13 වැනි සංශෝධනය ලොතරැයියක් | සිළුමිණ

13 වැනි සංශෝධනය ලොතරැයියක්

මීට සතියකට පමණ පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි අතර නවදිල්ලියේදී පවත්වන ලද සාකච්ඡාවලදී මතු වූ ප්‍රමුඛතම කාරණය වූයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයයි. 1987 දී රජීව් ගාන්ධිගේ බල කිරීමෙන්ද ඉන්දියාවෙන් යාපනයට ගුවනින් පැමිණ පරිප්පු දමා කරන ලද බිය ගැන්වීමෙන් ද අනතුරුව කරකියා ගැනීමට දෙයක් නොමැතිව අසරණ වූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් අත්සන් කරන්නට යෙදුණු ඉන්දු ලංකා ගිවිසුමට අයත් 13 වන සංශෝධනයෙන් කියවෙන්නේ පළාත් සභා අතර බලය බෙදාහැරීම පිළිබඳවය. මේ රටේ දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පුළුල් අනවබෝධයක් පැවතිණි. අපගේ අත්දැකීමට අනුව මේ ප්‍රශ්නය විසඳීම සඳහා පළමු පියවර තැබූ රාජ්‍යය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහයන් හැඳින්විය හැකිය. වසර 2001 දී අගමැති වශයෙන් ගත කළ කාලසීමාවේදී රනිල් වික්‍රමසිංහයන්ගේ මූලිකත්වයෙන් කැඳවන ලද සටන් විරාම ගිවිසුමෙන් යුද්ධය සෑහෙන කලකට නැවතුණු අතර දෙපාර්ශ්වයේම ලේ හැලීම නතර විය. මේ කාලය තුළදී යාපනේ සිටින දෙමළ ජනතාවත් කොළඹ සිටින සිංහල ජනතාවත් ප්‍රදේශ දෙක අතර සංචාරයේ නිරත වූහ. ඒ වන විට යුද්ධය නැවතීම නිසා මහත් සේ සතුටට පත්ව සිටි උතුරේ දෙමළ ජනතාව ඉතා ඉක්මනින් සිය සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතුවලට නැවතත් පුරුදු වූහ.

83 ජූලි කලබලවලදී පටන් ගත් යුද්ධය එසේ නැවතෙද්දී තවදුරටත් කොළඹ බෝම්බ පිපිරුණේ නැත. මෙය දකුණේ ජාතිවාදී දේශපාලනඥයන් විසින් දක්නා ලද්දේ ඉතා නරක දෙයක් ලෙසය. මන්ද යත් ඔවුන් එතෙක් කලක් ජීවත්ව තිබුණේ ජාතිවාදය විකුණමිනි. දේශීය ධනවතුන් වෙතින් මුදල් ගරා ගැනීම සඳහා රට, ජාතිය සහ ආගම යන සාධක තුන විනාශ වෙමින් පවතින්නේ යැයි පෙන්වන විශාල චිත්‍රයක් ඇඳගත් ඇතැම් ජාතිවාදී සිවුරුකාරයෝ ද ජාතික ඇඳුම් ඇඳගත් පල් හොරු ද යුද්ධයෙන් විපතට පත් අය සඳහා ආධාර පිණිස යෙදවීමට යැයි කියමින් විශාල මුදලක් හරිහම්බ කළහ. මෙහිදී අප හෘදය සාක්ෂියට එකඟව සාකච්ඡා කළ යුතු දෙයක් තිබේ. යුද්ධයෙන් ලොකුම හානිය වූයේ දකුණේ සිංහල ජනතාවට නොව උතුරේ දෙමළ ජාතියට බවය.

එදිරිවාදී පාර්ශ්ව දෙක අතර සටන්වලට මැදි වූ ඒ සාමාන්‍ය මිනිස්සු කී දෙනෙක් මළා ද, කී දෙනෙක් අතපය නැතිව අදටත් ජීවත්වනවා ද යන කාරණය පිළිබඳ වෝහාරික විගණනයක් අදටත් කෙරී නැත. එවකට අගමැතිව සිටි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සාම සාකච්ඡා පවත්වා ගෙන ගියේ දැඩි දුෂ්කරතා මැදය. හැමවිටම සිදු වූයේ දෙමළ ජනතාව සහ සිංහල ජනතාව අවුස්සා සාම සාකච්ඡා කඩාකප්පල් කර යුද්ධය නැවත ඇවිළවීමට මාන බැලීමය. දෙමළ ජනයා ද මේ රටේ මිනිස්සු වෙති. මේ රටේ වතුකරයේ වැවිලි කර්මාන්තය සාර්ථක වන්නේ අවුරුදු 200 ට කිට්ටු කාලයක් පුරා එම ජනතාවගේ සිරුරින් වෑස්සුණු දහදිය සහ රුධිරය පොහොර බවට පත්වීමෙනි. 1970 වන විටත් මේ රටේ අඩුම පහසුකම් තිබූ ප්‍රදේශය උතුරුකරය විය. නිතර වැසි නොවැටෙන බැවින් ද දරුණු වියළි කාලගුණය නිසා ද උතුරේ ජනයා හැමදාමත් දුක් වින්දහ. අප විසින් කළ යුත්තේ නැවත වතාවක් යුද්ධයක් ඇති නොවන තැනට කටයුතු කිරීමයි. ඒ සඳහා බලය බෙදාහැරීමේ වැඩපිළිවෙළකට අප යා යුතුවම තිබේ. 13 වන සංශෝධනය යනු ක්‍රමානුකූලව බලගැන්විය හැකි සාධකයකි. මෙය බලගැන්වූවා යැයි කියා යාපනය කඩාගෙන ගොස් ඉන්දියාවට හේත්තු කිරීමක් කිසිසේත්ම සිදුවන්නේ නැත. අපි උතුරේ සිටින දෙමළ ජනතාව සම්බන්ධයෙන් මානුෂීය ප්‍රවේශයකට අවතීර්ණ විය යුතුය.

13 වන සංශෝධනය බලගැන්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සිය ස්ථාවරය ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ නායකයන් කැමති නම් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට හැකි බව ඔහු කියා තිබේ. එහෙත් රස්සාව වශයෙන් සිංහල, බෞද්ධ වර්ගවාදය ව්‍යවහාර කරන දේශපාලන පක්ෂ 13 වන සංශෝධනයට කිසි ලෙසකින්වත් කැමති වන්නේ නැත. මීට කලකට පෙර යාපනේ පාලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට යෝජනාවක් ගෙනෙන ලද කල්හි පවා ඇතැම් පක්ෂ නායකයෝ ඊට විරුද්ධ වූහ. යාපනය ප්‍රකෝටිපති වැල්ලවත්තක් බවට පත් නොකර දිගින් දිගටම දුගීභාවයෙහි රඳවා ගැනීමෙන් දකුණේ තිබෙන ආගම්මූල සහ වර්ගමූල පක්ෂවලට බඩ පුරවා ගත හැකිය. එහෙත් යාපනය ද සංවර්ධනය වී එය ප්‍රකෝටිපති වැල්ලවත්තක් බවට පත් වුවහොත් දකුණේ සිටින ඇතැම් වර්ගවාදී නායකයන්ගේ පමණක් නොව උතුරේ සිටින වර්ගවාදීන්ගේ බඩට ද පහර වදිනවා ඇත. යාපනේ ප්‍රශ්න විසඳුනහොත් එහි වැසියන්ට දේශපාලනඥයන්ගෙන් වැඩක් නැත. එතැන් සිට යාපනේ දේශපාලනඥයන්ට සිදුවන්නේ පිටකොටුවේ බෝ ගහ යටට විත් හිඟා කෑමටය. එහිදී මේ රටේ සිංහල ජනතාව නොපැකිල ඔවුන්ට කීයක් හරි දීමට ඉදිරිපත් වෙනවා ඇත.

ලෝකයේ දේශපාලන ගමන් මඟ ඉතා වේගයෙන් වෙනස්වී තිබේ. ප්‍රභාකරන් මුලින්ම ඉල්ලුවේ ඊළම ය. අද කිසිම දෙමළ සිවිල් පුරවැසියෙක් ඊළම ඉල්ලන්නේ නැත. ඔවුන් ෆෙඩරල් ඉල්ලන්නේ ද නැත. ඔවුන් ඉල්ලන්නේ සංවර්ධනය වූ ප්‍රදේශයක පහසුකම් ඇතිව ජීවත්වීමේ අයිතිය පමණි. රනිල් වික්‍රමසිංහයන් අගමැතිව සිටි අවස්ථා ගණනාවකදීත් ජනාධිපති වූ මේ අවස්ථාවේදීත් මේ ඉල්ලීම දෙස විචාරශීලීව බලන්නෙකි. හොඳ ජීවිතයක් ගත කිරීමට මේ වර්ග සැතපුම් 25,235 තුළ සිටින සෑම රට වැසියකුටම අයිතිය තිබේ. ඒ අයිතිය ජාති, ආගම්, කුල, භේද වලින් තොරව ලබාදිය යුතු අයිතියකි. ජනාධිපති වික්‍රමසිංහයන් ස්වකීය ඉන්දීය සංචාරයෙන් පසු මේ රටේ පවතින ජනවාර්ගික ප්‍රශ්නයට වඩාත්ම සුදුසු විසඳුම ලබාදීමට නියමිතය. කවුරුත් එය කඩාකප්පල් නොකළ යුතුය. 13 වන සංශෝධනය හරි ගියොත් එය මේ රටේ උතුරට පමණක් නොව දකුණටත් ඇදුණු ලොතරැයියක් වන්නේය.

Comments