ගොල්ෆ් පිටියේ ඇර‍ඹෙන ආගමික කැරැල්ල | Page 2 | සිළුමිණ

ගොල්ෆ් පිටියේ ඇර‍ඹෙන ආගමික කැරැල්ල

ක්‍රීඩාව සර්ව දේශික ය. සර්ව ආගමික ය. දැන් දැන් එය කාන්තා හා පිරිමි යැයි බෙදීමකින් තොරව පැවැත්වීම කෙරේත් අවධානය යොමු වෙමින් ඇත. එහෙත් ඒ අතර ආගමකට එසේ නැත හොත් කිසියම් ජන වර්ගයකට වෙසෙසින් සහභාගි වීමට හැකි වන ආකාරයට ක්‍රීඩා සංගමයක් පිහිටුවීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලෝකයෙන් වාර්තා වෙයි. මේ ඒ උත්සාහය ගැනය.

‘ඕනෑම පුද්ගලයකුට ඇවිත් මේ සංගමය සංවිධානය කරන ගොල්ෆ් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කරන්න බාධාවක් නෑ. ඒත් අපි කියන්නේ අපේ අයිතීන්වලටත් ගරු කරන්න කියලයි.’ මෙහෙම කියන්නේ පසුගිය වසරේ පිහිටුවා ගත් මුස්ලිම් ගොල්ෆ් සංගමයේ නිර්මාතෘ අමීර් මලික්. ඔහු උත්සාහ කරන්නේ මෙම වසරේ ග්‍රීෂ්ම කාලයේ දී බ්‍රිතාන්‍ය තුළ ගොල්ෆ් තරගාවලි තුනක් සංවිධානය කරමින් සිය සංගමය වඩාත් ප්‍රචලිත කර ගන්නට ය.

‘මට මේක කුණාටුවක් බවට පත්කරන්න අවශ්‍යයි. ලෝකය පුරා මහා සුළි සුළඟක් බවට පත්කරන්න උවමනායි.’ තිස් හත් වියැති මෘදුකාංග සම්බන්ධ ව්‍යාපාරයක කළමනාකාරිත්වයේ කටයුතු කරන මලික් පවසන්නේ ය.

තමන්ට මෙවැනි සංගමයක් ආරම්භ කිරීමට අවශ්‍ය වූයේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ද ඔහු පැහැදිලි කිරීමක් කර තිබේ. එහිදී සිකුරාදා දිනයන්හි විශේෂයෙන් මද්‍යසාර භාවිතය, ඔට්ටු ඇල්ලීම වැනි කටයුතු වල නියළෙන්නට ආගමික වශයෙන් මුස්ලිම්වරුන්ට පවතින බලපෑම් ඔහු පෙන්වා දෙයි. එසේම යාඥා කටයුතු වෙනුවෙන් ද අවශ්‍ය පහසුකම ක්‍රීඩකයන්ට සලසා දිය යුතු බව ඔහු පවසයි.

‘අපේ මේ මුස්ලිම් ගොල්ෆ් සංගමය පවත්වන තරග ඕනෑම කෙනෙකුට විවෘත කරලයි පවත්වන්නේ. ඕනෑම ආගමක, ඕනෑම විශ්වාසයක, කිනම් පසුබිමක ඉන්න කෙනෙකුට වුණත් ඒ වෙනුවෙන් එක් වෙන්න පුළුවන්. ඔබට මේ තරගාවලියට සම්බන්ධ වෙන්න මුස්ලිම් ජාතිකයෙක් වෙන්න ඕනෑම නෑ. අපි කියන්නේ අපේ ඇගයීම්වලට ගරු කරන්න කියලා විතරයි.’ මලික් ප්‍රකාශ කරන්නේ ය.

ඔහු තමන් විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතිය මේ වන විට මුස්ලිම් ප්‍රජාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්කරන්නට සමත්ව තිබේ. ‘ඇත්තටම මම හිතන්නේ ගොල්ෆ් ක්‍රීඩාව හා ඉස්ලාම් ආගම අතර ලොකු ගැළපීමක් තියෙනවා කියලයි.’ ඔහු පවසන්නේ එහෙයින් විය හැකි ය.

‘එහි තියෙන සමාචාර ක්‍රම, සම්ප්‍රදාය, නීති රීති වගේම මම දැකපු තවත් බොහෝ දේ අතර තියෙන්නේ සමානත්වයක්. ඒත් ගොල්ෆ්වලට මේ වන විට සමාජමය වශයෙන් විවිධ උප සංස්කෘතීන් හා ජීවන හැසිරීම් එක් වෙලා තිබෙනවා.

මුසල්මානුවෙක් වශයෙන් මම මත්පැන් භාවිත කරන්නේ නෑ. ඔට්ටු දාන ක්‍රීඩා කරන්නේ නෑ. එතකොට ඉස්ලාම් ආගමිකයකු වශයෙන් යාඥා කිරීමේදී ඇති වෙන්න පුළුවන් අසීරු පරිසරය ගැන සිතන්න. ඒ වගේ පරිසර තත්ත්වයක ඇති විය හැකි දුෂ්කරතා මොන වගේද කියලා ඔබ හිතුවා ද? අන්න ඒ තත්ත්වය තමයි මට මුස්ලිම් සමාජයට මුහුණ දෙන්න සිදුවන මෙම තත්ත්වය ගැන හිතන්න පසුබිමක් නිර්මාණය කළේ.’ මලික් පවසන්නේ ය.

මේ අනුව මලික් විසින් නිර්මාණය කරන ලද මෙම මුස්ලිම් ගොල්ෆ් සංගමය මුස්ලිම් ජාතික කාන්තාවන් අතරට ද ගොල්ෆ් ක්‍රීඩාව හඳුන්වා දීමේ උත්සාහයක නිරත වෙයි. එය දැනට ආරම්භ කරන්නට යන්නේ නියමු ව්‍යාපෘතියක් වශයෙනි. මේ අතර සාම්ප්‍රදායික ගොල්ෆ් ක්‍රීඩාවට ආකර්ෂණය වී සිටින කණ්ඩායම් දකින්නේ මෙම ආගමික මුහුණුවර මඟින් ක්‍රීඩාවට හා එය වටා ගෙතී ඇති සම්ප්‍රදායට සිදුවන අනර්ථය ගැනය.

‘ඔව්. ඒක ඇත්ත. අවංකව ගත්තොත් එය එහෙම තමයි.’ එවැනි චෝදනා සම්බන්ධයෙන් මලික් පිළිතුරු දෙයි.

‘මට උවමනා ගොල්ෆ් කියන්නේ මැද පන්තියේ ධනවත් සුද්දෝ විතරක් කරන ක්‍රීඩාවක් කියන කාරණය වෙනස් කරන්න. ඒ වගේම කිසිදු පුද්ගලයෙක්ව ගොල්ෆ් පිටියේ දී වෙනස්කම්වලට ලක් නොකරන්නත් අවශ්‍යයි. පාටින්, ජාතියෙන්, ලිංගිකත්වයෙන්, ජන වාර්ගිකත්වයෙන් මිනිස්සු වෙනස් නොකළ යුතුයි.

‘මට අවශ්‍යයි මිථ්‍යා මත දුරලන්න. මුස්ලිම් කාන්තාවන්ටත් ගොල්ෆ් ක්‍රීඩා කරන්න අවස්ථාවක් නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් වෙනමම සංගමයක් හදන්න මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔවුනට හිස් ආවරණ දමාගෙන ගොල්ෆ් ක්‍රීඩා කරන්න පුළුවන්. නිවැරැදි සපත්තු දාගෙන ක්‍රීඩා කරනවා නම් ඔවුන්ට ඇයි බැරි නිවැරැදිව පන්දුවට පහර දෙන්න.’ මලික් විමසන්නේ ය.

‘අපි ඉක්මනින්ම හැම දේකටම ආරක්ෂිත පරිසරයක් ගොඩනංවනවා. කාන්තාවන්ට කාන්තාවන්ම උගන්වන්න වගේම, දිනක පිටතට ගොස් විනෝදයෙන් ගත කරන්නාක් වගේ දවල් වරුවකට ගොල්ෆ් උද්‍යානයකට ඇවිත් යන්න අපි ක්‍රමවේද ගොඩනංවනවා.’ ඔහුගේ අදහස වී ඇත්තේ එවැන්නකි.

මෙම කටයුතු සාර්ථක කර ගැනීමේදී විවිධ බාධකයන්ට මුහුණ දෙන්නට සිදුවන බව ඔහු දැන සිටින බවත් ඒවා ඉදිරියේ නොසැලී ක්‍රියා කරන්නට සැරසෙන බවත් මලික් පවසන්නේ ය.

‘හුඟාක් තැන්වල අසමත්, වියපත්, යල්පීනු අදහස් තියෙන්න පිළිවන්. නමුත් අපි ඒවායින් අධෛර්යයට පත් නොවිය යුතුයි.’

ඔහු කියන්නේ ඒවා වෙනස් කරන්නට යෑමේදී එක සැණින් එවැන්නන් සිදු කළ නොහැකි බව ය.

‘ඔබට කරන්න හැකි හොඳම දෙය ඔවුනට දැනුම ලබා දෙන එක. ඔබ දන්නවාද නොසලකා හැරීම කියන එක දිගු කාලයක් එහෙම නැතිනම් හැමදාම පවතින්නේ නෑ.’ මලික් ගේ අදහස එවැන්නකි. ඒ වෙනුවෙන් විවෘත මනසකින් ලෝකය දෙස බැලිය යුතු බවත්, අධ්‍යාපනයට ලැබීමේ අපේක්ෂාවෙන් යුක්ත විය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

‘මට උවමනා කුණාටුවක් හදන්න. ලෝකය පුරා කුණාටුවක් නිමවලා මුස්ලිම් ගොල්ෆ් සංගමයක් ලෝකයා අතරේ නිර්මාණය කරන්න.’ යැයි ඔහු පවසන්නේ තිර අදිටනිනි.

‘ඇත්තම කියනවා නම් මැලේසියාව, ඉන්දියාව, පාකිස්තානය හෝ තුර්කිය වගේ රටවලට ගිහිල්ලා මේ මුස්ලිම් ගොල්ෆ් බීජය පැළ කළ යුතුයි. එහෙම කරලා මේ ක්‍රීඩාව තවත් ව්‍යාප්ත කරන්න අවශ්‍යයි.’ ඔහු තවදුරටත් තම අදහස සම්බන්ධයෙන් පවසන්නේ ය.

මේ වන විට කිසිදු මුස්ලිම් ක්‍රීඩකයකු ගොල්ෆ් ක්‍රීඩාව තුළ වඩා ප්‍රකටව නැති නමුත් ඉදිරි කාලයේ පවත්වන තරගාවලියන්හි දී ජාත්‍යන්තරය තුළ නමක් දිනාගත හැකි ක්‍රීඩකයෙක් හෝ බිහිකිරීම තම අරමුණ බව ද ඔහු පවසා තිබේ.

‘ආගම මඟින් මිනිස්සුන්ව උද්‍යෝගීමත් කරනවා. ඔවුන් තුළ දැඩිපෙලඹවීමක් ගොඩනඟනවා. ඒ නිසා මම මේ උත්සාහ ගන්නේ එයත් යොදා ගනිමින් ගොල්ෆ් ක්‍රීඩාව මුස්ලිම් ජන සමාජය තුළ තවදුරටත් ව්‍යාප්ත කරන්නයි.’ ඔහු වැඩිදුරටත් පවසන්නේ ය.

 

කාන්ති ජයසිංහ

Comments