මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක් | සිළුමිණ

මැතිවරණ කොමිසමෙන් රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

ඡන්ද විමසීමේ කාලසීමාව තුළ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සෘජු දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැඩිව අවධාරණය කර තිබේ.

දේශපාලන අයිතිය හිමි වුව ද අහිමි වුවද මැතිවරණ රාජකාරීවලට සෘජුවම දායකත්වය දක්වන රාජ්‍ය සේවයේ නියුතු සියලු පාර්ශව දේශපාලන කටයුතුවලින් බැහැර විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කර ඇත.

මෙහිදි ඔවුන් පෙන්වාදී ඇත්තේ මැතිවරණයට අදාළව අපේක්ෂකයින් විසින් සංවිධානය කරනු ලබන උත්සව සඳහා වෘත්තීය සමිති නායකයින් ලෙස මෙන්ම දේශපාලන අයිතිවාසිකම් සහිත නිලධාරීන් ලෙස මාණ්ඩලික නිලධාරින් සහභාගී වී ඇති බවට කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති බවය.

මේ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේ වෙතත් සියලු රාජ්‍ය නිලධාරීන් මෙවැනි උත්සවවලට සහභාගී නොවී සිටීමට වගබලා ගත යුතු බව ඔවුන් සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

 

Comments