ඇය තමයි සොබා­ද­හ­මෙන් මට දීපූ තෑග්ග | සිළුමිණ

ඇය තමයි සොබා­ද­හ­මෙන් මට දීපූ තෑග්ග

පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පියකු වන හර්ෂණ බෙත්මගේ පසුගියදා සොඳුරු හමුවීමකින් තමන්ගෙ ජීවිතය පුරා කැන්දන් යන්නට කෙනෙක්ව තෝරා ගත්තා. අහම්බෙන් ජීවිතයට සමීප වූ ඇය අද හර්ෂණගෙ ජීවන සහකාරියයි. හර්ෂණගේ හිතේ ලැගුම් ගෙන ඔහුගේ අතින් අල්ලා ගත් ඇය අරුණි නදීශානි යි. පහුගිය 26 වැනිදා වැඩි සද්ද බද්ද නැතිවම හර්ෂණයි අරුණියි ජීවිතය පුරා එකට එක්ව යන ගමනට පළමු පියවර තැබුවා.

 

හර්ෂණ - අරුණි අලූත් ජීවන ඇරඹුම ගැන සතුටින් ඇත්තේ?

ඔව්. අපි අලූත් කැදැල්ලක් තැනුවා. මම ඉස්සර ඉඳලම ස්වභාව ධර්මය තදින් විශ්වාස කළ කෙනෙක්. කලාකරුවන්ට හොඳ වගේම නරකත් අහන්න ලැබෙනවා. මම කවුද කියන දේ ලෝකේට පෙන්වන්න ලස්සන දවසක්, කාලයක් මටත් උදා වුණා. හොඳ අපේ ජීවිතයට ළං වෙනවා. නරක අපේ ජීවිතයෙන් ඈත් වෙනවා. මගේ ජීවිතය ඒකට හොඳ උදාහරණයක්.

 

වැඩි සද්ද බද්ද නැතිව නේද විවාහය සිදු වුණේ ?

ඔව්. අපි විවාහ සැමරුම් උත්සවයක් ගන්න හිටියේ. නමුත් පවතින තත්ත්වය නිසා රටේ නීතියට ගරු කරලා උත්සවය අවලංගු කළා. පවුලේ අය සහ අපේ ළඟම කිහිප දෙනෙකුගේ ආශිර්වාදය ඇතිවයි අලුත් ජීවිතය ආරම්භ කළේ. ඉතින් හරිම චාම් විදිහට අපි ඒ සැමරුම කළා.

 

විවාහය කල් නොදමා මේ විදිහට

සමරන්න අරුණි කැමැති වුණාද ?

අපි මේ වෙලාවේ අපේ පැත්තෙන් නෙමෙයි හැම කෙනා ගැනම හිතලයි වැඩ කරන්න ඕනේ. අපිට පැදුරේ නිදාගත්තම ඇඳේ නිදාගත්තා වගෙ බිමට වැටෙයි කියන බයක් දැනෙන්නේ නැහැනෙ. ඇයත් ලද දෙයින් සතුටු වෙන, මං වගෙ පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.

හර්ෂණ - අරුණි පළමු හමුව කොයි විදිහටද සිදු වුණේ?

මනුස්සයෙක්ට ජීවිතේ නොහිතපු තැනකින් වැරැදුණාම ජීවිතේ හැම දෙයක්ම එපා වෙනවා. එහෙම මොහොතක තමයි මට අරුණිව මුණගැහෙන්නේ. ඒ, මීට අවුරුදු දෙකකට විතර කලින්. මට මුලින්ම ඇය මුණ ගැහෙන්නෙ ව්‍යාපාර සහකාරියක් විදිහට. ටික කාලෙකට පස්සේ ඇය මගෙ ජීවන සහකාරිය කරගන්න මම තීරණය කරනවා.

 

ඇය ඔබේ ජීවන සහකාරිය කරගන්න විශේෂ හේතුවක් තියෙන්නෙ ඇති?

ඇගේ මුණ ගැසීම මගේ ජීවිතේ වැදගත් සිදුවීමක්. වැටිච්ච මනුස්සයෙක් නැගිටිද්දි හරි ලස්සනයි. මම ජීවිතේ වැටුණු තැනින් නැගිට්ටේ ඇයත් එක්ක. අරුණිව මුණගැහෙද්දි මම හිටපු තත්ත්වය ඇය තේරුම් ගත්තා. ඒ වගේම ඇය මගේ සිතුවිලි හරියාකාරව තේරුම් ගත්තා. ඇය තමයි මගේ හිමිකාරි. සොබාදහමෙන් මට දීපූ තෑග්ග.

ඔබේ අතීතය අරුණිට ප්‍රශ්නයක් වුණේ නැද්ද?

විවාහ වෙලා දික්කසාද වුණු කෙනෙක් විවාහ කරගන්න කෙනෙක් දෙපාරක් හිතනවනේ. හැබැයි අරුණිට මං ගැන විශ්වාසයක් තිබුණා. අපි ආදරේ කරද්දි මම විවාහ වෙලා දික්කසාද වුණ කෙනෙක් කියන එක ඔළුවේ තියන් ඇය ජීවත් වුණේ නැහැ. සාමාන්‍යයෙන් විවාහයකින් වෙන් වෙලා ඉන්න කෙනෙක්ට අවිවාහක කෙනෙක් ආදරය කරද්දි සමාජය බලන්නේ වපර ඇහින්. අරුණිටත් සමාජයෙන් ලොකු මඩ ටිකක් වැදුණා. නමුත් ඇය නිහඬව හිටියා. මටත් අනන්ත අප්‍රමාණ මිනිස්සු වැරදි කිව්වා. ඒවායේ හරි වැරදි බලෙන් ඔප්පු කරන්න මම ගියේ නැහැ. මගේ ජීවිතෙ ඇතිවුණ දේවල් මිස නැති වුණ දේවල් නැහැ.

 

ඔය ආදර කතාවට පවුලෙන්, වෙනත් අයගෙන් බාධා ආවේ නැද්ද?

අපේ ආදර කතාවට පවුලේ අයගෙන් බාධා ආවේ නැහැ. සමහරු බාධා ඇති කරන්න උත්සාහ කළත් අපේ ජීවිතයට ඒවා බලපෑම් සහගත නොවුණේ අපේ කතාව ඇත්ත කතාව නිසා වෙන්න ඇති. අපිට බලෙන් බොරුවක් ඇත්ත කරන්න හෝ ඇත්තක් බොරුවක් කරන්න බැහැ. අපිට බාධා ආවත් ඒක අපිට දැනෙන්නේ නැහැ.

 

ජීවිතය ගැන දෙන්නගෙ අලුත් හීන මොනවද?

අපිට අපේම නිවෙසක් හදාගන්න සැලසුමක් තියෙනවා. එය ළඟදිම ආරම්භ කරනවා. අරුණි හොඳ පෙම්වතියක් වගේම හොඳ බිරියක් විදිහටත් මගේ ජීවිතේ හිදීවි. ඇයට රසට උයන්න පුළුවන්. මම කැමැතියි ඇය හොඳ ගෘහණියක් වෙනවට. මුදල් හොයන්න ගිහින් ගෙදර අවුල් කරගන්න හොඳ නැහැ. අපේ අම්මා ගෘහණියක් ලෙස හිටපු නිසා තමයි

 

ඔබේ නළුකමට ඇගෙන් තහංචි නැද්ද?

මම නළුවෙක් විදිහටයි ඇයට මුණ ගැහෙන්නේ. ඇයට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. තහංචි දැම්මානම් අපි විවාහය දක්වා නොඑන්න තිබ්බා.

Comments