විශ්වයේ සුබ ශක්ති උප­දින්නේ යහ­පත් ආකල්ප සමඟ | සිළුමිණ

විශ්වයේ සුබ ශක්ති උප­දින්නේ යහ­පත් ආකල්ප සමඟ

අලුත් අවුරුද්ද කියන්නේ සුබ ශක්තිවල උච්චම අවස්ථාව

එම ශක්තිය  අවු­රුද්ද පුරාම පවත්වා ගන්න ආකල්ප පරි­ව­ර්ත­න­යක් ඇති කර­ගන්න..
 

 

 

කනීෂ ඒච්. තාරුක යනු විශ්ව ශක්තිය පිළිබඳ පර්යේෂණ දැනුම ප්‍රායෝගික කරන ඒ ඥාන ගවේෂණයේ යෙදෙමින් ඒ දැනුම Cerridwen Spiritual Healing Academy ඔස්සේ ලොවට බෙදා දෙන යොවුන් ගවේෂකයෙකි. අලුත් අවුරුද්ද හා සුබ ශක්තීන් පිළිබඳ ඔහු සමඟ සංවාදයකට රසඳුන එළැඹෙන්නේ ඔහු විසින් විවර කරන්නේ අලුත් දැනුම පරාසයක් බැවිනි.

 

සුබ ශක්තියක් යනු මොනවද ?

සුබ ශක්තිය කියන්නෙ මනුෂ්‍යයකුට අවශ්‍ය වූත්, හිතකර වූත් පුද්ගලයකුගේ මානසික හා අධ්‍යාත්මික සුවයට කෙළින්ම බලපාන්නා වූත් විශ්වයේ ඇති ශක්තියට. මේ සුබ ශක්තිය අපට විශ්වයෙන් ලබා ගන්න නම් සුබ තරංග හරහා අපි ගමන් කරන්න ඕනේ. ඒ සුබ සුබ ශක්තිය අපට පලදායීව ළඟා කරගන්න නම් කීපදෙනෙක් එකතු වෙලා ඊට සම්බන්ධ වෙන්න ඕන. අන්න ඒ සුබ ශක්තියට සම්බන්ධ වීම තමයි අලුත් අවුරුදු චාරිත්‍ර කියලා කියන්නේ.

විශේෂයෙන්ම අපි නැකත් ගන්නවා කියන්නෙම විශ්වයේ ශක්තීන් සුබ වෙන අවස්ථාවක්, එහෙම නැතිනම් සංයෝගයක් සුබ වන අවස්ථාවක් යහපත් කටයුත්තකට යොදා ගැනීම. සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නෙ ඒ ශක්තීන් සියල්ල සුබ වන අවස්ථාවක්. ඒ අවස්ථාවෙ දී සියලු දෙනාම එකට එකතු වෙලා විශ්වයට සම්බන්ධ වීමෙන් විශ්වයේ තියන සුබ ශක්තීන් ලබා ගන්න අපට අවස්ථාවක් තිබෙනවා.

 

මේ සුබ ශක්තියෙන් සිදුවන

යහපත මොනවගේ ද?

සුබ ශක්තියක් අප ළඟ තිබෙනකොට අපට අපේ කායික, මානසික හා අධ්‍යාත්මික සංවර්ධනයක් ලැබෙනවා. අපේ ජීවිතයේ සුබ ශක්තීන් තියෙන තරමට අපේ ජීවිතයේ කටයුතු පහසු වෙනවා. විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය ඉහළ යන්න පටන් ගන්නවා. මානසික සෞඛ්‍ය ඉහළට යනකොට අපි දන්නෙ නැතිවම අපේ ජීවිතයේ අනෙක් අංශ ඉහළට යන්න පටන් ගන්නවා. සුබ ශක්තිය අප තුළට ඇතුළු වූ විට අපට අවශ්‍ය ජීවන මාර්ග විවෘත වෙන්න පටන් ගන්නවා. එම සුබ ශක්තීන් හා සම්බන්ධවන පුද්ගලයන් ඇසුරු කරමින් සිටින අයට පවා ඔවුන්ගේ යහපත් ශක්තීන් අවදි කරගන්න හැකි වෙනවා.

 

මේ එළැඹෙන්නෙ සිංහල අවුරුද්ද. අවුරුදු කාලයේ දි සුබ ශක්තීන්වල විශේෂ ඒකරාශී වීමක් සිදු වෙනව ද?

විශ්වයේ සුබ ශක්තීන් හැමදාම තිබෙනවා. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරන අවස්ථාව. සූර්යයා නක්ෂත්‍ර වටයක් සම්පූර්ණ කර නව වටයකට ප්‍රවේශවන අවස්ථාව. සූර්යයා තමයි අප මේ ඉන්න සෞරග්‍රහ මණ්ඩලයේ ශක්ති ප්‍රභවය. මේ බල මූලය.

සූර්යයා එක් එක් නක්ෂත්‍රවලින් මාරුවෙනකොට ඒ නක්ෂත්‍රවල තියන ශක්තීන් ප්‍රකට වෙන්න ගන්නවා. ඒ නක්ෂත්‍රවල තිබෙන ශක්තීන් සූර්යයාගෙ ශක්තියත් එක්ක එක් වෙනකොට එහි ශක්තිමය බලපෑමක් පෘථිවි වාසී සියල්ලන්ටම ලැබෙනවා. ඊට ඔබට කේන්දරයක් තිබුණ ද නැද්ද එය විශ්වාස කළා ද නැද්ද යන දේවල් වැදගත් වෙන්නෙ නෑ. ඒ ශක්තිය ඔබට ලැබෙනවා.

 

එය තවත් පැහැදිලි කළ හැකි ද?

මනුෂ්‍ය ශරීරය කියන්නෙත් විද්‍යුත් චුම්බක ශක්ති ධාරාවක් ගමන් කරන, විද්‍යුත් චුම්බක ශක්තියක් තිබෙන පද්ධතියක්. මේ පද්ධතියට පෘථිවියේ තිබෙන විද්‍යුත් චුම්බක ශක්තියත්, සෞරග්‍රහ මණ්ඩලයේ හා ක්ෂීර පථයේ තිබෙන විද්‍යුත් චුම්බක ශක්තියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ඔස්සේ තමයි අපේ සිතිවිලි රටා සහ මනස සකස් වී තිබෙන්නෙ. සූර්යයා පමණක් නොවෙයි, කුඩා චන්ද්‍රගමන් කිරීම්, රාශි ගත වීම්, වක්‍රවීම්, වැනි සංසිද්ධිවලින් නිකුත්වන කිරණ, නිකුත්වන ශක්තිය නිසා මානසික මෙන්ම ශාරීරික බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

පෝය ළං වෙනකොට වඩදිය බා දිය ඇතිවෙන්නෙ කොහොම ද, අන්න ඒ විදිහටම පෘථිවියේ තිබෙන කාන්දම්වලට නක්ෂත්‍ර හරහා එන ශක්තිය තුළින් මිනිස්සුන්ටත් එම වෙනස්වීම් සිද්ධ වෙනවා.

මේ සිංහල අලුත් අවුරුදු කාලෙ අලුත් චක්‍රයකට යනකොට ශක්තිය ඉතාම උච්චවන අවස්ථා කීපයක් තිබෙනවා. මේ ශක්තිය උච්චම අවස්ථා කීපයේ දී තමයි අපි අපේ සුබ නැකැත් කටයුතු සිද්ධ කරන්න පටන් ගන්නේ. එම ශක්තිය අපේ ජීවිතවලට ළං කරගන්නෙ කොහොම ද යන්න අලුත් අවුරුදු චාරිත්‍ර ඇතුළෙ තිබෙනවා. ඒ, අලුත් අවුරුදු චාරිත්‍ර ශක්තිය පමණක් නොවෙයි, යහපත් ආකල්ප වඩවන ආචාර ධර්ම එකතු කරලා හැදුණු නිසා

 

අපේ මුතුන් මිත්තන්ට විශ්ව ශක්තිය පිළිබඳ දැනුම තිබුණා යැයි ඔබ විශ්වාස කරනව ද ?

අපේ අතීත මුතුන් මිත්තන්ට මේ සම්බන්ධව දැනුමක් තිබුණා. දැන් මේ ප්‍රඥා පද්ධතීන්වලට ලෝකයක් විදිහට කතා කරලා බෙදා ගන්න පුළුවන් වුණාට ඒ වකවානුවෙදි ඒ අවස්ථා තිබුණේ නෑ. ඒ නිසයි සාමාන්‍ය ජනයා අතර විශ්ව ශක්තිය සම්බන්ධව සංකීර්ණ ධර්මතාවේ කිසිදු ආකාරයක කතා බහක් ඇති නොවන්නේ.

පැරණි කාලයේ විසූ ධ්‍යාන ගත ස්වාමීන්වහන්සේලා, සහ සෘෂිවරුන් විසින් ලබා දුන් ප්‍රඥාවේ කොටසක් මුතුන්මිත්තො පාවිච්චි කර තිබෙනවා. විශේෂ ඥානයක් තිබුණු අය මේ ශක්තීන් ගැන දැනගෙන හිටියා. ඔවුන් විශ්වයේ ප්‍රඥාවට සම්බන්ධ වී තමයි අවශ්‍ය කරන දැනුම් පද්ධතීන් ලබා ගන්නෙ. දුරදක්නයකවත් නැති කාලයක තමන්ට නොපෙනෙන නක්ෂත්‍ර සොයා ගැනීමට තරම් දියුණු දැනුම් පද්ධතියක් ඔවුන්ට තිබුණා.

ඔවුන් අපට වඩා හොඳින් සොබාදහමත් එක්ක සම්බන්ධ වුණා. දැන් අප උත්සාහ කරන්නේ සොබාදහමත් අපට අවශ්‍ය විදිහට තියා ගන්න මිසක් සොබාදහමට අනුගත වෙන්න නොවෙයි.

 

අවුරුදු චාරිත්‍ර විධි හා ඒ සුබ ශක්තීන්හි අනුහස අප තුළ පවත්වා ගැනීමට කළ යුත්තේ මොනව ද?

අලුත් අවුරුදු චාරිත්‍ර විධිත් එක්ක ඒ සුබ ශක්තීන්ගේ අනුහස අප තුළට අරන් පවත්වා ගන්නට නම් ඉතාම කල්පනාකාරී වෙන්න ඕන. ශක්තිය අලුත්වන මොහොතේ දී අපේ ආකල්ප හා මානසික මට්ටම් ගැන අප කල්පනා කරන්න ඕන. ශක්තියක් අලුත්වෙන වෙලාවේ තමන් තරහින් නම් ඉන්නෙ, තමන්ගේ ආකල්ප ඉහළට ඔසවා තබන්නෙ නැතිනම් ඒ අලුත් චක්‍රයට තමන් ඉදිරිපත් කරන්නෙ තමන්ගෙ සෘණාත්මක ආකල්පයක්.

විශ්වයේ ශක්තීන් කොටස් දෙකකට බෙදනවා. සුබ ශක්තීන් හා අසුබ ශක්තීන් විදිහට. නමුත් විශ්වය දන්නෙ ශක්තිය පමණයයි. ඒ හේතුව නිසා තමන් නක්ෂත්‍ර අලුත්වන වෙලාවෙ යම් කිසි අසුබවාදී ආකල්පයක ජීවත් වෙයි ද ඒ අසුබවාදී ආකල්පයට ශක්තිය එකතු වුණාම එය අසුබ ශක්තියක් වෙනවා. අන්න ඒ අසුබ ශක්තිය ගොඩනැඟුනාම තමන්ගෙ ඉදිරි අවුරුදු පුරාම අසුබ වූ ශක්තිය ගමන් කරන්න පටන් ගන්නවා.

ඒ නිසා අලුත් අවුරුදු චාරිත්‍රවල දී සුබ ශක්තීන් තමන් වෙත රඳවා තබා ගන්න නම් එය පොතේ තිබෙන නිසා හෝ කෙනෙක් කියා තිබෙන නිසා හෝ නොකර තමන්ගේ ආකල්පමය වශයෙන් දියුණු වෙමින් වෙනස් කරගනිමින් යහපත් ලෙස පවත්වාගත යුතුයි. එහෙම කරනවා නම් ඒ ශක්තිය සම්පූර්ණයෙන්ම අප තුළ රඳවා ගන්න පුළුවන්. අප මතක තබා ගත යුත්තෙ එයයි.

මේ චාරිත්‍රවලින් ලබා ගන්නා ශක්තිය ආරම්භයක් පමණයි. ඒ ශක්තිය දිගටම තබා ගන්න අවශ්‍ය නම් අපට සිදුවෙනවා ඒ ආකල්ප එක දිගටම තබා ගන්න. එක දිගටම ඒ ආකල්ප හොඳ නම් අපට විශ්වයට සමීප වෙන්න පුළුවන්. අප කෘතගුණ පූර්ණ වන තරමටම අපට මෙම ශක්තීන් අප තුළ හා ළඟ තබා ගන්න පුළුවන්.

Comments