සාංහාරයක මතකය අතර කියවා ගත යුතු මිනිසෙක්.. | සිළුමිණ

සාංහාරයක මතකය අතර කියවා ගත යුතු මිනිසෙක්..

ඉකුත් දශක පහක් ඇතුළත ජවිපෙ කැරලි දෙකකට නායකත්වය දුන්නේය. ප්‍රථම කැරැල්ල 1971 අප්‍රේල් ක්‍රියාත්මක වූහ. අතර එහිදී ඝාතනයට ලක් වූ සංඛ්‍යාව 5,000කට ආසන්නය.

ජවිපෙ 2වැනි කැරැල්ල 1986න් ඇරඹී 1990 න් අවසන් වූ අතර එහිදී 60,000කට අධික පිරිසක් ඝාතනයට ලක් වූහ. සිළුමිණෙහි පළවන මෙම ලිපි මාලාව එම කැරලි දෙක ඇතුළත ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟ පෙන්වීමකට යටත්ව, එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ කැරලි නායකයන්ගේ සත්‍ය කතාවයි.

08 කොටස

ජවිපෙ 2වැනි කැරැල්ලේ දී එහි ඉහළම නායකයින් වන දේශපාලන මණ්ඩල සභිකයින් 13 දෙනා අතර සිටි පී. ආර්. බී. විමලරත්න ජවිපෙ බිහිකළ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයාය. ඔහු විමල් රන්බදු, ට්‍රින්කෝ විමල්, ලෙස්ලි සහ බැටී අයියා ලෙසද හැඳින්විණි.

 

ට්‍රින්කෝ විමල් ගේ පියා සහ සොහොයුරන් දෙදෙනකු 1971 කැරැල්ලේ දී ඝාතනයට ලක්වූ අතර විමල්ද වසර ගණනාවක් බන්ධනාගාර ගත කෙරිණි. දෙවරක් බන්ධනාගාරයෙන් පළා ආවේය. අසූ නමය අවසානයේ දී අත්අඩංගුවට පත්වූ තිදරු පියකු වූ ට්‍රින්කෝ විමල් ඝාතනයට පත්වූ අතර ඔහුගේ බිරිඳද දෙසතියකට පසු එම ඉරණමටම ගොදුරුවිය. ජවිපෙ 2වන කැරලි සමයේ දී ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයකු සහ ඔහුගේ බිරිය ඝාතනය වූ එකම අවස්ථාවද එය විය. විජේවීර නිදහස් වීමෙන් පසු 1978 ස්ථාපිත කළ ජවිපෙ ප්‍රථම මධ්‍යම කාරක සභාවේ හෙතෙම සාමාජිකයෙකුද විය.

1971 අප්‍රේල් කැරැල්ල මෙන්ම 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ 2වැනි කැරැල්ලේද දක්නට ලැබුණු අරගල සම්ප්‍රදායක් විය. ඒ අප්‍රේල් කැරැල්ලේ අරගල සම්ප්‍රදාය යළි ජීවමාන කිරීමේ වගකීම සිය උරමත තබාගත් කැරලිකරුවන් ගේ කථාවය. සමාජය විප්ලවීය පරිවර්තනයක් සඳහා ‍ඔසවා තැබීමට ජවිපෙ වෙනුවෙන් පුරෝගාමී වැඩ කොටසක් කළ එම අරගලකරුවන් සිය ගණනක් ජවිපෙ 2වැනි කැරැල්ලේ දී මියගිය දස දහසක් දෙනා අතර විය. ත්‍රිකුණාමලය අභයපුර පදිංචි පී. ආර්. බී. විමලරත්නද එම ඉතිහාසයේ නිර්මාණයක්ය.

විමලරත්න ගේ සීයා මාතර ගන්දර පොල්වත්ත රතුබදුගේ දාවිත් සිං‍ඤොය. මිත්තණිය පුංචිහේවාගේ පුංචි‍නෝනාය. ඔවුනට දරුවන් 6කි. ඉන් සිව්දෙනෙක් පුතුන්ය. දරුවන් 6 දෙනා ගෙන් තුන්වැන්නා පොල්වත්ත රතුබදුගේ ඩැනියල් සිල්වාය. වසර 1926 මාර්තු 7 උපන් ඩැනියල් සිල්වා 1944 ඔක්තෝබර් 4 විවාහ වූයේ 1929 පෙබරවාරි 29 උපන් මානික්කු බදුගේ කුසුමාවතී සමඟය. එය ඇවැස්ස නෑනා සහ මස්සිනා විවාහයකි. ඩැනියල් සිල්වා සහ කුසුමාවතීට දරුවන් 12කි. ඉන් 10ක් පිරිමි දරුවන් වූ අතර දෙදෙනෙක් දියණියන්ය. වැඩිමලා වූයේ 1946 මැයි 4 උපන් පොල්වත්ත රතුබදුගේ විමලරත්න හෙවත් ට්‍රින්කෝ විමල්ය. ඔහු‍ගේ සොයුර සො‍යුරියන් 11 දෙනා වූයේ ආරියරත්න, ප්‍රේමරත්න, සුමතිපාල, ස්වර්ණලතා, හේමපාල, ජගත්, ගාමිණී, විදුහල්පතිවරයකු වන කිත්සිරි, කපිල, අනුර කුමාර සහ සුබාෂිණීය.

 

සීයා ධීවරයෙක්

 

ධීවර කර්මාත්තයේ නිරත ට්‍රින්කෝ විමල්ගේ සීයා මෙන්ම දකුණේ ධීවරයින් ගෙන් කොටසක් සෑම වසරකම පෙබරවාරි සිට ජූනි දක්වා වාරකන් කාලය හෙයින් ත්‍රිකුණාමලය ඇතුළු නැඟෙනහිර පළාතට පැමිණ ධීවර කර්මාන්තයේ නිරත විය. නැඟෙනහිර ධීවරයෝද සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වාරකන් කාලයට දකුණට යති. එසේ ගන්දර සිට පැමිණි ට්‍රින්කෝ විමල්ගේ සීයා ගේ පවුලේ සියලු දෙනා සිය ස්ථීර පදිංචිය බවට 1939 දී පත්කර ගත්තේ ත්‍රිකුණාමලය වේ.

ට්‍රින්කෝ විමල් අධ්‍යාපනය ලැබුවේ ත්‍රිකුණාම‍ලයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් (වර්තමානයේ රාජකිය විද්‍යාලෝක ජාතික පාසැල) සහ අභයපුර මහ විදුහලෙනි. විමල් 1962 අපොස සාමාන්‍ය‍ පෙළ විභාගයෙන් සහ 1965 දී අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් විය. රජයේ සිසු ගුරු පත්වීම් සඳහා ඔහු ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ අතර එයට ශ්‍රී ලංකාවෙන් ලැබුණු ඉල්ලුම්පත් 2, 500ක් අතරින් 225ක් තෝරා ගනු ලැබීය. ත්‍රී‘මලේ ඕලන්ද කොටුවේ පිහිටි අධ්‍යාපන කාර්යාලයේ 1967 මාර්තු 8 පැවැති සම්මුඛ පරීක්ෂණයේ දී සිංහල මාධ්‍යයෙන් මුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්ම තේරුණේ ගුරු සිසුන් 5කි. ඒ අතර දයානන්ද ජයවීර, බුද්ධිලතා, පී. ආර්. බී. විමලරත්නද විය. මාසික වැටුප රුපියල් 100කි. විමලරත්න ගේ ප්‍රථම පත්වීම 1969 ලැබුණේ අභයපුර මහ විද්‍යාලයටය. එහි විදුහල්පතිවරයා වූයේ අම්බලන්ගොඩ එස්. එම්. ඇල්බට්ය. සිසු ගුරු පත්වීමක් ලබාගෙන අභයපුර පාසලට පැමිණි විට එහි ඉංග්‍රීසි උප ගුරුවරියක් වූයේ පසුව ත්‍රි‘මලේ මිහිඳුපුර විද්‍යාලයේ විදුහල්පතිවරිය වශයෙන් කටයුතු කළ විමලා ගුණරත්නය. අභයපුර පදිංචි 81 හැවිරිදි ඇය කතුවරයා සමඟ කියා සිටියේ විමලරත්න දහසකට ආසන්න සිසුන් පිරිසක් සිටි පාසලේ දක්ෂ සිංහල ගුරුවරයකු බවට පත්වූ බවය. හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලට සිරගතව සිට 1976 දී නිදහස්වූ විමලරත්න බන්ධනාගාරයට ගොස් රැගෙන ආවේද විමලා ගුණරත්න විදුහල්පතිවරිය සහ ඇගේ සැමියා විසිනි.

ජවිපෙට සම්බන්ධ වීම

 

දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා හමුවට විමල් සමඟ ගිය විමලා ගුණරත්න මැදිහත්ව කළ අභියාචනාව නිසා විමලරත්නට යළි උපගුරු රැකියාව මිහිඳුපුර පාසලේම හිමිවිය. පසු ‍කලෙක 1978 දී උපගුරු රැකියාවට ආයුබෝවන් කියා ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට යොමුවූ ට්‍රින්කෝ විමල් ඇයට යළි හමුවූයේ 1988 ජූනි 5 සිය සැමියා සමඟ පිටකොටුව බස්නැවතුම් පොළේදීය. ‘විමලරත්න හරිම දක්ෂ ජනප්‍රිය ගුරුවරයෙක්. ළමයින්ට පුදුම ආදරෙයි. සිංදු ලියන්න වාගේම ගායනයටත් හරි දක්ෂයි’ දශක 4කට ආසන්න අතීතය ඇය ආවර්ජනය කරන්නීය.

ජනතා විමුක්ති පෙරමුණට විමලරත්න සම්බන්ධ වන්නේ ත්‍රිකුණාමලය මහ විද්‍යාලයේ ගුරුවරයකු වූ එච්. එන්. ප්‍රනාන්දු හරහා 1968දීය. පසු කලෙක ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සහ ජවිපෙ නායක රෝහණ විජේවීර ගේ මස්සිනා බවට පත්වූ එච්. එන්. ප්‍රනාන්දු අව්‍යාජ ගුරු සංගම් නායකයෙකි. එච්. එන්. ප්‍රනාන්දු ගේ ත්‍රිකුණාමල කණ්ඩායමට කුමාරසිරි ජයසේකර ‍නොහොත් සුදු අයියා, පී.බී. විමලරත්න, ශ්‍රීමාපුර මරතඩියේ ප්‍රේමදාස, ගුණරත්න ඇතුළු කිහිප දෙනකු අයත් වූ අතර ජවිපෙ පූර්ණකාලීනයකු ලෙස ත්‍රික්‍රණාමලය දිස්ත්‍රික්‍කයේ වැඩකළේ හුංගම රංජිත්ය. එච්. එන්. මාරුවක් ලැබී යනවිට ඔහුගේ සබඳතා හඳුන්වාදුන්නේ 1970 ජනවාරි මස ත්‍රිකුණාමලය මහා විද්‍යාලයට උපගුරු පත්වීමක් ලබා පැමිණි සෝමපාල ගරුසිංහටය.

තරග විභාගයෙන් සමත්වී ගුරු සිසුවකු ලෙස ට්‍රින්කෝ විමල් හිඟුරක්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයට වසර 2ක පූර්ණකාලීන පුහුණුවක් සඳහා ඇතුළුවූයේ 1969දීය. ඒ වනවිට ජවිපෙ උද්යෝගිමත් සාමාජිකයකු බවට පත්ව සිටි විමලරත්න කළුතර ගුරු අභ්‍යාස විද්‍යාලයට පවා ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්වීමට පැමිණ තිබිණි. සතිඅන්තයේ සහ නිවාඩු අවස්ථාවන්හි දී ත්‍රිකුණාමලය ඔර්ලෝසු කණුව ඉදිරිපිට චින්තාමනී හෝටලය‍ට (වර්තමානයේ බන්දුල හෝටල) පැමිණි විමලරත්න තරුණ පිරිස් සමඟ සංවාදවලද නිරත විය.

දක්ෂ නිර්මාණකරුවෙකුවූ විමලරත්න විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උගත් තරුණයින් පිරිසක් සමඟ එක්ව ත්‍රිකුණාමලය සංස්කෘතික සංගමයද පිහිටුවා ගත්හ. එම කණ්ඩායමේ කෙටි නම පෙරළිකාරයෝ විය. විමලරත්නව එදා ජවිපෙ හැඳින්වූයේ විමල් රන්බදු ලෙසය.

පීඩිත පන්තියේ අයිතීන් වෙනුවෙන් එසේ නිෂ්පාදනය කරන ලද රීරියකා නාට්‍යය 1970 ඔක්තෝබර් 17 සහ 18 පස්වරු 3ට සහ 7ට අභයපුර විදුහලේ දී වේදිකාගත විය. දෙපැයක් පුරා දිවෙන රීරියකා නාට්‍යයේ කථාව, දෙබස්, ගී පබැදුම් සහ තනු නිර්මාණය විමලරත්න ගේය.

ප්‍රධාන නළුවා දයානන්ද ජයවීරය. නිළිය ප්‍රේමා නිශාන්තිය. රංගන ශිල්පී ශිල්පිනියන් 18 දෙනෙකි.

රීරියකා නාට්‍යය මගින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට නව සංස්කෘතික ප්‍රබෝධයක් ගෙන ආ අතර එවැනි කෙටි නාට්‍ය රැසක් එම මඟ යමින් පාසල් සිසුන් විසින් එම පාසල්වලද නිෂ්පාදනය කර රඟ දක්වා තිබිණි. සංස්කෘතික සංවාද 15ක් පමණ දිස්ත්‍රික්කය පුරා ගම්මානවල සංවිධානය කෙරිණි. ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගය සඳහාද 1978 දී විමලරත්න ගේ ගී පබඳුම් එක්කර ගන්නා ලදී.

 

අභයපුරට යයි

 

ගුරු අභ්‍යාස පුහුණුව 1970 දෙසැම්බර් 18 නිමාවට පත්වූ පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උප ගුරුවරයකු ලෙස විමලරත්න ගේ පත්වීම 1971 ජනවාරි 1 සිට බල පැවැත්වෙන පරිදි ලිඛිතව ලබාදුන් අතර ත්‍රිකුණාමලයේ අභයපුර විද්‍යාලට අනුයුක්ත කෙරිණි. එකළ උප ගුරුවරයකු ගේ මූලික වැටුප රුපියල් 260කි. ගුරු විදුහලේ ඔහුගේ සමකාලීන උප ගුරුවරයකු වූ වර්තමානයේ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ දයානන්ද ජයවීර කතුවරයාට පවසා සිටියේ විමලරත්න සියලු දක්ෂතාවලින් හෙබි අයකු වන අතර මානව හිතවාදය වෙනුවෙන් නිර්භයව පෙනී සිටියෙක් බවය. ඔහුගේ අත්අකුරු ඉතා ලස්සන අතර කෙටිකථා, කාව්‍ය නිර්මාණ සහ නාට්‍යවලින් කියාපෑවේ සූරාකෑමට, පීඩාවට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වූ අය ගේ අයිතීන් පිළිබඳවය. සාධාරණ සමාජයක් බිහි කිරීම ඔහුගේ එකම අරමුණවූ බව ද ජයවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සිය නිවසේ දී විමලරත්නව 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධයැයි කියා ත්‍රි’මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ 1971 මාර්තු 16 දිනය. ඒ වනවිටද ඔහුගේ කණිටු සොහොයුරන් වූ ප්‍රේමරත්න සහ සුමතිපාලද ජවිපෙට සම්බන්ධ වී තිබිණි. පොලිස් අත්අඩංගුවට ගත් විමලරත්න අනුරාධපුරයේ බන්ධනාගාර ගතකරන ලදී. විමලරත්න ගේ සොහොයුරා වූ ප්‍රේමරත්න එවකට වයස අවුරුදු 18ක් පමණ වූ අතර හොරොව්පොතාන පොලිසියට පහරදුන් කණ්ඩායමේ ක්‍රියාකාරිකයකු විය. පසුව මොරවැව ගොවි ජනපදයේ පිහිටි නිවසකට යෑමේ දී හොරොව්පතාන පොලිසිය මගින් ප්‍රේමරත්න 1971 අප්‍රේල් 16 අත්අඩංගුවට ගත් අතර ඔහු සහ ඒ සමඟ අත්අඩංගුවට ගත් ගලෙන්බිදුණුවැව ජයන්ත තිරස්චීන පහරදීම්වලට ගොදුරු විය.

 

තිරස්චීන ඝාතනයක්

 

පසුව ප්‍රේමරත්න ගේ කකුල් දෙක ජීප් රථයක බැඳගෙන පාරදිගේ ඇඳගෙන යෑමෙන් පසු මරණයට පත්විය. අනෙක් ‍සොහොයුරා වූ 17 හැවිරිදි සුමතිපාල 1971 අප්‍රේල් 17 අත්අඩංගුවට ගෙන ත්‍රි’මලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන් වෙන්වන මායිම වන යාන්ඔය පාලම අසළ දී තවත් කැරලිකරුවන් 16ක් සමඟ ඝාතනයට ලක්විය.

විමලරත්න අත්අඩංගුවට ගත් 1971 මාර්තු 16 සිට දෙසතියට වරක් ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කළ අතර 1971 අප්‍රේල් 18 පියා උසාවියට ගියද ඔහුට උසාවියට ඇතුළුවීමට ඉඩ නොලැබිණි. උසාවි සැරයන් බණ්ඩා සමඟ පියා මත ගැටුමක් ඇතිකරන්නා අතර සවස නිවසට මොරිස් මයිනර් මෝටර් රථයකින් පැමිණි සැරයන් බණ්ඩා කටඋත්තරයක් ගැනීමටයැයි පවසා ‍පියා ගෙන යන ලදී. පසුව ‍ගෝනියක ගැටගසා මිරිස් දුම් අල්ලා පියාට වධදුන් අතර 1971 අප්‍රේල් 19 ඝාතනයට ලක්වීමෙන් පසු එහි තිබූ ‘වධක ළිඳට‘ දමා පසුව සෙසු සැකකරුවන් ගේ සිරුරු සමඟ නිලාවැලියට ගොස් පුලුස්සා දමා තිබිණි. එම තිදෙනාටම මරණ සහතික නිකුත් නොකරන ලදී. විමලරත්න ගේ මව වයස 79ක්ව සිටිය දී 2005 පෙබරවාරි 7 දින මිය ගියාය.

අත්අඩංගුවට ගෙන අනුරාධපුරයේ රඳවා තැබූ විමලරත්න, හීන්බණ්ඩා හේරත් ඇතුළු ජවිපෙ සිරකරුවන් 31 දෙනකු සමඟ 1972 ඔක්තෝබර් 8 අනුරාධපුර බන්ධනාගාරයෙන් පළා ගියහ. නන්දන මාරසිංහ ඇතුළු 30 දෙනකු ජවිපෙ වෙනුවෙන් එම ප්‍රහාරක කණ්ඩායමට පිටතින් එක්ව සිටියහ. ජවිපෙ සිරකරුවන් 31 දෙනාගේ පලායෑමට මුවාවී මරුසිරා ඇතුළු සාමාන්‍ය සිරකරුවන් 108 දෙනෙකුද එහි දී පලාගොස් තිබිණි.

යළිත් අත්අඩංගුවට පත්වී මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබූ විමලරත්න 1974 දී සිරකරුවන් පිරිසක් සමඟ එක්වී පලායෑමට උමගක් කපන අවස්ථාවේ දී අසුවූ නිසා යාපනය බන්ධනාගාරයට මාරු කරනු ලැබීය. පසුව කිසිදු චෝදනාවක් නොමැති වීමෙන් අප්‍රේල් කැරැල්ලේ සිරකරුවකු වශයෙන් 1976 නිදහස්වී ඉදිරිපත් කළ අභියාචනය රජය මගින් පිළිගැනීමෙන් පසු උපගුරු සේවය සඳහා ත්‍රි’මලේ මිහිඳුපුර මහා විද්‍යාලයට යළි බඳවා ගත්තේය.

 

විමලරත්නගේ විවාහය

 

විමලරත්න 1978 ජුලි 11 විවාහ වූයේ ගාල්ලේ දී 1947 දී උපන් ත්‍රිකුණාමලය කින්‍නියාවේ පදිංචි ජවිපෙ සාමාජිකාවක්වූ කමනි ජයසේකර සමඟය. බණ්ඩාරවෙල උපන් 1946 ත්‍රි’මලේ පදිංචියට ආ කමනි ගේ පියා දොන් ජේම්ස් ජයසේකරය. ඔහු නාවික පොලිසියේ කලක් සේවය කළ අයෙකි. ගාල්ල මීටියාගොඩ උපන් කමනි ගේ මව පියසීලි කණ්ඩම්බි විය. සො‍යුරු සොයුරියන් 9 දෙනකු වූ පවුලක 4 වැනියා ලෙස උපන් කමනිට සොහොයුරන් 5 දෙනෙකි. කමනි ගේ එක් සොහොයුරෙකු වූ ඩී. කුමාරසිරි ජයසේකර හෙවත් සුදු අයියා 1969 දී ජවිපෙට එක්වි තිබිණි. තවත් සොහොයුරෙකු වූ දයාසිරි පසු කලෙක ජවිපෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලේකම්වරයා වූ අතර 1989 දී ඝාතනයට ලක්විය. තවත් සොහොයුරෙකු වූ රංජිත් ජවිපෙ ත්‍රි’මලේ දිස්ත්‍රික්කයේ ලේකම්වරයා වශයෙන් පක්ෂ තහනමට පෙර කටයුතු කළ අතර පසුව ත්‍රිකුණාමලයේ ඕෂීන් හෝටලයේ හිමිකරුවූ අතර හදිසි අනතුරකින් පසුකලෙක මිය ගියේය.

විවාහයෙන් පසු පී. ආර්. බී. විමලරත්න ත්‍රි’මලේ නාවික ජල සැපයුම ඉදිරිපිට ආන්දම්කුලම නිවසේ පදිංචිවූ අතර පක්ෂ තහනමත් සමඟම යටිබිම් ගතවිය. පසුව ගාල්ල, බත්තරමුල්ලේ තලාහේන, සපුගස්කන්ද, කොට්ටාවේ අතුරුගිරිය යන ස්ථානවල බිරිය සහ දරුවන් සමඟ පදිංචිව සිටියේය. සොහොයුරෙකු වූ අනුර ගේ සම්බන්ධීකරණයෙන් ගාල්ලේ ලබුදූව ලිපිනයට ලියාපදිංචි කළ ලීනා රසකැවිලි නිෂ්පාදකයෝ නමින් තලගුළි ඇතුළු රසකැවිලි බෙදාහැරීමේ ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගියේය. එමගින් මසකට රුපියල් 30, 000ක පමණ ආදායමක් හිමිවිය.

කලක් ජවිපෙ අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර, කොළඹ, ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි දිසා ලේකම්වරයා වශයෙන් කටයුතු කළ විමලරත්න ජවිපෙ 2වන කැරලි සමයේ දී දේශපාලන මණ්ඩලයේ සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් එකට එකතු කළ පුද්ගලයා විය.

ජවිපෙ 2වන කැරැල්ලේ දී වෘත්තීය අංශයේ නායකයා මෙන්ම කම්කරුවන් වෙනුවෙන් කටයුතු කිරීමට පිහිට වූ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ නායකයාද විය. එමෙන්ම නුවර, කොළඹ, ත්‍රිකුණාමලය සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි දේශපාලන දිසා ලේකම් වශයෙන්ද කලක් කටයුතු කළේය.

 

පළමුව මව්බිම-දෙවනුව වැඩබිම

 

ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ තේමාව වූයේ පළමුව මව්බිම දෙවනුව වැඩබිම යන්නයි. එහි ප්‍රථම සමස්ත ලංකා වැඩ වර්ජනය 1988 ඔක්තෝබර් 18 රටපුරා දිස්ත්‍රික්ක 18කදි සාර්ථකව පැවැත්විණි. රටපුරා බැංකු, අධිකරණ, ප්‍රවාහන, තැපැල්, සෞඛ්‍ය, පෞද්ගලික ආයතන පමණක් නොව රජයේ කාර්යාලවල පවා වැඩකටයුතු මුළුමනින්ම වාගේ නතර විය. එහි සාර්ථකත්වය නිසාම දෙවන වරටද සමස්ත ලංකා මහා වැඩ වර්ජනයක් 1988 ඔක්තෝබර් 26 ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගින් සාර්ථකව පැවැත්වීය. ලංගම සේවක වැඩ වර්ජනය ආරම්භ වුයේ බදුල්ලෙනි.

බදුල‍්ලේ ලංගම සේවක ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කළ අතර එය සමස්ත ලංකා වැඩ වර්ජනයක් බවට පත්කළේ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානය මගිනි. ලංගම ඒකාබද්ධ සටන් පෙරමුණ ඒ යටතේ සටන මෙහෙයවන ලදී. මහා බස් වැඩ වර්ජනය 1989 ජූනි 12 ආරම්භ වූ අතර එය රුපියල් 2, 500ක මාසික වැටුප් වැඩිවීමකින් ජයග්‍රාහිව නිමාවූයේ 1989 ජූලි 13 වැනිදාය.

පී.ආර්.බී. විමලරත්න හෙවත් ට්‍රින්කෝ විමල් බදුල්ලේ සිට බසයකින් කොළඹට පැමිණීමේ දී කර්නල් ලයනල් බලගල්ල ගේ මෙහෙයවීමෙන් අවිස්සාවේල්ල සාලාව හමුදා ඒකකය මගින් 1989 සැප්තැම්බර් 18 අත්අඩංගුවට ගෙන කොළඹට ගෙන එන ලදී. බණ්ඩාරවෙල පදිංචි ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයකු දෙන ලද ඔත්තුවක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව කියති.

ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරි නිමල් ගුණතිලක සහ යුද හමුදාවේ කර්නල් බලගල්ල විසින් ජවිපෙට ‍එරෙහිව කරන ලද මෙහෙයුමේ දී කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුහු මුළු ශක්තියම යොදවා තිබිණි. පසුව විමලරත්න ඉසුරුපායේ පිහිටි කඳවුරට ගෙන ගිය අතර තිරස්තින වධ බන්ධනවලට මුහුණදීමට සිදුවිය. මෙම වධ කඳවුරේ එක් වධකයකු බවට පත්ව සිටියේ දයා පතිරණ ඝාතන සිද්ධියේ දෙවන සැකකරුවූ කොඩිපිලි තන්ත්‍රිගේ මහීපාලය.

වධකාගාරය තුළ චේ ගේ කියමනක් අනුව නිර්මාණය වුන ‘අපගෙන් ගිළිහෙන යුතුකම් රැකුමට’ ගීතය ඇතුළු විමුක්ති ගී කිහිපයක්ද විමලරත්න විසින් අවසාන මොහොතේ දී ගායනා කර තිබිණි. විමලරත්න අත්අඩංගුවට ගැනීමට ප්‍රථම ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් දෙදෙනෙකුවූ සුමිත් අතුකෝරාල සහ නන්දතිලක අමදෝරු ගලප්පත්ති අත්අඩංගුවට ගනු ලැබූවද කිසිදු තොරතුරක් අනාවරණය කරගත නොහැකි විය. ඔවුන් මෙන්ම පොල්වත්ත රතුබදුගේ විමලරත්නද පාවාදීම වෙනුවට තෝරාගත්තේ මරණයයි. ඝාතනයට පත්වූ විමලරත්න ගේ සිරුර පසුව කොට්ටාවේ දමා ගොස් තිබිණි.

විමලරත්න අත්අඩංගුවට ගැනීමෙන් මසකට පසු එනම් 1989 ඔක්තෝබර් 13 කඩුවෙල ප්‍රදේශයේ ආරක්ෂක හමුදා විසින් සෝදිසි මෙහෙයුමක දී අතුරුගිරිය නිවසේ සිටිය දී විමලරත්න ගේ බිරිය කමනීද අත්අඩංගුවට ගනු ලැබුවාය. එම නිවසේ සිටි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ගුණරත්න වනසිංහ ගේ බිරිය වූ විමලා හෙවත් ස්වර්ණා විසින් දරු තිදෙනා කමනි ගේ පවුලේ අය වෙත පසුව භාරදෙන ලදී.

පී. ආර්. බී. විමලරත්න සහ ඔහුගේ බිරිය කමනි ඝාතනය කරන විට ඔවුන් ගේ දරුවන් තිදෙනා ඉතාම කුඩා වියේ පසුවූහ. ඉන් දියණියන් දෙදෙනා අචලා මාධවී සහ දිනුෂ්කා සුබන්ධනී වූ අතර කනිටු දරුවා ජනිත් ප්‍රභාෂණය. ඔවුන් සියලුදෙනාම කමනි ගේ සොයුරු සොයුරියන් ගේ රැකවරණය යටතේ අධ්‍යාපනය ලබා හොඳින් හැඳී වැඩුණු අතර විවාහ වී මාලඹේ, හෝමාගම සහ නුවර පදිංචිව සිටිති. ඔවුහු තිදෙනාම 2020 වනවිට දූ දරුවන් සිටින දෙමාපි­‌ෙයා් වෙති.

 

Comments