අතීතය හා කාල තරණය කියැවෙන කොරියානු කතා මාලාව ‘සිහින චාරිකාවේ’ | සිළුමිණ

අතීතය හා කාල තරණය කියැවෙන කොරියානු කතා මාලාව ‘සිහින චාරිකාවේ’

සමාජයට යහපත්, පවුලේ සැමට එකට රසවිඳිය හැකි රසවත් නිර්මාණ තිළිණ කිරීම ජාතික රූපවාහිනී නාලිකාව විසින් අඛණ්ඩව සිදුකරගෙන යන ක්‍රියාවලියකි. දේශීය නිර්මාණ වුවද නිසි ප්‍රමිතියකින් හා ගුණාත්මකභාවයකින් ප්‍රේක්ෂකයාට තිළිණ කිරීමට නිරතුරුවම උත්සාහ දරන ජාතික නාලිකාව හරවත් විදෙස් නිර්මාණ කෙරෙහි අවධානය යොමු කළේ ද දීර්ඝ කාලයක සිටය. දේශීය නිර්මාණ වටා රොද බැඳ සිටින ප්‍රේක්ෂක සිත ඒකාකාරී මනෝභාවයෙන් ගලවා ගෙන අඛණ්ඩව නාළිකාව වෙත රඳවා ගැනීමේ සියුම් උපාය මාර්ගයක් ලෙස මෙය අත්හදා බැලුවා නම් එය අතිසාර්ථක වූ බව ද කිව යුතුමය. 

ප්‍රේක්ෂක මනාපය ලද විදෙස් නිර්මාණ අතුරින් කොරියන් නිර්මාණයන්ට හිමිවන්නේ ද සුවිශේෂී ස්ථානයකි. 2012 වසරේ සිට මේ දක්වා පුරා වසර 11ක් කොරියන් කතාංගයන් 17ක් ගෙන ඒමට ජාතික රූපවාහිනිය කටයුතු කළේද එබැවිනි. ඒවා අතරින් දේශීය නිර්මාණ අබිබවා යමින් ප්‍රේක්ෂක ආදරය දිනූ ඒවා ද තිබූ බව නොකියාම බැරිය. සුජාත දියණිය, අභීත දියණිය, ඉසිවර වෙදැදුරු, සිරිමැටි සිත්තරාවී, ජනහිතකාමී රැජින, හිරු සඳු ආදරෙයි, මතක සිත්තම්, රුවැති සිතැත්තී ඉන් කිහිපයකි.

එමෙන්ම ‘අහිමි මතක‘ ප්‍රේක්ෂක මතකය ආසන්නයේම රැඳුණු නිර්මාණයකි. එහි නිමාවත් සමඟින් ප්‍රේක්ෂක සිත්වල විදෙස් නිර්මාණ රසවිඳීමේ නොනිමි ආසාව වටහා ගත් ජාතික නාළිකාව තවත් අලුත් කතාංගයක් කෙරෙහි අවධානය යොමු කර ඇත. ඒ පසුගිය 04 වැනිදා සිට රාත්‍රී 7.30ට ඔබ වෙත ගෙන එන ‘සිහින චාරිකාවේ‘ කතා මාලාවයි.

2017 වසරේ දකුණු කොරියාවේ අතිසාර්ථකව විකාශය වූ Live Upto Your Name කතා මාලාව සිහින චාරිකාවේ නමින් පසුගියදා ප්‍රේක්ෂක ඔබ වෙත දායාද වූවේ ඉතිහාසය මෙන්ම කාල තරණය පිළිබඳ වූ ප්‍රබන්ධ කතා මාලාවක් ලෙසිනි. මෙය ජාතික නාළිකාවෙන් ඔබ වෙත ගෙන එනු ලබන තවත් සුවිශේෂී කොරියන් කතා මාලාවක් ලෙස ආදරයට පත්වනු නිසැකය.

කොරියාවේ ජොසොන් රජ සමයේ සැබෑ ලෙසම ජීවත් වූ පෙරදිග වෛද්‍යවරයෙක් මෙන්ම දක්ෂතම කටු චිකිත්සක වෙදැදුරුවරයෙක් වූ හියෝ ඉම් අනපේක්ෂිතව මරණයට පත්වීම හා ඉන් වසර 600කට පසු අනාගතයේදී එම ස්ථානයේ දීම ඔහු අවදි වීම මේ වටා ගෙතුණු කතා පුවතයි. ශින්යේ රෝහලේ උරස් කුහර ශල්‍ය වෛද්‍යවරියක් වන චෝයි යෙවොන් ක්‍යුන් හමුවීම මෙන්ම වත්මනට නොගැළපෙන ඇඳුම් පැලඳුම් හා කතා විලාසය නිසා ඔහු පත්වන අපහසුතාව හමුවේ තෝරා බේරා ගනිමින් ඔහු තම ජීවිතය සොයා යන අයුරු මෙමඟින් දිගහැරේ. අතීතයත් වර්තමානයත් යා කෙරෙන මෙම කතාංගය කුතුහලය, ප්‍රේමය, හාස්‍යය මෙන්ම මානව දයාව ඔස්සේ රසික සිත් නව මානයකට රැගෙන යනු ඇත. පෙරදිග මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රම, කටු චිකිත්සාව මෙන්ම නවීන වෛද්‍ය ශිල්ප ක්‍රම යොදා ගනිමින් සිදු කරන සැත්කම් පිළිබඳ ඔබ මෙතෙක් නොවිඳි නවමු අත්දැකීම් සමුදායක් මෙමඟින් ඔබට තිළිණ වනු ඇත. 

ජනහිතකාමී රැජිනිය කතා මාලාවේ බීඩාම්ගේ චරිතයට පණ පෙවූ කිම් නාම් ගිල් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි. මෙය කොරියාවේ වාර්තා තබමින් විකාශය වූ කතා මාලාවක් වීම ද විශේෂත්වයකි. මෙහි අවසන් කොටස කොරියානූ කේබල් TV ඉතිහාසයේ වැඩිම පිරිසක් නැරඹූ කතාංග අතරින් එකක් ලෙස වාර්තා පොතට එක්වීම ද තවත් විශේෂත්වයකි.

පසුගියදා විකාශය ඇරැඹුණු ‘සිහින චාරිකාවේ‘ කතා මාලාව සිංහලට හඬකැවීමේ දී බුද්ධික බන්දුජීව, තේජානි විජේසිංහ, යෂ් වීරසිංහ, සෝමදාස සූරියආරච්චි, චරිත් සේනානායක, රෝහණ සිරිවර්ධන, ප්‍රසන්න ෆොන්සේකා, පසන් රණවීර, අජිත් සේරම්, රම්‍යා වනිගසේකර, රවීන්ද්‍ර කෝදාගොඩ, හෙමාෂි මාකලන්ද, කසුන් චාමික යන ප්‍රවීණ හඬ කැවීම් ශිල්පීන් මෙන්ම නවක ශිල්පීන් රැසකගේ දායකත්වය හිමිවිය.

දිමංක වෙල්ලාලගේ හඬින් ගීතවත් වන තේමා ගීතයේ පද රචනය ආරාධනා ඒකනායකගෙනි. සංගීත ස්වර සදීප්ත ගුණවර්ධනය. දෙතොල් සම දෙබස් පිටපත් දිනාලි නානායක්කාර අතින් රචනා වෙද්දී හඬ කැවීම් අදියුරුවම අමාලි විජේසේකරගෙනි. හඬ සටහන ජීවන් ක්‍රිෂාන්ත සහ හඬ මුසුකිරීම සුමුදු විජේවර්ධනය. තේමා ගී පටිගත කිරීම හා මුසුව අසංක කුමාරපේලි සහ බුද්ධික ෆොන්සේකාගෙනි. සිහින චාරිකාවේ කතාංග අධීක්ෂණය වජිරා කුමාරි විතානගෙනි. කොරියන් කතාංගවලට පෙම් බඳින ඔබට මෙය විස්මයජනක අත්දැකීමක් වනු නොඅනුමානය.

Comments