ජනකගේ කෙරුවාවේ ගමනක අවසානය | සිළුමිණ

ජනකගේ කෙරුවාවේ ගමනක අවසානය

දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ පසුගිය 24 වැනි බදාදා පාර්ලිමේන්තුව දෙසටය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සභාපති ධුරයෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තුව මඟින් සිදුකිරීමට ආණ්ඩුව තීරණය කිරීම මීට හේතුවයි. මෙම කාරණය තම දේශපාලන බලය පෙන්වීම සඳහා යොදා ගැනීමට ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් කටයුතු කිරීම නිසා දේශපාලනික වශයෙන් තවත් උණුසුම් ය.

විපක්ෂයේ සැලසුම පරාජය කිරීමට දිනේෂ් මෙහෙයුම අරඹයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන ලද්දේ පසුගිය බදාදාය. එම යෝජනාව පරාජය කිරීමට විපක්ෂය මුල සිට ම සැලසුම් සකස් කර ඇති බව දැන සිටි අගමැති දිනේෂ්, ඒ ගැන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම සමඟ නිතර අදහස් හුවමාරු කර ගත්තේය.

"අපේ මන්ත්‍රීවරු ගැන ප්‍රශ්නයක් නෑ, විපක්‍ෂයෙනුත් යම් යම් පණිවුඩ ඇවිත් තියෙනවා "දිනේෂ්, ප්‍රසන්නට කීවේය.

"ඒක හරි, පොහොට්ටුවේ අයගේ මුකුත් ප්‍රශ්නයක් නෑ"

අගමැති දිනේෂ් බදාදා උදේ ම පාර්ලිමේන්තුවට පැමිණියේය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් හමුවිය.

"විපක්ෂයේ සැලසුම තාම ක්‍රියාත්මකයි " මන්ත්‍රීවරු පැවසූහ.

"නෑ, විපක්ෂයේ සැලසුම පරාජය වෙනවා, ඒකට විපක්ෂයේ කිහිප දෙනෙක් වගේම ඒ වෙලාවට පාර්ලිමේන්තුවට එන්නේ නැතිව ඉඳල අපිට උදව් වෙනවා. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු ශක්තිය අපි මේ සැරෙත් පෙන්නනවා. හැබැයි අපි ඔක්කොම ඡන්දය තියෙන වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න එක අනිවාර්යයි"

දිනේෂ් ප්‍රකාශ කළ පරිදිම, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබිණි. විපක්ෂව ලැබුණේ ඡන්ද 77කි.

මන්ත්‍රීවරුන් පිරිසක් අරුන්දිකගෙන් පාස්පෝට් ඉල්ලයි

සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආරම්භ වීමට පෙර බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, චාමර සම්පත්, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පිරිස ආ ගිය තොරතුරු පිළිබඳ කතාබහක නිරත විය.

“අපිට වැඩිපුර පාස්පෝට් එකක් අරන් දෙන්න බැරිද?” කිසිවකු අරුන්දිකගෙන් ඇසුවේ විහිළුවටය.

“ඇයි මොකද මම දන්නෙ නැහැ” අරුන්දික කීය.

“අනේ ඇමතිතුමා බොරු කියන්න එපා. අර පාස්පෝට් කේස් එක මොකද්ද?” ශෙහාන් සේමසිංහ පැහැදිලි කළේය.

පසුව අරුන්දික එම සිද්ධිය පැහැදිලි කළේය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය පසුගිය බදාදා පැවැත්විණි. මෙවර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම විවාදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඒ සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කළේය.

“ලයිට් බිල අඩු කිරීම සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කරල දැනට මාසයක් වෙනවා. තවම මහජන උපයෝගිතා කොමිෂන් සභාව රැස්වෙලා නැහැ. මේ කොමිසම ආපහු රැස්වෙන්න තියන්නේ ජුනි 1 වැනිදා. මෙයා තියාගෙන ඉන්න එක ඉස්සරහටත් ‍ලොකු ප්‍රශ්නයක් වේවි. ”ඇමති කංචන පැහැදිලි කළේය.

“එදාට ඔක්කොම උදෙන්ම පාර්ලිමේන්තු එන්න. අපි ඔක්කොම පාර්ලිමේන්තුවේ ඉන්නව දැක්කම ජනකට උදව් කරනවද එහෙම නැත්නම් පාරිභෝගිකයන්ට උදව් කරනවද කියල විපක්ෂ නායකතුමාට තීරණයක් ගන්න වේවි. ” ජනාධිපතිවරයා කීය.

දුරකතනයට එන්නේ නැති නිලධාරීන්ට අජිත් හා මධුර දෙහි කපති

ජනක රත්නායක ගැන කතාව අතරතුර ඇතැම් ආයතන සභාපතිවරුන් හා ආමාත්‍යාංශ ලේකම්වරුන් ගැනද කතාබහක් ඇති විය.

“ජනාධිපතිතුමනි, ජනක රත්නායක ගියාට පස්සේ ආපහු ඒ ජාතියේ කෙනෙක් නම් පත්කරන්න එපා” යනුවෙන් පැවසුවේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාය.

“ජනක පත්කළේ මං නොවෙයි. හිටපු ජනාධිපතිතුමා” යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාය.

“ජනක වාගේ තවත් සභාපතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඉන්නවා. අපි වැඩකට කෝල් එකක් ගත්තොත් ‍ආන්සර් කරන්නෙවත් නැහැ. මේ ගැන ඉතා ඉක්මනින්ම අවධානය යොමු කරන්න ඕන. ” යනුවෙන් ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ඇතැම් සභාපතිවරුන් ඇතුළු ඇතැම් ආයතන ප්‍රධානීන්ට තදින් දොස් නැගුවේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයාය.

ඒ සමඟම නැඟී සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේය.

“පාර්ලිමේන්තුවේ කෝප් එකට ගෙන්නපුවාම සමහර සභාපතිවරුන්ගේ කෙරුවාව හොඳට පේනවා. ඒත් ඉතිං බැණුම් අහන්න වෙන්නේ අපිටමයි” යනුවෙන් ඇතැම් ආයතන ප්‍රධානීන්ට මධුර විතානගේ විසින් ද දෝෂාරෝපණය එල්ල කරන ලදී.

ඡන්ද මෙහෙයුම ඇරඹේ

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ඉවත් කිරීමට අදාළ පාර්ලිමේන්තු විවාදය හා ඡන්ද විමසීම නිසාවෙන් ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේ පැවතියේ දැඩි උණුසුම් තත්ත්වයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහද රටේ නොසිටි බැවින් සියලු බර පැටවී තිබුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙකුගේ කර මතය.

යන එන මන්ත්‍රීවරුන් ගැන වාර්තා සැකසීම ලාන්සාට

“දුර බැහැර ඉන්න අපේ මන්ත්‍රීවරුන් හෙට කොහොම හරි ගෙන්න ගන්න ඕන. ඒ වගේම අපේ අය පාර්ලිමේන්තුවේ තියා ගන්නත් ඕන” කී ඇමති ප්‍රසන්න ඉන් නොනැවතී මැති ඇමතිවරුන්ට පුද්ගලිකවම කතා කළේය.

බදාදා උදේ පාන්දරම පාර්ලිමේන්තුවට ගොස් ඇමති ප්‍රසන්න, ඇමති කංචන, නිමල් ලාංසා, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් සිය කාර්යාලයට කැඳවාගෙන මෙහෙයුම ඇරඹීය. “අපි මන්ත්‍රී පිවිසුම් දොරටුව හා පිටවීමේ දොරටුවෙන් මන්ත්‍රීවරුන් එන යන එක ගැන වාර්තාවක් ගන්න ඕන. ඔයා ඒක බලන්න” ඇමති ප්‍රසන්න කීවේ නිමල් ලාන්සාටය.

“සභාවෙන් එළියට යන හැම මන්ත්‍රී කෙනෙක්ටම අපි කතා කරන්න ඕන” ඇමතිවරයා කී විට ඒ රාජකාරිය මන්ත්‍රී වජිර භාර ගත්තේය.

විවාදයේ තොරතුරු සැපයීමේ වගකීම කංචනට

විවාදය අතරතුර ආණ්ඩු පක්ෂයේ කථිකයන්ට අවශ්‍ය තොරතුරු සැපයීමේ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරට භාර විය.

ඒ අතර වාරයේදී ඇමති ප්‍රසන්න රණතුංග විටින් විට අගමැති දිනේෂ් ගුණවර්ධනද සම්බන්ධ කරගනිමින් මැති ඇමතිවරුන් පිළිබඳව සොයා බලන්නට විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දිනවල ඉන්නේ විදේශ සංචාරයක නිරත වෙමිනි. එබැවින් පාර්ලිමේන්තුවේ පවතින තත්ත්වය ගැන ඇමති ප්‍රසන්න සෑම පැයකට වරක්ම ජනාධිපතිවරයා දැනුවත් කළේය.

“බොහොම හොඳයි ප්‍රසන්න, ඔයා වැඩ ටික කරගෙන යන්න. මම ඔයා ගැන දන්නවා.” ජනාධිපතිවරයාද කීවේය.

බැසිල්ගෙනුත් මෙහෙයුමක්

බදාදා දිනය පුරාවටම පාර්ලිමේන්තුවේ රැඳී සිටීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතීන්ට අනිවාර්ය විය. ඒ නිසා විදේශගතව සිටි මැති ඇමතිවරුන්ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමටද මෙහෙයුමක් දියත් විය. එය බැසිල් රාජපක්ෂයේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය.

රාඝවන්ට ෆ්ලයිට් එක මිස් වෙයි

එහෙත් විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්ට නියමිත වේලාවට මෙරටට පැමිණීමට නොහැකි විය. ඒ ගුවන් ගමන් ප්‍රමාදයක් නිසාවෙනි. රාජ්‍ය අමාත්‍යවරයා ඒ ගැන ජනාධිපති, අගමැති පමණක් නොව ඇමති ප්‍රසන්නද දැනුවත් කළේය.

“ඇමතිතුමා, මේ ගැන අපිට කියපු එක හොඳයි. නැත්නම් මේව ප්‍රසිද්ධ වෙන්නේ වෙන විදියට” අගමැති දිනේෂ්, ඇමති ප්‍රසන්නට කීය.

ජනපතිගෙන් හා අගමැතිගෙන් ප්‍රසන්නට පැසසුම්

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව ජය ගැනීමට ආණ්ඩුව සමත්විය. එදින සවස ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඇමති ප්‍රසන්න රණතුංගට ස්තූතිය පළ කළේය.

සිංගප්පූරුවේ හා ජපානයේ නිල සංචාරයක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම මෙරටින් පිටත්වූයේ ඉකුත් අගහරුවාදා අලුයමය.

අඟහරුවාදා අලුයම රටින් බැහැරව ගිය ද ඔහු නිරතුරුව දුරකතනයෙන් ශ්‍රී ලංකාවේ කටයුතු හා සම්බන්ධ වූවේය. සිංගප්පූරු අගමැතිවරයාට කොවිඩ් වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ නියෝජිත මෙන්ම සිංගප්පූරුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වන නීතිය හා ස්වදේශ කටයුතු ඇමති කේ. ෂන්මුගම් මුණ ගැසී සාකච්ඡා කළේය. කලාපීය ප්‍රමුඛතම ආරක්ෂක සමුළුවක් වන ෂැන්ග්‍රිලා සමුළුවේ කටයුතු ගැන ද මෙහිදි සාකච්ඡා කෙරිණි. ජනපති ජපානයේ සංචාරය කරද්දී ඔහු හා සම්බන්ධ වෙමින් පක්ෂ කටයුතු ගැන දැනුම්වත් කිරීමට පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර කටයුතු කරනු ලැබීය.

ඒ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් නොවන වෘත්තිකයන් කණ්ඩායමක් හා සාකච්ඡා කිරීම ගැනය. ඊට පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මේ පිරිස පක්ෂ නායකයන් හමුවේ කියා සිටියේ ඔවුන් පක්ෂ යන්ත්‍රණයට එක් නොවී ස්වාධීනව ජනාධිපතිගේ වැඩපිළිවෙළට සහාය දක්වන බවය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත දුරකතන ඇමතුමක් ලැබුණේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙනි. “සර් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් රත්‍රං හා ජංගම දුරකතන තොගයක් එක්ක කටුනායක රේගු නිලධාරීන් අල්ල ගෙන තියෙනවා.” රේගු අධ්‍යක්ෂ ජනරාල් කීවේය. “පරීක්ෂණවලින් ස්ථිරවම තහවුරු වුණාද මන්ත්‍රීවරයා මේකට සම්බන්ධයි කියලා.” ජනපති ලේකම් පෙරළා විමසුවේය.

“ඔව් සර් එතුමා ගාව රිසිට් පත් තුනකුත් තියෙනවා.” පිළිතුර රේගු අධ්‍යක්ෂ ජනරාල්ගෙනි.

රත්තරන් ගෙනා මන්ත්‍රී ගැන ජනපති ලේකම්ට ලැබුණු උපදෙස

ජනපති ලේකම් සමන් ඒකන­ායක වහාම ජපානයේ සිටින ජනපති රනිල්ව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන මෙම කාරණය දන්වා සිටියේය. “නීතියට පිටින් අපට වැඩ කරන්න බෑ. මන්ත්‍රීට විරුද්ධව නීතිය අනුව කටයුතු කරන්න. අගමැතිතුමාවත් මේ ගැන දැනුම්වත් කරන්න.” ලේකම් සමන්ට ජනපති දුන්නේ එවැනි උපදේශයකි. ජනපතිගේ උපදේශය අනුව කටයුතු කළ ජනපති ලේකම් සමන්, වහාම රේගු අධ්‍යක්ෂ ජනරාල් අමතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයෙකු බැවින් ඊට අදාළ රහස්‍ය වාර්තාවක් කථානායක වෙත යොමු කරන ලෙස ද උපදෙස් දුන්නේය.

ඉන් අනතුරුව රත්තරන් කිලෝ 3ක් හා ජංගම දුරකතන තොගයක් සමඟ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට පත් පුවත රටපුරා පැතිර ගියේය. එදින දහවල් ජනපති ලේකම් මුණ ගැසීමට පැමිණි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කියා සිටියේ අන්න මන්ත්‍රීව ලක්ෂ 75ක දඩයක් ගසා මුදා හරලා කියාය.

“මේක රේගු ආඥා පනත යටතේ වරදක්නේ. රේගුව දඩයක් හෝ රජයට අහිමිවූ බද්ද ගෙවන්න නියම කරනවා හැර වෙන දෙයක් කරන්න බෑ. එසේ ගෙව්වේ නැතිනම් නඩු දානවා. මේක තමයි නීතිය.” එහි සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් විදානපතිරණ කීවේය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ජපානයෙන් කොළ එළියක්

ජනාධිපති රනිල් ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරුන් කිහිපදෙනෙකුම මුණ ගැසී සාකච්ඡා කරනු ලැබුවේ ඉකුත් බ්‍රහස්පතින්දා ය. යුෂුඕ ෆුකුඩා, යොෂිහිඩේ සුගා, ටාරෝ අසෝ යන අය ද මුණ ගැසී දෙරට ආර්ථික සහයෝගිතාවය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය.

ජපාන අගමැති ෆුම්ඕ කිෂිඩා මහතා මුණ ගැසුණු ජනපති රනිල් වික්‍රමසිංහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය දක්වන සහයෝගය අගය කර සිටියේය. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව ද ජනපති රනිල් ජපාන අගමැතිවරයාගේ අවධානය යොමු කළ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ආරම්භවීමත් සමඟ එම ව්‍යාපෘතිය නැවත මෙරටට ලබාදීම ගැන කොළ එළියක් දැල්විණි.

ජනපති රනිල් වික්‍රමසිංහ ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය පිළිබඳ “නික්කෙයි” සමුළුවේ දේශනයට සහභාගී වූ අතර ආසියාව මුහුණ දෙන අභියෝග 3 ක් ගැන එහිදී කරුණු දැක්වීය.

මෙම සමුළුවට ජපාන අගමැතිට අමතරව වියට්නාමයේ නියෝජ්‍ය අගමැති ට්රාන් ලූ ක්වාන්, සිංගප්පූරුවේ නියෝජ්‍ය අගමැති ලෝරන්ස් වොන්ග් හා තායිලන්තයේ නියෝජ්‍ය අගමැති මෙන්ම විදේශ ඇමති ද වන දොන් ප්‍රමුද්විනායි යන පිරිස සහභාගි වූහ.

එහිදී ජනපති රනිල් මෙම නායකයන් මුණ ගැසී ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු සූදානම් කළ අතර ඒ අනුව ඔවුන් හා ද්වි පාර්ශ­්වික සාකච්ඡා පැවැත්විණි. මෙම සාකච්ඡාවන් සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ද එක්ව සිටියේය.

හෙලිකොප්ටරය ගැන මහින්ද කී කතාව

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හමුවීම සඳහා පසුගිය 22 වැනි සඳුදා උදෑසන කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි නිල නිවසට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සිටියහ. ගුණතිලක රාජපක්ෂ, එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැමිණ සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කතාබහ කිරීමටය.

“දැන් මොකද අපේ හෙලිකොප්ටරයෙ ගිය කට්ටියට වෙලා තියෙන්නේ” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා කතාවට මුල පිරුවේය. “සර් හෙලිකොප්ටරයෙන් ගිය කට්ටිය එක්කෙනා එක්කෙනා බැහැගෙන යනවා වගෙයි” යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ ගුණතිලක රාජපක්ෂය.

“අනිත් එක හෙලිකොප්ටරයේ හුඟ දෙනෙකුට යන්න බැහැනේ.‍ හය දෙනෙකුටනේ යන්න පුළුවන්” මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මඳක් සිනහසෙමින් පැවසීය.

ජනක වෙනුවෙන් සජිත්ගෙන් වසල සුත්‍රය

මහජන උපයෝගිතා කොමිසමේ සසභාපතිවරයා ඉවත් කිරීමට අදාළ විවාදයට දෙදිනකට පෙර විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු රැස්වීම පාර්ලිමේන්තුවේදී සිදු විය.

"අපි මේ වෙලාවේ විරුද්ධ වෙන්නේ පුද්ගලයෙක් මත පදනම්ව නෙවේ. ආණ්ඩුව මේ ඇඟිලි ගහන්නේ ස්වාධීන කොමිෂන් සභාවකට." සජිත් කීවේය.

අදාළ විවාදය විපක්ෂය පැත්තෙන් ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ය. ඔහු වසල සූත්‍රයේ ගාථාවකින් කතාව ආරම්භ කළේය. "ආණ්ඩුව මේක දිනුවාට පාර්ලිමේන්තුව මොනතරම් විකෘති ද කියල අද වෙනකොට පැහැදිලියි. විදුලි බිල අඩු කරන්න කිව්ව මනුස්සයා පරාජය කරලා විදුලි බිල වැඩි කරන්න ඕන කිව්ව මනුස්සයාව දිනෙව්වා" එරාන් වික්‍රමරත්න කීය.

"වසලයෝ කවුද බ්‍රාහ්මණයෝ කවුද රටම දැන ගත්තා."ඡන්ද විමසීමෙන් අනතුරුව සජිත් කීවේය.

විශ්‍රාම යන්නට අජිත් රාජපක්ෂගෙන් වයස් 4ක්

යම් පුද්ගලයෙකුගේ විශ්‍රාම යෑ‍ම වයස් 4කට වෙන්කර හඳුන්වාදීමට හැකි බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක විශ්‍රාම යෑම වෙනුවෙන් ඔහුගේ සේවය ඇගයීම වෙනුවෙන් පසුගිය 25 වැනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අජිත් රාජපක්ෂ විසින් මෙම වයස් 4 පෙන්වා දෙන ලදී.

“එකක් තමයි දින දර්ශන අනුව වයස. දැන් ඔබතුමාට ඒක හරියට හරි. ඔබතුමාගේ උපන් දිනය වන විට වයස අවුරුදු 60යි. එදාට විශ්‍රාම යන්නම ඕනෑ. දැන් ගියා.

ඔබ විශ්‍රාම ගියාට කායික වශයෙන් බැලුවාම කිසිම දුර්වලකමක් පෙනෙන්නේ නැහැ. මම නම් දැකලා නැහැ කොණ්ඩයවත් දවසක් නිකම් අවුල් වෙලා තිබෙනවා. අපේ චමල් රාජපක්ෂ මැතිතුමා වාගේ හොඳට පීරලා හරියට තියාගෙන ඉන්නවා. ඒක නිසා කායික වශයෙන් කිසිම වයසට ගිය බවක් පෙනෙන්නේ නැහැ.

මානසික වශයෙනුත් ඒ වාගේමයි. හැබැයි, සමහර අය ඉන්නවා විශ්‍රාම යන කාලය එනකොට මානසික වශයෙන් නිකම්ම වයසට ගිහිල්ලා. මානසික වශයෙන් උපරිම වයසට ගිහිල්ලා හරිම දුර්වල වනවා. ඔබතුමාව බැලුවාම එහෙම පේන්නෙත් නැහැ. “

පෝලිම්වල සිටි අයට අත් උස්සන ලෙස වජිර කියයි

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීම පසුගිය සෙනසුරාදා සවස දිවුලපිටිය ආසන සංවිධායක කිත්සිරි මංචනායකගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඇතුළු පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, එජාප ජාතික සංවිධායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ ඇතුළු දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගීව සිටියහ. 

කොළඹදී පැවැති හමුවීම් කිහිපයකටම සහභාගි වීමට සිදුවූ නිසා වජිර පැමිණෙන විට රැස්වීම පටන් ගෙන තිබුණත් වජිර රැස්වීම තිබෙන ස්ථානයට පැමිණෙන විට රැස්ව සිටි පිරිසගෙන් ඉතා ඉහළ පිළිගැනීමක් විය.

“දැන් මෙතන ඉන්න අයගෙන් ගෑස් පෝලිම්වල හිටපු අය අත් උස්සන්න බලන්න. පෙට්ට්‍රල් පෝලිම්වල හිටපු අය අත් උස්සන්න බලන්න” වජිර නැවතත් සභාවෙන් විමසීය. පෙර පරිදිම සියල්ලෝම තමන්ගේ අත් උස්සා වජිරට පිළිතුරු දුන්හ.

“එහෙනම් දැන් හැමෝම ගහන්න හයියෙන් හොඳ අත්පුඩියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට” වජිර නැවතත් පැවසීය.

රනිල්ගේ ප්‍රියතම ක්‍රීඩාව වජිර හෙළි කරයි

“ මම කියන්නම්කෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන මෙහෙම කතාවක්. ජේ. ආර්. ජනාධිපතිතුමා තමන්ගේ ක්‍රීඩාව ලෙස තෝර ගත්තේ රගර්, ප්‍රේමදාස මහත්තයා ෆුට් බෝල් ගැහුවා, ඩී. එස්. සේනානායක මැතිතුමා අශ්වයෝ පැද්දා. මේ එක එක අය එක ක්‍රීඩා කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රිකට් ගැහුවෙත් නැහැ, ෆුට් බෝල් ගැහුවෙත් නැහැ. එතුමා ක්‍රීඩා කළේ, චෙස්. චෙස් කියන්නේ වෙනස්ම ගේම් එකක්. මොළයෙන් ගහන්න ඕන ගේමක් තමයි. ඒකටත් සුපිරි මොළකාරයෙක් වෙන්න ඕන.“

විමල‍්ගේ සැඟවුණු කතාව හොයන්න කතුවරුන් රැසක්

"නවය; සැඟවුණු කතාව" කෘතිය පිළිබඳ හරවත් සංවාදයක් සඳහා පසුගිය අඟහරුවාදා දින සවස කොල්ලුපිටියේ පිහිටි "The Manor Colombo" හෝටලය වෙත පැමිණෙන ලෙස කෘතියේ කතුවරයා වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් රැසකට ඇරැයුම් කොට තිබිණි.

ඉහත ඇරයුම පිළිගනිමින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍ර නියෝජනය කරමින් ආරියනන්ද දොඹගහවත්ත, ගාමිණී සුමනසේකර, බෙනට් රූපසිංහ, ධර්මන් වික්‍රමරත්න, කාංචන දසනායක, බුලිත ප්‍රදීප් කුමාර, වසන්ත ලියනගේ, උදයජීව ඒකනායක, යුවරාජ් අතුකෝරල, තිලක් මහගමගේ, සුධර්මන් රදලියගොඩ, උදය ශාන් ඉඩමේගෙදර, හේමන්ත කහවලගේ, නිශාන්ත ප්‍රේමරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 100කට ආසන්න පිරිසක් එක්ව සිටිම විශේෂත්වයකි.

විමල් වීරවංශ මහතා එහිදී පැමිණි සිටි සැම පිළිගනිමින් පවසා සිටියේ කෘතිය පිළිබඳව දැනටමත් සමාජයෙහි මතුව ඇති කතිකාවත තවදුරටත් පුළුල් කිරීමට මෙම සංවාදය බෙහෙවින් දායක වනු ඇති බව ය. මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, ගාමිණී වලේබොඩ හා උද්දික ප්‍රේමරත්න ද එක්ව සිටියහ.

Comments