එ.ජා.ප. මහලේකම් මේක්අප් පිටින්ම දුවයි | සිළුමිණ

එ.ජා.ප. මහලේකම් මේක්අප් පිටින්ම දුවයි

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වුයේ ආණ්ඩු පක්ෂය දෙසටය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ රැස්වීම දෙස ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විරුද්ධ පක්ෂයේද වැඩි අවධානයක් යොමු වී තිබුණි.

ජනපති රනිල්ගේ ඉතිහාස පාඩම

මෙරට සමාජය යළිත් මානවම්ම රජතුමා ගැන කතා කරන්නට වූයේ ජනපති රනිල් වික්‍රමසිංහ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්ට ඉගැන්වූ ඉතිහාස පාඩමත් සමඟය. ජනපති රනිල් මෙවර මානවම්ම රජු ගැන කීවේ මුලතිව් කුරුන්දි විහාරයට අයත් පුරාවිද්‍යා ඉඩම් ගැන ඇතිවූ කතා බහේදී ය. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු මතු කළ ඉඩම් ගැටලුවත් සමඟ මේ කාරණය ඇදී ආවේය. පොත්තුක නම් දෙමළ ඇමැතියෙකු ගැන ද ජනපති කතා කළේය.

ජනපති හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අතර ඇතිවූ කතා බහ මාධ්‍ය ඔස්සේ පැතිර යද්දී දේශපාලන කරළියේ ද එය මාතෘකාවක් වූවේ නිතැතිනි. ඉකුත් සතියේ බදාදා ජනපති මුණ ගැසුණු මැති ඇම­ැතිවරු ද මේ ගැන විමසන්නට වූහ.

“අපි මුලතිව් කුරුන්දි විහාරය වගේම ත්‍රිකුණාමලේ තිරියාය විහාරයත් සංරක්ෂණය කරනවා. නමුත් මෙතන ප්‍රශ්නය මේ තැන් දෙකේම අක්කර 5000 ක් පුරාවිද්‍යාවට අයිතියි කියන එකයි. මේ කියන ප්‍රමාණයෙන් වැඩි කොටසක් අයිති වන සංරක්ෂණයට වගේම වනජීවියට.” ජනපති පැහැදිලි කළේ එලෙසිනි.

ප්‍රශ්නය මතු වූ හැටි වජිර කියයි

“මේ ප්‍රශ්නය ඇති වුණේ හිටපු ජනාධිපතිතුමා පත් කරපු පුරාවිද්‍යා කාර්ය සාධක බළකාය නිසයි. ඔවුන් තමන්ට හිතෙන හිතෙන තැන මායිම් ගල් හිටවලා ඒවා පුරාවිද්‍යාව මඟින් කැණිම් කළ යුතුයි කිව්වා.” මන්ත්‍රී වජිර ද කතාවට එක්වූවේය.

“දෙමළ මන්ත්‍රීවරු කියන්නේ පුරාවිද්‍යාවට අයිති නැති ඉඩම් දෙමළ ජනතාවට වගා කරන්න දෙන්න කියලා. මොකද ඒ පළාතේ මිනිස්සු කාලයක් තිස්සේ මේ ඉඩම්වල වගා කරපු අය. රජයේ ඉඩම් ටික පුරාවිද්‍යාවෙන් කියලා අල්ල ගත්තම මිනිස්සු වගා කරන්නේ කොහෙද?” මහාචාර්ය ආශු ද කතාවට එකතු විය.

“අක්කර 5000 ක භූමියක් ඉල්ලන්නේ ඇයි කියලා හොයලා බලන්න මම කමිටුවක් පත් කරනවා. මොකද සීගිරිය හා මහා විහාරයවත් මෙච්චර ප්‍රමාණයක් ඉල්ලන්නේ නෑ.” ජනපති යළි කතා කළේය.

“පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වීම වගේම පුරාවිද්‍යා ස්මාරක ඇති තැන් ජනතාවට බෙදා දෙනවා කියන කාරණයටත් තමයි විරෝධයක් මතු කරලා තියෙන්නේ.” මන්ත්‍රී මධූර කීවේය.

“එතුමා අස්වුණේ ඇයි කියලා මම දන්නේ නෑ. හැබැයි මම ප්‍රශ්න කළේ කැබිනට් තීන්දු හා රජය ගන්නා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළේ ඇයි කියලා විතරයි.” ජනපති දුන්නේ එවන් පිළිතුරකි.

මානවම්ම රජතුමා හා පොත්තුක ඇමැති

“මානවම්ම රජතුමා ගැනයි. පොත්තුක කියන ඇමැති ගැනයි මහාවිහාරය ගැනයි ආයෙත් කතා බහක් ඇති වෙලා.” ඇමැති ප්‍රසන්න රණතුංග ද කතාවට එක්වූවේ සිනාසෙමිනි.

කට කොනකට සිනාවක් නගාගත් ජනපති රනිල් ඊට ඉතිහාස කතාවකින් පිළිතුරු දෙන්නට පටන් ගත්තේය.

“මානවම්ම කියන්නේ දෙවන කාශ්‍යප රජ්ජුරුවන්ගේ පුතෙක්. එදා අනුරාධපුර රාජ්‍යයේ පැවැති අවුල් සහගත තත්ත්වය නිසා මානවම්ම කුමාරයට ඉන්දියාවේ පල්ලව රාජ්‍යයට පලා යන්න සිද්ධ වෙනවා. කාලෙකට පස්සේ පල්ලව රාජ්‍ය හා චාලුක්‍ය යන දෙරට අතර යුද්ධයක් ඇති වුණා. මානවම්ම දක්ෂ රණකාමියෙක් නිසා පල්ලව රාජ්‍යයේ රජු වූ නරසිංහ වර්මන් ගේ සේනාවේ සෙන්පති බවට පත් වෙලා මේ යුද්ධයේදී පල්ලව රජුගේ ජයග්‍රහණය තහවුරු කරනවා. පල්ලව රාජ්‍ය පළවෙනි ද්‍රවිඩ රාජ්‍ය බවට පත් වෙන්නේ මේ යුද්ධයෙන් පසුවයි.

ජනපතිගේ පාඩමට ඇමැතිවරුන්ගේ ඇස් උඩයයි

යුද්දෙන් පස්සේ ඔහු ඉන්දියාවෙන් විශාල සේනාවක් අරගෙන ලංකාවට එනවා ඔහුට හිමි රාජ්‍යයත්වය ගන්න. ඒ කාලේ ලංකාව පාලනය කළ දාඨෝප තිස්ස රුහුණට පලාගියත් නරසිංහ වර්මන් රජු අසනීපවීම නිසා ඉන්දියාවේ සේනාව යළි පිටත්ව යනවා. ඒ නිසා ඔහුට යුද්ධය කරගන්න බැරුව නැවත ඉන්දියාවට යනවා. පල්ලව රජවරු දෙදෙනෙකු යටතේ සේවය කරන මානවම්ම යළිත් ලංකාවට පැමිණෙන විට දෙමළ අංගම්පොඩි සේනාවේ නායකයන් තමයි බලය අල්ලගෙන හිටියේ. රූකඩ රජෙකු ලෙස හත්ථදාඨ හිටියා.

ඒ කාලයේ රජු වෙනුවෙන් සටන් කළ ඉන්දියානු සේනා දෙකක් තිබුණා. එයින් එක් සේනාධිපතියෙක් තමයි පොත්තුක කියන්නේ. නමුත් මානවම්මගේ සේනාවට මුහුණ දෙන්න බැරුව ඔහු පලා යනවා. ලම්බකර්ණ රාජවංශය පටන් ගන්නේ මානවම්මගේ රාජ්‍යයත්වයෙන් පසුවයි. ඒ රාජවංශය දිගටම යනවා. මේ රාජවංශය අවසන් වන්නේ පස්වන මිහිඳු රජතුමාගේ රාජ්‍යත්වයත් සමඟයි. ඔහු බීලා බීලා අසිහියෙන් හිටියේ. අන්තිමේදී ඉන්දියාවෙන් ගෙනවිත් සිටි කුලී හේවායන්ට පවා පඩි ගෙවා ගන්න මෙයාට සල්ලි තිබුණේ නෑ. එතනින් අනුරාධපුර රාජධානිය අවසන් වුණා.” ජනපති කළ දීර්ඝ විග්‍රහය මැති ඇමැතිවරු අසා සිටියේ ඇස් ඉහළට දල්වාගෙනය.

දිස්ත්‍රික් නායකයන්ගේ හමුව

ඉකුත් සඳුදා සුපුරුදු පරිදි කැබිනට් හමුව පැවැති අතර ඉන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන්ගේ හමුව පැවැත්විණි. ඊට කිහිප දෙනෙකු පැමිණ නොසිටි අතර තවත් පිරිසක් විදේශගතව සිටීම නිසා පැමිණිය නොහැකි බව දැනුම් දී තිබුණි. එදින මාධ්‍ය මඟින් දිස්ත්‍රික් නායකයන් නොපැමිණිම ගැන ප්‍රචාරයක් ලබාදීමත් සමඟ ඒ ගැන ජනපතිගෙන් කිහිප දෙනෙකු විමසා සිටියේ දුරකතනයෙනි.

“මගෙන් හමුවෙන්න අවශ්‍ය බව කිව්වා. මම වෙලාව දුන්නා. පිරිසක් ආවා. පිරිසක් ආවේ නෑ. තවත් කොටසක් එන්න විදියක් නැති බව කිව්වා. එතනින් එහාට මම දන්නේ නෑ.” විමසූවන්ට ජනපති දුන් පිළිතුර එය විය.

ටෙලිකොම් ගැන ආරක්ෂක ප්‍රධානීන් ජනපතිට කීවේ මොනවාද?

අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගියේ ආරක්ෂක කවුන්සිලය මුණ ගැසී සාකච්ඡා කිරීමටය. ඉදිරි ආරක්ෂක වැඩසටහන් ගැන සාකච්ඡා කිරීමෙන් පසු ජනපති ආරක්ෂක ප්‍රධානීන්ගෙන් විමසා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් ටෙලිකොම් ආයතනය ගැන ඉදිරිපත් කර ඇති වාර්තාවක් පිළිබඳවය.

“ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාවක් දීලා තියෙනවා ටෙලිකොම් ආයතනයේ 49% ක කොටස් පැවරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා. එහෙම තොරතුරු ඔයාලට ලැබිලා තියෙනවාද?” ජනපති සෘජුව විමසා සිටියේ ආරක්ෂක ප්‍රධානීන්ගෙනි.

ජනපති ප්‍රසන්නට දුන්නු උපදෙස

“අපිට නම් එහෙම තොරතුරක් ලැබිලා නෑ. ලංකාවේ දත්ත තොරතුරු දැන් ටෙලිකොම් එකේ නෑ. ඒවා තියෙන්නේ වෙන වෙන තැන්වල.” ආරක්ෂක ප්‍රධානීන් සියල්ල එක හඬින් ජනපතිට කීවේ එවැන්නකි.

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව පැවැති අතර ඊට පෙර ජනපති මුණ ගැසීමට පැමිණි ආණ්ඩු පක්ෂ සංවිධායක ප්‍රසන්න රණතුංගට ජනපති දන්වා සිටියේ පාර්ලිමේන්තු කමිටුවක් විසින් අසත්‍ය වාර්තාවක් සභාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවර මොනවාද යන්න ගැන සොයා බලන ලෙසයි.

එ.ජා.ප.යේ නව ව්‍යවස්ථාව

එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථාව ගැන කළමනාකරණ මණ්ඩලයේ දී සාකච්ඡා කළ අතර මහලේකම් රංගේ බණ්ඩාර විසින් ඔහුගේ ජපන් සංචාරයේ විස්තර ද මේ අතරවාරයේ ජනපති හමුවේ තැබීමට වගබලා ගත්තේය. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරටට යැවීමට අදාළ ව්‍යාපෘතියක් ගැන ද ඔහු ජනපති දැනුම්වත් ක‍ළේය.

මහලේකම් රංගේ විසින් ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දළ ආකෘතියක් ඉදිරිපත් කළ අතර ජනපතිගේ යුරෝපා සංචාරයෙන් පසු පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ අවසන් කිරීමට තීන්දු කළේය.

අලුත් ව්‍යවස්ථාවෙන් සාම්ප්‍රදායික තනතුරු වෙනුවට අලුත් පරම්පරාවට පක්ෂය තුළට පැමිණීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලෙස ජනපති රනිල් පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන වෙත උපදෙස් දෙනු ලැබීය.

ජනපති රනිල් බදාදා පෙරවරුවේ පාසල් අධ්‍යාපනයේ කළයුතු වෙනස්කම් ගැන වාර්තාවක් සකස් කිරීමට පත් කළ විශේෂඥ කමිටුව මුණ ගැසිනි. පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් අධ්‍යාපනය කළ යුත්තේ කෙසේදැයි නිර්දේශ ඉදිරිපත් කරන්නැයි ඔහු විද්වත් කමිටුව වෙත උපදෙස් දුන්නේය.

බැසිල් රනිල්ට දුන් සහතිකය

එදින සවස ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ හමුවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එක්ව සිටියේය. අගමැතිද ඇතුළුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ 8 ක නායකයන් මීට එක්ව සිටියහ.

එහිදි පක්ෂ නායකයන්ට පවතින ගැටලු ගැන මෙන්ම පැහැදිලි කරගත යුතු කාරණා රාශියක් ද පැහැදිලි කර ගනු ලැබීමට අවස්ථාව උදාවිය. එහිදි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කළේ රට ගොඩනඟන වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ඒ ආකාරයටම ඉදිරියටත් හිමිවන බවය.

එසේම පාර්ලිමේන්තුව මෙම මස අවසන් සතියේ කැඳවීමට ද තීන්දු කෙරුණු අතර එහිදී ණය ප්‍රතිව්‍යුගත කිරීම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියම කෙරිණි. බ්‍රහස්පතින්දා සුපුරුදු පරිදි මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි ජනපති රනිල් වික්‍රමසිංහ රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදි. එදින සවස හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ජනපති ගියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 ක් ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ආරම්භක අවස්ථාවට එක්වීමටය.

සෙනසුරාදා අලුයම ඔහු ඇතුළු කණ්ඩායම ලන්ඩනය හා ප්‍රංශය බලා පිටත්ව ගියේ සාකච්ඡා රැසකට එක්වීම උදෙසාය. ප්‍රංශ ජනපතිගේ ආරාධනයකට අනුව ඔහු ප්‍රංශය බලා පිටත්ව ගියේය.

දිනේෂ් කිලිනොච්චියට ගත් විශේෂ ඇමතුම

අගමැති දිනේෂ්, බ්‍රහස්පතින්දා(15) උතුරේ කිලිනොච්චියට විශේෂ දුරකතන ඇමතුමක් ගත්තේය. ඒ, හරියටම 90 විය සපුරන මෙරට ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයෙකුට උපන්දින සුබ පැතුම් එක්කිරීම උදෙසාය. වී. ආනන්දසංගරී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයාට කතා කර සුබ පැතූ අගමැතිවරයා..

"මම දිනේෂ් ..." යැයි කිය.

"දිනේෂ්, අපේ අගමැතිතුමා කොච්චර දෙයක්ද " යනුවෙන් කියමින් කතාබහ ආරම්භ වූ අතර එය දීර්ඝ වෙලාවක් ඇදී ගියේය.

"ඔබතුමා, ජනාධිපතිතුමා එක්වී රටේ ස්ථාවරභාවයක් ඇතිකිරීම ගැන දෙමළ ජනතාවගේ නායකයෙක් හැටියට මම සතුටුයි"

"ඔබතුමාගේ අදහසුත් අපිට හරි වටිනවා" දිනේෂ් කිවේය.

යොවුන් පාර්ලිමේන්තුවට රනිල් වෙනුවට සමන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ආරම්භ වූ මේ රටේ යොවුන් පාර්ලිමේන්තුව දැන් ක්‍රියාත්මක වන්නේ පස්වන වතාවටය. පස්වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය මෙම 17, 18 දිනවල පැවැත්වීමට නියමිත විය.

ඇමැති රොෂාන් රණසිංහටත් තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්නටත් අවශ්‍ය වූයේ මෙම සැසිවාරය සඳහා ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි කරවා ගන්නට ය.

ඒ සඳහා ආරාධනය සතුටින් භාරගත් ජනාධිපතිවරයා මෙවර සැසිවාරය ජනාධිපති කාර්යාලය යටතේ වූ පැරණි පාර්ලිමේන්තු සභා ගැබේ පවත්වන්නට යෝජනා කළේ ඊට තවත් ගරු ගෞරවනීය බවක් එක්කර දෙන්නටය. ජනාධිපති සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වන්නට භාර ගත්තේය

තත්ත්වය එසේ තිබියදී ජනාධිපතිවරයාට හදිසියේම එම දිනවලම ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරක් සඳහා ප්‍රංශයට යන්නට සිදුවිය. ඒ අතර බ්‍රිතාන්‍යයටද යා යුතු විය.

"මට මේ ගමන සෙනසුරාදා උදේ යන්නම වෙනවා. පාර්ලිමේන්තුව අමතන්න අපි භාර දෙමු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට. එතුමා තමයි තරුණ සේවා සභාවේ හොඳම කාලේ එතන පරිපාලනය භාරව හිටියේ. ." ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙවර යොවුන් පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අමතන්නට ජනාධිපති ලේකම්වරයාට සිදුවූයේ ඒ අනුවය.

නැටුමකට ප්‍රසන්නට ආරාධනාවක්

පසුගිය සෙනසුරාදා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මහා සංගීත ප්‍රසංගයක් පැවැත්විණි. ඇමැති ප්‍රසන්න රණතුංගද එය නැරඹීමට ගාල්ල සමනල ක්‍රීඩාංගණයට ගියේ කිසිවකුටත් නොදන්වමිනි. “ඩැඩී” සංගීත කණ්ඩායමේ රිද්මයට රූකාන්ත, රයිනි චාරුකා ඇතුළු දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවෝ රැසක්ම ගීතවත් විය.විසිදහසකට අධික පිරිසක් සංගීත ප්‍රසංගය නැරඹිමට පැමිණ සිටියහ.

“සර්.. මොකද මේ පැත්තේ”

ඇමැති ප්‍රසන්න හඳුනාගත් පුද්ගලකු විමසීය.

“සංගීතයක් බලන්න ලැබුණු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා.” ඇමැති ප්‍රසන්නද කීය.

“සාමාන්‍යයෙන් ඔබතුමන්ල වගේ අය මිනිස්සු අතර තෙරපෙන්න මේ වගේ තැන්වලට එන්නේ නෑනේ” තවකෙකු කීය.

“අනිත් අය ගැනනම් මම දන්නේ නෑ මල්ලි. මමනම් මෙහෙමයි. චාන්ස් එකක් ලැබුනොත් සංගීතයක්, චිත්‍රපටියක් මිස් කරන්නේ නෑ. අනිත් එක ඔයාලගේ දාඩිය සුවඳ මට හොඳට හුරුයි.”

“සර් නටන්න එන්නකො” තරුණයකු ඇමැතිවරයාට ආරාධනා කළේය.

“අපොයි මල්ලි, මට කරන්න අමාරුම දේ තමයි නටන එකයි, සිංදු කියන එකයි. ඔයාල නටන්න. මම අත්පුඩියක් ගහල සපෝට් එකක් දෙන්නම්” ඇමැතිවරයා කීවේ සිනාසෙමිනි.

“බඩගිනියි. මොනවහරි කාලම යමු” සංගීතය නරඹා නැවත කොළඹට ඒමට පිටත් වෙද්දී ඇමැතිවරයා කීය.

“සර්.. කොටුව ඇතුළේ හෝටලයකට අල්ලන්නද?” රථයේ රිය­ැදුරු විමසීය.

“පිස්සුද බං.. ඔන්න ඔය පෙට්ටි කඩේකට අල්ලපං. ආප්පයක් කාල කහට එකක් බීල යමු” ඇම­ැතිවරයා කීවේය.

රංගේට මාරුවෙයි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ස්වර්ණවාහිනියට ගියේය. ඒ ස්වර්ණවාහිනියේ “ඉර හරි කෙළින්” වැඩසටහනට සහභාගී විම සඳහායි. ඒ පසුගිය 12 වැනි සඳුදාය.

“පොඩ්ඩක් පරක්කු වුණා. මේකප් එකට ගිහින් කථා කරමු.” රංගේ බණ්ඩාර ස්වර්ණවාහිනියේ ආලින්දයේ සිටි සද්ධාට කීවේය. උඩබිම බැලු සද්ධා රංගේ සමඟ මේකප් කාමරයට ගියේය.

මේකප් කරන අතරතුර සද්ධා රංගේ ගේ කණට කර මෙසේ ඇසුවේය.

“ඔබතුමා වැඩසටහනට ද ආවේ. හැබැයි මට නම් කිව්වේ වෙන කෙනෙක් කියලා එන්නේ.” සද්ධා කීවේය.

“එහෙම කොහොමද මටනේ එන්න කි‍ව්වේ. ඒකයි මම ආවේ.” රංගේ කීවේය.

“මේක ස්වර්ණවාහිනිය....” සද්ධා නිකමට මෙන් කීවේය.

“අප්පටසිරි.. මට එන්න කිව්වේ හිරු එකටනේ...” රංගේ කීවේය. 

භාගෙට කර තිබු මේකප් පිටින්ම වාහනයට රංගේ ගොඩවුයේ තමන්ව ස්වර්ණවාහිනියට රැගෙන ආ රියැදුරුගේ හා ආරක්ෂකයන්ගේ පතුරු අරිමිනි.

මුල්ගලට නම දාගන්න යකා නැටුවේ කවුද?

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගියේ ගම්පහ ඉතා ඓතිහාසික ගොඩනැඟිල්ලකය. එහි මහල් නවයකින් යුතු නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට ආරම්භ කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේයි. ඒ සඳහා මූලිකත්වය ගත්තේ එවකට ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස සිටි බැසිල් රාජපක්ෂ හා බස්නාහිර පළාත් මහ ඇමැතිව සිටි ප්‍රසන්න රණතුංගය.

මේ වන විට ඉදිකිරීම් අවසන්ව ඇති මේ ගොඩනැඟිල්ල “ලක් සියනෑ මන්දිරය” ලෙස නම් කර ඇත්තේ ද ඇමැති ප්‍රසන්නය. ඇමැතිවරයා මේ ගොඩනැඟිල්ල විවෘත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනය කළේය. ඒ අනුව එය විවෘත කිරීමට දින යොදා ගැණුනේ මේ මස අන්තිම දිනයකි.

ඇමැති ප්‍රසන්න ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට තවත් උපදෙසක් දුන්නේය. ඒ සමරු ඵලකයේ හා ආරාධනා පත්‍රයේ අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ නම් පමණක් දමන ලෙසය. තමා ද ඇතුළු ව වෙනත් කිසිදු ඇමැතිවරයෙකුගේ නමක් ඊට ඇතුළත් නොකරන ලෙස ද ඔහු උපදෙස් දුන්නේය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයෙකු පසුගිය බදාදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ගොස් යකා නටා ඇති බව වාර්තා වෙයි. ඒ සමරු ඵලකයට නම දමා ගැනීම සඳහාය.

හර්ෂ, එරාන්, කබීර් හමුවක්

පසුගියදා විපක්ෂ නායක කාර්යාලයේ දී හර්ෂ, එරාන් සහ කබීර් එකට හමු වුහ.

"ජනාධිපතිවරයා මේ යන්නේ දේශපාලන වශයෙන් සියදිවි නසාගන්න ගමනක්.පොහොට්ටුවත් එක ගිහිල්ලා මේ රට ගොඩනඟන්න බැහැ"

කබීර් කීවේය.

"ඔව් කරන්න තියෙන එකම දේ තමා වහාම මැතිවරණයක් තියලා ජනමතය විමසන එක. ඊට පස්සේ මේ රට කරගෙන යන්න පුළුවන්"හර්ෂ කීවේය.

"ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා,ජනතාවගේ නිදහසට මුඛවාඩම් බැඳලා රටක් ඉස්සරහට ගෙනි යන්නේ කොහොමද?" ඒ එරාන් ය.

ආණ්ඩුවට එරෙහිව සජබෙන් නඩු හතළිහක්

පසුගිය වකවානුව තුළ ආණ්ඩුවට එරෙහිව සහ ආණ්ඩුවේ කටයුතු වලට එරෙහිව සමගි ජන බලවේගය හතළිහකට වඩා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.

"රටේ ජනතාවට ප්‍රශ්න මතු වෙන හැම වෙලාවකම ඒ තත්ත්වයෙන් ජනතාව බේරගන්න සමගි ජන බලවේගය ඉස්සරහට ආවා. ජනතාවගේ පරමාධිපත්‍ය අයිති එක්ක සෙල්ලම් කරද්දි අනෙක් හැමෝම නිහඬව ඉන්නකොට සමගි ජන බලවේගය තමයි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත්තේ." මුජිබර් එහෙම කීවේය.

නලීන් බණ්ඩාරගේ හින්ට් එක කාටද?

"සමහර කයියෝ ස්ටේජ් වල දෙදරන්න කෑ ගැහුවට එයාලගේ තියෙන්නෙ සද්දෙයි ගඳයි විතරයි. හැබැයි අපි සද්දෙ වෙනුවට වැඩ පෙන්නල තියෙනවා."

නලින් බණ්ඩාර සිනාසෙමින් කීවේය.

අමරකීර්ති දෙවරක් ඝාතනය කළ හැටි අජිත් රාජපක්ෂ හෙළි කරයි

විකාශන අධිකාරී පනත ගැන මේ දිනවල පවතින සංවාදය පාර්ලිමේන්තුවේද විවිධ ස්ථානවල පැවැත්වේ.

“විකාශන අධිකාරී පනතෙන් මාධ්‍ය නිදහස නැති වෙනවා කියලා විපක්ෂය මහ ලොකුවට ප්‍රචාරය ගෙනියනවා” යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ විසින් පෙන්වා දෙන ලදී.

ඉන්පසුව අදහස් දැක්වු අජිත් රාජපක්ෂ ඉතා සංවේදී කාරණයක් හෙළි කළේ සියලුම දෙනා අවධානය 2022 මැයි 09 වැනිදා දිනට මතකය සිහිපත් කරමිණි.

“මේ පාර්ලිමේන්තුවේ අහිංසකම මන්ත්‍රී අපේ අමරකීර්ති අතුකෝරාළ සහෝදර මන්ත්‍රීතුමා මැයි 09 වැනිදා එක පාරක් නොවෙයි දෙපාරක්ම ඝාතනය කළා” යනුවෙන් නියෝජ්‍ය කථානායකවරයා හැගීම්බරව පැවසුවේය.

“ඒ කතාවේ තේරුම මොකක්ද යනුවෙන් කුතුහලයෙන් විමසා සිටියේ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

“එදා හවස නිට්ටඹුවේදී මහ තිරිසන් විදියට අමරකීර්ති මන්ත්‍රීතුමා මරා දැමීමට පස්සේ සමහර මාධ්‍ය Breaking News ගැහුවේ අමරකීර්ති මන්ත්‍රීතුමා තමාගේම පිස්තෝලයෙන් වෙඩි තියාගෙන සියදිවි නසාගෙන ඇති බව කියලා.

මේක මොනතරම් අසත්‍ය ප්‍රවෘත්තියක්ද? මේ වගේ අතේ පැළවෙන බොරු ප්‍රචාරය කරන්න නම් නීති ගෙන ආ යුතුමයි.

ගාල්ලේ තනි අලියා කවුද?

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාට පසුගිය සති අන්තය වඩාත් කාර්ය බහුල සති අන්තයක් විය.

පසුගිය සෙනසුරාදා උදෑසනම වජිර ගාල්ල දිස්ත්‍රික්කයේ තමා නියෝජනය කරන ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ නව ආසන බලමණ්ඩලය පිහිටුවීමේ රැස්වීමට සහභාගී වූයේය.

“ගාල්ලේ අපේ තනි අලියට, ජයවේවා”

“අපේ නායකයාට, ජය වේවා”

රට බේරගන්න පෙරට ආ නායකයාට ජය වේවා” යැයි රැස්වීමේ සිටි පිරිස් මහා හයියෙන් ප්‍රකාශ කරන්නට විය.

වජිර පැමිණීමෙන් පසු ආගමික වතාවත් පවත්වා රැස්වීම ආරම්භ කිරීමෙන් පසු නව බලමණ්ඩලය පිහිටුවීම සිදු කෙරිණි.

බල මණ්ඩලය පිහිටුවීමෙන් අනතුරුව වජිර රැස්ව සිටි තම ආදරණීය ගාලු ජනතාව ආමන්ත්‍රණය කරන්නට විය.

මෙම කතාව රටේ ඉතිහාසය ගැනත්, රටක් වශයෙන් අපිට වැරදුණු තැන් ගැනත් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පිළිබඳවත් කෙරුණු ඉතා හරවත් දේශනයක් වූ හෙයින් රැස්වීමේ සිටි පිරිස් කිසිඳු හාවක් හූවක් නැතිව වජිරගේ කතාවට සවන් දුන්හ.

මනාප ක්‍රමයේ නිර්මාතෘ වජිර හෙළි කරයි

1978 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපති වෙලා 1978දී එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කළා. එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට ඇතුළත් කළා එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙක් ජනාධිපති වන්නේද ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වන්නේය කියන සංශෝධනය.

1987දී පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැණිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා. එහි ප්‍රතිඵලයක් හැටියට අපට බලය අහිමි වුණා. සමහරු නොදැන කියනවා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මනාප ක්‍රමය හඳුන්වලා දුන්නා කියලා. එය සම්පූර්ණ වැරදියි. මනාප ක්‍රමය හඳුන්වලා දුන්නේ ආර්. ප්‍රේමදාස මැතිතුමායි.

රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා බෙදුණු, වැනසුණු ජාතිය නැවත නඟා සිටුවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.

දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා 2048 වෙනකම් ජාතික ප්‍රතිපත්තියක යමු කියලා. එහෙම කළොත් 2048 වෙනකොට ශ්‍රී ලංකාවට පුළුවන් ආසියාවේ බලවත් රටක් හැටියට නැඟිටින්න.

Comments