සිරි ගුනසිංහ නූතන සිංහල කවියේ විප්ලවීය කවියා | සිළුමිණ

සිරි ගුනසිංහ නූතන සිංහල කවියේ විප්ලවීය කවියා

නූතන සිංහල කවිය ගැන විමසීමේදී ජී.බී. සේනානායක විසින් 1946 වර්ෂයේදී පළ කළ “පලිගැනීම” නමැති කෙටි කතා සංග්‍රහයේ එන පද්‍යාවලීන් විලාසයෙන් එන නිබන්ධ ගැන අපගේ අවධානය යොමු විය යුතුය. මේ කෙටිකතා සංග්‍රහයේ පරිශිෂ්ඨයේ ඇති ඒ පිළිබඳ සටහන පහත සඳහන් පරිදි ය.

“මේ පොතෙහි පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිබන්ධ මා සලකන්නේ ගද්‍යයට ද පද්‍යයට ද අතරවන නිබන්ධ විශේෂයක් වශයෙනි. ඒවා කියවිය යුත්තේ ගද්‍යය කියවන ලෙස ය. එහෙත් කියවීමේදී ශබ්ද සංඝටනාවෙනි මාධුර්යය කෙරෙහි දක්වන සැලකිල්ල ගද්‍ය කියවීමෙහිදී ඒ අරබයා දක්වන සැලකිල්ලට වැඩි විය යුතුය.”

මේ අනුව සිංහල කාව්‍ය වංශයට නිදහස් කාව්‍ය රීතියක් ජී.බී. සේනානායක විසින් හඳුන්වා දුන්න ද වස්තු විෂය, කාව්‍ය ආකෘතිය, භාෂා භාවිතය අතින් සිංහල කවියේ විප්ලවයක් සිදු කරමින් නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය හඳුන්වා දෙන ලද්දේ සිරි ගුනසිංහ විසිනි.

සිරි ගුනසිංහගේ නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළින් ප්‍රචලිත වූ අතර ‘නිසදැස‘ නමින් කවි සඟරාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවකට ශිෂ්‍යයන්ව සිටි සරත් අමුණුගම සහ විමල් දිසානායක විසින් ප්‍රකාශයට පත් කර ඇත.

සිරි ගුනසිංහ විසින් රචිත කාව්‍ය සංග්‍රහයන් වන්නේ “මස් ලේ නැති ඇට” (1956) අබි නික්මන (1958) රතු කැකුල (1962) සහ ආලකමන්දාවයි.(1998) ඔහුගේ අවසන් කාව්‍ය සංග්‍රහය වන ආලකමන්දාවට “සිංහල කාව්‍ය සම්ප්‍රදාය සොයා යාම සිරි ගුනසිංහ සමඟ” යනුවෙන් විචාරාත්මක හැඳින්වීමක් ලියු පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන් මෙසේ සඳහන් කර ඇත.

“තවමත් බිඳ නැති බිත්තර මෙන් සිරි ගුනසිංහගේ අසාමාන්‍ය කවි සිංහල කවි කැදැල්ලෙහි ජීවයෙන් ගැහෙමින් උණුසුම්ව ඇත යනු මගේ ස්නායුවලට දැනෙන දෙයකි. සිංහල කවියේ මේ සිරි ගුනසිංහ සංකීර්ණය ගැන නැවතත් සිතීමට අවස්ථාව දැන් එළඹ තිබේ”

සිරි ගුනසිංහගේ අසාමාන්‍ය කවි අධ්‍යයනයෙන් නූතන සිංහල කවියට ලබාගත හැකි ප්‍රභාව ඉමහත්ය. ඔහුගේ කාව්‍ය චින්තනය තුළ ඇත්තේ නිදහස් නිවහල් අභීත බවකි. ඔහුගේ කාව්‍යාවලීන් තුළින් ව්‍යාජ ආගම් භක්තිය. අධ්‍යාපනයේ නිස්සාරත්වයණි අතීතයට දැඩිව ආසක්තවීම දැඩි සේ ප්‍රශ්න කරයි.

මාර්ටින් වික්‍රමසිංහයන් “නව පද්‍ය සිංහලය” ග්‍රන්ථයේ සිරි ගුනසිංහගේ “මස් ලේ නැති ඇට” කාව්‍ය සංග්‍රහය පිළිබඳව පවසන්නේ මෙලෙසිනි.

“ගුනසිංහ කවියට නැගිය යුතු අලුත් අත්දැකීමක් හැඟීමක් හා සිතුමක් ඇත්තකු බව ඔහුගේ “මස් ලේ නැති ඇට” කියවූ මට හැඟිණි. ඔහු තමාගේ අත්දැකීම් හැඟීම් හා සිතුම් කීමට බිය නැත්තෙකි. ඒ බිය නැතිකම ලේඛකයකුට වුවමනාය.”

“මස් ලේ නැති ඇට” කාව්‍ය සංග්‍රහයේ මුල් කව “නොපෙනෙන එළිය” නම් වේ. ගතානුගතික ජීවිතයක් ගතකරන්නෙකු එම ජීවිතය තුළ ඇති නිස්සාර බව දැක ඒ පිළිබඳව කලකිරීමෙන් උපන් කෝපය හා ශෝකය ප්‍රකට කිරීම සඳහා ඔහු යොදාගන්නා බස්වහර මෙතෙක් සිංහල කවිය අනුදත් මඟට පරිබාහිර වූවකි. ඒ බැව් සනාථ කිරීමට පහත කව ගෙන හැර දක්වමි.

අඳුර සුනු විසුනු කර

ඊයේ වගෙ

ඇයි තවමත් නොනගින්නේ

මගෙ දෛනික ඇස් රුදාව

නද දෙවමින් මදුරු රෑනෙ

ගොලුබෙලි කටුවක තුල මෙන්

අඳුර පෙරව ගෙන හිටියේ

ගලා වැටෙන තෙක්ම තමයි

මහ පොලොවෙහි

දෙවෙනි දවස”

(නොපෙනෙන එළිය)

මෙහිදී කවියා විසින් යොදා ගන්නා උපමා රූපකයන්හි ඇත්තේ නව්‍ය බවකි. “මගෙ දෛනික ඇස් රුදාව” ”ගොලු බෙලි කටුවක තුල මෙන්” නව උපමා රූපකයන්ය. හිරු බුද්ධිය ලෙසත්, අඳුර අවිද්‍යාව ලෙසත් දක්වමින් බුද්ධිය රුදා ගෙන එන බව දක්වයි. මෙම කවිය අවසන් කරන්නේ කෝපය හා මුසු වූ වේදයිතයන් ජනිත කරමිනි.

වෙලාගන් වෙලාගන්

අනේ මා වෙලාගන්

අඳුර මගෙ එකම එක

සොඳුර මා වෙලාගන්

(නොපෙනෙන එලිය)

“ඊයේ සොඳුර” මෙහි එන සාර්ථක පද්‍ය පන්තියකි.

රුවතිය, ඇය ලපටිය, ලලිතය

දැඩි පලස් ගනඳුර යට සෙලුව ලද

දැන් ඇය නීරසය

(ඊයේ සොඳුර)

වයසට ගිය කල්හි තමන් ඇසුරු කළ ප්‍රේමවන්ත ගැහැනුන්ගෙන් ලද කාමාස්වාදය සිහිපත් කරමින් රචිත මෙම පද්‍යයෙහි ඇත්තේ කාමය, රතිය කුළු ගන්වන බස් වහරකි. සෙලුකය සිඟිති තන පුඩුණි දෙතොල්, වටොර, රස මස වැනි යෙදුම් තුළින් කාමභෝගී ජීවිතයේ ගති සොබා විශද කරවන්නේ විසිතුරු සිත්තමක් චිත්‍රණය කරන අයුරිනි.

“මතක වස්තුව” තුළින් කියැවෙන්නේ සිය පෙම්වතිය තමන් අත්හැර යාමෙන් පසු තරුණ පෙම්වතා අසරණ බවට පත්වී ඈ ගැන සිහි කිරීමෙන් කම්පා ප්‍රකම්පා වීමයි.

මා හැරදා

දරදඬු කොට දා මා අත් පා

ඈ යන්න ගියා මැකිලා

ඈ යන්න ගියා

සැමරුම් වග වලසුන් රෑනට

මා ගොදුරක් වී

ලේ ගලනා ගොදුරක් වී”

(මතක වස්තුව)

ඉහත පද්‍යයේ රිද්මයානුකූල බස් වහරත්, අලුත් යෙදුම් නිසාත් හැඟීම් ත්‍රීව වීමෙන් මනා චිත්ත රූපයක් ජනිත වේ.

ගොරහැඩි ගල්ගෙඩි අතරින්

සීතල දියර ඉරක් සේ

ගලා බසී

හද තෙමා බසී

ඈ සිහි කරත්ම හදවතට දැනෙන්නේ සැනසීමකි. එනම් ඔහුගේ “හද තෙමා බසී”. මෙබඳු රිද්මයානුකූල බස් වහරක් තුළින් දුකින් පෙළෙන පෙම්වතාගේ සිතට සැනසුම් සුවයක් ලැබෙන අයුරු කමනීය ලෙස කවියට නඟා ඇත.

ජීවිතයට ඇති එකම සොඳුරු බව

ලෝකයටම ඇති රූමත් එක දෙය

ඈ මයි තනිවට හිටි එක ගැහැනිය

මැකී ගියත් තනිවට හිටි ගැහැනිය

ඔහුට කිසිසේත් සිය පෙම්වතිය අමතක කළ නොහැකිය. ඔහුගේ ලෝකයේ තනියට ඇත්තේ ඈ පමණි. ඈ නොමැති ලොව සොඳුරු නැත. මෙම කවියේ වස්තු විෂය, ආකෘතිය, බස්වහර, නව්‍ය උපමා රූපක තුළින් හෘදයානන්ද රමණීය කවක් බිහි වී ඇත.

“අබිනික්මන” සිරි ගුනසිංහගේ දෙවන කාව්‍ය සංග්‍රහයයි. මෙහි එන “දිවා භෝජනය” කාව්‍යමය රචනාව තුළින් කියැවෙන්නේ කුඩා දරුවකු දිවා භෝජනය අනුභව කළ ආකාරයයි.

මෙහිදී පන්ති විෂමතාව නිසා දිළිඳු දරුවකු මුහුණපාන සැබෑ යථාර්ථය මැනවින් විශද වන අයුරු කාව්‍යයේ සන්දර්භය ගොඩනැගීමට කවියා සමත් වී ඇත.

අට වයස් නොදරුවා

හැට පිරුණු කලු සමින්

වැසුණු ඇට සැකිල්ලකි

එහෙත් ඔහු සිනාසෙයි

දත් පුරා සිනාසෙයි

කට පුරා සිනාසෙයි

(දිවා භෝජනය)

පවත්නා සමාජ ආර්ථික ප්‍රපංචයන් තුළ දරුවා පෙළෙන දරිද්‍රතාවත්, ඒ නිසාම දරුවාගේ ස්වරූපයත් මැනවින් නිරූපිතය. කෘශ වූණි ඇදීගිය මුහුණින් යුතු අසරණ දරුවා” පුරුදු නැති සිත්තරකු - නොංචි කෝලමට කැපූ වෙස් මුහුනක්” ලෙසින් දක්වා ඇත්තේ උපහාසය මුසු හාස්‍යයෙනි.

“වමතේ පොල් කටුවෙ සිට

කට ලඟට ගොස් වැටෙන

ලී කැබැල්ලකි සුරත

බට්ටෙක් මෙන් ඔරලෝසුවෙ

ගනන් බලා තුන් විඩයක්

උඩහට පහලට ගිය අත

හිස් පොල් කටුවේ

එකවර නැවතින.

කෙසඟ සිරුරින් යුත් මේ දරුවාට ප්‍රමාණවත් ආහාර නොවූ බවත් තිබූ ආහාර ප්‍රමාණය ආහාරයට ගත් අයුරුත් චිත්‍රණය කරන ලද මේ කවිය තුළ ඇති “ලී කැබැල්ලකි සුරත” යනු මනා වූ රූපකයකි. “බට්ටෙක් මෙන් ඔරලෝසුවේ” යනු කදිම උපමාවකි. මෙම කවිපෙළ “දිවා ආහාරය” වෙනුවට “දිවා භෝජනය” ලෙසින් දක්වා ඇත්තේ උත්ප්‍රාසයෙනි. එම “දිවා භෝජනය” දරුවාට “දිව්‍ය භෝජනයක්” වුවාසේය.

පොඩි ළමයෝ

බත්

ඉවරද කාලා

හැඟීම් බර අවසානයක් තුළින් නිමා වෙන මෙම කවි වියමන මුළු සමාජයේම ඇස් අරවන සමාජ යථාර්ථය මැනවින් පිළිබිඹු කරන්නකි. රූපකාර්ථවත් භාෂාවෙන් යුතුව රචනා කර ඇති මෙම කවි වියමන සිරි ගුනසිංහගේ ප්‍රතිභාවත්, අවලෝකන ශක්තියත් මොනවට පිළිබිඹු කරයි.

බල්ලෙකුගේ මරණය කේන්ද්‍ර කරගෙන රචිත ‘බල්ලාගේ මරණය” කවි පන්තිය බල්ලාත් මිනිසාත් අතර පැවති සබඳතාව මැනවින් කුළුගැන්වෙන පරිදි රචනා කර ඇත.

මොහොතකට දැනින

කෙනෙක් මට

බිඳක්වත්

ආදරය කෙරුව බව

ඔහුගෙ මුලු විතය

ලැග්ගෙව්වමුත්

කරකවා

මා වටේ

ඔහු මැරුන මොහොතෙදියි

මට හැඟුනෙ ආදරේ

(බල්ලාගේ මරණය)

ලැග්ගෙව්වමුත්, කරකවා, මා වටේ වැනි යෙදුම් තුළින් ගම්‍යවන්නේ බල්ලා සමග පැවති අසීමිත සෙනෙහසයි.

“මරනය නොසැලී හිමාලයක් මෙන්” කාව්‍ය රචනයේදී රිද්මයානුකුල බස්වහරක් උපයෝගී කරගනිමින් මරණය පිළිබඳ අපූර්ව චිත්ත රූප මැවීමට සමත් වෙයි.

කලුවෙන් කලුවට අඳුරු රොදක් මෙන්

යන එන තැන සෙවනැල්ල වගේ

මරනය ඒ යැයි කියන නමුත්

බයෙන් පෙරාගත් මුසාබසකි එය

අවසරයක් ලැබුන විටක

පිටු පස්සෙන් බිම හෙලන්න

අඳුරු රැයක පඳුරු අස්සේ

සැඟ වී නොසිටී මරනය

ජීවිතයමයි සැබෑ මරනය

මරනය නොසැලී හිමාලයක් මෙන්

ඔබ ලඟම සිටී

(මරනය නොසැලී හිමාලයක් මෙන්)

“අබිනික්මන”කවි වියමන සිදුහත් කුමරුන්ගේ අභිනිෂ්ක්‍රමණය පිළිබඳව නව දෘෂ්ටිකෝණයකින් අවලෝකනය කිරීමට ගත් ප්‍රයත්නයකි.

දුර බැහැර ගමනක්ය

දුක් පිරුනු ගමනක්ය

අඳුරකින් අඳුරකට

මාරුවුනු ගමනක්ය

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පැමිණි සංසාර ගමනේ කටුක බව, දුෂ්කර බව හඟවමින් රචිත මේ කවෙන් සිදුහත් කුමරුගේ ගමන් මගෙහි ඇති දැඩි විඩාව පිළිබිඹු කරයි.

“ජීවිතය ගොරවමින්

කෙල පෙරා නිරුවතින්

වැතිර ගෙන සිරි යහන පල්ලේ

ගුලිව කුනු පනුවන් ගොඩක් සේ

ගී නැටුම් හැම ඉවර කරදා

පැලී විවරව මරනයෙන්”

නිදන අන්තංපුරය හැරදා

බිරිය හැරදා පුතුද හැරදා

ආ නමුත් මැදියමේ

ඒ මගේ එක වයයි

(අබිනික්මන)

මෙහිදී කවියා විසින් යොදා ගන්නා කවි බසත්, රිද්මයත් තුළින් නළඟනන්ගේ නැටුම් ගැයුම් වලින් ඉක්බිතිව තැන තැන වැතිර පෑ සිරියෙන් අබිනික්මන සඳහා දොර කවුළු විවර කරන්ට ඉක්මන් වූ සෙයක් හැඟේ.

නේරංජනාවෙන්

යා යුතුය එගොඩ වී

නේරංජනාවෙන්

යා හැකි ද එගොඩ වී

“අබිනික්මන” කවි සිත්තමේදී උපයෝගී කර ගන්නා රූපකාර්ථවත් බස් වහර සිරි ගුනසිංහගේ ප්‍රතිභාවෙන් යුත් කවිත්වය මැනවින් විශද කරයි.

සිරි ගුනසිංහ වස්තු විෂයට අනුකූලව සිය කවිබස නිපදවා ගන්නේ අපුර්ව ආකාරයෙනි. ඊට නිදසුනක් ලෙස පහත සඳහන් පද්‍යය ඇදහැර දක්වමි

පෙරදිග ගොරහැඬි රකුසෝ

මගේ ධ්‍යානය ඇයි කඩන්නේ

නිදාගන්න පොරෙවාගත්ත

කලු රෙදි පොට

මොකටද මේ

තීරුවලට ඉරා දමන්නෙ

(උදය)

හිරු කෙරෙහි කවියා තුළ වූ දැඩි කෝපය පල කිරීම සඳහා කවියා යොදා ඇති “පෙරදිග ගොරහැඬි රකුසෝ”යන්න කදිම චිත්තරූපයක් ජනිත කරවන උචිත යෙදුමකි. මෙහිදී ශබ්ද රසයත් අර්ථ රසයත් තුළින් ඉපදෙන්නේ සැබෑ කවියකි.

“රතු කැකුල” සිරි ගුනසිංහයන්ගේ තෙවන කාව්‍ය සංග්‍රහයයි. මෙහි එන බොහෝ පද්‍යයන් තුළ දක්නට ඇත්තේ ඔහු විසින් අනුදත් රිද්මයානුකූල බස්වහරේ ඇති විචිත්‍රත්වයයි. ඒ බැව් සනාථ කිරීමට පහත සඳහන් පද්‍ය කාණ්ඩයන් ගෙනහැර දක්වමි.

“බරව බැහැපු හිස නිසා

මාලිගය ඇදහැලෙන්නට නැඹුරු වෙයි

ආදරේ බල කොටුව වැටෙන්නට ඉඩහැර

සිනාසිසී සිටින්නෙමුද

(සීගිරිය)

ඊයේ පෙරයිදා පළමුදා

හඬා වැලපේණි බදා මා දෙපා

එපා යන්නට එපා කියමින්

දමා තනිකර

දෙඅත් බැඳලා දෙපා බැඳලා

එපා යන්නට එපා කියමින්

(ඊයේ පෙරෙයිදා පළමුදා)

මෙතෙක් කල් බලා සිටි වැස්ස

මුරගා පැනගෙන ආවා

කලු අහස සෝදලා නිල්දමා

මහපොලොව කොලපාට පනපොවා

(බලා සිටි වැස්ස)

දලු ලා මල් ලා පල බර වී

බිම ගෑවෙන තෙක් අතුපතර නැමී

අව්වට වැස්සට සෙවන දුන්න ගස

එක පිහි පහරින් වැටුනි කැපී

නාය ගොසින් මහමෙර වැටුනා මෙන්

(මහ ගස)

“රතු කැකුල” කාව්‍ය සංග්‍රහය පළ කර වසර 36 කට පසු ඔහු විසින් රචිත “ආලකමන්දාව” සිරි ගුනසිංහගේ අවසන් කාව්‍ය සංග්‍රහයයි.

දිගු කලක් විප්‍රවවාසීව ජීවත්වෙමින් රචිත මෙම කාව්‍ය සංග්‍රහය සඳහා ඔහු විසින් විශද කරන අත්දැකීම් හා නිර්මාණ කුසලතාවය ඔහුගේ මුල් කාව්‍ය සංග්‍රහයන් සමඟ සැසඳීමේදී ප්‍රබලත්වයක් නොදක්වයි. එසේවතුදු, මෙම කාව්‍ය සංග්‍රහය පුරා ඔහුගේ අදීනත්වයත්, නැවුම් දෘෂ්ටියත්, සාමාජාවේක්ෂණයත් මැනවින් පිළිබිඹු වේ.

රත්තරනෙන් වාත්තු කලා සේ

දිලිසෙනවා මුන ඔබේ

ඔබේ දතුත් රත්තරං

බෙල්ල වටෙත් රත්තරං

හදේ නැතේ රත්තරං

ඔබේ ඇඟිලි ගිනිදලු වේ

නියපොතු දිග කොටි නියවේ

ඔබේ වියලි මස් කන්න ද

මගේ පාන්ඩු ලේ බොන්න ද

ඇස් ඔරවා, දත් නියවා

අඳුරු ගුහා කට ඇරගෙන”

(රත්තරං)

සිය බිරිය අරබයා රචිත මේ කව තුළින් සිය බිරියගේ විකාරරූපී විලාසය මනා චිත්‍රයකට නඟයි. ඔහු සරල බස් වහරක් යොදාගෙන ගේහසික ප්‍රශ්නයක් මැනවින් නිරූපණය ඇත.

නිසදැස් කවියන්ගේ කාව්‍ය රචනා තුළින් කාව්‍ය භාෂාවෙහි මහත් පෙරළියක් සිදුවිය. අප වහරන වචන වෙනස් ආකාරයකට සංකලනය තුළින් රූපකාර්ථවත් භාෂාවක් නිපදවීය.

සිරි ගුනසිංහ යොදාගත් වචන වල මතුපිට අදහසට වෙනස් අදහසක් ධ්වනිතාර්ථවත් වදන් තුළින් මතුවිය. ගුනසිංහගේ අපූර්වත්වයෙන් යුතු පද සංඝට්ටනය තුළින්ද, වක්‍රෝත්තියට මුල් තැන දීමෙන්ද, රිද්මයානුකූල බස් වහර තුළින්ද නිමැවූ කවි සිත්තම් ඔහුගේ පරිකල්පන ශක්තියත් නිර්මාණ කෞශ්‍යලයත් විශද කළේය.

චිරන්තන කාව්‍ය සම්ප්‍රදාය තුළින් අත්දැකීම් සුචනය කිරීම සදහා යොදා ගත් සම්ප්‍රදායික එළිසමය වෙනුවට වස්තු විෂයට ගෝචර කාව්‍යෝචිත භාෂාවක් මෙන්ම උචිත රිද්මයක්ද යොදා ගතයුතු බැව් තරයේ ඇදහු සිරි ගුනසිංහයන් කාව්‍ය නිර්මාණය සදහා දෘෂ්ටිගෝචර ශ්‍රව්‍ය ගෝචර ආකෘතියක් නිපදවීමට උත්සුක විය.

සිරි ගුනසිංහයන් විසින් නිර්මිත නිසැදැස් කාව්‍ය සංග්‍රහයන් තුළින් ඇති කළ නව කාව්‍ය සම්ප්‍රදාය සිංහල කවි කෙතෙහි නිම් වළලු ප්‍රසාරණය කිරීමටත් නව කවි පරපුරක් බිහි කිරීමටත් ඉවහල් විය. එසේ හෙයින් සිරි ගුනසිංහ යනු නුතන සිංහල කවියේ යුග පෙරළියක් ඇති කළ විප්ලවීය කවියා ලෙසින් හැඳින්වීම නිරවද්‍ය ය.

Comments