විපක්ෂයේ ළදරු වලිප්පුව | සිළුමිණ

විපක්ෂයේ ළදරු වලිප්පුව

“උඹත් එක්ක මට ගනුදෙනුවක් තියෙනවා. වරෙන් බේරගන්න එළියට” කියමින් ආණ්ඩු පක්ෂයේ ජානක තිස්සකුට්ටිආරච්චිට අභියෝග කළ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු දැන් සිටින්නේ නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින්ය. පාර්ලිමේන්තුවේ දී ජානක තිස්සකුට්ටිආරච්චිට අභියෝග කළ හරින් ජානක සමඟ අතින් පයින් ගසා ගත්තේය. එම ගුටිබැට හුවමාරුව නතර වූයේ ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් පිරිසකගේ දැඩි මැදිහත්වීම නිසාය. පිරිසක් ජානක ඇදගෙන පාර්ලිමේන්තුවේ ඇතුළට යන විට හරින් තම උරහිසේ තිබූ බෑගය ගලවා පැත්තක තබා යළිත් වේගයෙන් පැමිණ ජානකට පහරදීමට දැඩි උත්සාහයක් ගත්තේය.

මැතිසබය තුළ කිව හැකි පරුෂම වචන ටික හරීන් යටිගිරියෙන් කෑගසමින් පැවසූ බව රහසක් නොවේ. එම වීඩියෝ පට, එම හඬ පට ඇතිතරම් අන්තර්ජාලයේ පසුගිය දිනවල සැරිසැරුවේය. 

හරින්ගේ මේ ක්‍රියාදාමයත් මැති සබයේ සහ පාර්ලිමේන්තු සංකීර්ණයේ සවිකර ඇති ආරක්ෂිත කැමරාවල (CCTV) පටිගත වී ඇත. මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ද එම CCTV දර්ශන මේ වන විට නරඹා ඇත.

හරින් තමාට පහරදුන් බවට ජානක තිස්සකුට්ටිආරච්චි වැලිකඩ පොලීසියට ද පැමිණිලි කර තිබේ.

මීට අමතරව පාස්කු ප්‍රහාරය ගැන තමන් රහස් රැසක් දන්නා බව සඳහන් කරමින් හරීන් චෝදනා කරන ලද්දේ බුද්ධි අංශයේ ඇතැම් නිලධාරීන්ටය.

මේ සම්බන්ධයෙන් ද ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

මෙවැනි වාතාවරණයක් තුළ හරින් එකපාරටම දුව ගොස් නතරවූයේ පෞද්ගලික රෝහලකය.

එම පැමිණිලි සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාගැනීමට පැමිණෙන ලෙසට පොලිසිය කළ දැනුම් දීමත් සමඟ ම රෝහල්ගත වූ හරීන් තවමත් සිටින්නේ රෝහලේය.

මැතිසබය තුළ දී බුද්ධි අංශ නිලධාරීන්ට දැඩි ලෙස චෝදනා කළ හරින්, පාර්ලිමේන්තුව තුළ තිස්ස කුට්ටිආරච්චිට අතින් පයින් සැලකූ හරින්, පාර්ලිමේන්තුව තුළ අසභ්‍ය වචන වපුරවමින් චණ්ඩියා වූ හරීන් දැන් සද්ද නැතුව පෞද්ගලික රෝහලකට වී සිටින්නේ ඇයි?

හරීන්ට පෙර අශෝක් අබේසිංහට ද මෙවැනි ම ඉරණමක් මීට පෙර අත්විය. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වීම සඳහාය කියා අශෝක් අබේසිංහ වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට ද චෝදනා කරමින් ප්‍රකාශයක් කළේය.

මේ සම්බන්ධයෙන් රහස් පොලිසියට අශෝක් අබේසිංහ කැඳවා ප්‍රශ්න කළ අතර තමා කළ ප්‍රකාශයට අදාළව කිසිදු තොරතුරක් සාක්ෂි සහිතව ලබා දීමට අශෝක් අබේසිංහට නොහැකි විය.

රහස් පොලිසියේදී අශෝක් අබේසිංහට උත්තර නැති විය.

තමන් ද රහස් පොලිසියට ගියහොත් කට උත්තර නැතිවන බව දන්නා හරින් පෞද්ගලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි.

නමුත් සමගි ජනබලවේගය ප්‍රකාශ කරන්නේ හරීන් ANGIOGRAM හා MRI පරීක්ෂණයක් සිදුකර ඇති බවයි.

නමුත් හරීන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබෙන බව ප්‍රකාශ කරමින් යම් නාට්‍යයක් රඟ දක්වමින් සිටින්නේ ද සමගි ජන බලවේගයයි.

විපක්ෂ නායක මෙන්ම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන්නේ හරීන් වෙනුවෙන් ඔහු ද සිරගත වීමට සූදානම් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශයට අසත්‍ය චෝදනා එල්ල කරන හරින් වෙනුවෙන් සජිත් පෙරට පැමිණ තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ යහපාලන ආණ්ඩුව මඟින් යටගැසූ බවට ඕනෑතරම් සාක්ෂි හෙළි වී ඇත. එවැනි තත්ත්වයක් මත එම ප්‍රහාරයේ වගකීම බුද්ධි අංශ වෙත පැවරීමට හරින් ගන්නා උත්සාහය සජිත් අනුමත කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කිසිදු මුස්ලිම් ජාතික දේශපාලඥයකුට චෝදනා නොකිරීමට සජිත්, හරින් පරිස්සම් වන්නේ ඇයි? මීළඟ මැතිවරණයකදී පටු ජාතිවාදය වපුරවා මුස්ලිම් ඡන්ද ඩැහැගැනීමට ඔවුන් සැලසුම් කර ඇත.

ගියවර ජනාධිපතිවරණයේදීත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීත් එම සැලසුම ඔවුන් ක්‍රියාවට නැඟූවද එය සාර්ථක නොවූයේ රටේ අති බහුතරයක් සිංහල ජනතාව රටේ බහුතරය ඔවුන් බව පෙන්වූ නිසාය.

මුස්ලිම් ඡන්ද ටික ඔවුන්ට කොහොමත් ලැබෙන බව දන්නා සජිත් - හරින්ට අවශ්‍ය වී ඇත්තේ සිංහල ඡන්ද පදනමට සූක්ෂ්මව තට්ටු කිරීමටය.

මේ ගැන වර්තමාන ආණ්ඩුවේ අවධානය තවම යොමු වී නැත. ආණ්ඩුව තවමත් හරීන් ප්‍රනාන්දු සුරතල් කරමින් සිටින්නේ ඇයිද? යන්න ආණ්ඩුවේම ඇතැම්හු ප්‍රශ්න කරති.

ඕනෑ තරම් සාධක තිබියදී පැමිණිලි තිබියදී හරීන්ගෙන් ප්‍රකාශයක්වත් ලබා නොගෙන ආණ්ඩුව සිටින්නේ ඇයි?

ආණ්ඩුව දේශපාලන පළිගැනීම් සිදු කරනවා යනුවෙන් සජිත්ලා කෑ මොර දෙන විට ආණ්ඩුව හරීන්ගෙන් ප්‍රකාශයක් ලබාගන්නේවත් නැතිනම් එය ආණ්ඩුවේ බරපතළ දුර්වලකමකි.

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ පිස්සු නැටුවේ අද ඊයේ නොවෙයි. මීට පෙර ද හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ පිස්සු නටා මැතිසබය තුළදීම ප්‍රසිද්ධියේ සමාව ද ගෙන ඇත.

2016 වසරේ මැයි මස 25 වැනි දා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ ඒ බව සඳහන් වී තිබේ.

එවකට පැවතියේ යහපාලන ආණ්ඩුවයි. හරීන් ප්‍රනාන්දු යහපාලන ආණ්ඩුවේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයායි.

කථානායකවරයා කරූ ජයසූරියයි.

පහත දැක්වෙන්නේ 2016 මැයි මස 25 වැනි දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගත් කොටසකි.

ගරු හරීන් ප්‍රනාන්දු මහතා

"ගරු කථානායකතුමනි, මහජන ඡන්දයෙන් පත් වෙච්ච මන්ත්‍රීවරයකු හැටියට මේ ගරුතර සභාවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමටත්, එහි අභිමානය ආරක්ෂා කිරීමටත් මා නිරන්තරයෙන්ම කැප වෙන බව මේ අවස්ථාවේ දී මුලින් ම ප්‍රකාශ කරන්නට කැමතියි.

ගරු කථානායකතුමනි, පසුගිය 18 වැනිදා මේ උත්තරීතර සභාවේ ‘ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් සමාගම’ සම්බන්ධයෙන් කතා කිරීමට ගිය අවස්ථාවේ දී ඇති වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායමක් සමඟ වෙච්ච කලබැගෑනියක් අතරතුරේ දී පිටවුණු වචනයක් ගැන විශාල ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවා. ඒක ඒ පැත්තෙන් වෙච්ච ප්‍රකාශයට ප්‍රතිඋත්තරයක් දීමේදී ඇතිවුණ අඩු පාඩුවක් අවුරුදු හතක් වැනි කෙටි කාලයක් තුළ මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන මට මේ ගරුතර සභාවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශාල වගකීමක් තිබෙන බව මම දන්නවා. ඒ වාගේම මම දන්නවා ඔබතුමාත් මේ සභාවේ ගරුත්වය රකින්න, උත්තරීතරභාවය ආරක්ෂා කරන්න විශාල වශයෙන් කැප වෙනවා කියලා. නමුත් නිරන්තරයෙන්ම ඔබතුමාට පවා “පතෝලයා” වැනි නොයෙකුත් වචන මේ සභාවේ දී ප්‍රකාශ කිරීම සාමාන්‍ය දෙයක්.

ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමාටත් ඔය විදියටමයි කතා කළේ ඔය කතා කරන කට්ටිය ඔහොම තමයි කතා කරන්නේ.

ගරු කථානායකතුමනි, ඒ සිදුවුණු අඩු පාඩුව සම්බන්ධයෙන් මම සමාව අයැද සිටින අතර, එවැනි දෙයක් නැවත වතාවක් සිදු නොවීමට වග බලාගන්නා බවත් ප්‍රකාශ කරනවා. ඒ වාගේම මේ ගරු සභාවේ උත්තරීතරභාවය රැක ගැනීම වෙනුවෙන් ඔබතුමා ගන්නා වූ ඕනෑම තීන්දුවකට මා එකඟ වන බවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි."

ගරු කථානායකතුමා

"ගරු අමාත්‍යවරුනි, ගරු මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තුවේ එවැනි සිද්ධියක් සිදුවීම ගැන මම කනගාටු වුණා. ඒ වාගේම මම ඒ ගැන ලැජ්ජාවට පත්වුණා. මෑතකදී සිදුවූ සිද්ධි නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය පහළ මට්ටමට වැටී ඇති බව මා පවසන්නේ ඉතාම සංවේගයෙන්. මෙම පාර්ලිමේන්තුව මුළු රටටම ආදර්ශවත් විය යුතු තැනක්. පාසල් ළමයින් පවා අද මෙම ස්ථානය දෙස බලන්නේ අවඥා සහගතවයි. මම පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලා වෙනුවෙන් චර්යා ධර්ම පද්ධතියක් සකස් කළේත් ඔබ සැමගේ ඒ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙනුයි.

ගරු හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමනි, මෙම සිද්ධිය ගැන ඔබතුමා දැඩිව කම්පා වන බවත්, පාර්ලිමේන්තුවෙන් සමාව අයදින බවත් සඳහන් කළා. ඒ ක්‍රියාව මා ඉතාම අගය කරනවා. දේශපාලඥයකු වශයෙන් තමන්ගේ වරද පිළිගැනීම ඔබගේ දේශපාලන අනාගතයට ආශිර්වාදයක් වෙයි කියා මා විශ්වාස කරනවා.

සිද්ධි දෙකක් වුණා. පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරියකුට අශිෂ්ට ලෙස පරිභව කිරීමත්, ඔහුගේ ලියකියවිලි උදුරා ගැනීමත් වීඩියෝ පටවල සඳහන් වෙලා තිබී මා ඒවා දැක්කා. මේ සියලු‍ දේ ගැන දැඩි පියවර ගන්නට පසුගිය දා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීත් මට පූර්ණ බලය ලබා දුන්නා. ඒ අදාළ මන්ත්‍රීතුමන්ලාත් ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළහොත් විනය පියවර නොගෙන අපට ක්‍රියා කළ හැකියි. එහෙම නැති වුණොත්, එදා තීරණය කළ පරිදි අකැමැත්තෙන් වුවත් පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීමට මට විනය පියවර ගන්න සිද්ධ වෙනවා. ඉදිරියේදී අපට මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගෙන, සාමූහිකව, එකඟත්වයෙන්, සමඟියෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙයි කියා මා විශ්වාස කරනවා."

හරින්ගේ පැටිකිරිය ගැන කීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. රන්ජන් රාමනායකගෙන් පසුව එ් කාර්යයභාරය බාරගෙන සිටින්නේ හරීන් ප්‍රනාන්දු බව පැහැදිලි වේ.

වර්තමානයේ විපක්ෂයේ බොහෝ දෙනකුට ඇති පදම් චෝදනා තිබියදීත් ඉන් එක්කෙනෙකුගෙන්වත් ප්‍රකාශයක්වත් නොගැනීමට කටයුතු කිරීම නිර්දේශපාලනීයකරණය කිරීමත් වශයෙන් බව ආණ්ඩුවේ ඇතැමුන් හිතනවා නම් එය මුළාවකි.

අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී අභියෝග කළේ හැකි නම් තමා රහස් පොලිසියට කැඳවන ලෙසයි. රවුෆ් හකිම් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට අභියෝග කළේ හැකිනම් තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසයි.

“එහෙනම් මගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා බලමු” යනුවෙන් ද රවුෆ් හකීම් විසින් ආණ්ඩුවට අභියෝග කරන ලදී.

2015 වසරේ දී යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ, ගෝඨාභය රාජපක්ෂගේ පමණක් නොව නාමල් රාජපක්ෂගේ ද ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සැලසුම් කළ බව රහසක් නොවේ.

අරලියගහ මන්දිරයට, නීතීපති දෙපාර්තමේන්තුවේ, රහස් පොලිසියේ, මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ (FCID), අල්ලස් කොමිසමේ නිලධාරීන් ගෙනල්ලා අසත්‍ය චෝදනා ගොනුකර බොරු නඩු පැටවීම සඳහා අරලියගහ මන්දිරයට රිංගු අනුර කුමාරලා, හකීම්ලා, පාඨලීලා ඇතුළු යහපාලන සෙට් එක දැන් කියන කතාවලට සිනාසෙන්නේ කුමන පැත්තකින් ද කියා විමසා බැලිය යුත්තේ ඔවුන් ගෙන්මය.

FCID නීති විරෝධී ආයතනයක් බව දැන් අමුතුවෙන් කිවයුතු නැත. රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා ද FCID නීත්‍යානුකූල ආයතනයක් නොවන බව පිළිගත්තේය.

ඒ අනුව FCID විසින් විමර්ශනය කරන ලද කිසිම නඩුවක් නීත්‍යානුකූල නොවන බව දෙකේ පන්තියේ ළමයෙකුට වුවද වැටහේ.

ඒ අනුව එම නඩු විසිවන විට අනුර කුමාර ප්‍රකාශ කරන්නේ දේශපාලන බලපෑම් මත නඩු ඉවත්කරගන්නා බවයි.

එසේ නම් අනුර කුමාර ප්‍රකාශ කරන්නේ තමා අරලියගහ මන්දිරයට රිංගූ බව සාධාරණය කියාද?

FCID යනු නීත්‍යානුකූල ආයතනයක් බව ද අනුර කුමාර දිසානායක කියන්නේ යන සාධාරණ සැකය මතු වේ.

තමාට බලයක් තිබුණේ නම් පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ සිටින ආණ්ඩුවේ සියලු‍ම දෙනා සිටින්නේ සිරගෙදර බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අනුර කුමාර නොකියා කියන්නේ ආණ්ඩුව පෙරළුණොත් යළිත් අරලියගහ මන්දිරයට ගොස් FCID හරහා වැඩ පටන්ගන්නා බව නොවේද?

එසේනම් අරලියගහ මන්දිරයට වී නීතිය නැවීමට ක්‍රියා කළ කිසිවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම වර්තමාන ආණ්ඩුවේ බරපතළ වරදක් නොවේද?

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තාවෙන් ඇතැම් පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කර ඇත.

නමුත් වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ ප්‍රජා අයිතිය අහෝසි කර දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවයි.

ප්‍රජා අයිතිය අහෝසි නොකරනවා නම් ගැටලුවක් නැත. ප්‍රජා අයිති කතාව අපි පැත්තකින් තියමු. නමුත් නීතිය නැවීම, බොරු චෝදනා ගොනු කිරීම, නීති විරෝධී ආයතන ස්ථාපිත කිරීම ඇතුළු කාරණා වෙනුවෙන් රටේ පවතින නීතිය අනුව ක්‍රියාත්මක විය යුතුය. එය දේශපාලන පළිගැනීමක් නොවේ. ඒ ආකාරයට අවම නීතිය හෝ ක්‍රියාත්මක නොකරනවා නම් එය මේ රටේ 69 ලක්ෂයකගේ බලාපොරොත්තුවලින් එක් බලාපොරොත්තුවක් සුන්කර ඇති බව ආණ්ඩුව මතක තබා ගත යුතුයි.

රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් ඉවත්වන ලෙසට බලපෑම් කළේ ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ සිරගත කරමින්ය.

එදා මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගත්තේ නම් අද පොහොට්ටුවක් නැත. ආණ්ඩුවක් ද නැත.

තම පුතුන් දෙදෙනා සිරගත කළ ද මහින්ද ඒ සියල්ල විඳ දරාගෙන සිටියේ රට වෙනුවෙනි.

කොළඹ මැගසින් බන්ධනාගාරයට ගොස් තම දරුවන් දෙදෙනා බලා මහින්ද මෝටර් රථයෙන් නැඟී පැමිණෙන විට ඔහුගේ ඇස් දෙකෙන් ගැලූ කඳුළු මේ රටේ ජනතාව හොඳින් දුටුවේය.

දරුවන් පමණක් නොව මහින්ද රාජපක්ෂ ද අවස්ථා කිහිපයකදීම විවිධ කොමිසම්වලට කැඳවා හරස් ප්‍රශ්න නැඟු‍වේ ඔහුගේ දේශපාලන ගමන හරස් කිරීමටය.

තම බිරිඳ ශිරන්ති රාජපක්ෂ, සොහොයුරන් වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ද දිගින් දිගටම FCID සහ තවත් කොමිසම්වලට දිනපතා කැඳවූහ.

බැසිල් රාජපක්ෂ සිරගත කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය පසුවීත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විවෘතව තැබිය.

විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලු‍ත්ගමගේ, උදය ගම්මන්පිල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජයන්ත සමරවීර, රංජිත් ද සොයිසා, මොහොමඩ් මුසම්මිල්, පද්ම උදයශාන්ත ගුණසේකර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු සිරගත කළ බව අද ආණ්ඩුවේ සිටින ඔවුන්ටම අමතක වී තිබෙන බවක් පෙනේ.

අප කියන්නේ සිරගත කළාට සිරගත කරමින් දේශපාලන පළිගැනීම් සිදුකරන ලෙස නොවේ. නමුත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

නීති විරෝධී පොලිසිය නිසා දැඩි මානසික පීඩනයකට ලක් වූ රාජ්‍ය සේවකයෝ දහස් ගණනක් සිටිති ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ පමණක් නොව කලාකරුවෝ ද සිටිති. FCID හා මෙම නීතිය නැවීමේ කටයුතු නිසා රටේ සංවර්ධනය එකතැන පල් විය. රාජ්‍ය ආයතනයක කිසිදු වැඩක් සිදු නොවූයේ FCID ට රාජ්‍ය නිලධාරීන් බියකර තිබූ නිසාය.

ඊට හොඳම උදාහරණය වන්නේ යහපාලන ආණ්ඩුවේ සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධනය. ඔහු ප්‍රකාශ කළේ FCID ට රාජ්‍ය නිලධාරීන් බිය නොවිය යුතු බවයි.

FCID ශත පහකට ගණන් නොගෙන තම රාජකාරි කටයුතු සිදු කරගෙන යන ලෙසට ද වජිර අබේවර්ධන විසින් රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරන ලදි.

නැවත හරීන් ප්‍රනාන්දුට පිවිසෙමු. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මොහොමඩ් නවුෆර් බවට විමර්ශන සාක්ෂි සහිතව හෙළි වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

නමුත් හරීන්ට ගැළපෙන මහ මොළකරු ලැබෙන තුරු ඔහු ප්‍රකාශ කරන්නේ මහ මොළකරු තවමත් නිදැල්ලේ බවය.

එසේ නම් හරීන් කළ යුත්තේ නවලෝක රෝහලට වී සිටීම නොව රහස් පොලිසියට ගොස් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුරුන්ද කියා ප්‍රකාශ කිරීමයි.

එසේ නොකොට හරින්ලා අද කිඹුල් කඳුළු සලන්නේ ශානි අබේසේකරලා ගැනය. නිශාන්ත සිල්වා කන්දප්පලා ගැනය.

ශානිලා, නිශාන්තලා පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිවැරදිව සිදුකළ බව හරීන් කියයි.

නමුත් රන්ජන් රාමනායකට දුරකථන ඇමතුමක් ලබා දුන් ශානි ප්‍රකාශ කළේ ගෙදර ඇවිල්ලා වළං, පිඟන් ද සේදීමට තමන් සූදානම් බවයි. එවැනි පොලිස් නිලධාරියෙකුගෙන් නිවැරදි පරීක්ෂණයක් සිදුවේද කියා බරපතළ සැකයක් මතුවීම සාධාරණය.

එම නිසා පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිසි මඟට ගැනීමට වර්තමාන ආණ්ඩුවට මුලින්ම සිදුකළ යුතුව තිබුණු කටයුත්තකි.

ඒ අනුව එම කටයුත්ත සිදු කළ නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇතුළු අනෙක් පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් පවතී.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හෙළි වී තිබියදීත් හරින්ලා මෙරට බුද්ධි අංශ යළිත් පාවා දීමට උත්සාහ ගන්නේ ඇයි?

ඒ සමගි ජනබලවේගයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හැටිය. එදා 2002 වසරේදී පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මඟින් මිලේනියම් සිටි පාවා දීම සිදුකර බුද්ධි අංශ පෝලිමට කොටි සංවිධානයේ ගොදුරට ලක් කළේය. 2015 දී යහපාලන ආණ්ඩුව ද බුද්ධි අංශ සිරගත කරමින් පළිගත්තේය. හරින්ලා දැන් සිදු කරන්නේ එය කුමක්ද?

Comments