අළු මතින් නැඟී සිටි ෆීනික්ස්, ඒ ඔබ ද? | සිළුමිණ

අළු මතින් නැඟී සිටි ෆීනික්ස්, ඒ ඔබ ද?

අවසානයේදි ඔවුහු ඒ ගම්මානය වට කළහ. අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීහු ඒ නිහීන ඝාතනය වෙනුවෙන් පෙළ ගැසුණාහ. මේ කතාව දිග හැරෙන්නේ ඒ අවාසනාවන්ත සිද්ධියත් සමඟ ය. නාද්යා මුරාද් නම් තරුණිය සිය විනාශකාරී ජීවිතයේ අත්දැකීම් විඳින්නේ එතැන් සිට ය.

ජිහානා ට්‍රැජිස්කි විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද The last Girl නම් කෘතිය “ගිනිගත් සඳ” නමින් සිංහල බසට නැගුණේ රෝහණ වෙත්තසිංහ අතිනි. පළපුරුදු පරිවර්තකයකු වන ඔහු ප්‍රවීණ ජනමාධ්‍යවේදියකු ද වේ. මීට පෙර ඇමරිකානු ලේඛක ජිම් ෂෙපඩ්ගේ කෘතියක් ද ඔහු සිංහල බසට නගා තිබේ. එය “ඒරන්ගේ ලෝකය” නම් වේ. එවැනි පසුබිමක සිටිමින් මේ අවස්ථාවේ මෙරට පරිවර්තන ක්ෂේත්‍රයට ඉදිරිපත් කරන්නේ අතිශය අනුවේදී ඒ තරමටම සාහසික සමාජ විරෝධතාවක් බඳු කෘතියක් යැයි කීවොත් එය වැරදි නැතැයි සිතමි.

කෘතියක් වශයෙන් ගත් කල මෙය කිසියම් ආකාරයකට අතීතානුස්මරණ වාර්තා ශෛල්‍යයක් ප්‍රකට කළ ද ශානරයක් වශයෙන් ගත් කල ජීවන අත්දැකීම් පෙළගැස්මක් හැටියට හඳුන්වා දී තිබෙන බව ද කිව යුතු වේ.

නාදියා මුරාද් නම් මේ තරුණිය අයත් වන්නේ ඉරාකයේ උතුරුකරයේ පිහිටි කෝචෝ නම් ගමේ වසන “යෂිඩීන්” නම් ජන කොටසටය.

මේ කියන යෂිඩීන්වරු ඉරාකයට අයත් ජන වර්ගයක් වුනත් ඔවුහු මුස්ලිම් ජාතිකයෝ නොවෙති. ඒ නිසාම ඉස්ලාම් ආගම අදහන්නවුන් ද නොවේ. ඔවුන්ගේ ආගම “පයුත් මෙලෙක්” නම් දෙවියකු මුල් කොටගත් ආගමකි. මේ දෙවියන්ගේ වාහනය වන්නේ අප හොඳින් දන්නා කන්දේ දෙවියන් නමින් ද හැඳින්වෙන කතරගම දෙවියන්ගේ වාහනයම ය. ඒ අනුව පයුත් මෙලෙක් නම් දෙවියා ද මයුරාසන මත වැඩ හිඳින දෙවියෙකි. පිරමීඩාකාරව තැනුණු දේවස්ථාන සහිත ලාලිෂ් නම් පුද බිම ඔවුන්ගේ වන්දනයට ලක් වන භූමිය වේ.

මේ පිළිබඳව කරුණු සොයා බැලූවන් පෙන්වා දෙන අන්දමට මේ කියන ආගම හින්දු දේව විශ්වාසයන්ගේ ආභාසය මතු කොට පෙන්වා දෙයි. ඒ බව තවදුරටත් සමාන කරමින් ඔවුන්ගේ දේවස්ථාන ද හින්දු ආගමික ස්ථාන සිහිපත් කරයි. ඉහතින් ද කී ආකාරයට දෙවියන් මොනර වාහනයක නැගී යාම මෙන්ම ආසියානු කලාපයේ මෙන් පුනරුත්පත්තිය නම් විශ්වාසය ඔවුන්ගේ ද පිලිගැනීමක් බවට පත්ව තිබීම තුළ ද ඒ කියු ආභාෂය යලි යලිත් තහවුරු කරන බව පැහැදිලිය. ජන වර්ගයක් හැටියට ගත් කල එඬෙිර පැවැත්මත්, සුළු මට්ටමින් ආහාර බෝග වගාවටත් යොමු වු මිනිසුන් කොටසක් බවට මොවුහු පත් වී සිටිති.

ලෝකය පුරාම ගත්තත් ජන කොටසක් වශයෙන් සංඛ්‍යාත්මකව ඔවුන් මිලියන දෙකකට වැඩි නොවේ. යට කියැවුණ ආකාරයට ඉස්ලාම් ආගම නොඅදහන ඒ නිසාම මුස්ලිම් ජනතාවක් නොවන මේ මිනිසුන් ඉරාක ආණ්ඩු විසින් ද නොසලකා මෙන්ම පීඩනයට ලක් කල ජන කොටසක් බවට ද පත්ව සිටියි. විශේෂයෙන්ම සදාම් හුසේන් නම් ඉරාක පාලකයා මොවුන් හමුවේ කියා සිටියේ ඉස්ලාම් ආගම වැළැඳගන්නා ලෙසයි. එහෙත් සුළු ජාතියක් වුව ද සිය ආගමික විශ්වාසය හා සංස්කෘතිය පාවා නොදෙන ශක්තිමත් ආස්ථානයක ඔවුහු සිටියහ.

අවසානයේදී අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන් සිය සාපරාධී මූලධර්ම මානසිකත්වයෙන් සන්නද්ධව මේ ප්‍රදේශය වට කරන ලද්දේ ද යට කියැවුණ කාරණය උදෙසාම ය.

අදාල ප්‍රදේශය වටලා යෂිඩීන් වාර්ගිකයන් පෙළ ගස්වා අත් අඩංගුවට ගත් ත්‍රස්තවාදීහු සිය ජීවිත බේරා ගැනීම සඳහා ඔවුනට අවස්ථාවක් දුන්හ. ඒ සිය ආගම අත්හැර ඉස්ලාම් ආගම වැළැඳගැනීමට කටයුතු කරන ලෙසයි. එහෙත් පුරුදු ආකාරයට සිය ආගම සංස්කෘතිය වෙනුවෙන් තද සිත් ඇති ඔවුහු කොන්දේසියක් වශයෙන් එය පිලිගැනීම ප්‍රතික්ෂේප කල අතර ත්‍රස්තවාදීහු ද සිය තීරණය ප්‍රකාශයට පත් කළහ. ඒ ම්ලේච්ඡ තීරණයට අනුව පිරිමි ඇතුළු සියලු වැඩිහිටියන් මරා දැමිය යුතු වේ.

තරුණියන් ලිංගික වහළියන් හැටියට ප්‍රයෝජනයට ගැනීමට හෝ විකුණා දැමීමට හැකිය. වෙනකක් තියා වැඩිවිය පත් නොවු ගැහැණු දරුවන් පවා ලිංකත්වයට යොදා ගැනීමට හැකි යැයි සිතේ නම් එසේ යොදා ගත්තාට වරදක් නැතැයි මූලධර්මවාදී ත්‍රස්තයෝ තවදුරටත් කීහ.

නාදියා මුරාද්ගේ කතාව ආරම්භවන්නේ එතැන් සිටය.

ලිංගික වහල් වෙළඳපොලේ සිටුවා තැබු තරුණියන් අතර ඇය ද සිටියාය. වෙන්දේසිය අවසානයේ ඇයව මිළ දී ගත්තේ ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී විනිශ්චයකරුවෙකි. එතැන් සිට ඔහුගේ ලිංගික සූරා කෑමට ඇය ගොදුරු වුවාය. දිගින් දිගටම ගොදුරු වූවාය. එතැනදී තරුණියක් මාසිකව මුහුණපාන ඔසප් වීමේ අවහිරය වෙනත් කිසිදු ආකාරයක අසනීප තත්වයක් වුව නොසලකා හැරිණි.

ලොව ඇති අවම මට්ටමේ හෝ මානුෂීය අයිතිවාසිකමක් හෝ ඇයට නොවීය. විනිසුරුවරයා ඉදිරියේ ඇය ලිංගික වහළියක් පමණක් ම වූවා ය. අවසානයක් නාපෙනෙන මේ සූරාකෑම හමුවේ ඇය දුටු එකම විසඳුම එතැනින් පැන යාම පමණි. ඇය ඒ වෙනුවෙන් ද උත්සාහා කළාය. එහෙත් විනිසුරුවරයෙක් සිටින්නේ රැකවල් මැද ය. ඒ අනුව ප්‍රතිඵලය පැහැදිලිය. ඇය රැකවලුන්ට අසු වූවාය. ඊට හිමි දඬුවම වූයේ ඒ ආරක්ෂක භටයින් ලවා ඇයව සාමුහික දූෂණයකට ලක් කිරීමය. ඉන් පසුව ඇයව සාමාන්‍ය මිනිසෙකුට විකුණා දමන්නට යෙදුණි.

සාමාන්‍ය මිනිසුන් සිටින්නේ රැකවලුන් මැද නොවේ සැම විටම පැන යාමේ තැතක යෙදී සිටි නාදියාගේ එ් උත්සාහය දෛවෝපගතව සාර්ථක වීමට එය හේතුවක් වේ. පැන යෑම සිදුවන්නේ කරුවල රාත්‍රියක ය.

ජීවිතයේ ගැලවීම එය ද දෛවෝපගත ගැලවීමක් මත විනා වෙනත් කිසිදු හේතුවක් නිසා නොසිදුවන්නක් බවට පත් වී තිබුණි. ඒ ආකාරයට ම ඒ රැයේ දී දිවි ගලවාගනු වස් පිහිට ඉල්ලා සිටි නිවෙසේ හිමියා ඇය වෙනුවෙන් සානුකම්පිත වීම ද ඇය ලද දෛවෝපගත වාසනාවක් විය.

නිහඬ වනාන්තරයක් මැද ගලා යන දොළ පාරක් වැනි නිහඬ නිසල පැවැත්මකට හිමිකම් කී ජන කොටසකට අයත් එබඳු ජීවිතයක් ගත කල නාදියා මෙතැන් සිට මුහණ පාන්නේ වෙනත් ප්‍රදේශයක (මොසුල් ප්‍රදේශය) ජීවත් විීම නිසා දිවි ගළවාගෙන සිටිින සහෝදරයෙකු වෙත පහසුවෙන් යා නොහැකි ගමනක යෙදීමේ උත්සාහයකටය. ඒ වෙනුවෙන් ඇයට උපකාර වන්නේ අර අඳුරු රාත්‍රියේ දෛවොපගතව හමු වු නිවෙස් හිමියා ය. ඇයගේ සැබෑ තතු වසං කොට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කරගන්නේ ද ඔහුගේ පිහිටෙනි. එසේ ගමන් අරඹන එව්හු මුර කපොලු ගණනාවක් පසු කරති. ඒ ද හැකියාව මත නොව වාසනාව නිසා ලබන ජයග්‍රහණයන් යැයි කීම වඩා නිවැරැදි වේ.

එහෙත් එක් මුර කපොල්ලකදී ඔවුන්ගේ ගමනට බාධාවක් එල්ල වේ ඒ සුන්නි මුස්ලිම් නිකායික ගැටුමට අදාලව පැන නැගි තත්ත්වයක් වේ. ඇයත් සමඟ ගිය සහායකයා සුන්නි මුස්ලිම් නිකායට අයත් වීමත් ඇයගේ සැබෑ තත්වය වසන් වී තිබීමත් මත ඔවුන් එසේ අත් අඩංගුවට පත් වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් විය.

එහෙත් එම ප්‍රදේශයේ මිනිසුන් යෂිඩීන් ගෝත්‍රය කෙරෙහි විරෝධයක් නොමැති සහාය පළ කරන තැනක සිටින්නවුන් බව දැනගත් තැන දී නාදියා තමන්ගේ සැබෑ තොරතුරු ඔවුන හමුවේ ප්‍රකාශයට පත් කරයි. ඒ අනුව එතැනදීත් වාසනාව නම් අහඹු තත්ත්වය මත සිය ගැලවීම උදා කර ගැනීමට ඇයට හැකි වේ.

සාහිත්‍ය කෘතියක් හැටියට ගත් කල මෙය හුදෙක් තොරතුරු වාර්තාකරණයක් නොවන තරමටම පරිකල්පනීය නිර්මාණ කෘතියක් ද නොවේ. මෙහි එන කටුක හිංසනීය අත්දැකීම් හුදෙක් කථා රසය ඇති කිරීමේ වුවමනාවෙන් නිර්මාණාත්මක සාහිත්‍යකරුවකු අතින් මැවුණු අවස්ථා සිද්ධි ද නොවේ. ඒ සෑම සිද්ධියක් ම මේ මහ පොළෙව මත සැබෑ ලෙසින් ම සිදු වූ ඛේදනීය තත්වයන්ය. නමුත් ඒ වූ පමණින් ම මෙය ඛේදවාචකයක් වාර්තා කිරීමක් ලෙසින්ම ගත නොහැක්කේ ය. එතැනදී එය නිර්මාණාත්මක සාහිත්‍ය කෘතියක්ම වන්නේ ය. සාහිත්‍ය කෘති පිලිබඳ විමසා බැලීම් වලදී විචාරකයකුට තිබිය යුතු පැතිරුණු දැනුම මෙවැනි කෘති වලට අදාළ ව විශේෂයෙන් ම අවශ්‍ය ළවන්නේය. නාදියා මුරාද් නම් මෙහි එන කථක චරිතය අප තූළ කරුණ හෝ බීහත්ස්‍ය රසයක් ඇති කිරීමට නිර්මාණය කළ රූපකාර්ථයක් යැයි නොසිතිය යුතුය. ඇය වනාහි මේ වන විට ලොවට අනාවරණය වූ බීහත්ස්‍යය දේශපාලනයක් හමුවේ විනාශ වු සමාජ සංස්කෘතික ඛේදවාදකයක් අප හමුවේ නිර්භයවක් අවංකවත් වාර්තා කරන සැබෑ චරිතයක් ම වේ.

සිය විනාශකාරී අත්දැකීම් මග හැර පලා යෑමට ඇය ලද හැකියාව දිගින් දිගට පුද්ගල වාසනාව මත ලද අවස්ථාවන් නිසා ඇති වූවක්ය යන්න මේ වන විට පැහැදිලි වී තිබේ. අද ඇය එක්සත් ජාතීත්ගේ සංවිධානයේ ඇගේ ජන වර්ගය මුහුණ පා සිටින ඛේදවාචකය ගැන දැනුවත් කිරීමේ තානාපතිනියක බවට පත් වීම තුළ සියල්ල නිරාකරණය වී යැයි සැනසුම් සුසුම් හෙළීමට පුළුවන්කමක් අපට නැත. ලෝකයේ සාවද්‍ය දේශපාලන බලපෑම් හමුවේ මානව ශිෂ්ටාචාරය විනාශයට පත් වෙමින් සිටිනවා ය යන පොදු යථාර්තය සොයා නොබලා කටයතු කිරීමට අපට පුළුවන්කමක් නැත. හුදෙක් පුද්ගල හැකියාව හෝ වාසනාව මත ගැලවී එන කෙනෙක් ඒ කතාව කියන තෙක් ඉවසීමෙන් බලා සිටීමට ලෝකය සූදානම් නොවිය යුතුය. මෙවැනි සාහිත්‍යයික කෘති අපට පෙන්වා දෙන සැබෑ යථාර්තය එයයි.

රෝහණ වෙත්තසිංහ ලේඛකයකු හැටියටත්, පරිවර්තකකු හැටියටත් ප්‍රවේශමෙන් කටයුතු කරන්නෙක් ය යන්නත් වෙසෙසින්ම කිව යුත්තක් වේ. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදියකු හැටියට ඔහු ලබා ඇති වෘත්තීමය පළපුරුද්ද ඊට පසුබිම් වුවාට සැක නැත. විශේෂයෙන්ම මේ කෘතියට අදාළව ගත් කල පොදුවේ ගත් කල ඔහුගේ නිර්මාණශීලි සංවේදිතාව හා බැඳුණු ජනමාධ්‍යවේදියකුගේ කෞශල්‍යය ඔහුට මනා පසුබිමක් සපයා ඇති බවක් ද පෙනී යයි.

Comments