ගමට අසී­මිත සේ පෙම් කළ කවියා: මීමන | සිළුමිණ

ගමට අසී­මිත සේ පෙම් කළ කවියා: මීමන

සිංහල කවියේ කොළඹ යුගය වර්ණවත් කළ මීමන ප්‍රේමතිලකයන් දිවංගත වී ජූලි මස 12 දිනට 53 වසරක් සපිරිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කිසියම් ජාතියක, සංස්කෘතියක හා සභ්‍යත්වය ආරක්ෂා කරගෙන එම ජාතියට ආවේණික සිරිත් විරිත් රැකගන්නේ ගම්බද ජනතාවයි. නාගරික ජීවිත ගත කරනුයේ සුඛෝපභෝගී ජීවිතයට ළැදි වන මන්ද බුද්ධිකයන් හෝ ධනපතියන් හෝ වාණිජ්‍ය ව්‍යාපාරයන්හි යෙදෙන්නන් හෝ පමණකි. අනෙක් පිරිසක් නගරයක ඇත්නම් ඔවුහු එදිනෙදා ජීවිතය ගෙන යෑම සඳහා ස්වකීය ශ්‍රම ශක්තියෙන් වෘත්තියක් බලාපොරොත්තු වන “පීඩිත පන්තිය” යනුවෙන් ඇතැමුන් විසින් මෑතක සිට හඳුන්වන ලබන දුර්වල පිරිස වෙති. මේ අන්තිමට කී කොටසින් ජාතික ප්‍රශ්නයකට ප්‍රයෝජනයක් නැත. මන්ද? ජීවනය සඳහා මහත් සටනක යෙදී සිටිනා ඔවුන්ට ඒ ජීවනය සඳහාම වහල්ව සිටීමට බල කෙරෙන හෙයිනි.

හොරණ - මීමන නමැති පිටිසර ගම්මානයේ උපත ලද කරුණාරත්න ප්‍රේමතිලක උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද මහා විද්‍යාලයයට පැමිණියේ කවියකු වශයෙන් කීර්තියක් දිනා සිටි අවධියේය. කොළඹ ආනන්ද මහා විද්‍යාලයයේ අධ්‍යාපනය අවසන් කොට මීමන දෛවෝපගතව ලෝකයට පිවිසියේ ආධුනික පත්‍රකලාවේදියකු හැටියටය. එවකට “සිළුමිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් මීමනගේ රචනාවලට කවි පිටුවේ විශේෂ තැනක් දුන්නේය.

පත්තර කලාව තරුණ මීමනගේ පෑන මුවහත් කරන හණගලක් විණි. ඔහුගේ මේ අකාල පරිණතිය ‍දෙස විමර්ශනාක්ෂියෙන් බලා හුන් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් “ප්‍රේමතිලක ලෝකය පමණක් නොව, තම ජීවිතයද උදාසීනත්වයෙන් සලකන්නට පුරුදු වූවෙකි. එහෙයින් බෙහෙවින් උගත් ලේඛකයන් පවා තරුණ වියෙහිදී පොදුවේ නොලබන සංයමයක් හා පැසුණු බවක්ද ඔහු ලැබුවේය,”යනුවෙන් ස්වකීය නව පද්‍ය සිංහලයෙහිලා සඳහන් කළේය.

ඒ අතර මීමන උසස් කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්ම බිහි කළේය. බෞද්ධ ගැමි ජීවිතයෙන් හික්මවන ලද මනසකින් යුතු වූ හෙතෙම ගමට දැක්වූයේ අසීමිත ආදරයකි. මීමන ගමේ සුන්දර තුරුලිය මඬුලු හා මීමන ඇළ ගැටවර කවියාගේ මනස සෞන්දර්ය රසයෙන් මත් කළේය. වරෙක කවියාම ඒ පිළිබඳව හෙළි කළේ මෙසේය:

 

ජගත් සොඳුරු දෙව්දුව මගෙ ගමට වැදී

ගහත් කොළත් වන කුසුමත් අතර හිඳී

ඇලත් තිබෙන තුරු එහි දිය හිඳිය නොදී

මමත් කවිත්වය සමඟින් සිටිමි! බැඳී!

 

“පාළුගම” කාව්‍යය සිය උපන්ගමට පිළිගන්වමින් ඔහු මෙසේ ලීවේය:

 

මා ගැන වෙහෙස විඳ සමතල බඹර දම

පීදෙන මලට එක් කර පිනි සමඟ බිම!

මෝරන කවිකමට ගත් වුණු අසමසම

මීමන නමැති පිටිසර ගම පුදමි! මම!

 

“කිසියම් ජාතියක, සංස්කෘතියක හා සභ්‍යත්වය ආරක්ෂා කරගෙන එම ජාතියට ආවේණික සිරිත් විරිත් රැකගන්නේ ගම්බද ජනතාවයි. නාගරික ජීවිත ගත කරනුයේ සුඛෝපභෝගී ජීවිතයට ළැදි වන මන්ද බුද්ධිකයන් හෝ ධනපතියන් හෝ වාණිජ්‍ය ව්‍යාපාරයන්හි යෙදෙන්නන් හෝ පමණකි. අනෙක් පිරිසක් නගරයක ඇත්නම් ඔවුහු එදිනෙදා ජීවිතය ගෙන යෑම සඳහා ස්වකීය ශ්‍රම ශක්තියෙන් වෘත්තියක් බලාපොරොත්තු වන “පීඩිත පන්තිය” යනුවෙන් ඇතැමුන් විසින් මෑතක සිට හඳුන්වන ලබන දුර්වල පිරිස වෙති. මේ අන්තිමට කී කොටසින් ජාතික ප්‍රශ්නයකට ප්‍රයෝජනයක් නැත. මන්ද? ජීවනය සඳහා මහත් සටනක යෙදී සිටිනා ඔවුන්ට ඒ ජීවනය සඳහාම වහල්ව සිටීමට බල කෙරෙන හෙයිනි.

“සුඛෝපභෝගී ජීවිත ගත කරන්නවුන්ගෙන්ද ජාතික සංස්කෘතියට හෝ සභ්‍යත්වයට වහලක් නොවනුයේ ඔවුන්ගේ පරිසරය ජාතිකත්වයෙන් නිතැතින් ම ඈත් වන හෙයිනි.

“...එසේ නම් ජාතික සංස්කෘතිය හා සභ්‍යත්වය රැකගත යුත්තේ ගැමියා විසිනැයි මම කියමි. ජාතික සිරිත් විරිත්, ජාතික රක්ෂාවන් සහ ජාතික හැඟීම් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන විත්, එය ආරක්ෂා කරන ගම්වැසියන් ජාතියේ කොඳුඇටය වශයෙන් සැලකිය යුතු නොවෙයිද? කරුණු එසේ වෙයි නම් ඒ ගම්වැසියන්ද පිරිහී ගිය හොත් ජාතික වූ සිරිත්විරිත්වලටද ජාතික වූ හැඟීමකටද රක්ෂාවරණයක්ද නැත.”

 

නරපතියෝ සිටුවරයෝ මොහොතින්

ඇති වෙති! නැති වෙති! ඇති වුණු සිරිතින්

එනමුත් ගැමියන් ටික පිරිහුණොතින්

යළි නැත! උන් ඇති වීමක් නිතැතින්!

(පාළුගම, 17 කව)

 

ගම පිරිහීම පිළිබඳ කවියාගේ හදෙහි නැඟි මේ දුක් සුසුම් කෙඳිරිය “කිරිහාමි” හා “සොහොන්බිම” වැනි කාව්‍යවලද නින්නාද වෙයි.

“නිල්දියේ නළඟන” ක්‍රි.ව. 1941 වසරේදී මීමන කවියා පළ කළ තවත් රසවත් කාව්‍යයකි. “මියුණු ඇල්ල” නමින් කුකුළු කෝරලයේ වූ වනගත දිය ඇල්ලක් ගැන ඒ ලියැවිණි.

ස්වාභාවික සුන්දර වස්තුවක් ගැන ලියැවුණු පළමු කාව්‍යය මෙය වෙයි.

 

“අල්ලා අතින් පා වෙන වනමල් කළඹ

නිල් වතුරෙන් නැඟුණු අතිසුන්දර නළඹ

ගල්පර නමැති උස් රඟමඬලට එළඹ

සොල්වාපන්! තවත් දිය සුළි මිණි සලඹ!

(නිල්දියේ නළඟන)

 

කාව්‍ය ‍කලාවේ මෙන්ම පත්‍ර කලාවේද මීමනගේ දස්කම් දිමුතු විය. පිටකොන්දක් තිබූ එඩිතර පත්‍ර කලාවේදියෙකැයි සමකාලීනයන් විසින් හඳුන්වනු ලැබූ මීමන අයුක්තිය අසාධාරණය දුටු තැන ඊට එරෙහිව නැඟී සිටියෙකි. කොටින්ම හේ, බඩගෝස්තරවාදියෙක් නොවීය. පාලක පක්ෂයේ වැරදි නොහැදුණු විට, මීමන රැකියාව දමා-ගසා ගෙදර ගියේය.

1953 වර්ෂයේ එක් දිනෙක, ඔහු ලේක්හවුසියෙන් යළි පිටවී ගියේය.

“දිනක් මා ලංකාදීප කාර්යාලට ගිය විට ධනපාල මහතා මට කතා කොට ඔහුගේ අතින්ම ඉල්ලුම් පත්‍රයක් ලියා දී, එය මගේ අත්අකුරින් පිටපත් කර එවන ලෙස කීය. ඒ ඉල්ලුම් පත්‍රය ලංකාදීප පත්‍රයේ උපකර්තෘ පදවියක් සඳහාය. මම කඩදාසියක් ගෙන එතැනදීම එය පිටපත් කර දුනිමි. දින දෙකකට පසුව මා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ උපකර්තෘ පදවියට පත් කරන ලද බව දන්වා පිළිතුරක් ලදිමි” යි ස්වයංලිඛිත චරිතාපදානයේ සඳහන් කර ඇත.

(මගේ ප්‍රේමය කලාව හා ජීවිතය, 106 පිට)

කෙසේ වෙතත් මඳකලකින් ලංකාදීපයෙන් යළිත් ලේක්හවුසියට පැමිණි මීමන 1961 වර්ෂයේ සිළුමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරයට පත් විය.

පත්තරකාරයකු වශයෙන් කාර්යබහුල ජීවිතයක් ගත කළද, වේගවත් රචකයකු වූ මීමන ගද්‍ය ග්‍රන්ථ කීපයක්මද ලියා පළ කළේය. “වල් අලින් සහ වැද්දන් මැද”, “සුන්දර ලංකාව”, “ඒරොප්පෙ කතා”, “අතීත සුන්දරිය”, “වීනාකාරය”, “මට හිතෙන හැටි, කාණ්ඩ 1,2,3” එයින් කීපයකි.

වයස අවුරුදු සත්සාළිස සම්පූර්ණ වීමට ඔන්න මෙන්න කියා තිබියදී මීමන කිවිඳු සිය අවසන් කෘතිය වූ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය” පොත පළ කෙළේය.

එහි අවසන් වැකිය මෙසේය:

“දුක සැප මැද මට තවත් ජීවත් වීම අවශ්‍ය වෙයි. මගේ දරුවන් සියලු දෙනාම මොන-මොනවා හරි උගෙන තමන්ගේ ජීවනෝපායය ගෙන යනු දැක්මට මා ජීවත් විය යුතුය.”

1965 ජූනි මස 23 වැනි දින මීමන “සරසවිය” පත්‍රයට සිය අවසන් කවි පෙළ ලීවේය. එහි අවසන් කවිය මෙසේය:

මගෙ පෙම් ජවනිකා සිතුවම් පටට ගෙනා

මීමන ඇළත් මට හරියට පිහිට වුණා!

ඒ සිහිවටන ගැන අද මා සිතනු විනා

මොන ජීවිතයක්ද? යනුවෙන් මටම හිනා!

 

මෙකව ලියා තෙසතියක් සපිරෙන්නටත් කලින් -එනම්: 1965 ජූලි මස 12 වැනි දින අලුයම් වේලේ මීමන ප්‍රේමතිලක කිවිඳුන් කීර්තිනාමශේෂභාවෝපගත වූයේ මහාර්ඝ කාව්‍ය රාශියක් සිංහල සාහිත්‍යය පවත්නා තාක් කල් සුරැකෙන සේ අපට ඉතිරි කරමිනි.

 

 

“පාරක තොටක නිවෙසක මුණගැසුණු පසු

කවියෙකු බව පෙනෙන කෙනෙකුට කරුණු ඇසූ

හිසකෙස් අවුල් වී කැරලිව බොකුටු ගැසූ

මීමන කිවිඳු කෝ? අද අප අතර විසූ!

 

 

“කෙහෙරැලි අතර දෙපසින් කිමිදුණු නළලයි

රිසි බව කලාවට හෙළි කර දෙන දෙතොලයි ඇති ඔබ ලියූ කවිවල අදහස් ඉහළයි

ඊටත් වඩා ගැදි ලිපියෙහි බස සරලයි!”

 

මීමන කිවිඳු මියගිය දා, එවකට “සිරි අයිය‍ා” ලෙස සමකාලීනයන් අතර පතළව සිටි යූ.ඒ.ඇස්. පෙරේරා දුක් වූවේ එසේය.

 

Comments