් නඩු විභාගය ක්‍රියාත්මක වද්දී ඔවුහු සිය ස්ථාවරය වෙනස් කළ හ. ඒ තමන් පළ කළ ප්‍රවෘත්ති විශේෂාංගය ඔස්සේ ස්ටොක්ස් පවුලට බලපෑමක් වූ බවත් ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බවත් පවසමිනි.

‘ඇත්තෙන්ම අපට ඒ විශේෂාංගය පළ නොකළ යුතු ව තිබුණා. ඒ ප්‍රවෘත්ති විශේෂාංගය අපේ පුවත්පතේ ප්‍රසිද්ධ කිරීමෙන් ස්ටෝක්ස් පවුලට සිදුවූ මානසික පීඩාව ගැන කනගාටුව පළ කරනවා.’ අවසානයේ ‘ ද සන්’ පුවත්පත පැවසුවේ ය.

‘ඒ නිසා අපි ඩෙබෝරා ස්ටෝක්ස් හා බෙන් ස්ටෝක්ස් දෙදෙනාගෙන් ම සමාව අයැද සිටිනවා. ඔවුන්ට සිදුවූ හානිය යම්තාක් දුරට පූර්ණය කිරීම සඳහා වන්දියක් ලබා දෙන්නත් ඔවුන්ගේ නඩු ගාස්තු ගෙවා දැමීමටත් අපි පොරොන්දු වුණා.’ ‘ද සන්’ පුවත්පතේ ප්‍රකාශකයෙක් නිවේදනය කළේ ය.

‘ඔවුන් මේ වගේ පෞද්ගලිකත්වය හෙළිදරව් කරන ලිපියක් පළ කරන්න ඉවහල් වූ කාරණය පැහැදිලි කළ යුතුයි. අනික එය අපේ පවුලට සම්බන්ධ පෞද්ගලික හා කනගාටුදායක සිදුවීමක්. එවැන්නක් හෙළි කිරීමෙන් ඔවුන් ලැබූ වාසිය කුමක්ද ? එය හෙළි කළ යුතුව තිබෙනවා.’ ඩෙබෝරා ස්ටෝක්ස් පවසන්නී ය.

‘කොහොම වුණත් මේ වගේ පුවත් පළවීමෙන් අපට සිදුවූ මානසික අවපාතය, කම්පනය අපට කිසිදාක අමතක කර දමන්න බෑ. මමවත්, බෙන් වත් ‘සන්’ පුවත්පතේ සමාදාන වීමේ තින්දුව ගැන කිසිම සතුටක් නැත්තේ ඒ නිසයි.’ ඈ වැඩිදුරටත් පැවසූවා ය.

‘කොහොම වුණත් අපි හිතනවා මෙවැනි ලිපියක් පළ කිරීමෙන් අපේ පවුල තුළ ඇතිවූ මානසික කම්පනය මතු අනාගතයේ කිසිදු පවුලකට සිදු නොවෙන්න මෙම සංසිද්ධිය ආදර්ශයක් කර ගනීවි කියලා. එය පමණයි අපට තබාගත හැකි එක ම අපේක්ෂාව. එහෙම නැතිව වෙන කිසිවක් නොවෙයි.’ ඇය වැඩිදුරටත් පවසා තිබුණා ය.

 

Comments