හෙණ්ඩුව අත නොහැරි රනිල් නැවත මැති සබයට | සිළුමිණ

හෙණ්ඩුව අත නොහැරි රනිල් නැවත මැති සබයට

රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂයන් කලකට ඉහතදී

මෙරට පස්වරක් අගමැතිධුරය දරා වාර්තා අතරට එක් වූ රනිල් වික්‍රමසිංහයන් ලබන 22 වැනිදා අඟහරුවාදා යළිත් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ යනු අභියෝග හමුවේ කිසිසේත්ම නොසැලුණු චරිතයකි. 1949 මාර්තු 24 වැනිදා උපත ලැබූ ඔහු ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ප්‍රථම පුද්ගලයාය. කොටි ත්‍රස්තවාදීන් විසින් 1993 වසරේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන් පසුව අගමැති ධුරය දැරූ ඩී.බී. විජේතුංගයන් ජනාධිපති ධුරයේ දිවුරුම් දීම නිසා 1993 මැයි 07 වැනිදා රනිල් වික්‍රමසිංහ මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් විය.

ඔහු දෙවන වරට අගමැති ධුරයට පත් වූයේ 2001 මහ මැතිවරණයෙන් ජය ලබමිනි. තුන්වැනුව ‘යහපාලන රජය‘ යටතේ 2015 ජනවාරි 9 වැනිදා අගමැති ධුරයට පත් විය‍. එම වසරේම අගෝස්තු පවත්වන ලද මහ මැතිවරණයෙන් ජය ලබා සිවුවන වරට අගමැති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහයෝ යළිත් 2018 වසරේ දෙසැම්බර් මස 16 වැනි දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූහ.

අධ්‍යාපනයේ ඉහළටම

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවකු වන රනිල් වික්‍රමසිංහයන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය හැදෑරීය. පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හැදෑරූ රනිල් වික්‍රමසිංහ කැපී පෙනුණු නීතිඥ ධුරයට පත් වූ අයෙකි. නීති විද්‍යාලයේ සිටි අවදියේ නීති ශිෂ්‍ය සංගමයෙ සභාපති ධුරයද ඔහු හෙබවීය. 1973 වසරේ එක්සත් ජාතික පක්ෂයට එක් වූ ඔහු බියගම ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කෙළේය.

1977 වසරේ පැවැති මහ මැතිවරණයේදී වයස අවුරුදු 28 දී ඔහු පාර්ලිමේන්තුවට පත් වූ රනිල් ආර්. ජයවර්ධන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට ඔහු පත් විය. වැඩිකල් නොගොස්ම කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූ රනිල් 1978 වසරේ යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමැතිවරයා ලෙස පත් විය. 1980 වසරේ එම අමාත්‍යාංශයටම අධ්‍යාපන විෂයද එක් විය. ඔහු කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා විය. ඔහුගේ සමයේ ගම් මට්ටමින් ආරම්භ කළ යෞවන සමාජ බෙහෙවින් ජනප්‍රිය වූ අතර එහි විශේෂ ව්‍යාපෘතියක් වූයේ ‘යොවුන් පුරය‘ වැඩසටහනයි. ඒ හරහා තරුණ තරුණියන් වෘත්තීය, කලා සහ ක්‍රීඩා වැනි අංශවලට ආකර්ෂණය කරගැනීම ඇරැඹිණි.

ඔහුගේ දේශපාලන ගමන් මඟේ විශේෂිතම සිදුවීමක් වන්නේ තායිලන්තයේ බැංකොක්හි පැවැති පැසිෆික් ආර්ථික සමාජ කොමිසමේ උප සභාපති ධුරයට පත්වීමයි. ඒ 1978 වසරේදීය.

1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුවේ සභානායක ලෙසද රනිල් පත් විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂයන්ගේ ජනාධිපති ධුර කාලයේ විපක්ෂ නායකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ රනිල් වික්‍රමසිංහයන් කිසි විටක පරාජය හමුවේ නොසැලුණු නායකයෙකි.

සටන් විරාම ගිවිසුම

මෙරට දේශපාලන ඉතිහාසයේ විකෘතියක් පෙන්නුම් කළ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයෙහි අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහයන් කොටි සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීම මෙරට දැඩි විවේචනයට ලක් වුවද කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිතරන් කොටි සංවිධානය හැරදමා රජයේ පාර්ශ්වයට එකතුවීම සිදු වූයේ රනිල් වික්‍රමසිංහ විසින් ගෙන යන ලද එම වැඩ පිළිවෙළේ අතුරු ඵලයක් වශයෙන් බව දේශපාලන විචාරකයන් පවසා තිබුණි.

රනිල් වික්‍රමසිංහයන් විසින් අරඹන ලද එම සාම සාකච්ඡා හි පළමුවැන්න 2001 වසරේ තායිලන්තයේ 'බැංකොක්' නගරයේ පැවැත්වුණි. එම සාකච්ඡා මාලාවේ අවසන් හමුව ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජිනීවා නගරයේ දී පැවැත්විණි.

කොමිසන් සභා

2015 ජනාධිපතිවරණය සඳහා සිය පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ''පොදු අපේක්ෂක'' මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන එමින් ''යහපාලන ආණ්ඩුව'' පිහිටුවා ගැනීමට කටයුතු කරන්නට තරම් ඔහු දේශපාලනයේ දක්ෂයකු විය.

2015 ජනවාරි මාසයේ අගමැති පදවිය බාරගත් රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය වෙනස් කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට මූලික පියවර ගත් නමුත් එය මුඳුන්පත් කර ගත නොහැකි වූ සැලැස්මක් බවට පත්විය.

සිය පක්ෂ අභ්‍යන්තරයේ වසර ගණනාවක් පුරා නායකත්ව අභියෝගයට මුහුණ දෙමින් සිටින රනිල් වික්‍රමසිංහ මුහුණ දුන් බරපතළම දේශපාලන අභියෝගයට මුහුණ දෙන ලද්දේ ද ''යහපාලන රජයේ'' අගමැති පදවිය දරන කාලය තුළය.

රනිල් වික්‍රමසිංහයන්ගේ විශේෂ දේශපාලන නිර්මාණ අතර ඔහු ගෙනා කොමිසන් සභා වැදගත් තැනක් ගනී. එම කොමිසන් සභා පත්කිරීමට මුල්වූයේද ඔහුය. පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම සියල්ල රනිල්ගේ වුවමනාව පරිදි ආරම්භ වූ කටයුතුය.

2018 වසරේ අගෝස්තු මාසයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු අගමැති පදවියෙන් ඉවත්කොට මහින්ද රාජපක්ෂ එම පදවියට අනුප්‍රාප්ත කරන ලද නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් බවට පත් එම ක්‍රියාවලිය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය ඇතුළු තවත් දේශපාලන කණ්ඩායම් සහ සිවිල් සංවිධාන සමත්වූහ. එයට මූලිකත්වය දුන් රනිල් වික්‍රමසිංහයන් අරලිය ගහ මැදුරින් නික්ම නොගොස් එහි රැදී සිටියේ අභියෝගයට නොසැලී මුහුණ දෙමිනි.

වසර 25කට අධික කාලයක් එජාපයේ නායකත්වය ඔහු දැරූ අතර එජාපය බිහිවූ දා සිට එතරම් කලක් පක්ෂ නායකත්වය දැරූ අන්කිසිවකු නැත.

ඔහුගේ පාලන සමයන්හි සිදු කළ සේවාවන් අතර පරිපාලන සේවා විභාගය වැදගත් තැනක් ගනී. එමෙන්ම විද්‍යාපීඨ ක්‍රම හඳුන්වාදීම, තරුණ සේවා සභාව තුළින් මෙරට තරුණයන්ට බෙල්වුඩ් වැනි ආයතනයන් පිහිටුවීමද පෙන්වා දිය හැකිය.

ජනාධිපති ඩී බී විජේතුංගගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහට එම පදවිය වෙනුවෙන් අරගල රැසකට වරින් වර මුහුණදීමට සිදුවිය.

2005 ජනාධිපතිවරණය පරාජයට පත්වීමෙන් පසු පළමු අභියෝගය එල්ල වූයේ කරු ජයසූරිය ප්‍රමුඛ කණ්ඩායමකිනි. එම අරගලයෙන්ද රනිල් ජයගත් අතර එය නිමවුණේ කරු ජයසූරිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් මහින්ද රාජපක්ෂයන් සමඟ එක්වීම නිසාය. මහින්ද රාජපක්ෂයන්ගේ ඇමැති ධුරයක් පවා දැරූ කරු ජයසූරිය යළිත් කෙසේ හෝ රනිල් සමඟ එකතු වීම රනිල්ගේ දේශපාලන දැනුමේ පෙරළියකි.

අභියෝග හමුවේ නොසැලීම

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම තෙක් විහිද ගිය රනිල් විරෝධී ඊළඟ නායකත්ව කැරැල්ල සිදු කරන ලද්දේ පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දැරූ සජිත් ප්‍රේමදාසයන් විසිනි.

ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වුවද රනිල් කිසි විටෙක පසෙකට නොගියේය. ජනාධිපතිවරණය සජිත් පරාජයට පත්වීමෙන් පසුව වුවද රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අද දක්වාම හොබවමින් සිටී.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් කිසිදු අසුනක් එක්සත් ජාතික පක්ෂයට හිමි නොවූ අතර පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට තමා ඉදිරිපත් නොවන බව රනිල් ප්‍රකාශ කෙළේය. එහෙත් මාස ගණනාවක් පුරා කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සිදු කළ සාකච්ඡාවලින් පසුව යළිත් රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරන ලදී.

මේ වන විට විපක්ෂයේ බල පෙරළියක් වේදෝ යන්න ගැනද දේශපාලන ලෝකයේ කතා බහ ඇතිව තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ යනු හෙමින් ගමනක් යන මොළකරුවකු බැවිනි.

එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රී ලංකා සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුව සිට පසුව ඩී.ආර්. විජයවර්ධන සමයෙහි 'ලේක්හවුස්' මාධ්‍ය ලෝකය පාලනය කළ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල්ගේ පියා වන අතර මව වන්නේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනගේ දියණිය වූ නාලිනී විජයවර්ධන යි.

කැලණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ 1995 වසරේදී විවාහ වූ රනිල් කිසිවිටෙක දේශපාලන ලෝකයට සිය බිරිය එක් කර නොගැනීමද දේශපාලනයේ කැපී පෙනුණු සිදුවීමකි.

- වජිර අබේවර්ධන, එජාප සභාපති

Comments