කෝ මේ ජිනීවා | සිළුමිණ

කෝ මේ ජිනීවා

ලෝකවාසී කෝටි සංඛ්‍යාත ඉස්ලාමීයයන්ගේ අති උත්තම ආගමික ග්‍රන්ථය වූ ශුද්ධ කුරානය හජ්ජි උත්සවය දවසේදී ස්වීඩනයේ සිටි පුද්ගලයකු විසින් ප්‍රසිද්ධියේ පුලුස්සන ලදී. ඔහුගේ නම සල්වාන් මොමිකා වන අතර ඔහු ඉරාකයෙන් පැන විත් ස්වීඩනයෙහි ජීවත් වෙයි. පසුගිය දිනක ස්වීඩන් පොලිසියට ගිය ඔහු විරෝධතා ව්‍යාපාරයක නිරත වීම සඳහා තමාට අවශ්‍යතාවක් ඇති බැවින් ඒ සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. ස්වීඩනයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අදාළ නීති රීති ඉතා බලවත්ය. කිසියම් කෙනෙක් විරෝධතාවක් දැක්වීම සඳහා මේ පනත යටතේ බලපත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිය හොත් එය නිකුත් කළ යුතුම වෙයි. මේ බලපත්‍රය අතට ගත් මොමිකා එය ප්‍රසිද්ධියේ ගිනි තබමින් මුළු මහත් ඉස්ලාමීය ලෝකයේ සිත් සතන් පුලුස්සා ඇත. ඉදිරි කාලයේදී තමාට කෑමට සිදුවන පරිප්පුව ගැන මොමිකා නොදනී.

ඔබ කවුරුත් දන්නා පැරණි කතාවක් කියමු. ඉස්ලාම් සම්භවයක් ඇති සල්මන් රුෂ්ඩි නමැති ලේඛකයෙක් යුරෝපයේ ජීවත් වෙයි. ඔහු මීට අවුරුදු 25ට පමණ පෙර ඉස්ලාම් ආගමට අපහාස කරමින් “සැටනික් වර්සස්” හෙවත් සාතනික කවි යනුවෙන් පොතක් ලිවීය. මේ පොත මුද්‍රණ ද්වාරයෙන් එළියට පැමිණි වහාම බලවත් කෝපයට පත් ඉරානය සල්මන් රුෂ්ඩිගේ හිස ගෙන එන කෙනකුට හෝ රුෂ්ඩි මරා දමන කෙනකුට ඩොලර් මිලියනයක් දෙන බව ප්‍රකාශ කළේය. එ‍ෙකණෙහිම සල්මන් රුෂ්ඩි සැඟවිණි. ඉතා රහසිගත ජීවිතයක් ගත කළ ඔහු යුරෝපයේ තමන් සැඟව සිටි රටේ ආණ්ඩුවෙන් ලැබෙන මිල මුදල් සහ ආරක්ෂාවෙන් පණ බේරා ගත්තේය. ඒ අතර ඉස්ලාමීයයෝ රුෂ්ඩි සොයමින් ලෝකය දෙවනත් කළහ. ඔවුහු “සැටනික් වර්සස්” කවි පොත එකතු කර ඒවා ප්‍රසිද්ධියේ පුලුස්සා දැමූහ. මෙය පොත් ප්‍රකාශකයන්ට ලැබුණු හොඳ වරප්‍රසාදයකි. ඔවුහු සැටනික් වර්සස් පොත විශාල වශයෙන් මුද්‍රණය කර පොත් කඩවලට බෙදා හැරියහ. මෙවිට ඉස්ලාමීයයෝ කදිම විසඳුමක් සොයා ගත්හ. ඒ වූකලී එම පොත තිබෙන පොත් සාප්පුවලට ගිනි තැබීමය. ඉන්පසු කවුරුත් ඒ පොත ගත්තේ නැත. හැබැයි මෙහි පිටපත් අදටත් රහසේ විකුණනු ලැබේ.

මේ සිද්ධියෙන් විසි පස් අවුරුද්දකට පසු මීට දෙමසකට පෙර දවසක ලන්ඩනයේ පැවති සමුළුවක දේශකයෙක් වශයෙන් සල්මන් රුෂ්ඩි සහභාගී විය. ඔහු දේශනය පවත්වන අතර වේදිකාවට පැනගත් ඉස්ලාමීය තරුණයෙක් රුෂ්ඩිට පිහියෙන් ඇන්නේය. පිහි පහර රුෂ්ඩිගේ නාසයට වැදිණි. සල්මන් රුෂ්ඩිගේ නාසය සාමාන්‍ය ප්‍රමිතිගත නාසයකට වඩා දිගය. පිහි පහර නිසා ඔහුගේ නාසයෙන් කොටසක් කැපී ගිය බව කියනු ලැබේ. ඉස්ලාමීයයෝ තම ආගම වෙනුවෙන් ඉතා දැඩිව පෙනී සිටිති. ඉස්ලාමයට අපහාස කරන අය මරාගෙන මැරීමට ඔවුන් සූදානම්ය. ශුද්ධ කුරානය ක්‍රිස්තු වර්ෂ 610දී ලිවීමට පටන් ගෙන ක්‍රිස්තු වර්ෂ 632දී අවසන් කරන ලදී. මෙය ගේබ්‍රියල් දේව දූතයා විසින් මහම්මත්තුමාට මක්කමදී සහ මදීනා නුවරදී ප්‍රකාශ කරන ලද දේව භාෂිත ගොනුවක් බව පිළිගනු ලැබේ. මේ භාෂිත ගොනුව සංස්කරණය කර පොතක් ලෙස පෙළගස්වා ගන්නා ලද්දේ අබු බකර්තුමාය. මුළු මහත් ඉස්ලාම් ආගමේ සමස්ත හරය මේ ග්‍රන්ථයෙහි ඇතුළත්ව ඇත. ඒ නිසා ඉස්ලාම­ීයයන්ගේ ජීවිතයේ පළමුවන තැන ශුද්ධ කුරානයට ලැබෙයි. ඔවුන්ගේ ජීවිතවලට හිමිවන්නේ දෙවැනි තැනය.

ශුද්ධ කුරානය ගිනි තබා සෑහෙන දවසක් යනතුරු එයට විරුද්ධව කතා කිරීමට බටහිර ලෝකයේ නායකයෝ උනන්දු නොවූහ. ජිනීවා මානව හිමිකම් කොමිසම හෝ ආගමික නිදහස සහ අදහස් ප්‍රකාශන නිදහස සම්බන්ධයෙන් බිස්නස් කරමින් බඩ වඩා ගන්නා කිසිදු ආයතනයක් මේ ගැන කතා කළේ නැත. කුරානය ගිනි තැබීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කට්ටිය නිහඬව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එම සිද්ධිය තරයේ හෙළා දැක ඇත.

මෙහිදී අපට සිහිවන්නේ ආචාර්ය එන්.එම්. පෙරේරාගේ දේශපාලන ගුරුවරයා වූ මහාචාර්ය හැරල්ඩ් ජේ. ලැස්කි විසින් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ දී ඇති අර්ථ නිරූපණයයි. ඔහුගේ අදහසට අනුව මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මගේ අත දිගහරින පරාසයේ සිටින පුද්ගලයාගේ නාසය ළඟින් අවසන් වේ. මා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අත පය සොලවන විට මගේ අත මා ළඟ සිටින පුද්ගලයාගේ නාසයේ වැදුණු සැණින් ඔහුගේ මානව හිමිකම් ක්‍රියාත්මක වීමට පටන් ගනී. ඒ අනුව මගේ අත වැදීමෙන් සිය නාසයේ හටගත් වේදනාව නිසා කිවිසුම් කිහිපයක් මුදා හැරීමෙන් පසු ඔහු මට පහර දීමට පටන් ගනී. නිදහස් අදහස් ප්‍රකාශය යනු වාචාලකම හෝ වෙනත් කෙනකුගේ ආගමට ගැරහීම හෝ කුණුහරුප කීම හෝ නොවේ. නිදහස් අදහස් යන්න අර්ථ නිරූපණය කරන්නේ තම දැනුම පමණකි.

ආසියාතික නායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජිනීවා මානව හිමිකම් කොමිසම, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනාදියට බිය වෙති. ඒවාට විරුද්ධව කට අරින්නේ ඉතා කලාතුරකින් පහළ වන ප්‍රගතිශීලී නායකයෙක් පමණි. බටහිරට ගැති නොවීම පිළිබඳ ක්‍රෙඩිට් එක ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට හිමිව ඇත. ඒ සමඟම මෙනෙහි කළ යුතු තව කාරණයක් තිබේ. විවිධ විහාරස්ථානවල හටගන්නා ඇතැම් සිදුවීම් රූපවාහිනී නාළිකා සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කර බුදු දහමට අපහාස කිරීමේ ව්‍යාපාරයක් මේ දිනවල පවතී. ඒ ගැන ද අපි සිහියෙන් සිටිය යුත්තෙමු.

Comments