බැසිල්ට ගැහීම සහ දිවි නැගුමේ වැටීම | සිළුමිණ

බැසිල්ට ගැහීම සහ දිවි නැගුමේ වැටීම

“මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කළේ මම නම්, මං ආපහු ඇමෙරිකාවට යන්නේ මහින්ද රාජපක්ෂයන් නැවතත් මේ රටේ බලයට ගෙනල්ලයි.” යනුවෙන් බැසිල් රාජපක්ෂ මෙම ලියුම්කරු සමඟ ප්‍රකාශ කළේ 2015 වසරේ අගභාගයේ දී කොළඹ ඩර්ඩන්ස් රෝහලේ දී ය. 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වීමට මුල් වූයේ ඔබයි කියලා චෝදනාවක් එල්ල වෙනවා නේද? යනුවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර තිබුණි. බන්ධනාගාරයේ සිට ඇප ලබාගෙන පැමිණ කොන්දේ අමාරුවකට ප්‍රතිකාර ගනිමින් රෝහල්ගතව සිටිය දී බැසිල් මෙම සාකච්ඡාවට එක්විය.

 

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට පැමිණි දිනයේදී ම මධ්‍යම රාත්‍රී 12.00 ට කඩුවෙල අධිකරණයේ දොරගුළු විවෘත කරමින් බැසිල් සිරගත කිරීමට එදා පැවති 'යහපාලන' ආණ්ඩුව ක්‍රියා කළේ ය. බැසිල් දිගටම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට එදා පැවති 'යහපාලන' ආණ්ඩුව නොකළ දෙයක් නැත. නමුත් බැසිල් බන්ධනාගාර ගතව සිටියේ ඕනෑම දෙයකට මුහුණ දීමට ය.

යහපාලකයින්ට අවශ්‍ය වූයේ බැසිල්ට යළි ඇමෙරිකාවට යෑම ඉඩ නොදීමට ය. බැසිල් කාලයක් තිස්සේ ගනු ලබන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විදේශගත වීමට ද 'යහපාලකයන්' ඉඩ දුන්නේ නැත. එදා එම සාකච්ඡාවේ දී බැසිල් බොහෝ සංවේදී වූ අවස්ථාවක් වූයේ අලුත ඉපදුණු තම මුනුපුරාගේ මුහුණ බලා ගැනීමට ද තමන් ට නොහැකි වීම පිළිබඳව ය.

ඒ සංවේදී සියලු කාරණා ද ඉවසා දරාගෙන බැසිල් සිටියේ දේශපාලන පළිගැනීම් සිදුකරන 'යහපාලකයන්'ගේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ය.

එදා ඩර්ඩන්ස් රෝහලේ දී ප්‍රකාශ කළාක් මෙන් බැසිල් ඉන්පසුව ඇමෙරිකාවේ වෙසෙන තම දරු පවුල දැකබලා ගැනීමට ගියේ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ 07 වැනි විධායක ජනාධිපති ධූරයට පත් වී මහින්ද රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුවය.

එදා බැසිල් රාජපක්ෂ බන්ධනාගාරගත කරන දිනයේ ඔහු ප්‍රකාශ කළේ මෙය දේශපාලන පළිගැනීමක් බවයි. සත්‍ය කවදා හෝ ජය ගන්නා බව ද බැසිල් රාජපක්ෂ එදා ප්‍රකාශ කළේ ය. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991 කට ආසන්න මුදලක් නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය ඇතුළු නීතිපතිවරයා පවරා තිබූ අධිචෝදනා පහෙන්ම හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ පසුගිය 30 වැනි දා නියෝග කළේ ය.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට අමතරව දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි යන අය මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණ.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ එච්. සුමතිපාල විසින් 2015 වසරේ ජනවාරි මස 27 වැනිදා දූෂණ මර්දන විමර්ශන ලේකම් කාර්යාලය වෙත කළ පැමිණිල්ලකට පසුව අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වසරේ ජුනි මස 02 වැනි දින බැසිල් රාජපක්ෂ ඇතුළු සිවු දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.කඩුවෙල එවකට හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල වෙත කිහිපවරක් ඉදිරිපත් කළ ඇප අයදුම් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව එම ඇප නියෝග ප්‍රතිශෝධනය කිරිමට සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරු කටයුතු කළහ. එම ප්‍රතිශෝධන ඇප අයදුම්පත් සලකා බැලූ පූර්වගාමී කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන, කඩුවෙල මහේස්ත්‍රාත් දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කළා ය.

එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ සැකකරුවන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වීමක් සිදු නොවූ අතර ඉන්පසුව 2016 වසරේ මැද භාගයේ දී නීතීපතිවරයා විසින් අධිචෝදනා 05 ක් මත බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනා හට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන ලදී.

දිවි නැගුම නඩුව ගැන නොයෙක් මාධ්‍ය වාර්තා පළ වුව ද දිවි නැගුම නඩුව ගොනු කිරීම පිටුපස තිබුණු සැබෑ වුවමනාව කුමක් යන්න තේරුම් ගැනීම ඉතා වැදගත් වන්නේ ය.

දිවි නැගුමට සහ බැසිල්ට එකවර පහරදීමට 'යහපාලන' ආණ්ඩුවට වුවමනා වූයේ ඇයි? එය එක ගලකින් කුරුල්ලන් දෙදෙනකු ඉලක්ක කර ගැනීම බව අවබෝධ කරගැනීමට එතරම් අපහසු නොවේ. 'යහපාලන' ආණ්ඩුව එක් පැත්තකින් බැසිල් හිරකරන විට අනෙක් පැත්තෙන් “දිවි නැගුම” වැඩසටහන අඩපණ කරන්නේ ඇයි?

රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීම ඒකායන බලාපොරොත්තුව කරගත් 'යහපාලකයන්' බැසිල් කොටුකර ගැනීමට වලිකෑම එතරම් පුදුමයක් නොවේ. විශේෂයෙන් ම ඔවුන්ට රාජපක්ෂවරුන් කොටු කර ගැනීමට දැඩි අවශ්‍යතාවක් තිබුණු අතර මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන නතර කිරීමට නම් මහින්දගේ හිත රිදවන ආකාරයෙන් පළිගත යුතු බව 'යහපාලකයන්' නිතරම සිතූ කාරණයකි.

මහින්ද රාජපක්ෂ යනු වසර 50 ක දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වී සිටින නායකයෙකි. මීට පෙර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ දී මහින්ද සිරගත කර තැබීය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලයේ දී 1988 - 89 භීෂණ සමයත් සමඟ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට අභියෝග කිරීම මාරයාට අත වැනීමක් වැනි ය. එදා රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට එරෙහිවුවන්ට අත් වූ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව කතරගමට පාද යාත්‍රා ගියේ මහින්ද රාජපක්ෂ ය. ජන ඝෝෂා පැවැත්වූයේ, මිනිස් දම්වැල් සංවිධාන කළේ මහින්ද රාජපක්ෂයි.

මහින්ද රාජපක්ෂයන් සිරගත කර කොටුකර ඔහුගේ ගමන නැවැත්වීමට නොහැකි බව එදා අරලියගහ මන්දිරයට එක් වූ නඩු අසන පිරිස ඉතා හොඳින් දැන සිටිය හ. එම නිසා මහින්ද රාජපක්ෂගේ ගමන නතර කිරීම සඳහා මහින්ද රාජපක්ෂ වඩාත් සංවේදී වන පිරිසකගෙන් පළිගැනීඹට 'යහපාලන'යට අවශ්‍ය වී තිබුණි. නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ ගෙන් පළිගැනීමට 'යහපාලකයන්' තීරණය කළේ ඒ නිසා ය.

“මාව කොටු කරලා මගේ ගමන නවත්වන්න බැරි නිසා මගේ බිරිඳගෙන්, දරුවන්ගෙන්, සහෝදරවරුන්ගෙන් පළිගන්න හදනවා. එහෙම කරලා මගේ ගමන නවත්තන්න තමයි මේ හදන්නේ.” යනුවෙන් මහින්ද රාජපක්ෂ වරක් මහා සංඝරත්නය හමු වූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ ය.

මහින්දගෙන් පළිගැනීම සඳහා බැසිල් බන්ධනාගාරගත කළේ ද එහි එක් පියවරක් වශයෙනි. රාජපක්ෂවරුන් වහකදුරු වී සිටි 'යහපාලකයන්'ට කෙසේ හෝ අවශ්‍ය වූයේ රාජපක්ෂවරුන් කොටු කර මහින්ද රාජපක්ෂගේ ගමන අතරමඟ නතර කිරීමට ය.

ඒ සමඟ ම රාජපක්ෂවරුන් රට වෙනුවෙන් කරන ලද සුවිශේෂී කාර්යභාර්යයන් ද නතර කිරීමට 'යහපාලන' ආණ්ඩුවට අවශ්‍ය වී තිබුණි. ජාතික ආරක්ෂාව හීන කිරීම, බුද්ධි අංශ දුර්වල කිරීම, රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය අඩාළ කිරීම, දේශීය ආර්ථිකය ශක්තිමත් නොකිරීමට ක්‍රියා කිරීම, රටේ අභිමානය සුරැකීමට ක්‍රියා නොකිරීම ඇතුළු අංශ ගණනාවක් 'යහපාලන' ආණ්ඩුව දියත් කළේ රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට ය.

මෙම කාරණා ගැන අවධානය යොමු කළේ නම් එහි ගෞරවය යන්නේ රාජපක්ෂවරුන්ට නිසා රට වෙනුවෙන් දියත් කරන ලද එම වැඩසටහන් නතර කිරීමට 'යහපාලන' ආණ්ඩුවට ඕනෑ වී තිබුණි. එහි දි ප්‍රධානතම විෂයක් වන්නේ දිවි නැගුම, මඟ නැගුම, අපි වවමු - රට නගමු, සමෘද්ධි ව්‍යාපාර ඇතුළු වැඩසටහන් අඩාළ කිරීමටයි.

ඒ සඳහා කළ යුතු උපරිම කාරණය කුමක් ද යන්න අරලිය ගහ මන්දිරයට එක් වී සාකච්ඡා කළ දූෂණ විරෝධි කමිටුවට අවශ්‍ය වූයේ දිවි නැගුම ඇතුළු වැඩසටහන්වලට පහර දීම හා එක් රාජපක්ෂවරයකු සිරගත කිරීමට ය.

එක් ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් බැසිල් හා දිවි නැගුමට පහර දී කොටු කිරීමට 'යහපාලන' දූෂණ විරෝධි කමිටුව තීරණය කළේ ය. මෙවර කොටු කර ගන්නේ කුමන රාජපක්ෂ ද යනුවෙන් කල්පනා කරමින් සිටි දූෂණ විරෝධි කමිටුවට බැසිල් රාජපක්ෂ කොටු කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා දිවි නැගුම යොදා ගන්නේ ය.

දිවි නැගුම සංවර්ධන දොපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2,991 කට ආසන්න මුදලක් දිවි නැගුම සහනාධාරලාභීන් ට ලබාදීම නීති විරෝධි නොවන බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් ප්‍රකාශ කොට තිබේ. දිවි නැගුම නඩුව සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශ වෙන්නේ කුමක් ද?

විත්තිකරුවන් හට මෙම මුදලින් කිසිදු ප්‍රතිලාභයක් හිමි වී නැති බව අධිකරණයට පැහැදිලිව පෙනී ගිය බව ද විනිසුරුවරයා විසින් පෙන්වා දෙන ලදී. ඒ අනුව 'යහපාලන' ආණ්ඩුව ගෙන ගිය මෙම දේශපාලන දඩයම පුස්සක් බව ඉතා හොඳින් පැහැදිලි වේ.

එදා එක්සත් ජාතික පක්ෂයේ අද සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬපට හරහා එදා 'යහපාලන' ආණ්ඩුව අධිකරණයට සිදුකරන ලද බලපෑම සුළුපටු නොවන බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ය.

“මොන රාජපක්ෂ ද ඊළඟ සතියේ ගන්නේ. වැඩේ මරු එකට යනවා. නාමල් දාන්නේ කවද් ද? යෝෂිත දාන්නේ කවද් ද? බැසිල් ඇතුළට දාන්නේ කවද් ද? යනුවෙන් දිගින් දිගටම එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (රහස් පොලිසියේ) ශානි අබේසේකරගෙන් විමසන්නේ රන්ජන් රාමනායක යි.

“වැඩේ ගානට යනවා නේද? කොහොම හරි බැසිල් ගන්නවා නේද? අනේ මේ ආතල් එක නම් කඩන්න එපා.” යනුවෙන් රන්ජන්, ශානි අබේසේකරගෙන් ඉල්ලා සිටි. රන්ජන් රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට පමණක් නොවේ. ඇතැම් අධිකරණ විනිසුරුවරුන්ට ද කතා කරමින් බලපෑම් කළ හඬපට නිකුත් වී තිබේ. මහ රෑ 12.00 ට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ දොරගුළු විවෘත කරමින් නඩු අසමින් බැසිල් මහ උළු ගෙදරට යැවූ එවකට හිටපු කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සමඟ රන්ජන් කතාකළේ මොනා ද?

මෙම කරුණුවලින් මනාව පැහැදිලි වන්නේ බැසිල් කොටු කර ගැනීම සඳහා දේශපාලන දැල එළා ඇත්තේ අරලියගහ මන්දිරයේ දී බවයි. රන්ජන් එසේ දුරකථන ඇමතුම් ලබා දුන්න ද ඒ පිටුපස සිටියේ 'යහපාලන' ආණ්ඩුවේ ප්‍රබලයන් ය.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව රන්ජන් මෙම කොන්ත්‍රාත් එක සිදු කරගෙන ගිය බව ඉතා පැහැදිලි ය.

මෙමඟින් ගම්‍ය වන තවත් කරුණක් ඇත. රනිල් වික්‍රමසිංහ එවකට අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස රන්ජන් හරහා මෙම දේශපාලන දඩයම සඳහා විශාල වශයෙන් බලපෑම් කිරීමයි.

“දිවි නැගුම” නඩුවෙන් 'යහපාලන'ය පළිගැනීමට උත්සාහ කළේ බැසිල්ගෙන් පමණක් නොවේ. මේ රටේ අහිංසක දුගී දුප්පත් පවුල්වලින් ද පිළිගැන්වීමට යහපාලකයින්ට අවශ්‍ය වී තිබුණි. සමෘද්ධිලාභින්ට යමක් සිදුවන විට 'යහපාලකයන්' කැමති නොවීය. ඊට හේතුව සමෘද්ධි ව්‍යාපාරය එදා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව විසින් ගොඩනැගූ නිසා එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් ජනතා ව්‍යාපාරයක් නිසා ඊට එදා සිටම එක්සත් ජනතා පක්ෂයෙන් යහපත් ප්‍රතිචාරයක් නොවී ය. මෙම සමෘද්ධි ව්‍යාපාරය මුල් කරගෙන දුගී දුප්පත් ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් වගකීම භාර දුන්නේ එවකට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට ය.

සමෘද්ධි ව්‍යාපාරය ද ඇතුළත් කරගෙන දිවි නැගුම වැඩසටහන් තුළින් දිළිඳුකම පිටුදැකීම සඳහා බැසිල් රාජපක්ෂයන් සාර්ථක ආරම්භයක් තැබී ය. 2008 - 2009 වසරවලදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මානුෂීය මෙහෙයුමක් එක් පැත්තකින් ක්‍රියාත්මක වන විට අනෙක් පැත්තෙන් රටේ ආර්ථිකය නඟා සිටුවීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක විය. ආර්ථිකය නගා සිටුවීමේ කාර්යයෙන් වැඩි වගකීමක් මහින්ද රාජපක්ෂයන් විසින් ලබා දුන්නේ බැසිල් රාජපක්ෂයන්ටයි.

2008 - 2009 වසරවලදී ලෝකයේ අර්බුද කිහිපයක් පැවති අතර එම අර්බුදවලට ද සාර්ථකව මුහුණ දෙන ගමන් කොටි ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට හැකි විය. ලෝක ආහාර අර්බුදය එදා තිබුණු අර්බුදවලින් එකකි. මෙම ලෝක ආහාර අර්බුදය ජය ගැනීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව සැලසුම් කළේ 2005 වසරේ සිටය. දිවි නැගුම, අපි වවමු රට නගමු, බීජ ඇට බෙදීම, ගෙවතු වගාව ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවූ නිසා ලෝක ආහාර අර්බුදයට මුහුණ දීමට ද අපේ රටට හැකිවිය.

එම වැඩසටහන් ක්‍රියාත්මක වන විට එදා සිටි එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් “බැසිල්ගේ ඇට බෙදීමෙන් වැඩක් නැහැ. බැසිල් බෙදලා තියෙන්නේ පුහු ඇට, බැසිල්ගේ ඇට පැළවෙන්නේ නැහැ.” යනුවෙන් පවසමින් හැකි තරම් අපහාස කළහ.

නමුත් එදා දිවි නැගුම ව්‍යාපාරය හරහා ගම්වල පවුල් ශක්තිමත් වූ හැටි සියලුදෙනා පිළිගන්නා කරුණකි. දිළිඳු පවුල් නගා සිටුවන වැඩසටහන් වෙනුවෙන් බැසිල්ගේ උපදෙස් අනුව විශාල වැඩ කොටසක් සිදු වීම එක්සත් ජාතික පක්ෂයට දිරෙව්වේ ම නැත.

සමෘද්ධි, දිවි නැගුම වැඩසටහන් යටතේ දිළිඳු අසරණ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවන තත්ත්වය උසස් කරගනිමින් රටේ ආර්ථිකය ද යම් ආකාරයකින් ශක්තිමත් වෙනවා නම් එය රටේ දියුණුවට විශාල වශයෙන් බලපායි.

දිළිඳු පවුල් ලක්ෂ 18 ක් පමණ දෛනික පරිභෝජනය අවශ්‍යතා සපුරාලීම සඳහා සමෘද්ධි සහනාධාරය ලබා ගනී.

ශ්‍රී ලංකාවේ දිළිඳුකම මුලිනුපුටා දැමීම සඳහා එම පවුල් සවිබල ගැන්වීමට ඔවුන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය කිරීමට අදාළ වැඩසටහන් සහ ප්‍රජා මූල බැංකු 1074 ක් මඟින් දිවයින පුරා විසිරී සිටින එම දිළිඳු පවුල්වලට සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අවශ්‍යකරන විවිධ ක්ෂූද්‍ර මූල්‍ය ණය සම්පාදනය කරනු ලබයි.

සමෘද්ධි සහනාධාර ලබන පවුල්වල උසස් පෙළ හදාරන දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීම, සමෘද්ධි සහනාධාරලාභී පවුල්වල ආදායම් මට්ටම ඉහළ නැංවීමෙන් වාර්ෂික පවුල් ලක්ෂයක් සවිබල ගැන්වීම, ප්‍රජා මූල සංවිධාන හරහා දිළිඳු පවුල් සංවිධානගත කර ඔවුන් ආර්ථික හා සමාජීය වශයෙන් සංවර්ධනය කිරීමට කටයුතු කිරීම, අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය මාර්ග නඟා සිටුවීම හා සමෘද්ධි ව්‍යවසායකයන් වැඩි දියුණු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් සැපයීම, දිළිඳු පවුල්වල සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් හා සමාජීය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු වැඩසටහන් එදා සිට අද දක්වා රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ මෙරටින් දිළිඳුකම පිටුදැකීම සඳහා ය.

මෙවැනි කාරණා ප්‍රමුඛ කරගෙන බැසිල් රාජපක්ෂයන් එදා දිවි නැගුම මූලික කොටගෙන කටයුතු කළේ දිළිඳු පවුල් ලක්ෂ 18 ක් ඉලක්ක කොට ගෙන ය. සමාජ ආරක්ෂණය හා සවිබල ගැන්වීම තුළින් සමාජයේ අසරණ පවුල් නඟා සිටුවීමට ක්‍රියාත්මක කළ වැඩසටහන් ක්‍රියාත්මත නොකිරීමට අරලියගහ මන්දිරයේ සිට එදා 'යහපාලන' ආණ්ඩුව ක්‍රියා කිරීම කනගාටුදායක තත්ත්වයක් නොවේ ද?

බැසිල් සමඟ රාජ්‍ය නිලධාරීන් ද අත්අඩංගුවට ගෙන එදා යහපාලකයින් රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක් ලබා දුන්නේ වැඩ නොකරන ලෙසටය. වැඩ කළොත් ඒ අදාළ දේශපාලනඥයන් සමඟම හිරේ විලංගුවේ වැටීමට සිදුවන බව එදා 'යහපාලන' ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ට අනතුරු අඟවන ලදී. මෙතුළින් සිදුවූයේ කාර්යක්ෂමව පැවති රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමයි.

රාජ්‍ය සේවය සිදු කිරීමට තබා අසරණ පවුලක් වෙනුවෙන් රුපියලක්වත් අවශ්‍යතාව අනුව ලබා දීමට රාජ්‍ය සේවකයන්ට බිය වූයේ 'යහපාලන' ආණ්ඩුවේ මෙම ප්‍රතිපත්ති නිසා ය.

එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ “ජනසවිය” වැඩසටහන හරහා යමක් කිරිමට උත්සාහ කළේය. නමුත් 'යහපාලන' ආණ්ඩුවක් තිබුණේ නම් රණසිංහ ප්‍රේමදාසට ද සිරගත වීමට සිදු වන්නේ ය. දිළිඳුකම පිටු දැකීම ගැන සජිත් ප්‍රේමදාස වත්මන් විපක්ෂ නායකවරයා මහා හයියෙන් කෑමොර ගැහුව ද ඔහු පසුගිය 'යහපාලන' ආණ්ඩුව කාලයේ දී දිළිඳුකම පිටු දැකීම වෙනුවෙන් නඬ නැගුවේ නැත. අඩුම තරමේ තම පියා ගෙන ගිය ජනසවිය වැඩසටහන ගැනවත් කතා නොකළේ ය. දිළිඳුකම පිටු දැකීමට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය එකඟ නම් ඔවුන් බැසිල් රාජපක්ෂ සිරගත කිරීම හෙළා දැකිය යුතුයි.

නමුත් සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන පිරිස් ද එදා කියා සිටියේ බැසිල් සිරගත කිරීම සාධාරණ බවයි.

මහින්දගෙන්, බැසිල්ගෙන් පළිගැනීම සඳහා ලක්ෂ 18 ක දිළිඳු පවුල්වලින් පළිගැනීමට 'යහපාලකයන්' ක්‍රියා කිරීම ගැන බරපතළ ආකාරයෙන් ප්‍රශ්න කළ යුතුව ඇත.

පටු දේශපාලන පළිගැනීම් සිදු කරමින් යහපාලකයින් පළිගන්නේ රටෙන් ය. දිවි නැඟුම සිල් රෙදි නඩුවලින් එය ඔප්පු වී හමාර ය.

බොරු නඩු දමමින් රාජපක්ෂවරුන්ගෙන් පමණක් නොව රටෙන් ම පළිගැනීමට යහපාලකයින් ක්‍රියා කළ බව දැන් මැනවින් ඔප්පු වී තිබේ. හොරා හොරා රාජපක්ෂ හොරා යනුවෙන් මන්තරයක් මෙන් ජපකරමින් සිටි 'යහපාලකයන්' දැන් කියන්නේ මොනවා ද?

මහින්දගේ ඩුබායි ගිණුම් ගැන, නාමල්ගේ ලැම්බෝගිනි, රත්‍රං අශ්වයින්, බැසිල්ගේ මාළිගා ගැන සඳහන් කරමින් මඩ ව්‍යාපාරයන් ගෙන ගිය යහපාලකයින් මෙම නඩු තීන්දු සමඟ නිරුත්තර වී ඇත.දිවි නැගුම නඩුවේ තීන්දුවෙන් ද කියා පාන්නේ යහපාලකයින් සිදුකළ එක් දේශපාලන දඩයමක් පමණි. මෙම දේශපාලන දඩයමෙන් යහපාලකයින් සෙල්ලම් කර ඇත්තේ බැසිල් සමඟ පමණක් නොව දිළිඳු පවුල් ලක්ෂ 18 කගේ ජීවිත ද සමඟිනි.

 

Comments