අලුතින් ජාතික පාසල් 797ක් | Page 2 | සිළුමිණ

අලුතින් ජාතික පාසල් 797ක්

මෙරට 373ක් වන ජාතික පාසල් පද්ධතිය 1,170 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එහි ආරම්භක පියවර මේ මස 29 වැනිදා සියඹලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන ආරම්භක පියවරේදි අලුතින් පාසල් 125ක් නව ජාතික පාසල් පද්ධතියට එක් කෙරේ. සමාරම්භක වැඩ සටහනට සමගාමීව පළාත් 9 ආණ්ඩුකාරවරුන් විසින්ද අදාළ පළාත්වල පාසල් මේ ව්‍යාපෘතියට එක් කිරීම සිදු කරනු ලැබේ.

මෙම වැඩ සටහන පිළිබඳව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උපාලි සේදර සිළුමිණට අදහස් දක්වමින් පවසා සිටියේ ආරම්භක පියවරේදී අලුතින් එකතුවන ජාතික පාසල් 125ත් සමඟ මේ වසර අග වන විට ජාතික පාසල් පද්ධතිය 1170 ක් දක්වා වැඩි කිරීමට නියමිත අතර ආරම්භක පාසල් 125 තෝරා ගෙන ඇත්තේ කිසිදු ජාතික පාසලක් නොමැති අධ්‍යාපන කොට්ඨාසවලින් බවයි.

 එමෙන්ම රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර පැවැසුවේ මේ සියලු පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට හා ස්මාර්ට් පංති කාමර සකස් කිරීමට නියමිත අතර මෙම පාසල් වටා ඇති සියලු පෝෂිත පාසල්වලටද අන්තර් ජාල හා රූපවාහිනි පහසුකම් ලබා දීමට කටයුතු කරන බවයි.

ජාතික පාසල් 1170 දක්වා වැඩි කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ පාසල් ජනගහනයෙන් 70% කට ජාතික පාසල්වල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි වනු ඇත.

මේ වන විට 10,165 ක් වූ පාසල් පද්ධතියෙන් 373ක් වන ජාතික පාසල්හි සිසුහු 798,372 ක් අධ්‍යාපනය ලබති. සමස්ත පාසල් සිසුන් 4,061,653ක් වන අතර සමස්ත ගුරුවරු 246,592 න් ගුරුවරු 40, 936 ක් සේවය කරන්නේද ජාතික පාසල්වලය. මේ වන විට අලුතින් එකතුවන ජාතික පාසල් සඳහා ගුරු පුහුණුවිම්ද ආරම්භ කර ඇත.

 

 

 

Comments