එංගලන්තයේ මහ­රැ­ජනට බෞද්ධකම කියාදෙන අපේ මහාචාර්යවරයා | සිළුමිණ

එංගලන්තයේ මහ­රැ­ජනට බෞද්ධකම කියාදෙන අපේ මහාචාර්යවරයා

මහාචාර්ය සුනිල් කාරියකරවන

මහා­චාර්ය සුනිල් කාරි­ය­ක­ර­වන යනු, මෙරට නිද­හස් අධ්‍යා­ප­න­යෙන් බිහිවූ තවත් විශි­ෂ්ට­යෙකි; බුද්ධි­ම­තෙකි. එහෙත් ඔහුගේ නම, ශ්‍රී ලාංකික අපට එත­රම් හුරුපුරුදු නැත. එලිස­බෙත් මහ රැජන, රාජ­කීය පවුලේ උද­විය සහ එංග­ලන්ත ආර­ක්ෂක අමාත්‍යා‍ං­ශය ඇතුළු රාජ­කීය හමු­දා­වන්හි නිරත හාර පන්ද­හ­සක සෙබළ පිරිස, ශ්‍රී ලාංකික අපට වඩා හොඳින් ඔහු හඳු­නයි. ඒ, තන­තු­රින් ඔහු මහ රැජ­නගේ සහ එංග­ලන්ත ත්‍රිවිධ හමු­දාවේ බෞද්ධ කට­යුතු පිළිබඳ අාධ්‍යා­ත්මික උප­දේ­ශ­ක­ව­රයා වන හෙයිනි. අපේ රටට අහිමි, එහෙත් එංග­ල­න්ත­යට හිමි ඔහුගේ සේවාව ගරු කට­යුතු එකකි. එංග­ලන්ත පුර­වැ­සි­යකු වන නිසා, ඔහු දැන් ඔවුන්ගේ කෙනෙකි. මේ දින­වල මවු රට පැමිණ සිටින මහා­චා­ර්ය­ව­රයා විමසා, අඩුම තරමේ සතුටු වීමු. මන්ද, ‘බුද්ධි­ග­ල­නය’ට හසුව රට හැර ගිය ද ඔහු, ‘අපෙත් කෙනකු’ වන හෙයිනි.

• ඔබේ පසු­බිම දැන­ගන්න කැමැ­තියි...

මං කැල­ණිය විශ්ව විද්‍යා­ල­යෙන් බිහි වූ වාග් විද්‍යාව පිළි­බඳ මහා­චා­ර්ය­ව­ර­යෙක්. ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යෙක් විදි­යට අවු­රුදු 18 ක් කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගැ­න්වූවා. ඒ කාලය ඇතු­ළත, පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය ශිෂ්‍යත්ව, අධි ශිෂ්‍යත්ව සහ ෆුල් බ්‍රයිට් ඇතුළු ශිෂ්‍යත්ව හයක් මට ලැබුණා. මේ, ලංකාවේ එකම කෙනෙක් ලබා නොගත් ශිෂ්‍යත්ව ප්‍රමා­ණ­යක්.

• ‘වාග් විද්‍යාව’ සහ ඔබේ රාජ­කා­රිය අතර තිබෙන සම්බ­න්ධ­තාව කුමක්ද...

වාග් විද්‍යාව කියන්නේ බොහොම දියුණු විෂය පරා­ස­යක්. මගේ විශේ­ෂඥ දැනුම තිබෙන්නේ, එහි එක් වැද­ගත් අංශ­යක් වන ‘සාය­නික වාග් විද්‍යාව’ සම්බ­න්ධ­යෙන්. ලෝක ජන­ග­හ­න­යෙන් සිය­යට හතක් කුමන හෝ භාෂා සන්නි­වේ­දන අස­ඥ­තා­ව­කින් (දුබ­ල­තා­ව­කින්) පෙළෙ­නවා. එය ජාන­මය ප්‍රශ්න නිසා හෝ පසු­කා­ලී­නව ඇති විය හැකි කථන, ශ්‍රවණ, කම්පන තත්ත්ව හෝ මොළ­යට සිදු­විය හැකි හානි­වීම් නිසා ඇති විය හැකි දුබ­ල­තා­වක්. යුද්ධ­ව­ලට සහ­භාගි වන සොල්දා­දු­වන් විශේ­ෂ­යෙන් මෙවැනි කම්පන තත්ත්ව­යන්ට ගොදුරු ‍වනවා‍. මෙවැනි ‘ඥානන අස­ඥතා’ විස­ඳී­මට සාය­නික වාග් විද්‍යාව අත්‍යා­ව­ශ්‍ය­යයි.

• එත­කොට බෞද්ධ කට­යුතු පිළි­බඳ ඔබේ අදා­ළ­ත්වය කුමක්ද...

ඇමෙ­රි­කාවේ කෝනල් විශ්ව විද්‍යා­ලයේ පී.එච්.ඩී. එක කරන කාලේ මං සැන්බෝර්න් පෝල් - මැස­චු­සෙට්ස් පළාතේ විප­ස්සනා භාවනා මධ්‍ය­ස්ථා­න­ය­කදී ඇමෙ­රි­කානු ජාති­ක­යකු යටතේ දව­සට පැය තුන හතර ගානේ, අවු­රුදු හතක් භාව­නාව ප්‍රගුණ කළා. විෂ­යා­නු­බද්ධ කාරණා සහ මා ප්‍රගුණ කළ බණ භාව­නාවේ සුසං­යෝ­ග­යක් ලෙසයි, මේ රාජ­කා­රියේ නියැ­ළෙන්නේ.

• කොහො­මද ඔබට මේ තන­තුර ලැබෙන්නේ....

ඒ දව­ස්වල මං හිටියේ පොදු රාජ්‍ය මණ්ඩ­ල­යීය අධි­ශි­ෂ්‍ය­ත්ව­යක් ලබලා, යුනි­ව­ර්සිටි කොලේජ් ‍ඔෆ් ලන්ඩ­න්ව­ලට අනු­බද්ධ, ‘ග්‍රේට් ඕමන් ස්ට්‍රීට්’ රෝහ‍ලේ පර්යේ­ෂ­ණ­යක් සිදු කර­මින්. ‘සංස්කෘ­තික වශ­යෙන් වෙනස් වෙනස් පරි­ස­ර­වල මේ අස­ඥතා විවිධ වෙන්නේ කොහො­මද..., කියන කාර­ණ­යයි, මගේ පර්යේ­ෂ­ණය වුණේ. මීට කලින් එය පර්යේ­ෂ­ණ­ය­කට බඳුන් නොවූ පරා­ස­යක්. ඒ නිසා, ඔවුන් ඒ ගැන හුඟක් උනන්දු වුණා. ඔය කාලෙ තමයි, රැජ­නගේ යටතේ තිබෙන එංග­ලන්ත ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට, ‘බෞද්ධ උප­දේ­ශ­ක­ව­ර­යෙක් ඕනෑ...!’ කියන දැන්වීම ගාඩි­යන් පුව­ත්පතේ පළ කර තිබුණේ. මං ඒ තන­තු­රට ඉල්ලු­ම්ප­තක් දැම්මා. ෆුල් කර්න­ල්වරු, ජෙන­ර­ල්වරු ඇතුළු විශාල සංඛ්‍යා­වක් බෞද්ධයෝ මේ රාජ­කීය හමු­දා­වල ඉන්නා බව මං දැනගත්තා.. තන­තුර සමාන වෙන්නෙ කර්නල් නිල­යට. ආර­ම්භක වැටුප රුපි­යල් ලක්ෂ දහ­යක්. ආත­ති­ය­කදි ගැට­ලු­ව­කදී ඔවුන්ට පෞද්ග­ලි­කව කතා කරන්න කෙනෙ­ක්වීම, භාව­නාව මඟින් මාන­සික වර්ධ­නය නඟා සිටු­වීම... ඔය වගේ කාරණා හුඟක් මේ තන­තුරේ වග­කීම්. අව­සා­නයේ රට­වල් 18 ක එංග­ලන්ත පුර­වැ­සි­භා­වය ඇති ඉල්ලු­ම්ක­රු­වන් අත­රින් මට ඒ අව­ස්ථාව ලැබුණා. ඔවුන් පළ­මු­ව­තා­වට එවැනි තන­තු­රක් පිහි­ටුවා තිබුණේ තමන්ගේ රටේ සෙබ­ළුන්ගේ මාන­සික සෞඛ්‍යය ඉතා වැද­ග­ත්කොට සල­කපු නිසා.

• එංග­ල­න්තයේ හමු­දා­වට, කොහෙන්ද ඔය තරම් මාන­සික පීඩා...

බ්‍රිතාන්‍ය හමුදා ලෝකෙ රට­වල් ගණනාවක යුද කට­යු­තු­ව­ලට සහ­භාගි වෙනවා. ඉබෝලා වගේ වසං­ගත ආවත් ඒ රට­වල උද­ව්වට බ්‍රිතාන්‍ය හමුදා යනවා. එහෙම ගිහින් ආපු, බොහෝ අයගේ මාන­සි­ක­ත්වය වෙනස්. බෞද්ධ, අබෞද්ධ බොහෝ සෙබළු නිතර මා මුණ ගැහෙ­නවා. එය ඔවුන්ගේ වෛද්‍ය­වරු නිර්දේශ කරන ප්‍රති­කාර වට්ටෝ­රු­වෙම කොට­සක්. මොකද පශ්චාත් විශා­දය කියන දේ සොල්දා­දු­වෙ­කුගේ මන­සට ප්‍රබ­ලව බල­පා­නවා. දිවි නසා ගැනීම්, පවුල් කඩා ඉහි­රීම්, ආත­තිය ඇතුළු මාන­සික පීඩා රැස­කින් සොල්දා­දු­වන් පීඩා විඳි­නවා.

• හාර දාහක පමණ බ්‍රිතාන්‍ය සෙබළ පිරි­ස­කට කොහො­මද ඔබ වෙලා­වන් දෙන්නේ...

අපිට ලොකු ටීම් එකක් ඉන්නවා. මට පහ­ළින් ඉන්න ඒ අයත් හොඳ පුහු­ණු­වක් ඇති අය. කාට හරි මාවම මුණ­ගැ­හෙන්න ඕනෙ නම් ඒක­ටත් කිසිම බාධා­වක් නැහැ. මට ඕනෙ නම් වේල්ස් යන්න... ස්කොට්ලන්ඩ් යන්න.... අය­ර්ලන්ඩ් යන්න, නැත්නම් ලෝකෙ වෙන රට­කට යන්න, විනාඩි ගණ­නක් ඇතු­ළත, මගේ ෆ්ලයිට් එකයි කෲ එකයි ලෑස්තියි.

• ඔ‍බ ඉන්නෙත් බකිං­හැම් මාලි­ග­යේ­මද...

මාලි­ගය පරි­ශ්‍ර­යේ­මයි අපේ කාර්යා­ලය තිබෙන්නේ. බොහෝ විට සති­පතා මහ රැජන අපේ බැරැ­ක්ක­යට එනවා. මේක බෞද්ධ දර්ශ­න­යත් එක්ක යන රාජ­කා­රි­යක් නිසා මං කර්නල් යුනි­ෆෝම් අඳින්නෑ. ඔවුන් ඒකට මට ඉඩ දුන්නා. ආමි, රෝයල් නේවි, රෝයල් එයාර් ෆෝස් සහ රෝයල් මරීන්ස් කියන ආර­ක්ෂක සේවා අංශ හත­ර­ටම මගේ සේවාව ලබා­දිය යුතුයි.

• එලිස­බෙත් මහ රැජින එක්ක තිබෙන සබ­ඳ­තාව කොහොම එකක්ද...

ඉස්සර ඔවුන්ට තිබුණෙ ක්‍රිස්ති­යානි හමු­දා­වක්. දැන් ඔවුන්ට අවශ්‍ය විවිධ ආග­මික, විවිධ ජාතීන් ලෙස සිය හමුදා විවි­ධාං­ගී­ක­ර­ණය කරන්න. ඒ නිසා රාජ­කීය පවුලේ උද­විය ඉතා­මත් උන­න්දු­වෙන් අප වැනි විදේ­ශි­ක­යන්ට සල­ක­නවා. පසු­ගිය දාක යෙදුණු බ්‍රිතාන්‍ය රාජ­කීය ගුවන් හමු­දාවේ 100 වැනි සංව­ත්ස­රයේ රාජ­කීය උත්ස­ව­යේදී පවුලේ උද­විය අසු­න්ගත් පළමු පෙළේ­මයි, මටත් ආස­න­යක් වෙන්කොට තිබුණේ. හමු­දාව සහ බැඳුණු රාජ­කීය උත්ස­ව­ව­ලදී ඔවුන් සල­කන්නේ මං, රැජ­නගේ නියෝ­ජි­ත­යෙක් හැටි­ය­ටයි.

• මහ රැජ­නගේ අාධ්‍යා­ත්මික උප­දේ­ශ­ක­ ව­රයා වෙලා මොන­වද ඔබ ඇයට දෙන උප­දෙස්...

ඇය බෞද්ධ රට­කට යන්න සූදා­නම් වෙනවා නම් ඇය මා මාලි­ග­යට කැඳ­ව­නවා. ඒ රටේ බෞද්ධ ආචාර විධි, බොදු හමු­වී­ම­කදී අඳින පල­ඳින විධි හෝ අඩුම තරමේ බෞද්ධ සංස්කෘ­තියේ මූලි­කාංග ටික ගැන­වත් ඈ මගෙන් විම­ස­නවා. දැනු­ම්වත් වෙනවා.

• ඇය ඔබට ආම­න්ත්‍ර­ණය කරන්නෙ ‘කර්නල්’ තන­තු­රින්ද...

නැහැ. ‘චැප්ලන්’ නමින්. මම ඔවුන්ගේ, ‘බුඩිස්ට් චැප්ලන්’. ක්‍රිස්ති­යානි පූජ­ක­ව­ර­ය­කුට හමු­දාවේ ආම­න්ත්‍ර­ණය ‘පාඩ් රේ’. නැත්නම් චැප්ලන්. මම, බෞද්ධ කට­යුතු පිළි­බඳ නිසා තමයි බුඩිස්ට් චැප්ලන්, වෙන්නේ.

• එත­කොට ඔබ ඇයට ආචාර කරන්නේ...

අතට අත දීලා, ‘යෝර් මැජස්ට්...!’ ගෞරව නාම­යෙන්. ඇය බොහොම නිහ­ත­මා­නියි. අවු­රුදු 86 ක් වුණාට ඉතාම ප්‍රිය­ම­නා­පයි. කොහොම ආඩ­ම්බර වෙන්න පුළු­වන්ද. ඒත් අනෙක් අයට ගරු­ත්ව­යෙන් සල­කන එකයි, ඇගේ විදිය. වැද­ගත්ම දේ ඒ තරම් වය­සට ගියත් ඇයට හොඳ තියුණු මත­ක­යක් තිබෙ­නවා. ලෝකෙ යටත් කර­ගෙන හිටපු ‘පර සුද්දෝ’ කියලා මිනිස්සු බැන්නට, ඒ මත වෙනස් වෙන්න ඕනෙ කාලෙ ඇවිත්.

• මහා­චාර්යතුමා රැජ­නගේ ගුණ වය­නවා. කාට හරි එහෙම හිතු­ණොත්...

මං අතී­තයේ ජීව­ත්වන මනු­ස්ස­යෙක් නෙවෙයි. යටත් කර­ගෙන හිටි­යට ඔවුන් අපිට හැදූ ආර්ථි­කය සහ පාර­වල් ටික මතක් කරන්න. ඔවුන් හැදු­වට වඩා දුරක් උඩහා රේල් පාර­වල් ටික­වත් හැදිලා තියෙ­න­වද. අපිට රට බාර­දීලා ඒ අය ගිහින් දැන් අවු­රුදු 70 ක්. ඉති­හා­ස­යට බැණ බැණ ඉන්නවා මිස අපි ඉස්ස­ර­හට ගිහින් තියෙ­න­වද? අඩුම තරමේ අපේ ගැහැනු උද­විය දාස­ක­මට මැද­පෙ­ර­දිග යවන එක­වත් නවත්වා ගන්න තවම අපිට පුළු­වන් වෙලා තියෙ­න­වද? අපේ රටේ මිනිස්සු පාරේ වාහන පද­වද්දි, අනෙ­කාගේ ඇස් නිලං­කාර වෙන්න ‘හෙඩ් ලයිට්’ ගහන්නෙ එන්න එපා! මට ‍ඉඩ ඕනේ! කියන්න. නමුත් එංග­ලන්තෙ මිනිස්සු හෙඩ් ලයිට් ගහන්නෙ, ‘ඔබ යන්න!’ කියන්න. මේ ආක­ල්ප­මය වෙන­ස­ටයි අපි ගරු කරන්න ඕනේ. කොයි රටක් එක්ක වුණත් ජාත්‍ය­න්තර සබ­ඳතා ඇති කර­ගැ­නී­මයි, රටක් හැටි­යට අපිට වැද­ගත්.

• සුද්දා පාර­වල් හැදුවෙ අපිට ආද­රේට නෙවෙයි.‍ අපේ තේ එංග­ලන්තෙ පට­වන්න, වරා­යට ගේන එක පහසු කර­ ගන්න...

අතීත අර­මුණ කුමක් වුණත් ඔවුන් ගියේ ඒවා විනාශ කරලා නෙවෙයි. අපි තව­මත් භුක්ති විඳින්නේ ඒ සම­හර පාර­වල්. ඕනෑම නරක දෙයක හොඳ දේත් තිබෙ­නවා. අන්න ඒ දේ ගන්න. පරණ දේ ගැන හිත­මින් ළතැ­වෙ­මින් බණි­මින් හිටි­යොත් ඔබ ඉස්ස­ර­හට යන්නෙ කව­දාද?

• එංග­ල­න්ත­යට වෙලා ලංකාව දිහා බලන කොට මොන­වද හිතන්නෙ...

උග­තුන් සහ බුද්ධි­ම­තුන්ගේ පරි­ක­ල්පන ශක්තිය උකහා ගන්න තරම් දියුණු නාය­ක­ත්ව­යක් ලංකාවේ නැති එක ගැන කන­ගා­ටුයි. නූග­තුන් විසින් උග­තුන්ව පාල­නය කරන රටක් ලෙසයි, ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ. SME හෙවත් ‘සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ට්’ ඒ කියන්නෙ, විෂ­යට අදාළ විශි­ෂ්ටයා, අපේ රටේ කොතැ­න­ක­වත් ඉන්න­වද... හරි කෙනාද තන­තුරේ ඉන්නෙ, වැඩ දන්නා මිනි­හට තියෙන තැන මොකක්ද... මේවා සියල්ල අපේ රටේ දේශ­පා­ලන ක්‍රමය විසින් වෙනස් කරලා. රටක් පල්ලම් බහින්න ඊට වඩා දෙයක් නැහැ.

• රට හැර ගිහින් ඔය වගේ දේ කිව්වට, මේ රටේ ක්‍රියා­ත්මක මැටි දේශ­පා­ල­නය වෙනස් වෙන්නෙ නැහැ...

මගේ රට වෙනස් කරන්න තනිව පුළු­වන් වුණා නම් මම ඒක කරලා. නමුත් සාමූ­හි­ක­ත්වය තුළ එය කරන්න බැරි දේකුත් නෙවෙයි. අපේ දේශ­පා­ල­කයො කට ඇරි­යොත් කතා කරන්නෙ පක්ෂෙ පාට ගැන. මේ රටේ මිනිස්සු දේශ­පා­ල­න­යට එන්නේ තමන්ට වැඩ කර­ගන්න. තමන් හැදෙන්න. අර පැත්තට මේ පැත්තට පනි­නවා. බලය රැක­ගන්න ඕනෙ දෙයක්. මේ දේවල් වෙනස් නොවන තැන, රටේ අධ්‍යා­ප­න­යේ­වත් ආර්ථි­ක­යේ­වත් වෙන කොතැ­න­ක­වත් සිස්ටම්ස් හරි­යට හැදෙන්නෑ. තිබු­ණත් ක්‍රියා­ත්මක වෙන්නෙත් නැහැ. එත­කොට අපි අපේ බුද්ධිය දැනුම පරි­ක­ල්ප­නය ක්‍රියා­ත්මක කරන්නෙ කො‍තැන­ක­ටද... බුද්ධිය දැනුම හිර කර­ගෙන මේ රටේ ම මැරිලා යන­වද... එය ලෝකෙට විවර කර­න­වද.... මට හිතන්න වුණේ ඒ දේ. කවුරු මොන දේ කිව්වත්, අපිට වටි­නා­ක­මක් හැදුණේ විශාල මූල්‍ය­මය ශක්ති­යක් ලැබුණේ එහෙම තීර­ණ­යක් අරන් ගිය නිසා.

• රට වෙනු­වෙන් මොන­වද ඔබ කර තිබෙන්නේ...

රට ඇතුළේ ඉඳන් වගේ ම පිට ඉඳ­ගෙ­නත් ඕන කෙන­කුට පුළු­වන් තමන්ගෙ රටට වැඩ කරන්න. මං රජ­යට යමක් යෝජනා කර­නවා, ලෝකෙ පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය බුද්ධිය ඒක­රාශි කරන, ‘පර්සන්ස් ඔෆ් ශ්‍රී ලන්කන් ඔරි­ජින්’ ලෙස බුද්ධි මණ්ඩ­ල­යක් හදන්න කියලා. එය මේ රටේ නාය­ක­යන්ට කරන්න පුළු­වන් දෙයක්. ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකේය විය­තුන් කව­දා­වත් බැහැ කියන්නෙ නැහැ. රටින් පිට ඉන්න කොටයි රට ගැන අගය වැඩි. මම පෞද්ග­ලි­කව වරින් වර ලංකා­වට ඇවිත් විශ්වවිද්‍යා­ල­වල උග­න්ව­නවා. ඉකෝ ටුව­රි­ස­ම්ව­ලට අදා­ළව විදේ­ශි­ක­යන්ට සිංහ­රා­ජය ආශ්‍රි­තව භාවනා වැඩ­ස­ට­හන් කර­නවා. මගේ යෝජ­නාව ක්‍රියා­ත්මක වුණොත් දීර්ඝකාලී­නව අපි­ටත් මේ රටට වැඩ කරන්න පුළු­වන්.

• කොහොම වුණත් ඔබ අපට ආඩ­ම්බ­ර­- යක්. ඔබේ ගම් පළාත කොහෙද...

ගාල්ලෙ සිංහ­රාජ මායිමේ ලේල්වල කියන හද්ද පිටි­සර ගමේ මං උපන්නේ. කූඩැල්ලො විමානෙ. ලේල්වල කනි­ෂ්ඨ­යෙන් ශිෂ්‍ය­ත්වය පාස්වෙලා ගාල්ල ඇලෝ­ෂි­යස් විදු­හ­ලට ආවා. ඇලෝ­ෂි­යස් විදු­හ­ලෙන් කලා විෂ­යන් කරලා, මං කැල­ණියෙ විශ්ව­වි­ද්‍යා­ල­යට තේරෙන්නේ ඒ වසරේ උසස් පෙළට මුළු රටෙන්ම වැඩිම ලකුණු අරන්, 1978 ‘මාකන් මාකාර්’ ශිෂ්‍ය­ත්ව­යත් දිනා­ගෙන. මං තෝරා ගත්තෙ වාග් විද්‍යාව. මට තියෙන්නෙ ෆස්ට් ක්ලාස් එකක්. කලා විෂ­යන් කරලා වැඩක් නැහැ කියල හිතන අයට මං හිතන්නෙ මං හොඳ පූර්වා­ද­ර්ශ­යක්.

ඡායා­රූප - විමල් කරු­ණා­ති­ලක

Comments