යූ-ටර්න් හැරි­ලාම බලමු! | සිළුමිණ

යූ-ටර්න් හැරි­ලාම බලමු!

යූ -ටර්න් එකක් ගැනීමේ දී සිදුවන්නේ සපුරාම ආපසු හැරීමක් වුවද, එය ගමන නවතා ගෙදර ඒමක් නොවේ. කෙනෙකු හැමවිටම පාහේ එසේ කරනු ලබන්නේ සිය ගමන ඉක්මන් කර ගැනීමට අනුගමනය කරන ක්‍රියා මාර්ගයක් වශයෙනි. යු ටර්න් එක ගන්නාට අංශක එකසිය අසූවක් ආපස්සට හැරී තමන් ආ මග දෙස නෙත් හෙළීමට ද අවස්ථාවක් උදාවීමද මෙහි ඇති විශේෂත්වයකි.

සිංහල සිනමාවට වසර හැත්තෑ තුනක් සමරන මේ මොහොතේ තිරගත වන චන්න දේශප්‍රියගේ “යු ටර්න්” චිත්‍රපටය උදෙසා ද මෙය බොහෝ දුරට ගැලපෙන උපමා රූපකයකි.

ඒ මෙවැනි කාරණා නිසා ය.

ඉන් පළමු වැන්න ඔහේ යමින් සිටින සිංහල චිත්‍රපට ප්‍රේක්‍ෂකයින් යම් ප්‍රමාණයක් සිනමාහල් කැඳවා ගන්නට චන්නගේ යු-ටර්න් ද සමත්ව තිබීම ය.

දෙවැන්න එදා මෙදා තුර සිංහල සිනමාවට ආවේනික වූ නච්ඡ- ගීත- වාදිත- විසූක- දස්සන ආදී සියල්ලෙන් තොරව, අලුත් ආරක කතා පුවතක් අප වෙත ඉදිරිපත් කිරීම ය.

තෙවැන්න නම් එය සිනමාත්මක අංග ලක්‍ෂණ වලින් අඩුපාඩුවක් නොවන ආකාරයේ කෘතියක් ලෙස ඉදිරිපත් කරන්නට වෙහෙසකර ව්‍යායාමයක යෙදී තිබීම ය.

ඊළඟ කාරණය වන්නේ අප කවුරුත් එදිනෙදා අත්විඳ නොසලකා හරින ලද සිදුවීමක අන්තර්ගතව ඇති බිහිසුණු ඛේදවාචකය හදවතට දැනෙන ලෙස ඉස්මතු කර දැක්වීම ය.

ඊලඟට පෙනී යන්නේ ඔහු සිතාමතාම හෝ නොසිතාම හෝ බරපතළ සමාජ යථාර්ථයක් ඉස්මතු කිරීමට දායකවී තිබීම ය.

මේ සියලු කාරණා සහිතව යු-ටර්න් චිත්‍රපටය ඔහු අපට ඉදිරිපත් කරනු ලබන්නේ එනමින් විදෙස් චිත්‍රපටයක සිංහල ප්‍රකාශනය ලෙසවීම යු-ටර්න් අරබයා සැලකිය යුතු ඊළඟ කාරණය බවට පත්වෙයි.

මේ අනුව 2018 සැප්තැම්බර් 13 දී තිරගත කෙරුණ පවන් කුමාර් නැමැති ඉන්දිය අධ්‍යක්‍ෂවරයා විසින් තෙළිඟු හා ද්‍රවිඩ බසින් නිර්මාණය කරනු ලබන සිනමා පටයක සිංහල චිත්‍රපට පිටපත වන්නේ දැන් තිරගතවන යු-ටර්න් ය.

මීට කලකට ඉහත ඔලිවර් ස්ටෝන් නැමැති අධ්‍යක්‍ෂවරයා විසින් නිර්මාණය කරන ලදුව සීන් පෙන් සහ ජෙනිෆර් ලෝෆාස්’ යන සුප්‍රකට නළු නිළියන් චරිත නිරූපණය කළ යු-ටර්න් නැමැති බටහිර චිත්‍රපටයක්ද ඇති නමුදු ඒ චිත්‍රපටය හා මේවා අතර නමින් හැරුණු කළ වෙනත් මොනම විදියක සබඳතාවයක් හෝ නැත. එහි අන්තර්ගත ව ඇත්තේ මීට හාත්පසින් ම වෙනස් කතා පුවතකි.

සිංහල සිනමාවේ ගෙවී ගිය දශක හතකට අධික කාල පරිච්ඡේදය ගැන සලකා බලන කළ එකී ඉතිහාසයේ වැඩි වශයෙන් ම සිදුවූ පරිදි මෙයද ‘කොපි කිරීමක්’ යම් අයකු තර්ක කළ හැකි නමුදු වඩාත් සාධාරණ වන්නේ පවන් කුමාර්ගේ තෙළිඟු චිත්‍රපටයේ සිංහල නිෂ්පාදනය ලෙස සැලකීම යයි අපි සිතමු. මුල් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වූ පවන් කුමාර් විසින් ම මෙහි තිර රචනය කර තිබීම ඒ අදහස් වඩාත් තිව්ර කරවයි. මේ හැරුණු කළ මීට පෙර තිරගත වූ “ධර්ම යුද්ධය” මෙන්ම ආචාර්ය සෝමරත්න දිසානායක ලෝ පතළ “සවුන්ඞ් ඔෆ් මියුසික්” “සරිගම” නමින් සිංහලෙන් ඉදිරිපත් කිරීමද පෙන්වා දිය හැකිය. කොපියක්ය යන චෝදනාව යටතේ ම කතා කරන කල්හි එක්වරම සිහියට නැඟෙන “අල්ලපු ගෙදර” අදටත් අපේ මතකයේ රැඳෙන්නේ විනෝදාත්මක ජනප්‍රිය චිත්‍රපටයක් වශයෙන් විනා ඒවායේ මුල් පිටපත් කුමක්දැයි සිහිපත් කරමින් නොවේ. නමුත් මේ ඉඩකඩ හෝ අවස්ථාව ඒ ගැන කතා කරන්නට ප්‍රමාණවත් නොවේ.

අනෙක් පැත්තෙන් ලෝකයේ මොන දෙයක් ඇසුරෙන් තනා තිබුණත් අප දකින සිංහල චිත්‍රපටය ගැන කතා කළ යුතුව ඇත්තේ අධ්‍යක්‍ෂණයෙහිලා එහි දක්නට ලැබෙන ගුණාත්මකභාවයේ අඩුවැඩි තත්ත්වය මුල්කර ගනිමිනි.

මේ ඉහත සඳහන් කළ සියලු කරුණු වලින් වියුක්තව බලන කළ සිනමා හලේදී යූ-ටර්න් අප ඉදිරියේ දිග හැරෙන්නේ ආරම්භයේ සිට අවසානය දක්වා ම එක දිගට කුතුහලය රඳවා ගන්නා සිනමා පටයක් ලෙසිනි. එසේ වන්නේ සිනමා ප්‍රකාශනය ප්‍රේක්‍ෂක හදවතට නිවැරදි ව දැනෙන්නේ කෙසේදැයි මැනවින් වටහා ගත හැකි අධ්‍යක්‍ෂණ කාර්යයක යෙදීමට චන්න දේශප්‍රිය සමත් ව සිටීම හේතුකොටගෙනය. නිසි පරිදි සිය භූමිකාවන් මෙහෙයවීම මෙන් ම නළු නිළි වර්ණයේ දී ද සුදුසු ම පිරිස ඒ සඳහා තෝරා ගැනීම මඟින් ඔහු තමන්ගේ මූලික සාමාර්ථභාවය අපට පෙන්වා දී තිබේ. මුල් කෘති දෙකෙහි අධ්‍යක්‍ෂවරයා වූ පවන් කුමාර් විසින් රචිත මෙහි තිර රචනය මෙම චිත්‍රපටය සඳහා ශක්තිමත් පදනමක් සකස් කර දී ඇති අතර, හේමාල් රණසිංහ, තුමිඳු දොඩම්තැන්න, චානු දිසානායක, බිමල් ජයකොඩි, සහ දයාදේව එදිරිසිංහ ඇතුළු නළු නිළි පිරිස එය සජීවී කෘතියක් ව ගොඩනඟනු පිණිස සිය චරිතාංග නිරූපණ හැකියාව නොමඳව කැප කරනු ලැබ සිටිති.

තෙළිඟු චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයෙකු වූ පවන් කුමාර් යු-ටර්න් අරබයා සිය තිර රචනය ඉදිරිපත් කරනු ලබන්නේ සිංහල චිත්‍රපට ප්‍රේක්‍ෂකයාට ආගන්තුක වූ නවතම අත්දැකීමක් සිය කැමරා කාචයට හසුකර ගැනීමේ අභියෝගය අධ්‍යක්‍ෂ චන්න දේශප්‍රියට බාර කරමිනි.

ශ්‍රී ලංකාව ද ඇතුළුව තුන්වැනි ලෝකයේ රටවල් තුළ අසීමිතව සිදුකෙරෙන්නා වූ මාර්ග නීති කඩකිරීමේ සුලභ අවස්ථාවක් පදනම් කර ගනිමින් අපූර්ව සිනමා වෘතාන්තයක් ඔහු අතින් ගොඩ නැගෙන්නේ ඒ අනුවය.

මූලික වශයෙන් ගත් කළ එක් පැත්තකින් එය අපේ සමස්ත සමාජ යථාර්ථය පිළිඹිඹු කරන්නක් වන අතර, අනෙක් පැත්තෙන් දේශපාලනික ද වන්නකි. මින් ධ්වනිත වන මිනිසුන්ගේ ආකල්පවල ස්වභාවය අනුව සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයක ලක්‍ෂණ ද පෙන්නුම් කරන්නකි. ඒ හැම කාරණයකට වඩා මින් ඉස්මතු වන විශේෂිත කාරණය වන්නේ නිර්මාණශිලී සිනමාකරුවෙකු උදෙසා කොතෙක් අමුද්‍රව්‍ය අපගේ දෙපා අබියස තිබෙන්නේ ද යන්නයි.

මෙම චිත්‍රපටයෙන් දෘශ්‍යමාන වන්නේ ගුවන් පාලමක් මත දී එහි ඇති මං තීරු නීතිය නොසලකා යු-ටර්න් ගන්නවුන් පිළිබඳ තොරතුරු එක්රැස් කරන තරුණ මාධ්‍යවේදිනියක් සහ ඒ නීති විරෝධී කටයුත්තේ නියැළෙන මෝටර් සයිකල් කරුවන් ගණනාවක් මුහුණ දෙන අනපේක්‍ෂිත වූත්, භයංකරවූත්, අද්භුත සිදුවීම් මාලාවකි.

ඒ නිසා අපට සමස්ත චිත්‍රපටය මුළුල්ලේ අත්විඳින්නට සිදුව ඇත්තේ අද්භූත සංත්‍රාසයකි. අවසානයේ කුමක් වේදැයි දැන ගැනීමේ පිපාසාවකි. මේ ආකාරයට ගුප්ත ආකාර්ෂණයකින් ප්‍රේක්‍ෂකයාව ග්‍රහණයට ගන්නා යු-ටර්න් චිත්‍රපටකරුවා ඒ සඳහා සිනමා භාවිතය සඳහා වූ ස්වකීය පරිචය නොමඳව ප්‍රයෝජනයට ගනී. සුවිශේෂී දෘෂ්ඨි ප්‍රයෝග ද, ශබ්දය, ආලෝකය, සහ සංස්කරණ උපක්‍රමයන් ද මේ සඳහා නිර්මාණශිලීව සිනමා පටය තුළ භාවිත කරයි. එමඟින් චිත්‍රපටය ආරම්භ වී කෙටි කාලසීමාවක් ඇතුළත ප්‍රේක්‍ෂකයා ගුවන් පාලම මතින් වෙනත් අද්භූත මානයකට තමා නොදැනීම සීරුමාරු වෙයි.

නමුත් අප මදක් සියුම්ව කල්පනා කර බැලුවහොත් චිත්‍රපටය මුළුල්ලේ දක්නට ලැබෙන සෑම බිහිසුණු ඛේදවාචකයක් සමඟ ම යු-ටර්න් ගැනීම අපගේ සිහියට නැඟෙනු වළක්වාගත නොහැක්කකි. සමාජය තුළ වූ යම් පිරිසක් ඉතා නිර්භීත ලෙස ඒ කාර්යයේ යෙදීම වූ කලී නීතිය ද, එය ක්‍රියාත්මක කරවන දේශපාලනය ද, පුද්ගලයන් තුළ ඇති සමාජ ආකල්ප වල ස්වභාවය ද පිළිබිඹු කර වන්නකි.

එනයින් බලන කල පෙනී යන්නේ එක්තරා සමාජ අර්බූදයක් නැතිනම් සමස්ත ජනතාවට හානිකර නෛතිමය බිඳ වැටීමක් කොතෙක් බියකරු ද යන්න ජනතාව තුළ දැඩිව තහවුරු කරනු වස් සිනමාකරුවකු ගත් ජනතාවාදී උත්සාහයක් ලෙස ද යු-ටර්න් හැඳින්විය හැකි බව ය. සිනමාපටය තුළදී අපට පෙනෙන්නේ යම් කිසි අද්භූත බලවේගයක් මේ ඉරණම් සහගත චරිත වලට දැඩි බලපෑමක් එල්ල කරන ආකාරයයි. එය චිත්‍රපටයේ කතාන්තරයයි.

නමුත් චිත්‍රපටකරුවා කියන දෙය වන්නේ යු-ටර්න් වැරදියට හැරවීම යනු දිවිනසා ගැනීමක් බව ය. එමෙන් ම තවත් අයකුගේ දිවි තොර කිරීමට හේතුවක්ද විය හැකි බව ය. නමුත් ඉන් ගම්‍ය වන්නේ කුමක්ද යන්න වටහා ගැනීමේ ශුද්ධ වූ අයිතිය ඇත්තේ චිත්‍රපටය බලන ප්‍රේක්‍ෂකයාට ය. වාසනාවකට මෙන් යු-ටර්න් චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ප්‍රේක්‍ෂකයාට දැනෙන්නේ තමා ද යු-ටර්න් එකක් ගසා මෙතෙක් වේලා නැරඹු චිත්‍රපටය ගැන නැවතත් සිතන්නට පටන් ගෙන ඇති බව ය. චිත්‍රපටයකින් කියවෙන්නේ කවරක් වුවද, ප්‍රේක්‍ෂකයා ඒ තත්ත්වයට පත් කරන්නට හැකිනම් අධ්‍යක්‍ෂවරයා ස්වකීය භූමිකාව නිසි පරිදි ඉටුකර ඇති බවට වෙනත් සාධක අනවශ්‍ය ය.

 

Comments