ජනපති රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට අපට මුළුමනින්ම විරුද්ධ වෙන්න බෑ | සිළුමිණ

ජනපති රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට අපට මුළුමනින්ම විරුද්ධ වෙන්න බෑ

මහ බැකු අධිපතිවරයා පසුගියදා සිළුමිණට සඳහන් කළා ලබන වසර වන විට ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් ඇති වන බවට. ආර්ථික විශේෂඥයකු ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොයි ආකාරයෙන්ද?

මේ රටේ ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. එය තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. එහි වැරැද්දක් මම දකින්නේ නැහැ. එක පැත්තකින් අද ආහාර උද්ධමනය 94.5% ක්. සාමාන්‍ය උද්ධමනය 70% ක් වෙලා. කිසි දවසක සිදු නොවුණු දෙයක් අද සිදු වෙලා තියෙන්නේ. දරා ගත නොහැකි පරිදි දිනෙන් දින වැඩි වන බඩු මිල ස්ථාවර කළ යුතුයි. ඒ ස්ථාවර කිරීමට නම් පොලී අනුපාතය ඉහළ දැමිය යුතුයි. පොලී අනුපාතය ඉහළ දැම්මා නම් මුදල් අච්චු ගැසීම නැවැත්විය යුතුයි. මුදල් අච්චු ගහනවා නම් පොලී අනුපාතය ඉහළ දැමිය යුතු නැහැ. උද්ධමනය යම් අඩුවීමක් සිදු වුණා යැයි පවසන්නේ නම් බැංකුවක මුදල් තැන්පත් කරන්නකු තේරුම් ගන්නවා, අවුරුද්දකින් පසු තමන්නේ මුදල් යළි ගන්න විට උද්ධමනය වැඩි වී ඇත්නම් මේ මුදල් තමන්ට අවශ්‍ය නැති බව. ඒ නිසා ඔහුට අවශ්‍ය උද්ධමනයට එහා ගිය පොලියක්. මේ නිසා තමයි පොලී අනුපාතය පවා ඉහළ ගිහින් තියෙන්නේ.

මහ බැංකු අධිපතිවරයා පවසන පරිදි ඉදිරියේදී උද්ධමනයේ අඩු වීමක් ඇතිවන ලකුණු දැකිය හැකිද?

අද ආහාරවල බඩු මිල වැඩි වීමේ වේගය 95%ක්. අවම වශයෙන් මෙය 5%කට ගෙන ආ යුතුයි. 95% සිට 5% දක්වා බැස්ස වීම ලෙහෙසි දෙයක්ද? අද රටේ විශාල පිරිසක් තමන් ගන්නා ආහාර ප්‍රමාණ අඩු කර තියෙනවා. කෑම වේල අඩු කරපු නැති ගෙවල් දකින්නට නැහැ. එක්කෝ වියදම, නැතිනම් මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණය, එහෙම නැතිනම් ගන්නා භාණ්ඩවල ගුණාත්මක භාවය අඩු කර තියෙනවා. අද සාලයෙක්වත් කන්න බැරි තත්ත්වයකට ජනතාව පත් වෙලා.

ජනතාව මේ වන විට දැඩි ජීවන බරකින් පීඩා විඳිනවා. යම් තාක් දුරටකට හෝ බඩු මිලේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. නමුත් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ ලබන වසරේ ආර්ථිකය යහපත් වුවත් බඩු මිලේ අඩුවීමක් බලාපොරොත්තු නොවන ලෙසයි. ඔහු එසේ සඳහන් කළත් උද්ධමනය අඩු වුවහොත් ජනතාවට සහන දිය හැකියි නේද?

උද්ධමනය කියන්නේ බඩු මිල වැඩි වීමේ වේගයයි. අවධමනය කියන්නේ බඩු මිල අඩු වීමේ වේගයයි. ජපානයේ අවධමනය අවුරුදු ගණනක් තිබිලා තියෙනවා. නමුත් අපි උද්ධමනය අඩු කර ගත යුතුයි.

මේ වන විට තෙල්, ගෑස් පෝලිම් නැහැ. මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ එසේ වූයේ මහ බැංකුව හා රජය එක්ව ගත් සාධනීය පියවර නිසයි කියලා. මේ වෙනස ඔබ දකින්නේ කෙසේද?

ගෑස් පෝලිම් නැති වුණේ ගෑස් ගන්න අපිට ලෝක බැංකුවෙන් ණය දුන්න නිසා. පෙට්‍රල් මිල වැඩි වූ නිසා පාවිච්චි කරන ප්‍රමාණය අඩු වුණා. ඒ නිසා ඉල්ලුම අඩු වුණා. QR කෝඩ් එක නිසාත් ඉල්ලුම අඩු වුණා. එයට වැරැද්දක් කියන්න බැහැ. එවැනි තාක්ෂණික විසඳුම් හරහා තියෙන පෙට්‍රල් බෙදා දුන්නා මිස ඇති වෙන්න ජනතාවට ඉන්ධන ලැබිලා නැහැ.

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩි පිළිවෙළට මහ බැංකුව යොමු වෙලා. නමුත් මහ බැංකුවේ නිලධාරීන් සිටියත් මෙහි උපදේශන කටයුතු සඳහා විශාල මුදලක් විදේශ සමාගම්වලට ගෙවනවා. මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ඒ සඳහා තම නිලධාරීන් සිටියත් මෙය අලුත් අත්දැකීමක් නිසා මේ කටයුතු මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවූ බව?

එය හරි. ජාත්‍යන්තරයත් එක්ක එවැනි කටයුත්තක නියැළෙන්න අපේ කිසි කෙනෙක් නැහැ. මීට කලින් අපේ රටේ ඉතිහාසයේ කිසිම දවසක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කර නැහැ. ඒ නිසා මේ ගැන අත්දැකීම් ඇති අය නැහැ. දක්ෂ මූල්‍ය උපදේශකයන් ගේ සහාය මේ සඳහා ගත යුතු වෙනවා.

ඩොලර් ලංකාවට ගෙන්වා ගැනීමට මහ බැංකුව හා රජය මේ වන විට සාර්ථක පිළියම් ගෙන තිබේද?

ඩොලර් ගේනවා කියලා අලුත් දෙයක් සිදු වෙලා නැහැ.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ ඩොලරය හිර කරගෙන නොසිටින බව. එය ඇත්තක්ද?

ඩොලරය රුපියල් 360 කට තියෙන්න බැහැ. පරාසයක දෝලනය වීමට ඉඩ දීලා තියෙන්නේ. දැන් කරන්නේ රට ස්ථාවර කිරීම. මීට පස්සේ තමයි ප්‍රතිසංස්කරණයන් සිදුකර ආර්ථිකය ශක්තිමත් කරන්නට, වර්ධන වේගය අඩු කරන්නට කටයුතු කළ යුත්තේ. ලෝකයට අපි විවෘත විය යුතුයි. එසේ නොවී බොරු කියමින් මේ කටයුතු සිදු කරන්න බැහැ. ‘කොහොම තිබුණ රටක්ද, අපි වැටිච්ච තැනක්’ කිවුවා වගේ දැනුත් අපිට පෙරළා අහන්න වෙන්නේත් එයමයි.

මහ බැංකුව විසින් පනවා ඇති අධික ණය පොළි අනුපාතය නිසා ජනතාව දැඩි පීඩාවකට පත් වෙලා. මේ පොළී අඩු කිරීමේ සූදානමක් තවමත් පෙනෙන්නට නැහැ. ?

ඉල්ලුම පැත්තෙන් ඇතිවන උද්ධමනය සමනයට කිරීමට තමයි, පොලී අනුපාතය ඉහළ දමා තිබෙන්නේ. එතැනදී ආර්ථික විද්‍යා දෘෂ්ටිකෝණයෙන් කළ දෙයෙහි වැරැද්දක් නැහැ. රුපියල අවප්‍රමාණ වීමෙන් රුපියල 365 කට කඩා වැටුණා. මහ බැංකු අධිපතිවරයා උත්සාහ කළ යුතුයි, මෙය කෙසේ හෝ 365 තබා ගෙන පසුව තවදුරටත් ශක්තිමත් කර 200 කට බැස්ස වීමට. ඒ සඳහා ඔහු කෙටි කාලීනව ආනයන සීමා දාලා තිබෙනවා. නොයෙකුත් තහංචි දාලා, ආනයන බදු පනවලා තියෙනවා. ඔහු කරන්නේ ආර්ථික විද්‍යාත්මක න්‍යායන්ට අනුව කළ යුතු මූලික වැඩපිළිවෙළයි. පිරිවැයට සාපේක්ෂව මිලක් ලබා දීමට අධිපතිවරයා උත්සාහ කළා. ආර්ථික විද්‍යාත්මකව මෙහි ගැටලුවක් නැහැ.

නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ රට ස්ථාවර කර ගත හැකිද? දේශපාලනය ආර්ථිකය ස්ථාවර කිරීමෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන විට ඇතිවන ප්‍රශ්නය තමයි 36% ට පොලිය ඉහළ නඟින විට කුඩා ව්‍යවසායකයා හාන්සි වීම. එවිට පොළිය 5%කට බස්වන්න කියලා මහ බැංකු අධිපතිට කියන්න වෙනවද? 5%ට බැස්සුවොත් උද්ධමනයට මොකද වෙන්නේ. උද්ධමනය කියන්නේ රීරි යකෙක්. ගෝඨාභය එනවිට උද්ධමනය තිබුණේ 5%යි. අද ආහාර උද්ධමනය 95% යි. කවුද මේවා කළේ. වත්මන් මහ බැංකු අධිපතිවරයා අද ඉන්නෙත් අමාරු තැනක. මෙතැනදි මුදල් මණ්ඩලයේ මැදිහත් වීම තියෙනවා. නමුත් රජයේ මැදිහත් වීම නැහැ. මම කියන්නේ රජය මැදිහත් වී වදින පහර අඩු කරන්න රාජ්‍ය මූල්‍ය පැත්තෙන් වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නැතිව පොලිය වැඩි කිරීම ඵලක් නැහැ.

රාජ්‍ය ආදායම අඩු වුව හොත් මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට සිදු වෙනවලු. මෙතෙක් මහ බැංකුව මුදල් අච්චු ගැහුවේ කුමන හේතු මතදැයි ඔබට පැවැසිය හැකිද?

මහ බැංකුව සුළු ප්‍රමාණයෙන් මුදල් අච්චු ගැසීම් කරනවා.

මහ බැංකු අධිපතිවරයා IMF ණය දෙසැම්බර් මස වන විට ලබා ගත හැකිවේ යැයි අනාවැකි පළ කරනවා. දෙසැම්බරයේ එය ලබා ගත හැකි වෙයිද?

2020 දී මම IMF යන්න කිවුව වෙලාවේ ගියා නම් මේ ප්‍රශ්නයක් නැහැනේ. එදා රුපියල තිබුණේ 195 කට. ආර්ථික වර්ධන වේගයක් තිබුණේ. මේ තත්ත්වය රිවර්ස් වෙනකොට අපි දැක්කා. කට කැඩෙනකම් කිවුවා. IMF ගිහින් මේ ප්‍රශ්නය විසඳා ගන්න කියලා. අපිට ගහපු එකයි කළේ. දැන් ප්‍රමාද වැඩියි.

රටේ වර්තමානයේ ඇති වී ඇති ප්‍රශ්නය ආර්ථික විද්‍යාඥයකු ලෙස ඔබ ගැඹුරෙන් අත් දකින්නේ කෙසේද?

මේ ප්‍රශ්නය විසඳීමට සුපර් මෑන්ලා නැහැ. කණ්ඩායමක් ඒ සඳහා ඉදිරිපත් විය යුතුයි. එක පැත්තකින් ආර්ථිකය විද්‍යාත්මකව තේරුම් ගෙන අවශ්‍ය විසඳුම් හඳුනා ගත යුතුය. පසුව එයට දේශපාලන වටපිටාව සකසා ගත යුතු වෙනවා. මම දකින්නේ රටක් ලෙස දේශපාලන නායකත්වයක් යටතේ ජනතාවගේ එකඟතාව මත සියලු දෙනාගේම දායකත්වයෙන් මෙය කළ යුතු බව.

ඔබ මේ අවස්ථාවේ මුදල් ඇමැති නම්, ඊට කෙසේ මුහුණ දෙනවාද?

ජනතාවට වෙලා තියෙන නස්පැත්තිය පැහැදිලි කර වැඩපිළිවෙළක් සඳහා අනුමැතිය ගත යුතුයි. මේ ප්‍රශ්නය විසඳීමට නම් ජනතාවගේ කැමැත්ත ලබා ගෙන ප්‍රතිසංස්කරණවලට යා යුතුයි. මම 2020 සිට දුන් විසඳුම් ජනතාව පිළිගන්නවා නම් එය මට ක්‍රියාත්මක කළ හැකියි. ඒත් ජන මතයක් නැතිව මේ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැහැ.

නමුත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ කවුරු බලයට ආවත් මේ වැඩපිළිවෙළ ඉදිරියට යා යුතු බවයි?

මෙය මහ බැංකු අධිපතිට හෝ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට හෝ ගත හැකි තීරණයක් නෙමෙයි. පාර්ලිමේන්තුවට හෝ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඡන්දයක් ලබා ගෙන නැහැ. වැඩපිළිවෙළ කර ගෙන යාමට ජන මතයක් ඕන. අලුත් ආණ්ඩුවක් ඕන. නව ආණ්ඩුවක වගකීම අරගෙන මේ කටයුතු ක්‍රියත්මක කරන්න කැමැතියි. මට මේ සඳහා නායකත්වයක් දිය හැකියි. නමුත් සුපර් මෑන් කෙනෙක් ලෙස තනිවම මෙය කළ නොහැකියි.

ඇයි ඔබට බැරි පාට පක්ෂ අමතක කර ජනතාව වෙනුවෙන් මේ සඳහා ඉදිරිපත් වීමට?

මට බැරි කමක් නැහැ. තුවාලයට බෙහෙත් දාන්න කලින් තුවාලය මුලින්ම සුද්ධ කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ගමනත් සමඟ සුබවාදි ප්‍රවේශයකට රට පෙරළී නැති බවද ඔබ පවසන්නේ...?

මම එදත් අදත් කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන අපිට මුළුමනින්ම විරුද්ධ වෙන්න බැහැ. දිශානතියේ වැරැද්දක් නැහැ. ප්‍රශ්නය තියෙන්නේ වේගයෙන් මේ ගමන යා හැකිද? ජනතාවට මේ වෙනස්කම විඳ දරා ගත හැකිද? එයට ජනතාවගේ එකඟතාව තිබේද යන කරුණු. මහ බැංකු අධිපති වගේ නිලධාරීන්ට ඇත්තේ ආර්ථික විද්‍යා දැනුම. මම වගේ දේශපාලනඥයකු බැලිය යුත්තේ දේශපාලන ආර්ථික විද්‍යා කෝණයෙන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ දිශානතිය වැරැදියි කියා මම කිවුවොත් මම චීප් දේශපාලනඥයෙක් වෙනවා. මම එහෙම කියන්නේ නැහැ. හරි දේට හරි කියනවා. නමුත් ඒ කටයුතු සිදු කරන්න හොඳ පසුබිමක් තිබිය යුතු යැයි මම පවසනවා.

සේයාරූ - දුෂ්මන්ත මායාදුන්න

Comments