වසර හැත්තෑ හයක් ගත වුවද වියකීි නොයන කඳුළ හිරෝෂිමා සංහාරය | සිළුමිණ

වසර හැත්තෑ හයක් ගත වුවද වියකීි නොයන කඳුළ හිරෝෂිමා සංහාරය

හිරෝෂිමා අහසේ පරමාණු බෝම්බය පිපිරී ගිය අන්දම

මානව ඉතිහාසයේ මිනිසත් බවට නිගා දුන් සිදුවීම් ඕනෑ තරම් සිදු වී තිබෙන්නේය. තවත් බොහෝ එවැනි සිදුවීම් සිදුවීමටද නියමිතව තිබෙන්නේය. එහෙත් ඒ සියලු සිදුවීම් අතරින් හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීම තරම් මිනිසත් බවට නිගා දුන් සිදුවීමක් තවත් නොමැති බවට සැකයක් නැත්තේය. එය එපමණටම අමානුෂිකය.

මේ අමානුෂික සිදුවීම සිදුවී අගෝස්තු 6වැනිදාට සම්පූර්ණ වන්නේ වසර හැත්තෑ හයකි. එය දිගු කාලයක් බව සැබෑය. එහෙත් හෙළන ලද පරමාණු බෝම්බය හේතුවෙන් සමස්ත මනුෂ්‍ය වර්ගයාට සිදුවූ තුවාල නම් තවමත් අලුත්ය. ඒවායේ වේදනාව අලුත්ය.

දෙවැනි ලෝක යුද්ධය යනු එතෙක් මෙතෙක් ලෝකයේ මනුෂ්‍ය වර්ගයා අතර සිදුවූ අති ම්ලේච්ඡතම ගැටුම ලෙස හැඳින්විය හැකිය. එක්නෙකා කෙරෙහි ප්‍රතිවිරුද්ධව අවි අමෝරාගත් රටවල් විවිධ තාක්ෂණික අත්හදා බැලීම් සිදුකරමින්, නව නිපැයුම් සිදුකරමින් උත්සාහ දැරුවේ හැකිතාක් මනුෂ්‍ය ජිවිත විනාශ කර දැමීමට මිස ජීවිත ආරක්ෂා කිරීමට නොවේය.

1945 වසරේ අප්‍රේල් මාසය වන විට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍ර හමුදා යුද්ධය දිනා අවසන් විය. රුසියාව ආක්‍රමණය කිරීමට ගිය හිට්ලර්ගේ නාසි හමුදාවලට ලැබුණු අති විශාල පරාජය හේතුවෙන් නව පණක් ලැබූ මිත්‍ර හමුදා යුරෝපය ක්‍රමයෙන් තමන් සතු කර ගනිමින් සිටියහ.

ඒ වන විට ජර්මනියද පරාජය තහවුරු කර සිටි අතර ජර්මනියට හිතවාදීව පැවති රටවලින් හිස ඔසවා සිටියේ ජපානය පමණක්ම විය. ජපානය තවදුරටත් ආසියාවේ බලය උදෙසා සටන් වදිමින් සිටි නමුත් එයද ඉක්මනින්ම බිඳ වැටෙන ලකුණු සැමතින්ම දිස් විය. පැසිෆික් සාගරයේ ජපානය සතු වූ නාවුක බලය ක්‍රමයෙන් ඇමරිකානු යුද නැව් කණ්ඩායම්වලින් අත්පත් කර ගනිමින් පැවති අතර විශේෂයෙන්ම ජපාන භූමියට බලපෑම් කළ හැකි අන්දමින් පිහිටා ඇති ‘අවෝ ජිමා‘ දූපත තමන් සතු කර ගැනීමට හැකිවීම ඇමරිකානු නාවුක හමුදා ලැබූ ජයග්‍රහණයක්ම විය. තවත් කෙටි කලක් තුළ ජයග්‍රහණය ස්ථාවර බවට ලකුණු සෑම පැත්තකින්ම දිස් විය. එහෙත් ඒ අතර මැන්හැට්න් ව්‍යපෘතිය ද ක්‍රියාත්මකව පැවතියේය.

 

මැන්හැට්න් ව්‍යාපෘතිය

 

මැන්හැට්න් ව්‍යාපෘතිය යනු න්‍යෂ්ඨික බෝම්බයක් තැනීමේ ඇමරිකානු පර්යේෂණ ව්‍යපෘතියට ලබා දුන් නාමයයි. ඉතිහාසය විමසන විට පෙනී යන්නේ න්‍යෂ්ටික බෝම්බ තැනීමේ උත්සාහය හෙවත් යුරේනියම් බලගැන්වීමේ ව්‍යාපෘති ඉතිහාසය 1938 පමණ දක්වා විහිදෙන බවයි. එහිදී ප්‍රථම උත්සාහයේ චෝදනාව නාසි පක්ෂයට හිමිවන බවට සාධක හමුවන බව පැවසුනද ඒ සියල්ල අතරින් එකම සාර්ථක ව්‍යාපෘතිය වූයේ මැන්හැට්න් ව්‍යාපෘතියයි.

මැන්හැට්න් ව්‍යාපෘතිය යටතේ යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය ඇමරිකානු හමුදාවේ මූලික අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ අතර බෝම්බය නිපදවීම්, එය ප්‍රවාහනය, මෙන්ම අදාළ ඉලක්ක යෝජනා කිරීම යනාදී වශයෙන් ව්‍යපෘතිය එක් එක් කොටස්වලට බෙදමින් එක් එක කණ්ඩායම්වලට වගකීම් පවරා තිබිණි. බෝම්බය නිපදවීමේ කටයුතු සාර්ථකව සිදුවන අතර බෝම්බය හෙළිය යුතු ඉලක්ක පිළිබඳ තර්ක මෙන්ම වාද විවාද ඇතිවෙමින් තිබිණි.

මෙහිලා වාද විවාද ඇතිවීයේ බෝම්බය හෙළිය යුතු රට පිළිබඳ නොවීය. එය ජපානය විය යුතු බව තහවුරු වී අවසන්ය. වාද විවාද ඇතිවූයේ බෝම්බය හෙළිය යුතු නගරය පිළිබඳවය. පිරිසක් එය ජපානයේ ක්යෝතෝ නගරය විය යුතු බවට තර්ක කළ අතර තවත් පිරිසක් පෙන්වා දුන්නේ හිරෝෂිමා යනු ප්‍රහාරයට සුදුසුම නගරය බවයි.

කෙසේ වුවද මැන්හැට්න් ව්‍යපෘතියේ ප්‍රධානීන් විසින් ඉලක්කය තීරණය කරන්නා වූ කණ්ඩායමට නිර්නායක තුනක් ලබා දී තිබිණි. ඒ නිර්ණායක අනුව බෝම්බය හෙළිය යුතු නගරය කිලෝමීටර් හතරකට වඩා විශාලත්වයෙන් යුතු වැදගත් නගරයක් විය යුතුය. පිපිරීමෙන් නගරයට සැලකිය යුතු හානි සිදුවිය යුතුය. බෝම්බය හෙළිමෙන් පසුව ප්‍රදේශයේ ඇමරිකානු හමුදාවන්ට ප්‍රතිප්‍රහාර එල්ල නොවිය යුතුය. මේ නිර්ණායක සියල්ල සැලකිල්ලට ගණිමින් අවසානයේ තීරණය කරනු ලැබුවේ හිරෝෂිමා නගරය ප්‍රථමයෙන් මේ අත්හදා බැලීම පිණිස හෙලන සුවිශේෂී බෝම්බයේ ඉලක්කය විය යුතු බවයි.

හිරෝෂිමා නගරය තෝරා ගැනීම සඳහා වැදගත් හේතු කිහිපයක් මූලික විය. හිරෝෂිමාව එවකට ජපාන හමුදාවේ විශාලතම අවි ගබඩා ස්ථාපිත කර තිබූ ප්‍රදේශය විය. එමෙන්ම එම නගරයේ ජපාන හමුදා විශාල වශයෙන් කඳවුරු බැඳ සිටි අතර ප්‍රධාන නැව් තොටක් වශයෙන් එහි සිට පැසිෆික් සාගරයටත්, ඉන්දියන් සාගරයට පහසුවෙන් ගමන් ඇරඹිය හැකි විය. ජපානයේ සෙසු ප්‍රධාන වෙළෙඳ නගරවලට මැදිව පිහිටා තිබූ හිරෝෂිමා නගරයට ප්‍රහාර එල්ල වීම සෙසු නගරවල කටයුතුද අඩාළ වීමට නිසැකයෙන් බලපෑම් කරනු ඇත. නගරය වඩා තිරස්ව පිහිටා ඇති උස් කඳු පද්ධති බෝම්බය පුපුරා යෑමෙන් ජනනය වන බලය තවතවත් නගරය තුළම තෙරපීමට ලක් කරමින් විශාල හානියක් සිදු කිරීමට උර දෙන බව පැහැදිලිය.

 

ඉතිහාසයට එක්වූ

ඉසෝ නොමුරා

 

මේ සියල්ල අනුව ප්‍රථම ප්‍රහාරය සඳහා හිරෝෂිමා නගරයත් දෙවැනි ප්‍රහාරය සඳහා නාගසාකි නගරයත් තෝරා තහවුරු කර ගනු ලැබීය. මේ අතර පරමාණු බෝම්බයේ නිෂ්පාදන කටයුතුද සාර්ථකව නිමවෙමින් පැවතිණි. එය ප්‍රවාහනය කිරීම ඇමරිකානු හමුදාවේ ගුවන් අංශයට ලබා දී තිබිණි. කර්නල් පොල් ටිබෙට්ස් මේ ව්‍යපෘතිය භාරව කටයුතු කළ අතර ඔහු තමන් යටතට විශේෂයෙන් තෝරාගත් පිරිසක් ඇතුළත් කර ගෙන පුහුණුවීම් අරඹා සිටියේ 1944දී සිටය. ඔහු තම ගුවන් නියමුවන්ට කැන්සාන් ප්‍රාන්තයේදී ඒ වෙනුවෙන් විශේෂයෙන් පුහුණුවීම් කරවූයේ ඉලක්ක වෙත වට්ටක්කා ගුවනේ සිට හෙළීමට අවස්ථාව ලබා දෙමිනි. විශේෂ බෝම්බ හෙළීමේ වාර පනහක් එක් ගුවන් නියමුවෙකු සම්පූර්ණ කළ යුතු විය.

මේ අනුව බෝම්බය නිෂ්පාදන කටයුතු සම්පූර්ණ විය. ඉලක්කය තහවුරු කර අවසන් විය. ගුවන් නියමුවන්ද සූදානමිනි. 1945 වසරේ අගොස්තු 6වැනි දා වන විට මිනිසුන් ලක්ෂ දෙකහමාරකගේ ජිවිත තීරණය කිරීමට සියල්ල එලෙසින් සූදානම් වෙමින් පැවතිණි.

එදින ජපානයට හොඳින් හිරු පෑයු සුන්දර දිනයක් විය. විශේෂයෙන් හිරෝෂිමාවට එදින සාමාන්‍ය දිනයක් වූයේ මහා ඛේදවාචකයක ඉඟියක් හෝ ලබා නොදෙමිනි. ඒ වන විටත් ආසන්න නගර කිහිපයකට ගිනි බෝම්බ හෙළා තිබූ බැවින් ගුවන් ප්‍රහාර ජපානයට අමුතු දෙයක් වූයේ නැත. උදෑසනින් වැසියන් තමන්ගේ එදිනෙදා කටයුතු ආරම්භ කර සිටි අතර බොහෝ දෙනා නගරයට පැමිණෙමින් සිටියහ. උදෑසන 7.01 වන විට ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් සංඥා නිකුත් වන්නට වූ අතර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත දිව යන්නට වූහ. ඔවුන් සිතන්නට ඇත්තේ ඔවුන් වෙත පතිත වන්නට යන්නේ ජීවිත හානි ගෙන දෙන සාමාන්‍ය බෝම්බයක් පමණක් බවය. එහෙත් අති අමානුෂික වේදනාත්මක මරණයක් සමඟ පරම්පරා ගණනාවකට විකෘතිතා ගෙන එන අති විනාශකාරී මිනිස් නිෂ්පාදනය රැගත් යානය සමඟ තවත් යානා හයක්, එනම් ඇමරිකානු හමුදාවේ ගුවන් යානා හතක් හිරෝෂිමා නගරය වෙත ඒ වන විටත් වේගයෙන් ගමන් කරමින් තිබිණි.

එම යානා අතරින් දෙකක් නගරයේ ඉහළ අහසේ කාලගුණ තත්ත්වය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් යොදවා තිබිණි. එම යානා දෙක ‘ස්ට්‍රේට් ෆ්‍රස් සහ ජිබට් 3‘ යනුවෙන් නම් කර තිබූ අතර එම යානා දෙකට පසුපසින් ‘ෆුල් හවුස්‘ යනුවෙන් නම් කළ තවත් යානාවක් යොදවා තිබුණේ වැඩිදුර කාලගුණ තත්ත්වය නිරික්ෂණය කිරීමටය. සිවවනුව කර්නල් පෝල් ටිබෙට්ස් විසින් පදවන ලද ‘එනෝලා ගේ‘ නම් යුනාය බෝම්බය හෙළීමේ වගකිම දරමින් පියාසර කරමින් තිබිණි. එම යානයට පසුපසින් ‘ද ග්‍රේට් ආර්ටිස්ට්‘ යනුවෙන් නම් කළ යානය පියාසර කරමින් තිබුණේ පිපිරීමෙන් සිදුවන විනාශය තක්සේරු කිරීම වෙනුවෙනි. සයවෙනි යානය වූ නෙසසරි එවිල් යානයට පැවරුණු වගකීම ප්‍රහාරය ඡායාරූප ගත කිරීම විය. සත්වැනිව පියාසර කරමින් තිබූ ටොප් සීක්‍රට් යානයට පැවරුණු වගකීමද ප්‍රහාරයේ විස්තර වාර්තා කිරීම වුවද එම යානය තම මෙහෙයුම සම්පූර්ණ කිරීමට සමත් වූයේ නැත.

 

ම්ලේච්ඡ, අමානුෂිකත්වය

 

එක්වරම තම හිස්වලට ඉහළින් පියාසර කිරීමට වූ ඇමරිකානු ප්‍රහාරක යානා හේතුවෙන් බියපත් වූ හිරෝෂිමා නගර වැසියෝ ආරක්ෂාව පතා ඒ මේ අත දිව යන්නට වුහ. මේ සිදුවීමෙන් පණ බේරාගත් බෝම්බය පුපුරාගිය ස්ථානයට ආසන්නතම ස්ථානයකට සිටිමින් දිවි බේරා ගත් පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වූ ඉසෝ නොමුරා පසුව තම අත්දැකීම් වචනවලට පෙරළීමට සමත්ව සිටියේය. ඔහු බෝම්බය පතිත වූ නගර ශාලාව පෙනෙන දුරින් පිහිටි අතිරේක හමුදා රැඳීමට යොදා ගත් කොන්ක්‍රිට් ගොඩනැගිල්ලක පහළ මාලයේ රැඳී සිටි බැවින් තම ජිවිතය බේරා ගැනීමට ඔහුට හැකිවී තිබිණි. බෝම්බයේ ඍජු බලපෑමට හසුවූ ප්‍රදේශය හෙවත් ග්‍රවුන්ඩ් සීරෝ හි සිට ඉසෝ නොමුරා රැඳී සිටි ස්ථානයට දුර මීටර් 170ක් පමණක් විය.

බෝම්බය පතිත වීමත් සමඟ පැන නැගි වලාකුළම මේ අන් සාමාන්‍ය බෝම්බයක් නොවන බව වටහා ගන්නට බොහෝ දෙනාට හැකියාව ලැබිණි. එම වලාකුළ කිලෝමීටර් ගණනාවක් ඈතටද දර්ශනය වූ අතර එය වඩාත්ම හොඳින් දර්ශනය වූයේ එම බෝම්බය පහතට හෙළා ඈතට ගමන් ගනිමින් සිටි ඇමරිකානු ගුවන් යානා කණ්ඩායමටමය.

බෝම්බය පතිත වූ ආසන්නතම භූමි ප්‍රදේශය හෙවත් ග්‍රවුන්ඩ් සීරෝහි සෑම ජීවියෙක්ම මෙන්ම ගහකොළද විනාශ වී ගිය අතර හිරෝෂිමාවම අළු බවට පත්වීමට ගත වූයේ තත්පරයක් පමණක්ම විය.

පසුව සිදු කරන ලද ගණනය කිරීම් මගින් මේ බෝම්බය මිනිස් ජීවිත 129,000 - 226 000ත් අතර ප්‍රමාණයක් විනාශ කර දමන ලද බවට තහවුරු විය. හිරෝෂිමා නගරයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සියයට 90ක් ප්‍රහාරය හේතුවෙන් මියගිය බැවින් ජීවිත බේරා ගත් මිනිසුන්ට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට වෙනත් නගරවල සිට සෞඛ්‍ය සේවකයන් පැමිණෙන තෙක් බලා සිටිය යුතු විය. සුළඟේ රැඳී දසත පැතිරී ගිය අති විනාශකාරී රාසයනික ද්‍රව්‍ය හේතුවෙන් මිනිස් සිරුරු දැවී ගිය අතර මිනිසුන් මේ විෂ සුළඟෙන් බේරීමට ගංගාවලට බැස වතුරේ ගිලී සිටීමට උත්සාහ ගත්හ. එහෙත් ඒ කිසිවකින් මිය යන පිරිස අඩු කිරීමට හැකියාවක් ලැබුණේ නැත.

ඇමරිකාව සහ මිත්‍ර පාක්ෂිකයෝ ජයපැන් බොන විට ජපානය තම යටත් වීම ප්‍රකාශයට පත් කළේය. ඒත් සැබෑව වූයේ ජපානය පරමාණු බෝම්බ ප්‍රහාරය දියත් වන විටත් යටත් වීමේ නිවේදන ලබා දී තිබුණු බවය.

මේ සියල්ල සිදුවූ පසුත් අගොස්තු 9වැනිදා තම දෙවැනි අත්හදා බැලීම නාගසාකි නගරය පදනම් කර ගනිමින් සිදු කිරීමට තරම් ඇමරිකානු බලධාරීහු අමානුෂික වූහ. පළමුවන පරමාණු පිපිරීමේ විනාශය දෑස් හමුවේ පෙනි පෙනී තිබියදීත් ඔවුන් තවත් එවැනිම බෝම්බයක් නාගසාකි හි මිනිසුන් මතටද හෙළූහ. ලෝකය එතරම්ම ම්ලේච්ඡ, අමානුෂිකත්වය ඉහවහා ගිය තැනක් විය.

ලෝකය දෙකට බෙදා ගැනීමට මෙන්ම තනි අයිතියට නතු කර ගැනීමට උත්සාහ දැරූ අමන මිනිසුන්ගේ අමන තීරණහේතුවෙන් ඒ අති විශාල ජන සංහාරය එපරිද්දෙන් සිදුවිය. රුධිර ගංගා ගලා ගොස් අවසන්ය. එහෙත් තවමත් කඳුළු ගංගා ගලා යන්නේය.

Comments