ජවි­පෙට එළි­යදී නිවී ගිය රතු ලකුණ; සෝම­වංශ අම­ර­සිංහ | සිළුමිණ

ජවි­පෙට එළි­යදී නිවී ගිය රතු ලකුණ; සෝම­වංශ අම­ර­සිංහ

ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූහ. අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය. ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

11 කොටස

ලලිත් විජේරත්න ගේ ඝාතනයෙන් පසු 1990 ජනවාරි ජවිපෙ සිවුවැනි නායකයා බවට පත්වූ සෝමවංශ අමරසිංහ 2014 පෙබරවාරි 2 දක්වා වසර 23ක් නායකයා වශයෙන් කටයුතු කළේය. පසුව 2015 අප්‍රේල් 16 ජවිපෙන් ඉවත්වූ සෝමවංශ ජවිපෙ ක්‍රියාකාරිකයන් 38ක් සමඟ එක්ව ජනතා සේවක පක්ෂය නමින් පක්ෂයක්ද පිහිටුවනු ලැබීය. රාජගිරියේදී 2016 ජුනි 15 අලූයම සිය සොහොයුරු පියසේන ගේ නිවසේ දී දිවි සැරිය නිමා කළේය.

පයාගල අංගන්ගොඩ 1943 ජුනි 05 උපන් අමරසිංහ කංකානම්ලාගේ සෝමවංශ හෙවත් සෝමවංශ අමරසිංහට වැඩිමහල් සොහොයුරන් 4ක් සහ සොහොයුරියන් 3කි. පවුලේ බාලයා වූයේ සෝමවංශය. පියා කලක් පොලිසියේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ මාතර අපරැක්කේ උපන් ඒ. කේ. ජේමිස් අමරසිංහය.

ඈතගම අමරසේකර විද්‍යාලයේ සහ කළුතර බාලිකා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ සෝමවංශ පසුව කළුතර විද්‍යාලයට ඇතුල්විය. උසස්පෙළ සමත්වීමෙන් පසු ගල්ගමුව වාරිමාර්ග කාර්මික අභ්‍යාස විද්‍යාලයේ දී 1963 දී පුහුණුව ලැබ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියකු වශයෙන් ගාල්ල, කල්මුණේ, බිබිල, රාජාංගනය සහ කොළඹද සේවය කළේය. ජවිපෙ 2වැනි කැරැල්ලේ දී ජාත්‍යන්තර ජාලය, මානව හිමිකම් සංවිධාන සහ බුද්ධිමය කොටස් සම්බන්ධීකරණය කළ නායකයා සෝමවංශ අමරසිංහය.

සෝමවංශ 1969 නොවැම්බර් ජවිපෙ සොයාගෙන ගිය අයෙකි. රැඩිකල් තරුණයන් අතර පිබිදීමක් ඇතිකරමින් විජේවීර ගේ චේගුවෙරා ව්‍යාපාරය එකළ රහසිගතව ප්‍රචලිත වෙමින් පැවතිණි. සෝමවංශ ජවිපෙට 1969 දී සම්බන්ධ කළේ හෙට්ටිආරච්චිගේ නවරත්න බණ්ඩාරය. (71 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ 15වැනි විත්තිකරු වූ හෙට්ටිආරච්චිගේ කුලරත්න බණ්ඩා පියසිරි ගේ සොහොයුරා).කාර්මික නිලධාරි පරණවිතාන විසින් සෝමවංශ පිළිබඳව නවරත්න බණ්ඩාට දැනුම් දුන් අතර පසුව මරදානේ දේවානම් පියතිස්ස මාවතේ පළමු සාකච්ඡාවෙන් පසු ව්‍යාපාරයට එක්වීමේ කැමැත්ත ප්‍රකාශ විය. කාසල් වීදියේ පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් අයියා ගේ වෘත්තීය සමිති කාර්යාලයේ පැවැති ජවිපෙ පන්තිවලට සෝමවංශ සහභාගී විය. රැකියාව අතහැර 1970 මැදභාගයේ දී පූර්ණකාලීනව ජවිපෙට එක්වූ සෝමවංශ පසුව තමාට අයත් 5 ශ්‍රී 6022 දරන හොණ්ඩා යතුරු පැදියද ජවිපෙට එදා පරිත්‍යාග කළේය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වශයෙන් 1984 පත්වූ සෝමවංශ අමරසිංහ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේ දී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් 13න් දිවි බේරාගැනීමට සමත්වූ එකම තැනැත්තාය. ජීවිත ආරක්ෂාව සඳහා 1990 මාර්තු 17 ඉන්දියාවට බෝට්ටුවකින් පලාගිය ඔහු ජවිපෙ යළි ප්‍රතිසංවිධානය කරමින් 2014 පෙබරවාරි 2 දක්වා ජවිපෙ නායකයා වශයෙන් කටයුතු කළේය. අනූව දශකය මුල් භාගයේ දී සෝමවංශ අමරසිංහ ගේ දෘෂ්ටියේ දුබලතාවන් හේතුවෙන් විදේශගත දේශපාලන රැකවරණය ඉල්ලා සිටි බොහෝ පිරිසකට බලවත් හානිකර ප්‍රතිඵල උදා වූවද ජවිපෙ යළි ගොඩනැඟීමෙහිලා ඔහු ගෙන් ඉටුවූ සේවය ඉමහත්ය. රෝහණ විජේවීර ඇතුළු දේශපාලන සගයන් පාවාදීම සහ ජවිපෙ 2වැනි කැරැල්ල අවසානයේදි ඔහු රඟපෑ භූමිකාව පිළිබඳව විවිධාකාර චෝදනා ඇතැමෙක් පැවසුවද ලේඛනය සොයාගත් තොරතුරු සහ සිදුවීම් තර්කානුකූලව පෙළගැස්සූ විට එම චෝදනා පදනම් විරහිතය.

සෝමවංශ අමරසිංහ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිම සඳහා වු ජාතිකවාදී අරගලය ඔස්සේ ජවිපෙ මතවාදි අරගලය සමාජවාදයට සමාජගත කළ උපායමාර්ගික නායකයකු ලෙසද හැඳින්විය හැකිය. පොදුජන එක්සත් පෙරමුණ සමඟ ජවිපෙ 2001දි පරිවාස ආණ්ඩුවක් පිහිටවනු ලබන්නේ ද, ශ්‍රිලනිප සමඟ එක්ව 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කරන්නේ ද, 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂට සහාය දී ඔහුගේ නායකත්වය යටතේ දෙමළ සන්නද්ධ බෙදුම්වාදී ව්‍යාපාරය වසර 30කට පසු පරාජය කරන්නේ ද සෝමවංශ ගේ නායකත්වය යටතේ ජවිපෙ ගත් තීන්දු තීරණ නිසාවෙනි. ජවිපෙ සමඟ කිසිදා එකතු නොවන ජාතිකවාදී බලවේගයන් එක්කළේ ඔහුය.

වසර 1971 අප්‍රේල් 5 කැරැල්ලේ දී සෝමවංශට නියමවී තිබුණේ එවකට අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිණිය රොස්මිඩ් පෙදෙසින් පැහැර ගෙන යෑමේ කණ්ඩායමේ දෙවන නායකත්වය සහ අගමැතිනිය පැහැරගෙන යන රිය පැදවීමය. බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල වසර 1971 අප්‍රේල් 04 රාත්‍රී 10.30 වනතෙක් රොස්මිඩ් ප්‍රහාරයට එක්වීමට සෝමවංශ, බෝම්බ බෑගයක්ද රැගෙන සිටියද අන් කිසිදු සාමාජිකයකු පැමිණියේ නැත. යළි කුලී රථයකින් සෝමවංශ බෝඩිමට පැමිණියේය. අගමැතිනි සිරිමා බණ්ඩාරනායක පැහැර ගැනීමේ ප්‍රහාරයට එඬේරමුල්ලේ සරත් සහ රාජා, සෝමවංශ අමරසිංහ, නිමල් ඇතුළු කිහිප දෙනෙක්ම සම්බන්ධවී සිටි අතර ඔවුන් ‍සමඟින්ම 1971 අප්‍රේල් 5 රාත්‍රී සෝමවංශද අත්අඩංගුවට ගනු ලැබීය. එහි දී එම පිරිස තදබල වධහිංසාවටද ලක්විය.

සෝමවංශ ප්‍රථමවරට රෝහණ විජේවීර සමඟ කතා කළේ සිරගෙදර දී 1975දීය. අනතුරුව හදිසි නීතිය 1976 දෙසැම්බර් ඉවත් කිරිමත් සමඟම කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ, සමරප්පු‍ලිගේ සෝමසිරි නොහොත් රාගම සෝමේ ඇතුළු කිහිප දෙනකු 1976 දෙසැම්බර් 25 නිදහස්වූ අතර සෙසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්ද ඔවුහු ක්‍රියාකාරී විය. මරදාන දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල අයියා ගේ නිවස එකල ඔවුන්ගේ මූලස්ථානය විය. නියමුවා පුවත්පතද ප්‍රචාරක රැළිද ඒ අනුව ආරම්භ විය. වසර 1977 නොවැම්බර් 02 විජේවීර නිදහස් කරන තෙක් දේශපාලන වැඩසටහන් සංවිධානය කිරීමටද අන් අය සමඟ ඔහු එක්විය. රටපුරා ජවිපෙ ගොඩනැඟීම සිය උරමතට ගෙන කැපවීම් කළ පිරිස අතර සෝමවංශ අමරසිංහද ප්‍රමුඛයකු විය. ජවිපෙ 1978 සිට 1983 පක්ෂ තහනම දක්වා සෝමවංශ මධ්‍යම කාරක සභිකයකු විය. දේශපාලන මණ්ඩලයට පත්වන්නේ 1984 අප්‍රේල් මසදීය.

කළු ජූලිය 1983 ජුලි 24 ආරම්භ වීමෙන් පසු 1983 ජූලි දෙමළ සංහාරය පිළිබඳව එල්ලවූ විවේචනවලට ප්‍රතිඵලයක් වශයෙන් එය ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් බවට හංවඩු ගසමින් ජවිපෙ තහනම් කරන බවට රෝහණ විජේවීරට සැලවූයේ 1983 ජුලි 29 දහවල්ය. ජවිපෙට අයත් කැබ් රථයෙන් චිත්‍රාංගනී සහ දරු දෙදෙනා සමඟින් තංගල්ල බලා පිටත් විය. සෝමවංශ අමරසිංහද ගමනට එක්වූ අතර කළුතරදි ඔහු බැස ගියේය. ජවිපෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් රජය මඟින් 1983 ජුලි 30 තහනම් කළ බව විජේවීරට ගුවන් විදුලියෙන් අසන්නට ලැබුණේ තංගල්ලේ සිටියදීය. එජාප ආණ්ඩුව මඟින් 1983 දී ජවිපෙ තහනම් කිරීමත් සමඟ නිකුත් කළ පොලිස් දැන්වීමේ ඡායාරූප අතර සෝමවංශ අමරසිංහ ගේ ඡායාරූපය ද විය. තවත් පක්ෂ ක්‍රියාකාරිකයන් 380ක ගේ ලේඛනයක්ද ආරක්ෂක අංශ සතු විය.

තහනමත් සමඟම විජේවීර සහ ගමනායක හැර දේශපාලන මණ්ඩලයේ බහුතරයක් ජවිපෙ හැර ගියෝය. ඇතමකු පලා ගියේය. තවත් දෙනා ‘වාෂ්ප’ විය. දෙවැනි කැරැල්ලේදි හෙළිදරව් වු මුල්පෙ‍ෙළ් නායකයන් කොළඹින් පිට ජීවත්වූවද නගරය තුළ රැදෙමින් සෝමවංශ තමාට පැවරූ වගකීම් ඉටු කළේය. ලේඛකයාට සෝමවංශව 1984 මාර්තු මස හඳුන්වා දුන්නේ ශාන්ත බණ්ඩාර විසිනි. සෝමවංශ බොහෝ විට ලියුම්කරු හමුවීමට පැමිණියේ හිමිදිරි උදෑසනය. ඉංග්‍රීසි බසින් ද කටයුතු කිරීමට සමත් සෝමවංශ බොහෝ කටයුුතු දෙස නිරවුල් මනසකින් බැලූවෙකි. පක්ෂ තහනමින් පසු මානව හිමිකම්, සංස්කෘතික, වෘත්තීය වැනි ක්ෂේත්‍රයන්හි බුද්ධිමතුන් සමඟ 1989 ජූලි දක්වා නිරතුරුව සම්බන්ධතා පැවැත්වීය. පක්ෂ තහනමට පෙර බුද්ධිමතුන් සම්බන්ධීකරණය කළේ ලයනල් බෝපගේය. සෝමවංශ ගේ රතු පාට සහ සුදුපාට කාර් රථය එකල බෙහෙවින් ජනප්‍රියය. අත් දිග කමිසවලින් නිරතුරුව සැරසී සිටියේය.

සෝමවංශ ගේ තෙවන වැඩිමහල් සොහොයුරිය වූ කුසුමා විවාහවී සිටියේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ කිට්ටුම සගයකු වූ සිරිසේන කුරේ ඇමතිවරයා‍ ගේ වැඩිමහල් සොහොයුරා වූ කලක් කොළඹ නගර සභාවේ උප සභාපතිව සිටි නන්දිසේන කුරේ සමඟය. සෝමවංශට භීෂණ සමයේ සැඟව සිටීමට හෝ රට පැනයෑමට සිරිසේන කුරේ කිසිදු උදව්වක් නොකළද 1984 දී රාජගිරිය පොලිසිය මඟින් කළ අත්අඩංගුවට ගැනීමේ දී නිදහස්කර ගැනීමට මුල්විය.

සෝමවංශ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික්, රෙජී කන්දප්පා, මයිකල්, ෆෑන්ලින් ඩැ‍නියෝ, නිමල් බණ්ඩාර දිසානායක යන නම් වලින්ද හැඳින්විණි. විජේවීරට වඩා සෝමවංශ මසකින් වැඩිමහල් නිසා සිරි අයියා යන නම ඔහුට බෞතිස්ම කළේ ද විජේවීරය.සෝමවංශ 1978 දෙසැම්බර් අවාහ වූයේ මහරගම ගුරු විදුහලේ ගණිත පුහුණු ගුරුවරියක වූ කළුතර අංගන්ගොඩ උපන් අයිරාංගනී මාලනී රණසිංහ සමඟය. විවාහය සිදුවූයේ පාසැල් වියේ සිට ඇතිවූ ප්‍රේම සම්බන්ධයකිනි. එම දෙපළ ගේ එකම දරුවා පුතු ඉසුරුය. සෝමවංශ ගේ අවසන් කටයුතු සියල්ල සිදු කළේ ඔහුගේ සමීපතම ඥාති පුත්‍රයකු වූ මයුර අමරසිංහ ගේ මූලිකත්වයෙනි. විජේවීර ගේ නායකත්වයෙන් ජවිපෙ අවසාන දේශපාලන මණ්ඩල රැස්වීම තිබුණේ 1989 නොවැම්බර් 11, 12 සහ 13 යන දිනයන්හී දී ගලහ නිවසේදීය. අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඩී. එම්. ආනන්ද සහ ගුණරත්න වනසිංහට එයට සහභාගී වීමට නොහැකි විය. මෙය සෝමවංශ ගේ සැකයට බඳුන් වූ අතර ඒ සඳහා ආරක්ෂාකාරීව පියවර ගන්නා ලෙසට විජේවීරට ඔහු දැනුම් දුන්නේය. එහෙත් එය විජේවීර සුළුකොට තැකීය. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රි ඇඳිරි නීතිය පනවන අතර ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 12 දවල් නිමා කළේය.

එහි දී සමන් පියසිරි, ලලිත් විජේරත්න, ගමනායක සහ විජේවීර මෝටර් රථයකින් පිටත් විය. ශාන්ත බණ්ඩාර වෙනමම ගියේය. පියදාස රණසිංහ සහ සෝමවංශ වෙනමම රථයකින් මඩවල ප්‍රදේශයට පිටත්වන්නේ ආරක්ෂාවට තබා තිබූ මුදල් වගයක් ලබාගැනීමටය. ආපසු අතරමග දී සෝමවංශ ට්‍රිනිටි කන්දෙන් බැස ගියේය. සෝමවංශ ගේ ‘ඉව’ හේතුවෙන් ඔහු උපක්‍රමශීලිව කටයුතු කිරීම නිසා තවදුරටත් ජීවත්වීමට වරම් ලැබිය. පොලිස් මූලස්ථානය විසින් 1989 නොවැම්බර් 28 නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සෝමවංශ අමරසිංහ ඇතුළු 5 දෙනකු අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍යම පුද්ගලයන් බැවින් ඔවුන් ගැන තොරතුරු සපයන්නන්ට ත්‍යාග පිරිනමන බවකි. සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලා යෑමට තීරණය කරන්නේ අනතුරුවය. සෝමවංශ ගේ බිරිය සහ පුත්‍රයා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේ දී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේ දී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ට්‍රිනිටි කන්ද අසල මුස්ලිම් ජාතිකයකුට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ.

ඔහුට මෙහි දී උදවු කළ එක් අයකු වූයේ මාතලේ උපන් කොටහේනේ අල්විස් ඇවනිව්හි පදිංචි ඊස්වරන් බ්‍රදර්ස්හි කලක් තොග කළමනාකරුවකු වූ එම්. එම් වික්‍රමසිංහම් හෙවත් සෙල්වා හෙවත් විකීය.

විජේවීර ඝාතනය වීමෙන් පසු 1989 නොවැම්බර් 23 දින සෝමවංශ විසින් මුදියන්සේලාගේ නිමල් බණ්ඩාර දිසානායක නමින් ජාතික හැඳුනුම්පතක්ද ලබාගෙන තිබිණි. එහි අංකය වුයේ 470721049Vය. එයට තෙදිනකට පසු එම නමින් සියලු රටවල් සඳහා වලංගු ගුවන් බලපත්‍රයකට ද අයඳුම්කර තිබිණි. එහි පදිංචි ලිපිනය වූයේ කුරුණෑගලය. එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලායෑමට සෝමවංශ තීරණය කර තිබිණි. විජේවීර ඝාතනයෙන් පසු ඉන්දියාවට පලායන තෙක් සෝමවංශ සැඟවී සිටියේ මීගමුව පිටිපන, හෝමාගම නියඳගල, මාතලේ ඉඩමේගම, කුරුණෑගල ජයසේකරගේ නිවස, කැලණියේ ආරියසිංහගේ නිවස, හෝමාගම කැන්දලන්දේ යුද හමුදා නිලධාරි නිවසක්, හික්කඩුවේ රන්සිරිගේ නිවස, මිනුවන්ගොඩ සහ නුගේගොඩ ඇතුළු ස්ථාන කිහිපයකය.

සෝමවංශ විසින් 1989 අගෝස්තු මීගමුව පිටිපන පිහිටි සෆාරි ලොජ් නිවස බදු ක්‍රමය යටතේ කුලියට ලබා ගන්නා ලදී. එම නිවස බලාගැනීම සඳහා සිටියේ ඉතාලි ජාතික කාන්තාවක් සමඟ විවාහවී සිටි සෝමවංශ ගේ මිත්‍රයෙක් වූ ඉතාලියේ පදිංචි රෝයි අබේසිංහය. ඔහු ගේ දරුවන්ද එහි සිටියේය. වසර 1989 නොවැම්බර් වනවිට සෝමවංශ සැඟවී සිටියේ එම නිවසේය. සෝමවංශ අතර හිතවත්කමක් ගොඩනැගිණි. ඒ අනුව කපිතාන් නිශ්ශංක විසින් සෝමවංශට තම නිලය උපයෝගි කරගෙන විවිධාකාර සහාය ලබා දුන් බව කියති. පසුව 1990 ඔක්තෝබර් 24 යුද හමුදා පොලිසිය මගින් කපිතාන් නිශ්ශංක අත්අඩංගුවට ගෙන අපරාධ විමර්ශන මූලස්ථානයට බාරදෙන ලදී. කපිතාන් ධර්මශ්‍රී නිශ්ශංකට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ 1992 දී නඩු පවරන ලදී. නඩුව විභාග කළේ විනිසුරු එච්. එම්. එස්. බී. මඩවලය. වසර කිහිපයක්ම අත්අඩංගුවේ පසුවූ කපිතාන් නිශ්ශංක අවසානයේ දී නිදහස් විය. වසර 2020 වනවිට මැදපෙරදිග විධායක නිලධාරියෙකි. සෝමවංශ ගේ බිරිය අයිරාංගනී සහ පුතු ඉසුරු, සෞදි අරාබියේ රියාද් නුවර ජවිපෙ කමිටුවේ ප්‍රධාන සංවිධායකවරයකු වන කුරුණෑගල මැල්සිරිපුර පදිංචි ජයසිංහ හෙවත් ජයරත්න ගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවේ තිවේන්ද්‍රන් නුවර නිවසකට 1989 දෙසැම්බර් 25 යෑමට සමත් විය. එම නිවස ජයසිංහට හිතවත් සෞදි අරාබියේ 

සේවය කරන ඉන්දිය ජාතිකයකු ගේ නිවෙසකි. පසුව ජයසිංහ වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් සෑදීමට ශ්‍රී ලංකාවට පැමි‍ණීමේ දී උපැවිදි වූ අමරේ ගේ ඔත්තුවක් අනුව 1990 අගෝස්තු 25 යක්කල දී අත්අඩංගුවට පත්ව පසුව ඝාතනය විය. ජිනදාස කිතුල්ගොඩ ඇතුළු කිහිපදෙනෙක්ම 1990 නොවැම්බර් 12 අත්අඩංගුවට පත්වන්නේද අමරේ ගේ මැදිහත්වීමෙනි. පසුව රජයේ අනුග්‍රහයෙන් විදේශ ගත කළ කිහිපදෙනා අතර අමරේද විය. තායිලන්තයට පැමිණි අමරේ පසුව ඉතාලියේ පදිංචිය. හික්කඩුවේ උපන් ප්‍රංශයේ සිට යළි ලංකාවට පැමිණ සිටි රන්සිරි ද සිල්වා ගේ සම්බන්ධීකරණයෙන් සෝමවංශ අමරසිංහ මීගමුවේ හොර බඩු ජාවාරම්කරුවන් ගේ ආධාරයෙන් ඔවුනට රුපියල් 50, 000ක් ලබා දී මාරවිල තෝඩුවාවෙන් වල්ලමකට නැඟී කුලසේකර පටුන වෙරළ හරහා ඉන්දියාවට ගියේය. අශ්ව බල 25ක ධාරිතාවයකින් යුත් එම වල්ලමේ පුද්ගලයන් 5ක් ගමන්ගත් අතර එහි සිටි කොච්චිකඩේ අන්වර් සහ තවත් අයෙක් විසින් සෝමවංශ මීටර් 100ක් පමණ ඔසවාගෙන වෙරළට ගොඩබස්සවන ලදී. තිවේන්ද්‍රන්හි දී සිය බිරිය අයිරාංගනී සහ ප්‍රත්‍රයා සෝමවංශට හමුවූයේ 1990 මාර්තු 17ය. ඉන් මාස කිහිපයකට පසු පොලිස් අත්අඩංගුවට පත් රන්සිරි ද සිල්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 6වැනි තට්ටුවට ගෙන යෑමෙන් පසු කරන ලද තිරස්චින වධබන්ධනවලින් පසු මරුමුවට පත්විය. පසුව අන්වර්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

සෝමවංශ 1990 ඔක්තෝබර් මස 19 ඉන්දියාවේ සිට දරු පවුල සමඟ තායිලන්තයට පැමිණ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් 1991 මාර්තු 06 දේශපාලන රැකවරණ ලබා ගත්තේය. පසුව 1991 ජූලි 07 ඉතාලියට ගොස් වල්පොලගේ ධර්මසේන ගේ නිවසේ නවාතැන් ගනු ලැබීය.

ධර්මසේන 1971 කැරලිකරුවකුවූ අතර 1980 දී රෝමයට පැමිණි අයකු විය. පසුව බිරිය සහ දරුවාද ධර්මසේන ගේ සහායෙන් ගෙන්වා ගැනීමට සෝමවංශට හැකි විය. ඉතාලියේ දී රෝමයේ සිටින ශ්‍රී ලංකා සංගමයේ සභාපති ආනන්ද සහ මිලානෝ නුවර සිටි රෝයි විසින් සෝමවංශ අමරසිංහට ජිනීවා සම්මුතියට අදාළ කොන්දේසි යටතේ ජාත්‍යන්තරව පිළිගන්නා ගමන් බලපත්‍රයක් ලබාගැනීමට ක්‍රියාකාරීව මැදිහත්වන ලදී.

අනතුරුව 1991 අගෝස්තු 26 රාත්‍රී 8ට ඉතාලි ධර්මසේන ගේ මෝටර් රථයෙන් ඉතාලියේ ටොරිනෝ ප්‍රංශ මායිමට සෝමවංශව ගෙන එන ලදී. පසුව ප්‍රංශ සීමාවට ගොස් එහි සිටි සන්තිකට සෝමවංශව බාර දෙන ලදී. එහි දී සන්තික විසින් සෝමවංශව ප්‍රංශයේ පැරිස් නුවරට රැගෙන යන ලදී. කෙටි කලකින් පසු ප්‍රංශය හරහා බ්‍රිතාන්‍යයට යන සෝමවංශ ජවිපෙ කටයුතු එහි දී විධිමත්ව ප්‍රතිසංවිධානය කරනු ලබයි. ජවිපෙ 1994 දී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේ දී කැඩී දසත විසිරී ගොස් සිටි ජවිපෙ සාමාජිකයන් සහ හිතවතුන් යළි නාභිගත කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් සිදුකරන ලදී.

ජවිපෙ 1994 අගෝස්තු 16 පැවැති මහා මැතිවරණයෙන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ නාමය යටතේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ වෙනුවෙන් මල් බඳුන සලකුණෙන් තරඟකර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනාගැනීමට සමත් විය. ප්‍රජාතන්ත්‍රවාදයට යළි එක්වීමට ජවිපෙ තැබූ පළමු ප්‍රයත්නයද එය විය. තංගල්ලේ දී 1995 මැයි 15 විශේෂ සමුළුවක් පවත්වා ජවිපෙ නීත්‍යානුකූල අයිතිය තහවුරු කෙරිණි. තංගල්ලේ දී 1995 පැවැති ජවිපෙ සමුළුව පැවැත්වීමට පෙර එහි කණ්ඩායම්වාදයක් ගොඩනැඟී තිබුණ අතර එයද වාෂ්ප කෙරිණි. සෝමවංශ අමරසිංහ ගේ විශිෂ්ටතම ලක්ෂණය වූයේ ජවිපෙ නායකයකුව සිටියද වෙනත් දේශපාලන නායකයන් මෙන් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ පසුව ඇමතිවරයෙක් වීමට තැත් නොකිරීමය. ඔහුගේ වසර 73ක ජීවිත කාලයෙන් වසර 46ක් කැප කළේ ජවිපෙ පූර්ණකාලීනයකු වශයෙනි.

ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර මාර්ගය හරහා 1994 අගෝස්තු 16 ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් මහ මැතිවරණයට අවතීර්ණ විය. පසුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 39ක් ශ්‍රිලනිප සභාගය හරහා දිනා ගැනීමට පවා ජවිපෙ සමත් විය. මර්දනය නිසා බිමට සමතලා වූ පක්ෂයක ඉතිරි වූ සුන්බුන් අතරින් ක්‍රියාකාරින් එක්කර ජවිපෙට යළි ප්‍රාණ වායුව ලබාදීමේ ගෞරවය සෝමවංශ අමරසිංහට හිමිය. ඔහුගේ ජීවිතයේ සුන්දර හිතුවක්කාරි ස්වභාවය ගතින් වයසට යද් දී මෝදු වෙමින් පැවතියද සෝමවංශ කළ කාර්යභාරය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි පරිච්ඡේදයකි.

අමරසිංහ රඟපෑ භූමිකාව පිළිබඳව විවිධාකාර අර්ථකථන පැවතියද ජවිපෙ යළි අළු ගසා නැගිටීමේ දී ඔහු පසුබිම ඇති කතාව මෙයයි. එය සමාජ ක්‍රමය වෙනස් කිරීම සඳහා 1971 සහ 1989 පැවැති කැරලි දෙකක් මගින් ක්‍රියාකාරි වූ සහ ඒ වෙනුවෙන් අනේක විධ කැපකිරීම් කළ මිනිසකු ගේ කතාවද වනු ඇත.

 

Comments