හෙළබිම ‘ඔලි’ දරුවෝ ඔවුහු ද වෙති විරුවෝ | Page 2 | සිළුමිණ

හෙළබිම ‘ඔලි’ දරුවෝ ඔවුහු ද වෙති විරුවෝ

 

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සිට මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සමත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසකි. ඒ ක්‍රීඩක පිරිස අතරින් අපට තාමත් හිමි ව ඇත්තේ ඔලිම්පික් පදක්කම් දෙකකි. ඒ 1948 වසරේ දී ඩන්කන් වයිට් මීටර් 400 කඩුලු පැනීමෙන් දිනූ රීදී පදක්කම සහ 2000 වසරේ දී සුසන්තිකා ජයසිංහ මීටර් 200 දිනු රිදී පදක්කම පමණි. නමුත් විවිධ ක්‍රීඩාවලින් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කර වාර්තා පොතට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපට අමතක කළ නොහැකි ය. මේ තොරතුරු ඔවුන් ගැන ය.

 

ලෙස්ලි හඳුන්ගේ - 1948

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට ගිය ප්‍රථම ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකයෙකි. තරග වැදුණේ බොක්සිං ‘ෆ්ලයිවේට්’ කාණ්ඩය යටතේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් බොක්සිං වළල්ලට ගොඩ වූ ප්‍රථමයා ඔහු ය. එලෙසම ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී තමා මුහුණ දුන් ප්‍රථම බොක්සිං තරගයෙන් මෙක්සිකෝවේ ටෙලෝ නම් ක්‍රීඩකයා පරදවා වාර්තාගත වීමට හඳුන්ගේ සමත් විය. 1952 හෙල්සින්ක් ඔලිම්පික් උළෙලටත් ඔහු වරම් ලැබී ය.

එඩ් ග්‍රේ - 1948

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයකු සේම උපදේශකයෙකි. 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට වරම් ලැබූ ගේ ‘ලයිට් වේට්’ කොටසින් තරග වැදුණේ ය. තමා මුහුණ දුන් ප්‍රථම තරගයේ දී චෙකොස්ලෝවැකියාවේ ඒ. පෙට්‍රියානු නම් ක්‍රීඩාකයා පැරදූ ග්‍රේ මීළඟ වටයේ දී කැනඩාවේ ඊ. හොවාඩ් නම් ක්‍රීඩකයා අතින් පරාජයට පත්විය.

ජෝන් ද සේරම් – 1948

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලම ක්‍රීඩකයා ය. එවිට ඔහු 20 හැවිරිදි වියේ පසු විය. ඔලිම්පික් උළෙලේ දී මීටර් 100, 200 සහ 400 ඉසව්වලට සහභාගී වූ ඔහු මීටර් 200 ඉසව්වෙන් 2 වැනි වටයට සුදුසුකම් ලැබීය. ද සේරම් මීටර් 800 ඉසව්වට පවා සහභාගී වූවෙකි.

අර්නස්ට් ප්‍රනාන්දු – 1964

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට ගිය මෙරට මල්ලවපොර ශූරයෙකි. ප්‍රථම වටයේ දී මොන්ගෝලියනු ක්‍රීඩාකයකු සමඟ තරගයේ දී පරාජයට පත් වූයේ වට තුනේ දී ම තියුණු තරගයක් දෙමින් හිමි වූ ලකුණු අනුව ය.

මැල්කම් බුල්නර් - 1964

ලයිට් වේට් සහ වෙල්ටර් වේට් බර පංතිවල ජාතික බොක්සිං ශූරයා වූ බුල්නර් 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලට වරම් ලැබුබේ පාසල් ක්‍රීඩකයකු ව සිටිය දී ය. එම නිසා ඔලිම්පික් උළෙලට ගිය ප්‍රථම පාසල් ක්‍රීඩකයා ඔහු ය.

නිරෝෂන් විජේකෝන් – 1992

ඔලිම්පික් උළෙලක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු වැනි බැඩ්මින්ටන් ක්‍රීඩකයා ය. ඒ 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලේ දි ය. විජේකෝන් අට වතාවක් මෙරට ජාතික බැඩ්මින්ටන් ඒකල ශූරතාව දිනා ගත් ක්‍රීඩකයෙකි.

දීපිකා චන්මුගම් – 1988

ඔලිම්පික් උළෙලක දී ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු පිහිනුම් ක්‍රීඩිකාවයි. 1988 සෝල් ඔලිම්පික් උළෙලේ දී ඇය මීටර් 100 සහ 200 ළය ආර සහ මීටර් 200 තනි මෙඩ්ලි ඉසව්වලට තරග වැදුණාය. දීපිකා නමක් තබා ඇත්තේ දකුණු ආසියානු පිහිනුම් ජයග්‍රහණවලිනි.

ඇලන් ස්මිත් – 1952

ප්‍රථම වතාවට 1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලේ කිමිදුම් ඉසව්වට සහභාගී වූ ක්‍රීඩකයා ය. 18 වතාවක් මෙරට ජාතික කිමිදුම් ශූරයා ලෙස වාර්තාගත ව තිබේ.

ඇල්බට් පෙරේරා – 1948

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලට සහභාගී වූ බොක්සිං ක්‍රීඩකයන් හතර දෙනාගෙන් කෙනෙකි. තමා මුහුණ දුන් ප්‍රථම තරගයේ දී ඔහු බුරුමයේ යු. සෝව් නම් ක්‍රීඩකයා පරාජය කළේ ය. දෙවැනි වටයේ ඔහු ඉතා හොඳින් තරග වැදුණද ජයග්‍රහණය ප්‍රදානය කෙරුණේ පුවටෝරිකෝ ක්‍රීඩකයාට ය. එවකට බ්‍රිතාන්‍ය මාධ්‍ය විනිසුරුවරයන්ගේ වැරැදි තීරණය දෝෂාරෝපණයට ලක් කළ අතර, එමඟින් පදකමක් දිනා ගැනීමේ අවස්ථාව පෙරේරාට අහිමි විය.

ජෙෆ්රි මාක්ස් - 1952

1952 හෙල්සින්කි ඔලිම්පික් උළෙලට ගිය අපේ පිහිනුම් ශූරයෙකි. මීටර් 400 නිදහස් ආර ඉසව්වට තරග වැදුණේ ය.

ගීතානි රාජසේකර – 2016

ගීතානි සහභාගී වුණේ 2016 රියෝ ඔලිම්පික් උළෙලට ය. එහි දී ඇය මැරතන් ඉසව්වට සහභාගී වී වාර්තාගත වූවා ය. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් මැරතන් ඉසව්වට තරග වැදුණ ප්‍රථම ක්‍රීඩිකාව ලෙසය.

දමයන්ති දර්ශා – 1992

මෙරට බිහි වූ ශූරතම කෙටි ධාවන ශූරියක් වන දමයන්ති දර්ශා 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලට සහභාගී වී වාර්තා ගත වූවා ය. ඇය මෙම වරම දිනා ගත්තේ පාසල් සිසුවියකව සිටිය දී ය. ඔලිම්පික් උළෙලේ මීටර් 200 ඉසව්වේ ප්‍රථම වටය සාර්ථකව නිම කොට දෙවැනි වටයට පිවිසීම වාර්තාවකි.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

Comments