ගෝඨාභය ගැන වජිරගෙන් අනාවැකියක් | සිළුමිණ

ගෝඨාභය ගැන වජිරගෙන් අනාවැකියක්

පාර්ලිමේන්තුව පසුගිය සතියේ රැස්වූ නිසා දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු වූයේ පාර්ලිමේන්තුව දෙසටයි.

සයකන් මන්ත්‍රණයක්

පසුගිය 07 වැනි බදාදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිවිසුම් දොරටුව අසල සයකන් මන්ත්‍රණයක් සිදුවිය. එම කතාබහ සිදුවුණේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, විරුද්ධ පක්ෂයේ ස්වාධීනව කටයුතු කරන අනුර ප්‍රියදර්ශන යාපා, සමගි ජන බලවේග‍ය සමඟ සහයෝගයෙන් කටයුතු කරන චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරුන් තිදෙනා අතරය. වජිර අබේවර්ධන දුටු චන්දිම වීරක්කොඩි ඒ දෙසට පැමිණෙමින් කතාවට මුල පිරුවේය. ඒ අවස්ථාවේදී අනුර ප්‍රියදර්ශන යාපා එහි නොවීය.

“ගාල්ලේ දැන් බරටම වැඩ වගේ නේද” යනුවෙන් චන්දිම වීරක්කොඩි කතාවට මුල පිරුවේය.

“ගාල්ලේ විතරක් නෙවේ. තව වැඩ තියෙනවා” යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රතිචාර දැක්වීය.

ශ්‍රී ලංකාවේ අකාෂි කවුද?

“ඔබතුමා ඒ දවස්වල ජපානයේ විශේෂ නියෝජිත යෂුසි අකාෂි වගේ. ඒ තරමටම වැඩ” යනුවෙන් චන්දිම වීරක්කොඩි පැවසීය.

“ 2015 දී යහපාලන ආණ්ඩුව වෙලාවේදී මට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා තනතුරක් ලබා දීලා තිබුණා. අගමැතිතුමාගේ විශේෂ නියෝජිත කියලා” වජිර අතීතය සිහිපත් කළේය. මෙම කතාබහ සිදුවන විට එම ස්ථානයට පැමිණියේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය.

“ගාල්ලේ කට්ටිය එකතුවෙලා වගේ නේද” අනුර ප්‍රියදර්ශන යාපා කතාවට එක්වූයේ එලෙසිනි. “මෙයා විපක්ෂයේ හිටියට ඇත්තටම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඉස්සරහට ඇම­ැතිකමක් ගත්තනම් හරි” යනුවෙන් චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේය.

“අනේ. අනේ මං ඉන්නේ මගේ පාඩුවේ” යනුවෙන් ප්‍රතිචාර දැක්වුයේ අනුර ප්‍රියදර්ශන යාපාය.

වජිර, විමල්ගේ පැත්ත ගනී

මෙහිදී මහ බැංකු පනත හා ප්‍රති ත්‍රස්ත පනත් ගැනද කතාබහ විය.

“මහ බැංකු පනත භයානකයි.ඒකෙදී මං ඉන්නේ විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ පැත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අහිතකර වගන්ති ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒක සම්මත වුණානම් ශ්‍රී ලංකා මහ බැංකුවේ ශාඛා සමහර රටවල්වල දානවා. සමහර රටවල් බලන්නේ කොහොම හරි අපේ රටට බලපෑම් කරන්න. ඒකට ඉඩ දෙන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිම විදේශ රටකට යටත් වුණේ නැහැ. ඔහු යටත් වුණේ ශ්‍රී ලංකාවේ ජනතාවට පමණයි. ඔහු එදා මේ රටේ ජනතාව වෙනුවෙන් ගත්තු තීරණය නිසා තව අවුරුදු 4ක් 5ක් යනකොට මේ රටේ මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අතවනන එක ස්ථීරයි” යනුවෙන් වජිර අබේවර්ධන පැවසීය.

“ඉතිහාසය විසින් තමයි කවුද නිවැරදි කියලා හැමදාම තීරණය කරන්නේ. මේ රටේ ජනතාවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යටත්වීම ගැන තව අවුරුදු 10කින් රටේ ජනතාව කුමක්ද කියන්නේ කියලා බලාගන්න පුළුවන්” යනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

ජනපති රනිල් සීතල නුවරඑළිය උණුසුම් කරයි

ජනපති රනිල් වික්‍රමසිංහ ගෙවුණු සති අන්තයේ සිටියේ නුවරඑළියේ ය. දේශපාලන දෙබරයට ඔහු ගලක් විසි කළේ එහි සිටය. ජාතික නීතිඥ සමුළුව අමතමින් ජනපති කීවේ මේ මොහොතේ කිසිදු දේශපාලන පක්ෂයකට 50% ක ඡන්ද ප්‍රතිශතයක් ගත නොහැකි බවය. ජනපති නුවරඑළියෙන් පිටත් වන්නටත් පෙරම නීතිඥයින් මේ ගැන විමසන්නට විය. “මැතිවරණයෙන් 50% ක් ගන්න බෑ කියපු කතාවට විපක්ෂය කලබල වෙලා. එයාලා ඡන්දය තියන්න කියලා අභියෝග කරනවා.” නීතිඥ දිනේෂ් විදානපතිරණ ජනපතිගේ කනේ තැබු‍වේ එවන් පුවතකි.

“ආණ්ඩු පක්ෂය මේ කාරණය පිළිගත්තත් විපක්ෂය මේ කාරණය පිළිගන්න කැමැති නෑ.” අසල සිටි නීතිඥයෙකු කීවේය.

“1977 න් පස්සේ මේ වෙනකම් පාර්ලිමේන්තු ඡන්දයේදී කාටවත් 51% පන්නලා යන්න බැරි වුණා. ජේ.ආර් වත් හිතුවේ නෑ හයෙන් පහක් ගන්න පුළුවන් වේවි කියලා. සාම්ප්‍රදායිකව හිතලා සාම්ප්‍රදායිකව වැඩ කරලා කාටවත් දිනනන්න බෑ.” ජනපති කීවේ තරුණ නීතිඥයින්ට උපදේශයක් ද දෙමිනි.

නීතිඥ සමුළුවෙන් පසු ආර්ථික සමාලෝචනයක් ද පැවැති අතර මේ සියල්ල අවසන් කොට ඉරුදින සවස ජනපති කොළඹ පැමිණියේ රාජකාරී ගොඩ ගැසී තිබුණු බැවිනි. සඳුදා ජනාධිපති කාර්යාලය වෙත ගිය ජනපති රනිල්ට එදින රාජකාරී බහුල දිනයක් වූවේය. මහාධිකරණය සඳහා විනිසුරුවරුන් හතර දෙනකු පත් කළේ ඒ අතරතුරදීය.

රට නැගිට්ටවපු හැටි විදෙස් රටවල අවධානයට

එදින දහවල් ජනපති රනිල් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක ඇතුළු මාධ්‍ය නිලධාරීන් පිරිසක් මුණ ගැසුණු අතර ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ද ඊට සහභාගී වී සිටියේය.

“ෂැන්ග්‍රිලා ආරක්ෂක සමුළුවේදි යුක්රේන ආරක්ෂක ඇම­ැතිත් මුණ ගැහුණු පින්තූරයක් මම දැක්කා. මොනවද එයා කියන්නේ.” ඒ පැනය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගෙනි.

“සමුළුවේදී නම් යුක්රේනය ගැන කතා කළා. අපි දෙන්නා නම් කතා කළේ අපේ රටේ විස්තර ගැන. කොහොම වුණත් සමුළුවට ආපු බොහෝ දෙනෙක් මාස කිහිපයකින් රට නැගිට්ටවපු විදිහ ගැන තමයි කතා කළේ. එයාලා එය හුඟක් අගය කළා.” සාගල කීවේය. ජනපති මෙහිදි ආරක්ෂක සමුළුවේ තොරතුරු විමසූ අතර සාගල කීවේ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සාගර කලාපයේ රටවල් විසින්ම කළ යුතු බවට යෝජනාවක් තමන් ඉදිරිපත් කළ බවය.

හර්ෂට ලේකම්වරියක් හොයලා දෙන්න රනිල්ගෙන් යෝජනාවක්

ජනපති බදාදා පෙරවරුවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මුණ ගැසුණු අතර ස්වාභාවික ආපදාවන්හි දී කටයුතු කරන ආකාරය ගැන මෙහිදි කරුණු හුවමරු කරගනු ලැබීය. ඔවුන් හමුවීමෙන් අනතුරුව ජනපති රනිල් කෙළින්ම ගියේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙතය. ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ජනපතිව කැඳවා ගෙන ගියේ මහජන මුදල් කාරක සභාව වෙතය.

මුදල් සම්බන්ධ කාරක සභාපතිවරු මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර පාර්ලිමේන්තු ප්‍රධාන කාරක සභා කාමරයේදි මෙම හමුව පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මුදල් කාරක සභාව ද එකට ගමනක් යා යුතු බව පෙන්වා දුන් ජනපති රනිල් එම කාරක සභාවේ සභාපති ලෙස හර්ෂව පත් කරන බව කීවේ ආණ්ඩුවේ යෝජනාවක් ලෙසිනි.

ඇමරිකානු කොංග්‍රස් සභිකයෙකු වූ චාලි විල්සන් ගැන කතාවක් ජනපති කීවේ මුදල් කාරක සභාවේ මූලසුනේ සිටින අතරවාරයේය. චාලි විල්සන්ගේ කතාව අවසන් කළ ජනපති, හර්ෂ දෙස බලමින් චාලි විල්සන්ට වගේ හොඳ ලේකම්වරියක් හර්ෂටත් හොයලා දෙන්න ඕනේ යැයි කියද්දී සභාවම ගිගුම් දුන්නේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ සිනා හඬිනි.

මන්ත්‍රීවරු චාලි විල්සන් ගැන විමසද්දී ජනපති රනිල් එහි ඉතිහාස කතාව කීවේ එය කියවන ලෙස මන්ත්‍රීවරුන්ට පවසමිනි.

“චාලි විල්සන් කියන්නේ අ‍ෙමරිකානු කොංග්‍රස් සභිකයෙක්. එයා සෝවියට් ඇෆ්ගනිස්ථාන් යුද්ධය වෙලාවේ ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක්. විල්සන් ඇෆ්ගනිස්ථානයට යන්න යුද ගුවන් යානයක් ඒ කාලේ වෙන් කරලා තිබුණා. හැබැයි එයාට අමතරව එම ගුවන් යානයේ යන්න අවසර තිබුණේ එයාගේ බිරියට පමණයි.

හැබැයි මෙයා දවසක් එයාගේ ස්ටෙනෝග්‍රැපර්වත් එක්ක ගෙන ආවා, මේ ගුවන් යානයේ යන්න.

එතැනදි ගුවන් නියමුවා ඒකට විරෝධය පළ කළා. පස්සේ චාලි ඒ ගමන ගියේ නෑ. ටික දවසකට පස්සේ ගුවන් හමුදාවට ප්‍රහාරක යානා 100 ක් ගන්න අනුමැතිය ඉල්ලා කොංග්‍රසයට ඉල්ලීමක් ආවා. මේ වෙලාවේ චාලි යානා 100 ක් වෙනුවට දුන්නේ ගුවන් යානා 75 ක් ගන්න අවසරය පමණයි.” ජනපති අතීත කතාව කීවත් එය හර්ෂට ගැළපුවේ කෙසේදැයි කාටවත් සිතාගත නොහැකි විය.

පළාත් පාලන ඡන්දෙ ගැන අගමැති කියපු යෝජනාව කුමක්ද?

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී රැස්වූයේ විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භයේදීම පළාත් පාලන ඡන්දයට නාම යෝජනා දුන් රජයේ සේවකයන් නැවත සේවයේ පිහිටුවීමේ ප්‍රශ්න සහ සීමා නිර්ණය පිළිබඳ උණුසුම් කතාබහක් ඇතිවිය. ජගත් කුමාර මන්ත්‍රීවරයා කතාව ආරම්භ කරමින් පළාත් පාලන අංශයේ නිලධාරීන්ටද දැඩි චෝදනා එල්ල කළේය.

" රජයේ සේවක අපේක්ෂකයන්ගේ ප්‍රශ්නේ ගැන අපේ අමාත්‍යාංශය නියම පරිදි චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ, මැතිවරණ කොමිසමෙන් තමා අහන්න ඕනේ" පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

"ආණ්ඩුව ඉතිං ඡන්දේ තියන්නෙත් නෑනේ" ශ්‍රීලනිප ලේකම් දයාසිරි මන්ත්‍රීවරයා පවසද්දී "ඡන්දේ තියනවට කැමැති නිසා තමයි, අපිත් නාම යෝජනා දුන්නේ" අගමැති දිනේෂ් සිනාසෙමින් කිවේය.

"නාම යෝජනා කැන්සල් කරලා, මැතිවරණය අවලංගු කළා නම් මේ ප්‍රශ්න ඉවරයි" ලසන්ත අලගියවන්න කියා සිටියේය.

"පාර්ලිමේන්තුවට යෝජනාවක් ගේන්න" දිනේෂ් කිවේය.

"මේ උපදේශක කාරක සභාව ඒක අනුමත කළා කියලා කියමු. දැන් ඡන්දේ ඉල්ලන සන්ධානෙත් කැඩිලා තියෙන්නේ " අලගියවන්න නැවත සඳහන් කළේය.

මෙම රැස්වීමට විපක්ෂ නායකවරයා, ජගත් සමරවික්‍රම, සිවඥානම් ශ්‍රීධරන්, ඩී. බී. හේරත්, ගුණතිලක රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ඩි. සොයිසා, මංජුලා දිසානායක, ප්‍රේම්නාත් සී දොලවත්ත, චාල්ස් නිර්මලනාදන්, වරුණ ලියනගේ, සහන් ප්‍රදීප්, මධුර විතානගේ, සංජීව එදිරිමාන්න, එස්. වියාලේන්ද්‍රන්, ජගත් පුෂ්පකුමාර, අජිත් රාජපක්ෂ, කාදර් මස්තාන්, සුමිත් උඩුකුඹුර, ගෙවිඳු කුමාරතුංග, ගයන්ත කරුණාතිලක, ඒ. එල්. එම්. අතාවුල්ලා ආදී මන්ත්‍රීවරු රැසක් සහභාගී වෙමින් සිය ප්‍රශ්න ඉදිරිපත් කළහ. විපක්ෂ නායකවරයා පැමිණියේ රැස්වීම අතරතුරය. ඔහු පසුගිය වාර්තාවේ සටහන් බලා "මේකේ සමහර ඒවා නෑනේ, හරියට යූ. එන්. පී. වර්කින් කමිටි එක වගේ" "ආ ඒක මම දන්නේ නෑ, මම ඒකෙ හිටියේ නෑනේ" අගමැති දිනේෂ්, සිනාසෙමින් කිවේය.

මහින්ද සොයා ගෙන පැමිණි පොලොන්නරුවේ යකඩ ගැහැනිය

“සර් මට කියන්නේ පොලොන්නරුවේ යකඩ ගෑනි කියලා. මොකද මං බය නැහැ. එදා ඉඳලා මං ශ්‍රී ලංකා. සර් පොහොට්ටුව හැදුවට පස්සේ මං පොහොට්ටුවේ. මං එදත් අදත් හෙටත් සර්ගේ දේශපාලනය වෙනුවෙන් පෙනී ඉන්නවා” යනුවෙන් පොලොන්නරුවෙන් පැමිණි කාන්තාවක් තරමක් උස් හඩින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදීය.

පසුගිය 7 වැනිදා මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී පොලොන්නරුවෙන් පැමිණි පිරිසක් හමුවිය. එම පිරිස සමඟ පොලොන්නරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද පැමිණි සිටි අතර එහිදී එම කාන්තාව තමා හැමදාමත් මහින්ද රාජපක්ෂයන් වෙනුවෙන් පෙනී සිටි බව ප්‍රකාශ කළාය.

ඔවුන් සමඟ ටික වේලාවක් සුහදව කතාබහ කළ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ඡායාරූප කිහිපයකටද පෙනී සිටියේය.

රටම කතා කළ රණතුංගලාගේ දන්සල

දිවංගත හිටපු ඇමැති රෙජී රණතුංගයන් ජීවත්ව සිටි සමයේදී වසර 30ක් සෑම වෙසක් පොහොය දිනකම උඩුගම්පළ, සිය නි‍ෙවසේ බත් දන්සලක් සංවිධාන කරනු ලැබීය. පසු කාලයේදී ඇමැති ප්‍රසන්න රණතුංගද එම දන්සල අඛණ්ඩවම පවත්වනු ලැබිය.

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රදේශයේ දානපතියන්ගේ අනුග්‍රහය ඇතිව උඩුගම්පළ සිය නි‍ෙවස පිහිටි භූමියේදී ඇමැති ප්‍රසන්න රණතුංග විසින් බත් දන්සලක් පවත්වනු ලැබිණ. සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ සඳහා සහභාගී විය.

අරගලකරුවන්ගේ සියලු තොරතුරු ප්‍රසන්නට ලැබුණු හැටි

ඉකුත් වසරේදී තම නි‍ෙ‍වස ගිනි තැබූ සැකකරුවන්ගේ ඡායාරූප සහිතව සකස් කළ වීඩියෝවක් පුළුල් තිර මඟින් ප්‍රචාරය කිරීමටද දන්සල් සංවිධායකයෝ කටයුතු කර තිබුණි.

වීඩියෝව ගැන විමසමින් දුරකතන ඇමතුම්

ඒ වීඩියෝවට ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණු අතර, සමාජ මාධ්‍ය තුළද ඒ ගැන සංවාදයක් ඇතිවිය. සමාජ මාධ්‍ය තුළින් මෙම වීඩියෝව දුටු අරගලයට සම්බන්ධ වූවන් කලබලයට පත්විය. ඒ ගැන විමසමින් මැති ඇම­ැතිවරුන්ගෙන්ද ඇමැති ප්‍රසන්නට දුරකතන ඇමතුම් ලැබුණි. ඒ අතර අගමැතිවරයාද විය.

“ඔය වීඩියෝව අපිටත් දෙන්න” මැති ඇම­ැතිවරුන් ඇතුළු බොහෝ දෙනෙකු ඉල්ලා සිටියහ. ඒ අනුව ඇම­ැතිවරයා අදාළ වීඩියෝව ඔවුන්ට ලබා දීමට කටයුතු කළේය.

ඔවුන්ද සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව ප්‍රචාරය කිරීමට කටයුතු කර තිබූ අතර එය අරගලකරුවන්ට ඉවසුම් නොදෙන්නක් විය. “මේක මරු වැඩක්. ගේ ගිනි තියපු මිනිස්සු ඔක්කොගෙම ෆොටෝ සර් ළඟ තියෙනවා. අපේ ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ගේ විස්තර අපි ළඟවත් නෑ” ඒ මන්ත්‍රිනී කෝකිලා හර්ෂණීය.

“මගේ ගේ ගිනි තියපු, ගෙදර තියෙන බඩු අරගෙන ගියපු හැම මිනිහෙක්ගෙම ෆොටෝ, විස්තර ඔක්කොම මගේ ළඟ තියෙනවා. මම ඒ හැම දෙයක්ම පොලිසියට, මානව හිමිකම් කොමිසමට දීල තියෙනවා.” ඇමැති ප්‍රසන්න කීය.

“සර්.. කොහොමද ඕව හොයා ගත්තෙ. හරියට සී.අයි.ඩී එකෙන් වගේ” කෝකිලා යළි විමසීය.

“මට මේ හැම දෙයක්ම දුන්නේ ගමේ මිනිස්සු. මිනිස්සු එක්ක ඉන්නවනම් ඕව හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල” ඇමැති ප්‍රසන්න පිළිතුරු දුන්නේය. මෙම බත් දන්සල මැදියම පසුවනතුරු පැවැත්වුණු අතර ඇමැති ප්‍රසන්න රණතුංගද සිය පවුලේ සාමාජිකයන් සමඟ දන්සල් භූමියේම රැඳී සිටියේය.

මාධ්‍ය නිදහස ගැන සජිත් කියන්නේ මොනවාද?

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත ගැන සාකච්ඡා කරන්න විපක්ෂය තීන්දු කළේ එහි විධායක කමිටුව පාර්ලිමේන්තුවේදීත් රැස් වූ අවස්ථාවේදී ය.

"මේක ඍජුවම මාධ්‍යවලට බලපානවා. විශේෂයෙන්ම මාධ්‍ය නිදහසට මේක බරපතළ විදිහට බලපානවා. ඒ නිසා මේ ගන්න මූලිකව අපි සාකච්ඡා කරන්න ඕනේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන එක්ක" විපක්ෂ නායක සජිත් කීවේය.

ඒ අනුව විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව තීන්දු කළේ මාධ්‍යවේදීන් මාධ්‍ය තම ප්‍රදානයෙන් මාධ්‍ය සංවිධාන ඇතුළු පිරිස් කැඳවා මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබා ගැනීමටය. තීන්දුවට අනුව යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබීය. ඒ, පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ය. සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්,මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.

යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන විපක්ෂ එකමුතුවේ කමිටුව පත් කර ඇත්තේ, මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ය.

"මාධ්‍ය ආචාර ධර්ම වේවා, මාධ්‍ය නියාමන කරුණු කාරණා වේවා මාධ්‍ය සම්බන්ධ ඕනෑම දෙයක් රැගෙන ආ යුත්තේ රජයක් හෝ දේශපාලනඥයින් විසින් නෙමේ. ඒ ගැන හැකියාව තියෙන්නෙ එම විෂය ගැන දන්න මාධ්‍යවේදීන්ට. ඒ නිසා එහෙම වැඩපිළිවෙළක් ගේන්න ඕන මාධ්‍ය විසින්මයි" සජිත් කීවේය.

අජිත් රාජපක්ෂට බොහොම ස්තූතියි

පාර්ලිමේන්තුව පසුගිය 9 වැනිදා රැස්වූයේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. පොහොර නැව ගැන මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හා දයාසිරි ජයසේකර ප්‍රශ්න කිහිපයක් මතු කළහ. එම ප්‍රශ්න මතු කිරීමේ අවසානයේදී අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා බොහොම ස්තූතියි යනුවෙන් පැවසීය.

යම් ජනතා නියෝජිතයෙකු යම් කාරණයක් මතු කළ විට මුලසුනේ සිටින පුද්ගලයා බොහොම ස්තූතියි යනුවෙන් ප්‍රතිචාර දැක්වීම සම්ප්‍රදායයි. නමුත් විරුද්ධ පක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ප්‍රකාශ කළේ අසූචි පොහොර නැවට බොහොම ස්තූතියි කීවාට වැඩක් නැහැ. ඊට ආණ්ඩුවෙන් පිළිතුරක් අවශ්‍ය බවයි.

“පොහොර නැවට ස්තූතියි කිව්වේ නැහැ. ප්‍රශ්නය මතු කළාට ස්තූතියි කීවේ. ඒක සම්ප්‍රදාය. මේක පටලවා ගන්න එපා” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියා සිටි‍යේය.

වජිර දන්සල් වන්දනාවේ

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය විසින් පසුගිය පොසොන් පොහොය දින සවස් කාලයේදී බත් දන්සලක් සංවිධානය කර තිබුණි.

මෙම බත් දන්සල ආරම්භ කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනයි.

පස්වරු 6 වනවිට සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි වජිර සිරිකොත මූලස්ථානයේ ප්‍රතිසංස්කරණය කළ නව බුද්ධ මන්දිරය විවෘත කර එහි තැන්පත්කර තිබූ බුද්ධ ප්‍රතිමාවට මල් පහන් පූජා කොට දන්සල ආරම්භ කිරීම සඳහා පොල්තෙල් පහන දැල්වූයේය.

“කොහොමද ඉතින්” වජිර දන්සල සඳහා පැමිණි සිටි පිරිසගෙන් විමසීය.

“හොඳයි සර්, දැන් ජයයි. පාර පුරාවටම දන්සල්. අඩියෙන් අඩියට එක එක ජාතියේ දන්සල්. අවුරුදු 3 ක් තිස්සෙම ජනතාව ගෙවල්වලට කොටුවෙලා හිටියේ. අඩුම තරමේ නැවත මෙහෙම අවස්ථාවක් එයිද කියලවත් අපිට විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ තරමට රටේ මිනිස්සු බලාපොරොත්තු අත්හැරගෙනයි හිටියේ. කොහොම හරි කමක් නෑ සර්, දැන් නම් ලංකාවේ මිනිස්සු සතුටින් ඉන්නවා.” යැයි එක් අයෙක් පැවසීය.

එසේම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විසින් සංවිධාන කර තිබෙන මහර පොසොන් කලාපය විවෘත කිරීම සඳහාද ආරාධනා කර තිබුණේ වජිරටයි. ඒ නිසාම වජිරට වැඩි වේලාවක් සිරිකොත බත් දන්සලේ කාලය ගත කිරීමට නොහැකි විය.

එම නිසා වජිර දන්සල ආරම්භ කිරීමෙන් පසු පැයකට ආසන්න වේලාවක් එම ස්ථානයේ රැඳී සිටීමෙන් අනතුරුව මහර බලා පිටත් විය.

කොහොම වෙතත් වජිරට මහර බලා පිටත්ව යන ගමන ලෙහෙසි පහසු ගමනක් නම් නොවීය. ඒ මන්ද යත් පාර පුරාවටම ජනතාව දන්සල් භුක්ති විඳිමින් පොසොන් අසිරිය බැලීමට එක් රොක් වී සිටි බැවිනි.

මහර බලා යාමට හිතුවාට වඩා වැඩි වේලාවක් යන බැවින් වජිර සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්ව තම ජංගම දුරකතනය හරහා සම්බන්ධ කර ගත්තේය.

“සහන්,මම එන්නම ඕනේද?” යැයි වජිර විමසීය. “අනේ ඔව් සර්, මේ හැමෝම බලාගෙන ඉන්නේ සර් එනකන් තමයි,” සහන් වජිරට පැවසීය. ආ නෑ, නෑ, මන් මේ බැලුවේ මට වෙලාවට එන්න බැරි වෙයිද කියලා. පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ, පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා. කමක් නෑ මං කොහොම හරි එන්නම්කෝ.” වජිරගේ පිළිතුර එසේ විය. “පරක්කු වුණාට කමක් නෑ සර්, කොහොම හරි එන්නයි ඕනේ,” සහන් එසේ පවසද්දී,

“රයිට් ඕකේ” යනුවෙන් කියා දුරකතනය විසන්ධි කළේය. කොහොම නමුත් මේ සියලු කලබල මධ්‍යයේම වජිර මහර පොසොන් කලාපය වෙත පැමිණියේය. වජිර වාහනයෙන් බහිනවාත් සමඟම වජිරව පිළිගැනීමට සහන් පැමිණියේය. “සර් ආපු එකනම් ලොකු දෙයක්.” සහන් පැවසීය. “මේ වෙලාවට හරි ආව එක ලොකු දෙයක්, පුදුම දන්සල් ප්‍රමාණයක් තියෙන්නේ. මම හිතන්නේ ඉතිහාසයේ වැඩිම දන්සල් තියෙන්නේ මේ පොසොන් එකටද කොහෙද” යැයි වජිර පවසමින් පොසොන් කලාපයේ භක්ති ගීත ප්‍රසංගය නැරඹීම සඳහා ගියේය.

රුසියානු ජාතික දිනය දා බටහිරට දොර වැසේ

රුසියානු ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් හා රාත්‍රී භෝජන සංග්‍රහයක් පසුගිය 8 වැනිදා රාත්‍රී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ක්‍රිස්ටල් ශාලාවේදී පැවැත්විණි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු අමාත්‍යවරුන් පාඨලී චම්පික රණවක ඇතුළු ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ රැසක්ම මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙරට සිටින කිසිදු බටහිර රටක තානාපතිවරයෙකුට මෙම උත්සවය සඳහා ආරාධනා කර නොමැති බව වාර්තා වූයේ එවැනි කිසිම තානාපතිවරයෙකු මෙම ස්ථානයේ නොසිටි නිසාය.

Comments