පොදු ප්‍රවාහනය භාවිතා කරන ජනතාවට රෙගුලාසි | සිළුමිණ

පොදු ප්‍රවාහනය භාවිතා කරන ජනතාවට රෙගුලාසි

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශ ප‍්‍රකාරව පොදු මගී ප‍්‍රවාහන සේවාවල ගමන් ගන්නා මගීන් මෙන් ම එහි රියදුරන් සහ කොන්දොස්තරවරුන් ද පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක විධි සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති සී ඩි වික‍්‍රමරත්න නිවේදනයක් නිකුත් කර තිබේ.

දෛනික ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග පොදු මගී ප‍්‍රවාහන සේවාවන්හි සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රම පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කරන අවස්ථා නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, සෑම පොදු මගී ප‍්‍රවාහන සේවාවක් ම ගමන් ආරම්භ කිරීමට පෙර විෂබීජහරණයට ලක් කළ යුතු බවයි වැඩ බලන පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ.

පොදු ප‍්‍රවාහන සේවාවන්හි ගමන් ගන්නා සියලූ තැනැත්තන් මුව ආවරණ පැළඳිය යුතු බව මෙන්ම එකිනෙකා අතර මීටරයක පරතරයක් පවත්වාගෙන යාම සඳහා පියවර ගන්නා ලෙස ද වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබේ.

බස් නැවතුම්පලවල සහ වාහනයට ඇතුල්වන ස්ථානවල සවි කර ඇති දියර සහිත බෝතල්වලින් දෑත් පිරිසිදු කර ගත යුතුයි.

ආධාරකයක් ඇල්ලීමකින් තොරව රථයට ගොඩවීමට සහ ඉන් බැසීමට සාධාරණ කාලයක් රියදුරන් විසින් මගීන් වෙත ලබාදිය යුතු බවටයි උපදෙස් ලබා දී ඇත්තේ.

කුළී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරු හැර ගමන් කළ යුතු උපරිම ගණන මගීන් ගණන දෙදෙනකුට සීමා කරන ලෙසත් එම ආරක්ෂක උපදෙස්වලට පටහැනිව ක‍්‍රියාකරන අවස්ථාන්හිදී නෛතික පියවර ගැනීමට කටයුතු කළ යුතු බව ද වැඩ බලන පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

 

Comments