ඩී.ආර්. විජයවර්ධන දිවි සැරිය | සිළුමිණ

ඩී.ආර්. විජයවර්ධන දිවි සැරිය

 

ලේක්හවුස් නිර්මාතෘවරයාණන් දෙස-බස-රැස රැක ගත් හැටි

 

රටට නිදහස ලබා ගැනීමට ප්‍රමුඛව කටයුතු කළ ලංකා ජාතික සමිතියේ ලේකම් ලෙස 1913 දී පත්වූ ඩී. ආර්. විජයවර්ධනයන් රටේ නිදහස් අරගලයට සිය පුවත්පත් මඟින් හා උපරිම සංවිධානශීලී හැකියාවෙන් පූර්ණ දායකත්වය දැක්වීය. ඒ ජාති හිතෛෂියාණන්ගේ චරිත කතාව පිළිබඳ කෙටි සටහනකි මේ.

 

අපේ රටට නිදහස ලබා ගැනීමට උර දුන්, මෙරට ප්‍රථම හා විශාලතම තොරතුරු විකිණීමේ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා වූ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් යනු උගත්, බුද්ධිමත් ජාති හිතෛෂි, නිර්මාණශීලි හා මනා සංවිධානාත්මක හැකියාවක් ඇති ජනහිතකාමියෙකි.

සේදවත්තේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම් මහතාගේ හා හෙලේනා විජයවර්ධන ළමා තැනීගේ තෙවැනි පුත්‍ර රත්නය ලෙස ඔහු උපත ලබා ඇත්තේ 1886 පෙබරවාරි 23 වැනිදාය.

පිලිප් විජයවර්ධන මුහන්දිරම් රාලහාමි තුඩුගල පරපුරට අයත් වන අතර හෙලේනා විජයවර්ධන ළමාතැනී වනාහි එකල ප්‍රකට ව්‍යාපාරිකයකු වූ ඩැප් වීරසිංහ මහතාගේ දියණියයි.

දොන් රිචඩ් විජයවර්ධන නමින් හඳුන්වන අප ආදි කර්තෘවරයාගේ පවුලේ සහෝදර සහෝදරියෝ නම දෙනෙක් වූහ. ඇලෙක්සැන්ඩර්, ලුවිස්, චාර්ලිස්, එඩ්මන්, ඇල්බට් හා වෝල්ටර් එතුමාගේ සොහොයුරෝ වූහ. ඩී.ආර්. විජයවර්ධනගේ සොහොයුරියන් දෙදෙනාගෙන් වැඩිමහල් සොහොයුරිය එකල ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනප්‍රිය විනිශ්චයකාරවරයකු වූ ඊ.ඩබ්ලිව්. ජයවර්ධන අධිනීතිඥවරයා සමඟ විවාහ වූවාය. ලංකාවේ පළමු වැනි මුදල් ඇමතිවරයා වූ ප්‍රථම විධායක ජනපති වූ ජේ.ආර්. ජයවර්ධනයන් ඒ දෙදෙනාගේ කුලුඳුල් පුත්‍රයාය. අනිත් සොහොයුරිය කොළඹ නයනාරෝග්‍ය ශාලාවේ ජනප්‍රිය ප්‍රධාන වෛද්‍යවරයා වූ ආතර් සෙනෙවිරත්න හා විවාහ වූවාය.

මෙම පවුලේ පිරිමි දරුවන් හත්දෙනා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මෝදර පිහිටි ශාන්ත තෝමස් විදුහලෙනි. එකල මෙරට විශ්වවිද්‍යාලයක් නොතිබූ බැවින් වත්කම් ඇති තරුණයන් උසස් අධ්‍යාපනය සඳහා ගියේ එංගලන්තයටය. ඒ අනුව එතුමාත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියේ අධිනීතිඥවරයකු ලෙස ඉගෙන ගැනීමේ අභිලාෂයෙනි. ඒ අනුව එතුමා 1912දී නැවත මෙරටට පැමිණියේ අධිනීතිඥවරයකු ලෙසය. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ අභිලාෂයද විජයවර්ධන මහතාගේ හදවතේ එවක සිට පැවති අපේක්ෂාවකි.

අධිනීතිඥයකු ලෙස එතුමා කොළඹ උසාවියේ අලුත්කඩේ නීතිඥවරුන් අතර ප්‍රියමනාප තැනැත්තකු විය. නීතිඥ වෘත්තිය කෙරේ තම පූර්ණ කාලය යොදා වැඩ කිරීමට ඕනෑකමත් දැක්වී නම් ඔහුට එකල දක්ෂ හා ජනප්‍රිය නීතිඥයකු වීමට පුළුවන්කම තිබිණි.

එසේ වුවත් තරුණ ඩී.ආර්. දේශපාලනයට වැඩි උනන්දුවක් දැක්වීමට කටයුතු කළේය. එම උනන්දුව ඔහුට ඇති වූයේ එංගලන්තයේදී ඔහුට ආශ්‍රය කරන්නට ලැබුණු ඉන්දියානු අධිරාජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරයකු වූ ගෝපාල් කෘෂ්ණ ගොබාලේගේ ඇසුර හා උපදෙස් නිසාය. එමෙන්ම එංගලන්තයේදී නීතිඥ වෘත්තියෙහි සිටි නිදහස් මතධාරි ඉංග්‍රීසි ජාතික එෆ්.එච්.එම්. කෝබට් මහතාගේ අනුබලයද උපදෙස්ද දේශපාලනයට එක්වීමට එතුමාට අත්වැලක් විය. එපමණක් නොව එතුමා මෙරට ප්‍රථම පුවත්පත් ව්‍යාපාරය ලෙස ලේක්හවුස් ආයතනය පටන් ගත්තේද කෝබට් මහතා දුන් උපදෙස් අනුවය.

‍ඩී.ආර්. විජයවර්ධනයන් සමඟ රටට නිදහස ලබා ගැනීමට එක්ව කටයුතු කළ සර් ඩී.බී. ජයතිලක, ඒ.ඊ. ගුණසිංහ, පොන්නම්බලන් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, එෆ්.ආර්. සේනානායක, ඩී.එස්. සේනානායක, සිද්ධි ලෙබ්බේ වැනි ජාතික නායකයන් සමඟ කටයුතු කළේ බ්‍රිතාන්‍යයේ සිට මෙරට පැමිණි මුල් කාලයේ සිටය. එකල නිදහස් සටනේ පෙරමුණ ගත්තේ ලංකා ජාතික සමිතියයි. ඉහත අය ඇතුළු දේශප්‍රේමීහු හා මෙරට උගත් සල්ලිකාර සිංහල දෙමළ මුස්ලිම් ප්‍රභූහු මෙහි සාමාජිකත්වය දැරූහ. රටට නිදහස ලබා ගැනීමට පුරෝගාමි වූ ලංකා ජාතික සංගමය බවට පත්වූයේ මේ සමිතියයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව ලංකාවේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලී‍ම් බ්‍රිතාන්‍ය රජයට ශක්තිමත්ව ඉදිරිපත් කිරීම එකල ආරම්භ විය. ඒ පිළිබඳව ප්‍රමුඛත්වය ගත්තේ ලංකා ජාතික සමිතියයි. 1913 ඔක්තෝබර් මස 23 වැනිදා පැවැති ලංකා ජාතික සමිතියේ රැස්වීමේදී ඩී. ආර්. විජයවර්ධනයන් එහි ලේකම් ධුරයට පත්විය. සභාපති වූයේ ආතර් අල්විස් ය.

ඩී.ආර්. විජයවර්ධනයන් මෙම සමිතියේ ලේකම් බවට පත්වීම එතුමා මෙරට දේශපාලනයට ක්‍රියාශීලීව පිවිසි මුල් අවස්ථාව ලෙස එකල දේශපාලන විචාරකයෝ හැඳින්වූහ.

ඩී.ආර්. විජයවර්ධනයන්ගේ දේශපාලන ආගමනය පිළිබඳ එකල තිබූ ‘සිලනිස්’ පුවත්පත මඟින් එම සමිතියේ සභාපති ආතර් අල්විස් මහතාද ඇගැයුමට ලක්කර තිබිණ.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් 1912 දි බ්‍රිතාන්‍යයේ සිට අධිනීතිඥවරයකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන විට මෙරට තිබුණේ නගරයට සීමාවූ ඉංග්‍රීසි පුවත්පත් අධිරාජ්‍යයකි. එකල මෙරට බහුතර ජනතාව වූ සිංහල ජනතාවට කියවීමට දිනපතා සිංහල පුවත්පතක් නොවීය. ඒ අනුව අපේ රටේ බහුතර සිංහල ජනතාවට සාරගර්භ දැනුම හා වින්දනය සමඟ නිදහස් අරගලයට පණ පෙවීමට පොලඹවන රටටම බෙදාහරින පුවත්පතක අවශ්‍යතාව එකල බහුලව පෙන්නුම් කළේය. ඒ අඩුපාඩුව සැමරීමට 1909 දී ආරම්භ කර තිබූ දිනමිණ පුවත්පත ‍සර් ඩී.බී. ජයතිලකයන්ගේ උපදෙස් මත එච්.‍එස්. පෙරේරාගෙන් 1914දී ඩී.ආර්. විජයවර්ධනයන් මිලදී ගත්තේය. එය සාර්ථක ලෙස පවත්වාගෙන ගිය ඩී.ආර්. විජයවර්ධනයන් මෙරට ප්‍රථම වරට පුවත්පතක පළවූ වර්ණ ඡායාරූපයක් ලෙස 1915 පෙබරවාරි 2 වැනිදා සිංහ කොඩියක වර්ණ ඡායාරූපයක් දිනමිණ මුල් පිටුවේ පළ කළේය. ඊට පසු 1918දී එතෙක් ‘සිලනීස්’ නමින් පළවූ ඉංග්‍රීසි පුවත්පත රුපියල් 21000කට මිලදී ගෙන එය ‘ඩේලිනිවුස්’ ලෙස ප්‍රකාශයට පත් කළේ එකල මෙරට ජීවත්වූ ඉංග්‍රීසි කියවන නමුත් දේශප්‍රේමී ජාතිය සඳහාය.

අනතුරුව 1923දී යුරෝපීයන් සතුව තිබූ ඔබ්සර්වර් පුවත්පත ද ඩී.ආර්. ශ්‍රීමතාණන් මිලදී ගෙන නව්‍යතාවයෙන් යුක්තව මුද්‍රණය කර ලක්වාසි ජනතාවට ලබාදී ඇත්තේ මෙරට ප්‍රථම තොරතුරු විකිණීමේ සන්නිවේදන සමාගම ආරම්භ කිරීමේ අභිලාෂයද ඇතිව බව පෙනේ.

මේ අයුරින් පුවත්පත් ආරම්භ කළත් ඒ ඒ කර්තෘ මණ්ඩල කාර්යාල, දැන්වීම් අංශ හා බෙදාහැරීම් අංශ තිබුණේ කොළඹ නගරයේ විවිධ තැන්වලය. මේ සියල්ල නගරයේ සුවිශේෂ එකම ස්ථානයක එකම ගොඩනැගිල්ලක පැවැත්වීමට හැකියාව තිබුණොත් එය ඉතා ලාභදායක හා ජනතා පහසුව පිණිස වූ ව්‍යාපාරයක් වනු ඇතැයි ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ අපේක්ෂා කළහ. ඒ අනුව එතුමා 1926දී කොළඹ කොටුවේ බේරේ වැව අසල සුන්දර භූමි භාගයක මෙරට ප්‍රථම වාණිජ පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් මන්දිරය විවෘත කළේ එතුමා එහි ස්ථාපනය කළ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ලෙසද පත්වෙමිනි.

එකල මෙරට කොළඹ ප්‍රභූ පවුල්වල තරුණයන් රැල්ලකට මෙන් තම සහකාරිය තෝරා ගනු ලැබුවේ උඩරටිනි. ඒ අනුව යමින් තරුණ විජයවර්ධනයන්ද එවකට සබරගමුවේ තුන්කෝරල දිසාවේ දිසාව හා අධිකාරම් පදවියෙන් අභිෂේක ලත් ජොන් හෙන්රි මිදෙණියන්ගේ දෙවැනි දියණිය තම ආදරණීය බිරිය ලෙස තෝරා ගත්තේය.

ඒ අනුව රුබී අලිස් ජී. මිදෙණිය මෙණවිය සමඟ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් 1916 ජනවාරි 26 දින සාම්ප්‍රදායානුකූලව විවාහ විය. රුබි මිදෙණිය මෙ‌ෙණවියගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වූයේ මෙරට ප්‍රථම කථානායක අධිනීතිඥ ප්‍රැන්සිස් මොලමුරේ සමඟය. ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමෙන් පසු 1930 මාර්තු 30 වැනිදා මෙරට සිංහල සතිපතා පුවත්පත ලෙස එදත් අදත් පත්තර ලොවේ රන් ඔටුන්න ලෙස දිදුලන ‘සිළුමිණ’ ඉරිදා පුවත්පත ආරම්භ කිරීමට ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් කටයුතු කළේය.

පසු වකවානුවේදි ශ්‍රී ලංකාවේ නිදහස් අරගලයට ක්‍රියාශීලීව සම්බන්ධ වූ මෙතුමා ඒ.ඊ. ගුණසිංහ, පොන්නම්බලම් රාමනායක, ඊ.ඩබ්. පෙරේරා, සර් ඩී.බී. ජයතිලක, පොන්නම්බලම් අරුණාචලම්, එෆ්.ආර්. සේනානායක, ඩී.ඇස්. සේනානායක ඇතුළු ජාතික වීරයන් සමඟ එක්ව නිදහස් අරගලයට පණ පෙවූහ.

විජයවර්ධන යුවළට විවාහයෙන් පසු දරුවන් සිවුදෙනකි. ඔවුන් පිළිවෙළින් සීවලි විජයවර්ධන, නාලනි වික්‍රමසිංහ, රාණි තෝමස්, කුසුමා ගුණරත්න සහ විජය පුවත්පත් සමාගමේ වත්මන් සභාපති රංජිත් සුජීව විජයවර්ධන වෙති. නාලනී වික්‍රමසිංහ වනාහී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහයන්ගේ මෑණියන්ය.

සිළුමිණ ආරම්භ කිරීමෙන් පසු 1932 දී තිනකරන් පුවත්පතද ඊට පසු ‘වාරමංජරි’ පුවත්පතද පසුව ‘බුදුසරණ, සුබසෙත, තරුණි, සරසවිය’ ආදී සතිපතා පුවත්පත් ගණනාවක් ලේක්හවුස් ආයතනයෙන් මුද්‍රණය කළ එතුමා ඉන් දෙදහසකට පමණ රැකියා අවස්ථාද ලබාදුන්නේය.

1941 මාර්තු 5 වැනිදා පර්චස් 37ක ඉඩමක් බම්බලපිටිය වජිරාරාමයට පරිත්‍යාග කළ ඩී.ආර්. විජයවර්ධනයන් පේරාදෙණිය සරසවියේ සංඝාරාමයක් සඳහා එකල රුපියල් ලක්ෂ 2 1/2ක් පරිත්‍යාග කර ඇත.

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇරැඹීමටත් ඊට පසු ඩොනමෝර් කොමිසන් සභාව ආදී මෙරට නිදහස ලබාදීමට සිදුකළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිටුපස ඩී.ආර්. විජයවර්ධනයන්ද සිටි බව බොහෝ දෙනා නොදනිති. පසුව සෝල්බරි ආණ්ඩු ක්‍රමය යටතේ 1948දී රටට නිදහස ලබා ගැනීමට ද පෙරමුණ ගත් අය අතර එතුමා ප්‍රමුඛයකු විය.

රටට නිදහස ලබා ගැනීමට මෙන්ම රට තුළ අපට ආවේණික පුවත්පත් කලාවක් ස්ථාපනය කිරීමට හා මෙරට ප්‍රථම සන්නිවේදන සමාගම ලෙස ලේක්හවුස් ආයතනය පිහිටුවා තවමත් පවුල් රැසක් ජීවත් කරවන වත්මන් තරුණ පරපුරටත් ආදර්ශයක් දුන් දොන් රිචඩ් විජයවර්ධන ශ්‍රීමතාණන් 1950 ජුනි 13 දින වසර 64ක් ආයු වලඳා වියෝවී ඇත්තේ රටට අදත් අවශ්‍ය එවන් ජාති හිතෛෂියකු අපට අහිමි කරමින්ය.

(ලේඛකයා සිළුමිණ පුවත්පතේ ‍ෙෂ්ඨ සම කතෘවරයා වශයෙන් කටයුතු කරයි.)

 

Comments