කාලයේ වැලිතලාවෙන් වැසීගිය කඩදාසි නගරය පිළිබඳ මතකය නැවත යාවත්කාලීන වීමට පටන් ගත්තේ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය අනුව යමින් ඊට යළි පණ දීමට ගත් උත්සාහය නිසාය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් ප්‍රමුඛ ආණ්ඩුව මෙකී ප්‍රතිපත්ති අනුව යමින් දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වාලච්චේන ජාතික කඩදාසි කර්මාන්ත ශාලාව යළි ගොඩනැඟීමට පියවර ගත්තේය.
මෙකී භාරදූර කටයුත්ත යථාර්ථයක් කිරීමට බාර වූයේ හිටපු කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශට ය. ඕනෑම අභියෝගයක් නොබියව නොපැකිලව බාර ගන්නා අමාත්‍ය වීරවංශ එම අභියෝගය යථාර්ථයක් කිරීමට පියවර ගත්තේය. පසුගියදා (02) ‘ශ්‍රීපත් - යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි’ යන සන්නාමය යටතේ ටොන් 40කින් යුත් ප්‍රථම කඩදාසි තොගය වෙළඳපොළට මුදා හැරිණි. එය සංකේතවත් කරමින් විශේෂ සමරු ඵලකයන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන්ට පිළිගැන්වීම ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා අතින් සිදු කෙරිණි.
මෙහි දී පේපර් කොම් ට්‍රේඩින් කොම්පැනි සමාගමේ සභාපති සාකීර් කබුර්දීන්, රන්පත් පේපර් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නිරූන් බුද්ධසිරි, ආනන්ද ට්‍රේඩින් කම්පැනි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජානමුත්තු ආනන්දන්, කැමිලස් පබ්ලිකේෂන් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ගයාන් පෙරේරා යන අය මෙම විශේෂ සමරු ඵලක ලබා ගත්හ. මෙම අවස්ථාව සඳහා පුරාවිද්‍යා මහාචාර්ය රාජ්සෝමදේව, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති දිලාන් පෙරේරා, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනිල් කාරියවසම්, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු ජනක රත්නකුමාර යන අයද පැමිණ සිටියහ.
මෙහි දී ලලිත් වීරතුංග උත්සව සභාව අමතමින් මෙසේ කියා සිටියේය.
‘අපිට පුළුවන් දේවල් නිපදවන්න අවශ්‍යයි’ කියන යුගයේ තමා අපි රාජ්‍ය සේවයට ආවේ. එතැන් සිට දශක ගණනාවක් පසු කරලා නොයෙකුත් දේවල් පිටරටින් ගෙනෙන කාලයක් පසු කරමින් ආපු මට අද ජාතික කඩදාසි සමාගම නැවත පණ ගන්වලා, එහි පළමු නිෂ්පාදන දකින්න ලැබීමම එක්තරා විදිහක සිහිනයක් සැබෑ වීමක්. අමාත්‍යතුමනි, ඒ ගෞරවය ඔබට ලැබෙන්නම අවශ්‍යයි”
වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ඉතිහාසය පිරික්ෂා බලන විට මෙම කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර නැගෙනහිර ජර්මානු පරිත්‍යාගයක් යටතේ 1952 වර්ෂයේ දී මෙරටට ලැබුණකි. එවක කර්මාන්ත අමාත්‍යවරයාව සිටි ජී. ජී පොන්නම්බලම් මීට මුල්ගල තබා වැඩ ආරම්භ කර තිබුණි. 1957 වර්ෂයේ දී නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලය නමින් ස්ථාපිතව මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරිණි. එකළ කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පිදුරු ඔට්ටමාවඩි, ඔළුවිල්, අක්කරෙයිපත්තු, සමන්තුරේ, අම්පාර, තොප්පිගල ආදී ස්ථානවල පිහිටුවා තිබූ මධ්‍යස්ථානවලින් රැස් කර ඇත. මීට අමතරව පොළොන්නරුව, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශවල ගොවි බිම්වලින්ද මේ සඳහා අවශ්‍ය පිදුරු ස්වෙච්ඡාවෙන් ගොවියන් විසින් සපයා ඇත. එකල එක් යන්ත්‍රයක කඩදාසි නිෂ්පාදන ධාරිතාව දිනකට මෙට්‍රික්ටොන් 12.5කි. 1962 වන විට මෙම අගය මෙට්‍රික් ටොන් 35ක් දක්වා වර්ධනය වී තිබුණි. 1972 වර්ෂයේ දී ඝන කඩදාසි යන්ත්‍රය මෙම කර්මාන්ත ශාලාවට ගෙනැවිත් ක්‍රියාත්මක කර ඇත. එහි ධාරිතාව දිනකට මෙට්‍රික්ටොන් 40කි. එවක මෙම යන්ත්‍ර දෙකම එකවර ක්‍රියාත්මක කර දිනකට කඩදාසි මෙට්‍රික් ටොන් 60ක් පමණ නිෂ්පාදනය කර ඇත. ඒ අනුව බලන කල මසකට නිෂ්පාදනය කර ඇති කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1800කි.
1976 වර්ෂයේ දී කඩදාසි සංයුක්ත මණ්ඩලය ජාතික කඩදාසි සංස්ථාව බවට පත් විය. පසුව 1992 වර්ෂයේ දී රජය සතු සමාගමක් ලෙස ජාතික කඩදාසි සිමාසහිත සමාගම (National Paper Company Limited) බවට පත් වූ අතර, උපරිම ලාබ ලබමින් 1993 වර්ෂයේ දී ඵදායිතා සම්මානය ද දිනාගත්තේය. මෙහි ස්වර්ණමය යුගය ලෙස සැලකෙන 1990 -94 කාලය තුළ සේවකයන් 3500ක් පමණ සේවයේ නියුතු විය. එකළ දුම්රිය සේවාවක් සහ බස් සේවාවක් මේ සේවකයන් සඳහාම වෙන් වී තිබුණි. 1977 දී ජේ.ආර් ජයවර්ධන විසින් හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ක්‍රමයෙන් මෙයට තිබූ වෙළෙඳ ඒකාධිකාරය බිඳ වැටිණි. ආනයනික කඩදාසි ඉතා අඩු මිලට වෙළෙඳපොළට පැමිණීමත් සමඟ තරගකාරී මාවතකට පිවිසීමට ඊට බල කෙරිණි. ආනයනික කඩදාසි මිල ඉතා අඩු වූ හෙයින් මෙහි නිෂ්පාදන අලෙවිය පහත වැටිණි. මේ සඳහා කෙටිකාලීන උපක්‍රමයක් ලෙස ආනයනික කඩදාසි සඳහා 35% බද්දක් අය කිරීමට එවක රජය පියවර ගත්තේය. නමුත් 1994 දී ඉන්දීය රජය සමඟ අත්සන් කළ වෙළෙඳ ගිවිසුම නිසා මෙම බදු මුදල 5% දක්වා පහත හෙළිණි. දේශපාලනික හා ව්‍යාපාරික වුවමනා වෙනුවෙන් මෙලෙස තීරු බදු පහත හෙළීම හේතුවෙන් ආනයනික කඩදාසි මෙරට වෙළෙඳපොළ ආක්‍රමණය කළේය. මේ හේතුවෙන් ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ 20%ක්ව පැවැති සැපයුම ද 5% දක්වා පහත වැටිණ. මේ ගැටලුවට මුහුණ දීම සඳහා කඩදාසි කර්මාන්ත ශාලා නවීකරණය කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් විය.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමත් සමඟ ත්‍රස්තවාදයෙන් විනාශව ගිය ජනජීවිතය නඟා සිටුවීමට කටයුතු කළේය. ඒ අනුව ආරම්භ කළ නැඟෙනහිර නවෝදයට සමගාමීව ගෙන ගිය දැවැන්ත සංවර්ධන ක්‍රියාන්විතය හේතුවෙන් දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති විය. දැනුම කුසලතා, නිර්මාණශීලී හැකියාව ඇති පුද්ගලයන් දැයට ශක්තියක්, සම්පතක් ලෙස සලකමින් මහා පරිමාණ වර්ධනයක් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති විය. ඊට සමගාමීව පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම ද ඇරැඹිණ. ඒ අනුව 2012 අප්‍රේල් මාසයේ දී කඩදාසි සංස්ථාව නිසි බලධාරියකු යටතට පත් කර එය නැවත ගොඩනැඟීමේ කටුතු ආරම්භ කෙරිණි. 2013 වසර වන විට එහි සුබ නිමිති දිස් වුවද මහින්ද රාජපක්ෂ රජය 2015 බිඳවැටීමත් සමඟ සියලු සංවර්ධන කටයුතු අඩපණ විය. බලයට පැමිණි යහපාලන රජය ආර්ථිකය ගොඩනඟනවා යැයි කටින් බතල සිටෙව්වා මිස ඊට අදාළව නිෂ්පාදන කර්මාන්තය ගොඩනැඟීම ගැන උනන්දුවක් නොතිබුණි.
2020 ජනවාරී මාසයේ දී අමාත්‍ය විමල් වීරවංශ මෙහි කළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව කඩදාසි කම්හල ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා සිටියේය. ඒ අනුව රුපියල් මිලියන 800ක ණය මුදලක් යටතේ බහුවිධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මෙය නැවත ආරම්භ කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. ඉල්ලුම් කළ ණය මුදල ලබා ගැනීමට නම් කම්හල නැවත නැඟී සිටිය හැකි බව පෙන්වා දිය යුතු බැවින් ඉතා අඩු වියදමින් මෙහි කටයුතු ආරම්භ කිරීමට ඇමැතිවරයා ඇතුළු බලධාරීහු විධිවිධාන යෙදූහ. ඒ අනුව විවිධ අරමුදල් යොදා ගනිමින් යුද හමුදාව, නාවික හමුදාව සහ විදුලි, ජල ඇතුළු අංශවල දායකත්වය ලබා ගනිමින් ඉතා අවම පහසුකම් යටතේ මේ කඩදාසි සමාගම ගොඩනැඟීමේ කටයුතු ආරම්භ විය.
අප එහි යනවිට වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව සතුව පැවැති අක්කර 500කට වැඩි භූමි භාගය වැට මායිම් ඉවත්ව ප්‍රදේශවාසීන්ගේ භූක්තියට ගෙන තිබුණි. අද එහි ඉතිරිව ඇතිතේ අක්කර 350ක වපසරියක් පමණි. මෙහි අක්කර 100ක පමණ භූමි ප්‍රදේශයක ඉදිකර ඇති ගොඩනැඟිලි සංඛ්‍යාව 85 කි. නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා මෙහි ගොඩනැඟිලි බොහොමයක් මේ වනවිටත් ගරා වැටී ඇති අතර, අබිලි යකඩ තැනතැන දිරාපත් වෙමින් තිබුණි. මින් කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන යන්ත්‍රය දෙක සවි කර තිබෙන ගොඩනැඟිලි දෙක ඇතුළු, ගබඩා කාමර, ඇසුරුම් අංශය, සේවක නිවාස (25ක්), බොයිලේරුව පිහිටි ගොඩනැගිල්ල, ආපන ශාලාව සහ ප්‍රධාන කාර්යාලය ඇතුළු තෝරාගත් ගොඩනැගිලි කිහිපයක් ප්‍රතිසංස්කරණ කිරීම මූලික අදියර යටතේ ආරම්භ කෙරිණි.
සභාපති විමල් රූපසිංහ කඩදාසි යන්ත්‍ර පිළිබඳව හසල දැනුමක් ඇති ඉන්දියානු විශේෂඥයෙක් සහ ඉන්ජිනේරුවන් පිරිසක් මෙරටට ගෙන්වා ගත්තේය. අනතුරුව මෙරට ඉන්ජිනේරුවන්ද සහභාගි කර ගනිමින් මුදල් ප්‍රතිපාදන නොමැති නිසා අවම මුදලක් වැය කර මෙය ගොඩගන්නේ කෙසේදැයි සාකච්ඡා ආරම්භ විය. සම්පූර්ණ මැෂිම ම අලුත්වැඩියා නොකර මෙහි අඩු වියදමකින් ක්‍රියාත්මක කළ හැකි කොටස මුලින්ම පණගන්වන්න ඔවුන් තීරණය කළේ ඒ අනුවය. අද එය යථාර්ථයක් වී තිබේ.
පත්වීම් ලිපිය සියතට පැමිණීමටත් ප්‍රථම මෙම ස්ථානයට පැමිණ සිය කාර්ය භාර්ය හා වගකීම නොපිරිහෙලා ඉටු කළ සභාපති විමල් රූපසිංහට මෙහි දී විශේෂ ස්තූතිය පුද කළ යුතුය. එසේම මෙම මහඟු කාර්යයේ දී ඔහු හා අත්වැල් බැඳගත් නාවික හමුදාවේ, යුද හමුදාවේ සහ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවන්ට ද එකී විශේෂ ස්තූතිය හිමිවේ. සෞභාග්‍ය කරා පියනඟන සාර්ථක පෞඪ රාජ්‍යයක් බවට අද මෙරට පත්වෙමින් තිබේ. ඒ සඳහා අවැසි නායකත්වය අද අපට ලැබී තිබේ.