නොහමු වූ ඇයට‍ සුනිල් විජේ­සි­රි­ව­ර්ධන | සිළුමිණ

නොහමු වූ ඇයට‍ සුනිල් විජේ­සි­රි­ව­ර්ධන

සුනිල් විජේසිරිවර්ධන සාහිත්‍ය කලා විචාරකයකු ලෙස දිගු කාලයක සිට තම මෙහෙවර ඉටු කරන්නෙකි. විචාරකයකු මතු නොව, නිර්මාණකරුවකු ලෙසද පරිවර්තකයකු ලෙසද ඔහු තම දක්ෂතා ප්‍රකට කොට සිටින්නෙකි. ස්වතන්ත්‍ර නාට්‍ය රචනය, පරිවර්තිත නාට්‍ය හා සාංස්කෘතික - දේශපාලන කෘති නාමාවලියක් ඔහුගේ නම ඉදිරියෙහි වේ. සුනිල් විජේසිරිවර්ධනගේ කාව්‍යාගමනය සිදු වන්නේ 2017 වසරේ, ‘ගිරි මුදුන මගේ නිවහන’ නමැති ඔහුගේ කුලුඳුල් පද්‍ය සංග්‍රහය පළ කිරීමත් සමඟය. විදර්ශන ප්‍රකාශනයක් වන මේ කෘතිය, 2018 වසරේ රජත පුස්තක සම්මාන උලෙළේ අවසාන වටයෙහි නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථ 4 අතරටද එක් විය. ‘නොහමු වූ ඇයට’ නිර්මාණය ‘ගිරි මුදුන මගේ නිවහන’ කෘතියෙන් උපුටාගත් පද්‍ය නිර්මාණයකි.

කථකයාගේ සිත් ගත් යුවතිය, ඔහුට හමු වන්නේ ඔහුගේ සිහිනයකදී පමණි. ඔවුන් දෙදෙනා එක්ව යන ගමනකට මඟක් නොපෑදුණද ඔහු එවන් ගමනක් පිළිබඳ සිහින දකින්නේ, එවන් ගමනකදී ඇය පය පැකිළ ඇදවැටුණ හොත්, ඇයට අත දී නැඟිටුවන්නට හෝ ඉඩක් නැති වීමේ පශ්චාත්තාපයකිනි. ඔහු ගිලන් වූ සිහිනයෙන් අවදි වී බලන කල පෙනෙන්නේ කුමක්ද? පටු පාරකි. එහෙත් ඇවිද එන ඈ ඔහුට නොපෙනේ. අහසේ වලාකුළුය. ඒවා ඈ හිස උඩින් ගමන්ගන්නා වලාකුළු නො‍වේ. ඔහුට හමු නොවන, ඔහු නොදකින ඈ වෙනුවෙන් ඔහුගේ සිතෙහි ප්‍රාර්ථනාවකි:

තුරු වියන් වේවා මඟ දිග හිසට මුතුකුඩ

ඇල් කඳුරු ගලවා ගවුවක් නෑර තරගෙට

මුදු තණ සිපීවා පියෙන් පිය තබන බිම පිට

බග තරු දිලේවා කියා මඟ නිබඳ ගගනත

කවියාගේ ප්‍රාර්ථනය යසෝදරාවතෙහි ගිහිගෙය හැර අබිනික්මන් කළ තම සැමියා වෙනුවෙන් ‘කැලේ තිබෙන කොයි දේවත් රස වේවා!’ යනාදිව යශෝධරාව කරන ප්‍රාර්ථනය සිහි ගන්වයි. මෙහි කවියාගේ ප්‍රාර්ථනය ‘ඈ එන පෙර මඟ වසාගත් තුරු වියන ඈ හිසට මුතු කුඩ වේවා!’ යන්නයි. ඇවිද එන දිගු මඟ ඇල් දිය පිරි කුඩා දිය ඇලි ගලා ඇගේ සරතැස ගිමන නිවේවායි පතන ඔහු, ‘පා නඟන බිම ළා තණපත් ඇගේ පා සිපගන්වායිද පතයි. අහස් ගැබෙහි නිරතුරුවම බක් මාසයේ තරු දිලි ඇගේ ගමන් මඟට එළිය ගෙන දේවා කියා නොවේද කවියා ප්‍රාර්ථනා කරන්නේ? කවියෙහි අපූර්වත්වය වන්නේ, කවියාට හමු නොවූ ඔහුගේ සිහින ලොව සරන්නා වූ ළඳක පිළිබඳ මවනා චිත්තරූපාවලියයි. ඔහු නොදකින ඈ පාඨක අපට පෙනේ. ඈ වෙනුවෙන් කවියා විසින් කරනු ලබන ප්‍රාර්ථනය අතිශය සෙනෙහෙබර, ප්‍රේමාන්විත පැතුමකි. කවියා නොදකින, ඔහුට හමු නොවුණු ඈ පාඨක අපට පෙනේ. ඈ සුන්දර යුවතියක වන්නට ඇතැයි යන සිතිවිල්ල අප සිත්හි මැවීමට කවියාගේ සංකල්ප රූප සමත්වේ.

තනි මඟ බැස දිවි සැරිය පුරන සොඳුරු තැනැත්තිය!

මින් පෙර නොගිය වන පෙත් මැදින් විහිදී යන තනි මඟය ඇගේ ජීවන චාරිකාව පුරන්නේ. තනි මඟ එකලාව යන්නියකි ඈ. එහෙත් ඔහු සමඟ එක්ව ගමනට ගමන් මඟක් නොකැපුණේ කිමදැයි නොදනී. එසේ වූවා නම් ඇයට පිහිට වන්නට ඉඩක් පෑදෙන්නට ඉඩ තිබිණි. එහෙත් එය ‍එසේ සිදු වී නැති සෙයක් දැනේ. ජීවිතය ජීවන ගමන පිළිබඳ යටි පෙළින් කවියා මතු කරන අරුත ඔහුගේ ජීවිතයේ අපේක්ෂා භංගත්වයද? ඈ හමු නොවීම යනු ඔහුගේ ජීවිතාපේක්ෂා බිඳවැටීමද? නොහමු වූ ඈ වෙනුවෙන් ප්‍රාර්ථනා පුරන කථකයා කෙරෙහි පාඨක අනුකම්පාවක් ජනිත වනු දැනේ. ඔහුගේ හුදෙකලා දිවියද ඇගේ ජීවිතය සමඟ නිරූපණය වේ. කාව්‍යයක සාර්ථකත්වය පිටුපස ඇති අත්‍යවශ්‍ය ගුණයක් වන සංෂිප්ත බව මේ කාව්‍ය රචනයෙහිදී අපි අත්විඳිමු. ‘නොගිය වනපෙත් මැදින් විහිදෙන තනි මඟ දිවිය සරන්නියක’ අතරමං වීමට ඉඩ නොවේද? ‘නොගිය වනපෙත්’ යනු නුහුරු ගමනක ඒමකි. පය පැකිළ වැටේවිදෝයි ඔහු සිත බියට පත් වන්නේ ඒ නිසාය. කවියාගේ අපේක්ෂා භංගත්වය තීව්‍ර කොට පෙන්වන කාව්‍යොක්ති අපූරුය!

ගිලන් සිහිනෙන් ඇහැරි මට

පෙනේ කවුළුවෙන්

ඔබ ඇවිද නොඑන පටු පාර

ඔබ හිස උඩින් නොයන වලාකුළු

‘ඔබ ඇවිද නොඑන පටු පාර’ ව්‍යාංග්‍යාර්ථ පිරි ප්‍රබල යෙදුමකි. ඔහු පටු පාර දකී; එහෙත් එහි ඇවිද එන්නියක නොදකී. කවියාගේ පරම අපේක්ෂාව ඈ දැකීම නොවේද? ‘ඇගේ හිස මතින් නොයන වලාකුළු’ යන්න අරුත් ගන්වන්නේ ඈ අඳුරින් පිරි මඟක ගමන් ගන්නියක බව නොවේද?

සිත යට සැඟවුණු ප්‍රේමයක චමත්කාරය මෙන්ම ශෝකයද මේ නිර්මාණය පුරා දැවටී තිබෙනු පෙනේ.

 

නොහමු වූ ඇයට

 

නොගිය වන පෙත් මැදින් විහිදෙන

තනි මඟ බැස දිවිසැරිය පුරන

සොඳුරු තැනැත්තිය!

මගේ සිහිනයක විනා

ගමන් මං අපේ

නොකැපුණා වන්නට ඇති,

වැටු‍ණොත් පැකිළ පය

අතක් ඔබට දෙන්නට

ඉඩක් ඉතින් නැතිවත් ඇති.

ගිලන් සිහිනෙන් ඇහැරි මට

පෙනේ කවුළුවෙන්

ඔබ ඇවිද නොඑන පටු පාර

ඔබ හිස උඩින් නොයන වලාකුළු.

තුරු වියන් වේවා මඟ දිග හිසට මුතුකුඩ

ඇල් කඳුරු ගලාවා ගවුවක් නෑර තරගෙට

මුදු තණ සිපීවා පියෙන් පිය තබන බිම පිට

බග තරු දිලේවා කියා මඟ නිබඳ ගගනත

 

සුනිල් විජේසිරිවර්ධන

Comments