ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය ස්ථාවරයි | සිළුමිණ

ඉදිරි වසර පහ ඇතුළත රටේ ආර්ථිකය ස්ථාවරයි

- ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා
- අපේ අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි
- ප්‍රතිසංස්කරණ ප්‍රගතිය රටට කියන්න මහජන දිනයක්
- කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී රාජ්‍ය - පෞද්ගලික අංශ සහයෝගීතාව ඉහළ නැංවීමට සංගායනාවක්
- ජාතික ප්‍රතිසංවිධාන සැලැස්ම මෙම වසරේ අවසන් කාර්තුවේ දී
- මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවකුට මම ඉඩ දෙන්නේ නෑ
- රට ගොඩනැඟීමේදී තරුණ පරපුර පිළිබඳ දැඩි විශ්වාසයක්
- දූෂණය පිටුදැකීමට විශේෂ කාර්ය සාධක බළකායක්

මීට වස­ර­කට පෙර තිබූ තත්ත්ව­යට රට යළි ඇද දැමී­මට කිසි­ව­කුට ඉඩ නොදෙන බව අව­ධා­ර­ණය කර­මින් තම අර­ග­ලය වන්නේ 2048 වන විට ශ්‍රී ලංකාව ලෝකයේ පූර්ණ සංව­ර්ධිත රටක් බවට පත් කිරීම බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිං­හ­යන් පව­සයි. ජනා­ධි­ප­ති­ව­රයා “ජාතික පරි­ව­ර්තන මාර්ග සිති­යම” රටට ඉදි­රි­පත් කර­මින් කළ කතාවේ සංක්ෂිප්ත සට­හ­නයි මේ.
 
පේ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම භාර ගත් දවසේ පටන් මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ඔබට හෙළිදරව් කළා. මට අවශ්‍ය වුණේ විනිවිද භාවයෙන් යුතුව ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය හැමවිටම ඔබ ඉදිරියේ තැබීමටයි. රටේ සැබෑ තත්ත්වය, ඒ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය වගේම රට වෙනුවෙන් අප සියලුදෙනාම සිදු කළ යුතු කාර්යභාරය පිළිබඳවත් මම ඔබව දැනුම්වත් කළා. පීඩාකාරී ආර්ථිකයකින් දුක් කම්කටොලු රැසකට මුහුණ දෙමින් සිටි අප දැන් ක්‍රම ක්‍රමයෙන් සහනදායි මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල වී, අඩපණ වී තිබුණු අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.

මෙම තත්ත්වය අපට උදාකර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ අප ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසයි. ඒ වගේම අප සැම එකට එක්වී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් නිසයි. ඒ අභියෝගයන් හමුවේ විවිධ දුෂ්කරතා විඳ දරා ගත් නිසයි. මාතෘ භූමිය වෙනුවෙන් මේ දුෂ්කරතා විඳ දරා ගත් ඔබ සැමට මගේ කෘතඥතාව පිරිනැමීමට මම කැමතියි. තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා.

ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද? අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඉදිරියේදී අප අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයයි. අපේ ඉදිරි මාර්ග සිතියමයි.

අපේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ පරිපූර්ණ පරිවර්තනයක් සිදු කළ යුතු බව මම මීට පෙර අවස්ථා ගණනාවක දී අවධාරණය කළා. 2023 අය වැය මඟින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන සහ නවීකරණ පිළිබඳව මම කරුණු සඳහන් කළා.

යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මේ පියවර ගත යුතුමයි. මෙහිදී අප ගන්නා තීන්දු දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්නට පුළුවන්. ජනප්‍රිය නොවන්නට පුළුවන්. නමුත් අපේ රට යළි ඉහළට ඔසවා තබන්නට අපට හැකි වන්නේ මේ දුෂ්කර මාර්ගයේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණයි. අපේ අනාගත පරම්පරාවට නිදහසේ සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කර ගැනීමට හැකි වන්නේ මේ මාර්ගයේ ඉදිරියට ගියොත් පමණයි.

සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන සමහර කණ්ඩායම් ආර්ථික පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව බොරු බියක් ජනතාව තුළ ඇති කරන්නට වෙහෙසෙනවා. හැමදාමත් කියන "රට විකිණීමට යනවා" යන සටන් පාඨයෙන් තවදුරටත් ජනතාව මුළා කරන්න උත්සාහ ගන්නවා. රටේ ආර්ථිකය නංවාලීම සඳහා ගන්නා සෑම පියවරකදීම ඔවුන් ඉදිරියට දැම්මේ, මේ සටන් පාඨයයි. අසූ ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව භීතියට පත් කළා. එදා සිට අද දක්වාම මේ කණ්ඩායම් කළේ රට විකුණන සටන් පාඨය ඉදිරියට ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමයි.

මෙවැනි සටන් පාඨවලින් ඔබ තවදුරටත් රැවටෙන්නේ නැති බව අප දන්නවා. අප සියලු දෙනා වෙහෙස විය යුත්තේ, කැපවිය යුත්තේ රට ඉහළට ඔසවා තැබීමටයි. 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් වීමේ අපේ ඉලක්කය ඉටු කර ගැනීමටයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවාද? ඔබේ ජීවන බර අඩු වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක් ද? එය රට විකිණීමක්ද?

ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ඇති කරලීම සඳහා නව අවස්ථාවන් නිර්මාණය වෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක් ද? රටේ දිළිඳුම සහ අසරණම ජන කොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් සැලසෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද? රාජ්‍ය, මේ ව්‍යවසායන්ගෙන් රුපියල් මිලියන ගණනක් වන පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?

විනිවිද පෙනෙන ආකාරයට වගවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සැකසෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද? ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද? තිරසර දියුණුවක් සහ සාර්ථකත්වයක් අපේ රටට අත්පත් කරදීම සඳහා අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාවේ නවීකරණය වේගවත් හා අර්ථවත් කිරීමටත්, අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව සංවර්ධන ව්‍යායාම සඳහා වැඩි වැඩියෙන් දායක කර ගැනීමටත් අවකාශ සැලසෙනවා. මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවන බව අප දන්නවා. බොහෝ අභියෝගයන්ට තවදුරටත් මුහුණ දීමට සිදුවන බවත් අප දන්නවා. නමුත් අප ඒ සියලු අභියෝග ජය ගැනීමට කටයුතු කරනවා. හැමවිටම රටට යහපත් දේ සිදු කිරීමට අපේ රජය කැපවී සිටිනවා.

මීට වසරකට පමණ පෙරාතුව රට ඇද වැටී තිබුණු තත්ත්වයට අපේ මාතෘ භූමිය යළි ඇද දැමීමට අප කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ. එදා රට වැසියන් මුහුණ දුන් තත්ත්වය අද සමහරුන්ට අමතකයි. දුක් පීඩාවන් විඳ දරා ගැනීමට නොහැකි තැන ජනතාව නොසන්සුන් වුණා. අරගල කරන්නට පටන් ගත්තා. මම අගමැති හැටියට මේ රටේ ආර්ථිකය භාරගත්තේ එවන් දුෂ්කර පසුබිමකයි. මට තිබුණේ එකම එක ශක්තියක් පමණයි. ඒ මාගේ මාතෘ භූමිය මේ අසීරු වැල් පාලමෙන් ආරක්ෂිතව එගොඩ කරන්නට හැකි බවට මා තුළ වූ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි.

අප මුලින්ම රට ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැඩි මූල්‍ය පාලනයකට රට යටත් කළා. මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීම බව අප කල්තියා දැන සිටියා. ඒ නිසා අප ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කළා.

දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසු විස්තීරණ ණය පහසුකම අපට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමඟ එක්ව රටට ණය ආධාර ලබා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළා. මෙහිදී අපේ අසල්වැසි ඉන්දියාව අපට විශාල වශයෙන් උදව් උපකාර කළා. බංග්ලාදේශය සහාය වුණා.

ජපානය මානුෂීය ආධාර ලබා දුන්නා. චීනය, ඉන්දියාව සහ ජපානය වැනි අපේ ප්‍රධාන ණය හිමියන් මෙන්ම පැරිස් සමාජය ද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුණා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළමු කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා. වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්ක ගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵල අද අප සැම භුක්ති විඳිනවා. සියයට 70ක් දක්වා ඉහළ නැඟ තිබුණු උද්ධමනය දැන් සියයට 25.2ක් දක්වා පහළ වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතිනවා. මුළුමහත් සමාජයටම මේ සහනය දැනෙන්න පටන් අරන් තිබෙනවා.

මෙතැන් සිට අප ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන මම ඔබට පැහැදිලි කිරීමට කැමතියි.

අපේ ඊළඟ ක්‍රියා පිළිවෙත, එහෙමත් නැත්නම් මාර්ග සිතියම සඳහා අපි ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගන්නවා. තවත් විදියකට කිව්වොත් අපේ අනාගතය අප ගොඩ නංවන්නේ ප්‍රධාන කුලුනු හතරක් මතයි.

•පළමුවැනි කුලුන 
රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ

රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟත්වයකට පැමිණියා. එම එකඟත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අප ලබා ගත්තා. බදු ප්‍රතිපත්තිය, ආදායම් පරිපාලනය සහ වියදම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ අප ආරම්භ කර තිබෙනවා.

ඒ ප්‍රතිසංස්කරණ අප ඉදිරියට ගෙන යනවා.

ආර්ථිකය ස්ථාවර කරලීමේ අරමුණින් අපි 2022 මැයි මාසයේ සිට වියදම් සීමා කිරීමේ චක්‍රලේඛ ගණනාවක් ක්‍රියාත්මක කළා.

අනවශ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමට අප පියවර ගන්නවා. හැකි සෑම අවස්ථාවකදීම රාජ්‍ය වියදම් උපරිමයෙන් සීමා කළ යුතු බව අප නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

1) අනවශ්‍ය වියදම් නවතා දැමීම.

2) වියදම් අවම කරගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සරල කිරීම.

3) වියදම් අවම කර ගත හැකි වන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.

4) වියදම් අවම කර ගැනීම සඳහාත්, ගුණාත්මක සේවාවන් සැපයීම සඳහාත් ස්වයංක්‍රීය සහ ඩිජිටල් ක්‍රමවේද අනුගමනය කිරීම කෙරෙහි මූලික වශයෙන් අපගේ අවධානය යොමු වෙනවා.

•දෙවැනි කුලුන 
ආයෝජන ප්‍රවර්ධනය

රටක ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය අතිශය වැදගත් සාධකයක්. ආර්ථික වර්ධනයක් කරා අප යන ගමන වඩාත් ශක්තිමත් කර ගත හැකි වන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය සහයෝගය මතයි. දකුණු කොරියාව සහ සිංගප්පූරුව මෙන් අප රට ද අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත්කරලීම අපේ අභිලාෂයයි. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති, හරිත හයිඩ්‍රජන් සහ ඩිජිටල්කරණය වැනි නවීන සහ තිරසර ප්‍රයත්නයන් කරා යොමුවීමට ද අප බලාපොරොත්තු වෙනවා.

නවීන තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා තම තමන්ගේ ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කරන ලෙස අප පුද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා. මෙම යෝජනා කැඳවීම ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කොට විවෘත හා විධිමත් ආකාරයෙන් සිදු කරනවා. එම යෝජනා තෝරා ගැනෙන්නේ ආයෝජන ධාරිතාව, රැකියා උත්පාදනය, අපනයන දායකත්වය සහ ආර්ථික දායකත්වය යන නිර්ණායක හතර පදනම් කරගෙනයි.

මෙම යෝජනා ක්‍රියාත්මක කරලීමේ පිළිවෙත සැකසීම උදෙසා අප අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රමවේදය අප හඳුන්වන්නේ “සංගායනා ක්‍රමවේද” යනුවෙන්.

සංගායනා ක්‍රියාවලියෙන්, අපි ප්‍රධාන අරමුණු තුනක් මුදුන්පත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

1) අනුමත කරන ලද ව්‍යාපාරික යෝජනා සහ ව්‍යාපෘති ඔස්සේ අපේ ආර්ථිකය යළි

ප්‍රකෘති තත්ත්වයට පත් කරලීම වේගවත් කිරීම.

2) නව රැකියා අවස්ථා නිර්මාණයකරලීම.

3) ව්‍යාපෘතිවලට ඇති බාධා ඉවත්කරලීම සඳහා සැකසෙන නිදහස් ක්‍රමවේදයන් ඔස්සේ අනාගත ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරලීම වඩාත් පහසු වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ පිළිවෙත් සකස් වී ඇත්තේ දැඩි ආරක්ෂණවාදී වැටකඩුලු ඔස්සේයි. දැන් මේ සියල්ල නිදහස් කිරීමට සුදුසු කාලයයි. බොහෝ පිළිවෙත් සකස්වී ඇත්තේ ආයෝජකයන් අධෛර්යට පත් කිරීමටයි. උදාසීන කරවීමටයි. මේ තත්ත්වය අප වෙනස් කරනවා. ඒ හරහා ආයෝජකයන්ට ආකර්ෂණීය රටක් නිර්මාණය කරනවා.

•තුන්වෙනි කුලුන 
සමාජ ආරක්ෂණ ජාලය

සමාජ ආරක්ෂණය සඳහා ද අපි සංගායනා ක්‍රියාවලිය අනුගමනය කරනවා. මෙම සමාජ ආරක්ෂණ සංගායනා ක්‍රියාවලිය සඳහා රජයේ අමාත්‍යංශ,දෙපාර්තමේන්තු, නියෝජිත ආයතන, සිවිල් සමාජ නියෝජිතයන් සහ විෂය කරුණු පිළිබඳ ප්‍රාමාණික උගතුන් සම්බන්ධ කරගැනීමට අප බලාපොරොත්තු වෙනවා. වසර ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව ප්‍රධාන ඉල්ලීම් තුනක් අපෙන් ඉල්ලා සිටියා. ඒ

1) සමාජයේ දිළිඳු හා අසරණ කොටස් ආරක්ෂා කර ගැනීම.

2) දූෂණය මැඬලීම.

3) රජයේ ක්‍රියාමාර්ග හා පිළිවෙත් පිළිබඳව නිරන්තරව මහජන අදහස් විමසීම යන කරුණු ත්‍රිත්වයයි. මේ ජනතා ඉල්ලීම් සපුරාලීමට අප කටයුතු කරනවා.

•හතරවැනි කුලුන 
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ

වර්තමානයේ ආර්ථිකයේ ක්ෂේත්‍ර 33ක රාජ්‍ය ව්‍යවසායන් 430ක් ක්‍රියාත්මක වෙනවා. ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 6ක ප්‍රමාණයක් මේවායේ සේවය කරනවා.

රාජ්‍ය අංශයට ඒකාධිකාරී වෙළෙඳපොළක් ලබා දීමේ ප්‍රතිඵලය වී තිබෙන්නේ පුද්ගලික ආයෝජන අ‍ධෛර්යට පත්වීමයි. මිල නියම කිරීම, අකාර්යක්ෂම කළමනාකාරීත්වය සහ දුර්වල මූල්‍ය මෙහෙයුම් නිසා මෙම ව්‍යවසායකයන් නිරතුරුවම පාඩු ලබනවා. මේ ආයතන රජයේ බදු මුදල් මත යැපෙන යාචක ආයතන බවට පත්ව තිබෙනවා.

2021 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් එයාර් ලයින් යන ආයතනවල මෙහෙයුම් අලාභය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6ක්. මේ ණය බර මිලියන විසි දෙකක් වූ ජනතාවගේ කරපිටට දිගින් දිගටම පැටවීම අසාධාරණයි. මේ ආයතන ආණ්ඩුවටත් බරක්. රටටත් බරක්. ජනතාවටත් බරක්. එම නිසා මේවා සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිව්‍යුහගත කිරීම් අප නොපමාව කළ යුතුයි.

අනාගතය ගොඩ නැංවීම

මේ ප්‍රතිසංස්කරණ මුළු මහත් ජනතාවට ම එක ලෙස ප්‍රතිලාභ සැලසෙන වැඩපිළිවෙළක්. ඔබ ඇතුළු මුළු රටම මේ වැඩපිළිවෙළ මඟින් දියුණු වෙනවා. ඔබගේත්, මුළු රටේම ජනතාවගේත් ජීවන තත්ත්වය මෙමඟින් ඉහළ නැංවෙනවා. මෙය සමාජයේ එක් කොටසක් පමණක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙතක් නොවේ. මුළු රටම ඉලක්ක කරගත් වැඩසටහනක්. තරුණ තරුණියන්ගේ ශ්‍රම සහභාගිත්වය ඉහළ නැංවීමේ අවස්ථා ඇති කරලීම ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීමටත්, අප රටේ මානව ප්‍රාග්ධන සංවර්ධනය පුළුල් කිරීමටත් හැකියාව ලැබෙන්නේ එවිටයි. ඉදිරි අවුරුදු පහ තුළ අපි ආර්ථිකය පූර්ණ වශයෙන් ස්ථාවර කරනවා. ඊළඟ අවුරුදු විසිපහ තුළ ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්වෙනවා. ඒ තමයි අපේ අරමුණ. මුල් අවුරුදු පහෙන් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ භාර වෙන්නේ ඊළඟ පරම්පරාවටයි. අප ඒ සඳහා තරුණ තරුණියන් සූදානම් කරනවා. පෙළ ගස්වනවා. එනම් අභියෝගයන්ට මුහුණ දෙමින්, 2048 වෙද්දී අපේ මාතෘ භූමිය පුර්ණ සංවර්ධිත රටක් බවට පත් කිරීමට තරුණ තරුණියන් උර දෙන බව මට විශ්වාසයි. රටේ වගකීම් භාරගෙන ඒ ඉලක්කය ළඟා කර ගන්නා බව මට විශ්වාසයි.

මේ වැඩපිළිවෙළ ඔබ අප සැමගේම අනාගතය ගොඩනංවෙන වැඩ පිළිවෙළයි. අපේ අනාගත පරම්පරාවේ අනාගතය යහපත් කරන වැඩපිළිවෙළයි. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට උපරිම දායකත්වය ලබාදෙන මෙන් මම ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.“2048 සංවර්ධිත රටක්” එයයි අපේ ඉලක්කය. අපේ අරගලය මේ ඉලක්කයට ළඟා වීමටයි. අපි එකට එක්ව අපේ අනාගතය ගොඩ නංවමු. යහපත් හෙට දවසක් නිර්මාණය කරගනිමු.

Comments